වයඹ පළාතේ සත් කෝරළයේ කටුගම්පොළ හත්පත්තුවේ ඊරියගොල්ල ග්‍රාමය එතුමන්ගේ නිජබිමය. එම ඓතිහාසික ග්‍රාමයෙහි වාසය කළ ඉමියා මුදියන්සේලාගේ සිඤ්ඤප්පු බණ්ඩාර රාලහාමි එතුමන්ගේ පියාණෝය. අලුත්කූරු කෝරළයේ දූනගහපත්තුවේ පල්ලිය පිටියේ දූනගහ වලව්වේ සුබසිංහ මංචනායක මහත්මීහු එතුමන්ගේ මෑණියෝය. පාසල් යන වයස එළැඹි කල ඊරියගොල්ල දරුවා මූලික අධ්‍යාපනය ලබා ගත්තේ කංකානිමුල්ල රජයේ පාඨශාලාවෙනි. උඩුගම්පොළ රජයේ විද්‍යාලයෙන් ද්වීතිය අධ්‍යාපනය ලබාගත් හෙතෙම උසස් අධ්‍යාපනය සඳහා සත්වන ශ්‍රේණියෙන් පසු කොළඹ ආනන්ද හා නාලන්ද විදුහල් කරා පැමිණියේය. ඔහු උඩුගම්පොළ විදුහලෙහි අධ්‍යාපනය ලබන සමයෙහි ඔහුගේ එක් ගුරුවරයකු වූයේ. පසුකාලයෙහි ලංකාවේ පුරාවිද්‍යා කොමසාරිස් ධුරය හෙබැවූ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාය. 

එකල එතුමා එහි ඉංගිරිසි ගුරුවරයා විය. වෛද්‍ය විද්‍යාලයේ ද ටික කලක් ගත කළ මොහු මතභේදයක් නිසා ඉන් ඉවත් විය. පාසල් අධ්‍යාපනය පමණක් නොව, උගත් විද්‍යාර්ථීන්ගෙන් පාලි, සංස්කෘතාදී පෙරදිග භාෂා ද හදාළ ඊරියගොල්ල තරුණයා රැකියාවල් කිහියකම නිරත විය. යටත්විජිත පාලකයන් ලාංකිකයන්ට සිදු කරන සමච්චල් හා අසාධාරණකම් දැකීමෙන් ඔහුට එයින් බොහොමයක් එපා විය. උපපොලිස් පරීක්ෂකයකු වශයෙන් සේවය කරද්දී ඔහුට එය තිත්ත වූයේ යටත්විජිත පොලිස්පතිවරයාගේ කටුක ප්‍රතිපත්ති නිසාය. ඉන් පසුව ඊරියගොල්ල මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තයකු ලෙස සේවයට බැඳුණේය. දෙවැනි ලෝක යුද්ධ සමයෙහි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සිංහලාංශය භාරව සිටියේ ඊරියගොල්ල මහතාය. පුවත්පත් කලාව කෙරෙහි සිත් බැඳගත් ඊරියගොල්ල මහතා ලක්වැසියා, සිංහල බෞද්ධයා යන පුවත්පත්වල කර්තෘත්වය හෙබැවීය. අනගාරික ධර්මපාලතුමා සමග එතුමා පැවැත් වූ සමීප ඇසුර සිංහල බෞද්ධයා පත්‍රයේ කර්කෘත්වය පිරිනැමීමට හේතු වන්නට ඇති. ඊරියගොල්ල මහතාගේ කර්තෘත්වය පැවැති සමයෙහි සිංහල බෞද්ධයා පත්‍රයේ අලෙවිය ද ඉහළ ගියේය. 

ඊරියගොල්ල මහතා ග්‍රන්ථ සම්පාදනයෙහිලා පෑ කෞශල්‍යය ප්‍රශංසනීය ය. ඔහුගේ සිත බෙහෙවින් ඇදී ගියේ පරිවර්තන සාහිත්‍යය කෙරෙහිය. ඉංග්‍රිසියත් සිංහලයත් පිළිබඳව ඔවුන් සතුව තිබූ මනා පරිචය මේ පරිවර්තන සාර්ථක වීමට හේතු විය. සිත් ඇදගන්නාසුලු ශෛලියකින් ඔහුගේ පරිවර්තනත් ස්වීය නිර්මාණත් රචනා වූ හෙයින් පාඨකයෝ ඒවාට ඇලුම් කළෝය. 1943 දී ප්‍රථම වරට පළ වූ දේවතාපය, බුල්වර් ලිට්න් සාමිවරයාගේ ද ලාස්ට් ඬේස් ඔෆ් පොම්පියායි යන ඉංගිරිසි නවකතාවේ සිංහලානුවාදයයි. රෝමයේ පොම්පියා නගරය විසුවියස් ගිනි කන්ද පුපුරා යෑමෙන් විනාශයට පත්වීමේ ඓතිහාසික සිද්ධිය මේ නවකතාවේ වස්තු බීජය වේ. විසුවියස් ගින කන්ද පපුරා යෑමේ ස්වාභාවික දර්ශනය ඉතා මනහර ලෙස දේවතාපයෙහි සිංහලයට නැගී ඇත. ගිනි කන්ද පිපිරීමේ                                                හඬ ද ලෝදිය හා අළු විසිරී යන අයුරු ද පාඨකයාගේ සිතේ මැවෙන පරිද්දෙන් ඒ විස්තරය සිංහලයට නැගීම උසස් භාෂා කුසලතා ඇති ප්‍රතිභාණයෙන් යුත් ලේඛකයකුට විනා අන් කෙනකුට කළ නොහැකිය. මනුතාපය ඊරියගොල්ල මහතාගේ අනෙක් විශිෂ්ට පරිවර්තනයයි. වික්ටර් හියුගෝ නමැති ප්‍රංශ ලේඛකයාගේ ‘ද ලේ මිසරාබ්ල’ නමැති නවකතාව ඊරියගොල්ල මහතා සිංහලයට නැගුවේ මනුතාපය යනුවෙනි. පිටු 1232කින් යුත් ඉංග්‍රීසි නවකතාව එහි කතා රසයට හා වස්තු විෂයට හානියක් නොවන පරිද්දෙන් ඊරියගොල්ල මහතා සිංහලට නැගුවේ පිටු 190 ක සංස්ෂිප්ත කෘතියක් වශයෙනි. දේවාතාපයටත් වඩා මනුතාපයේ බසත් සාහිත්‍ය රසයත් සමාජ පුරුෂාර්ථත් අතිශයින්ම උසස්ය. සරල යථාර්ථවාදී රීතියෙන් බැහැර වූ සම්ප්‍රදායෙන් ලියැවුණත් මනුතාපයෙන් මතුවන්නේ මනුෂ්‍ය ජීවිතයේ දුක් දොම්නස් කරුණා මෛත්‍රිය හා කුරිරු සිත් තුළ පවත්නා රළු ස්වභාවයයි. සමාජ සම්මතයට එරෙහිව ක්‍රියා කිරීම කෙනෙකු තම ජීවිත කාලය පුරාම පශ්චාද්තාපයෙන් තබන අයුරු මනුතාපයේ ජනවර්ජනගේ චරිතයෙන් හෙළි වෙයි. 


ජනවර්ජන සොරෙකි. ඔහුට පවා කරුණා මෙත් සිත් පා ආගන්තුක සත්කාරයෙන් සලකන බීස්කුන් වහන්සේ අතිඋදාර ආගමික චරිතයක් ඇති පියතුමෙකි. ගාම්භීර්ය ශෛලියෙන් ලියැවුණත් මනුතාපය මිනිස් සිත්වල හැටි මේ යැයි කැඩපතකින් දක්වන්නා සේ පහදා කියයි. ඒ හැඟීම් පාඨකයාට සුඛනම්‍ය ලෙස දැනෙන්නේ එහි ව්‍යවහාර වන උසස් භාෂා ශෛලිය නිසාය. මුල් කෘතියේ රසයටත් චරිත නිරූපණයටත් හානි නොවන පරිද්දෙන් මනුතාපය සංක්ෂිප්ත ලෙස රචනා වී තිබීම විචාරකයන්ගේ පැසසුමට හේතු විය. කතා පහ, දේව වරය, පූර්ණ විප්ලවය, සුදර්ශනය ආදී අනෙකුත් කෘතීන්ගෙන් ද ඊරියගොල්ලයන්ගේ ප්‍රතිභාවත් භාෂා මහිමයත් පරිවර්තන කෞශල්‍යයත් මනා සේ විශද කැරෙයි. එතුමාගේ සියලු කෘතීන් සිංහල භාෂාවේ උන්නතියටත් සාහිත්‍යයේ පෝෂණයටත් පුද්ගලයාගේ චෛතසික සංවර්ධනයටත් ඉවහල් වන්නේය. 


මේ විශිෂ්ට සාහිත්‍යධරයා දේශපාලනයට ප්‍රවේශවීම එක් අතකින් බලන විට ජාතියේ භාග්‍යය උදෙසා සිදුවූවකැයි පැවසීම එතුමාට කරන ගෞරවයකි. අප එසේ පවසන්නේ ඊරියගොල්ල මහතා පාර්ලිමේන්තුවට ගියේ බිරිඳටත් දූ දරුවනටත් තමන්ටත් විවිධ තනතුරු ලබාගෙන ඒ සඳහා රජයෙන් ලැබෙන යාන වාහන නිල නිවාස ආදී අවශේෂ වරප්‍රසාද ද ලැබ සුඛෝපභෝගීව ජීවත් වීමට නොවේ. මානව ප්‍රජාව උදෙසා කළ හැකි යම් සේවාවෙක් ඇත් ද ඒ ඉටුකැර දීමට ය.


යටත්විජිත සමයෙහි සිංහල භාෂාවටත් ජාතික සංස්කෘතියටත් පහර පිට පහර වැදෙනු දැක දැක දෙනෙත් පියා බලා සිටීම නොමැනවැයි සිතූ ඊරියගොල්ල මහතා සාහිත්‍යයෙන් හා ලේඛන කලාවෙන් පමණක් ඒ සඳහා විසඳුම් සොයා ගැනීම අසීරු යැයි කල්පනා කළේය. ඒ සඳහා දේශපාලනය ද අවශ්‍ය යැයි ඔහුට සිතිණ. සමාජයට උසස් සේවාවක් සිදු කළහැක්කේ සාහිත්‍යයෙන් ද නැතහොත් දේශපාලනයෙන් ද යන පැනය වරක් පුවත්පත් කලාවේදියෙක් ඊරියගොල්ල මහතාගෙන් විමසීය. සාහිත්‍ය කරණයෙන් රසාස්වාදය ලබාදීම මුදලක් උපයා ගැනීම හා සමාජ විප්ලවයක් සිදු කිරීම ද යන කරුණු තමනට කළ හැකි යැයි පැවසූ ඊරියගොල්ල මහතා අන් කවර ජාතියකටවත් නොදෙවැනි ලෙස අභිමානවත් ව නැගී සිටීම සඳහා කිසියම් ජාතියකට සංවරයක් ද විනයක් ද ස්වාධීන වූ ආර්ථිකයක් ද නීති ගරුක බවක් ද අවශ්‍ය වෙතැයි කීයේය. මෙම කරුණු සාධනය කරනු පිණිස අවංක එඩිතර පරාර්ථකාමී මිනිසුන් දේශපාලන කරළියට පැමිණිය යුතු යැයි හෙතෙම සඳහන් කළේය. එසේ නූනොත් වංක, ආත්මාර්ථකාමීන්ට සමස්ත සමාජයම ගොදුරු වෙතැයි ද ඊරියගොල්ල මහතා පැවැසීය. තම හැඟීම් වඩාත් තහවුරු කරනු පිණිස එඞ්මන් බර්ක් නමැති දේශපාලන විචාරකයාගේ පහත සඳහන් ප්‍රකාශය උපුටා දක්වමින් තමන් දේශපාලනයට පැමිණිමේ අරුත පැහැදිලි කළේය. ඔයැ දබකහ එයසබට බැජැි්රහ දෙර එයැ එරසමපචය දf ැඩසක සි දෙර ටදදා පැබ එද ාද බදඑයසබට යනු එම ප්‍රකාශයයි. දුෂ්ට නපුරු දේ ජයග්‍රහණය කරනු පිණිස අවශ්‍ය එකම දේ යහපත් මිනිසුන් යමක් නොකැර සිටීමයි යනු එහි අරුතයි. ඊරියගොල්ල මහතා දේශපාලනය වැලඳ ගත්තේ කෙතරම් ගැඹුරු පරමාර්ථයකින් දැයි මේ සියලු කරුණු අපට හෙළි කරයි. එතුමා දේශපාලනය වෘත්තියක් බවට පත්කැර ගත්තේ නැත. 


1947 ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දණ්ඩගමුව ආසනයට ඊරියගොල්ල මහතා ඉදිරිපත් වූයේ ස්වාධීන අපේක්ෂකයකු වශයෙනි. ඡන්ද 9355 ක් ලබා ගනිමින් එතුමා මැතිවරණයෙන් ජය ලැබීය. දෙවැනි පාර්ලිමේන්තු මැතිවරණය 1952 මැයි මාසයේදී පැවැත්විණි. ඊරියගොල්ල මහතා එම මැතිවරණය සඳහා ඉදිරිපත් වූයේ ද ස්වාධීන අපේක්ෂකයකු වශයෙනි. එවර ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 16,581 කි.


1956 අප්‍රේල් මාසයේ පැවැත්වුණු මහා මැතිවරණයෙන් ඊරියගොල්ල මහතා ජයග්‍රහණය කළේ ඡන්ද 21,704 ක් ලබා ගනිමිනි. ඒ තමාගේද උනන්දුවෙන් බිහි වූ මහජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් දණ්ඩගමුවට ඉදිරිපත් වෙමිනි. මහජන එක්සත් පෙරමුණ යන වචනය පවා එම පක්ෂයට යෝජනා කරමින් එහි ජයග්‍රහණය සඳහා දැඩි වෙහෙසක් ගත් ඊරිගොල්ල මහතා එම පෙරමුණේ නායකත්වය ගෙන සිටි ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාට මහත්සේ සහයෝගය දැක්වූයේය. එහෙත් මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව ඊරියගොල්ල මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දීමට තීරණය වී තිබිණ. එහෙත් අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී ඊරියගෛාල්ල මහතාගේ නම එයින් ඉවත්ව තිබිණ. හොරගොල්ලේ දී අමාත්‍යවරුන් පත්කරන කල ඊරියගොල්ල මහතා සිටියේ දුර බැහැර ප්‍රදේශයක රැස්වීම්වලට සහභාගි වෙමිනි. අමාත්‍ය ධුරය පිළිබඳව විමසූ කල බණ්ඩාරනායක මහතා ඔහුට උප ඇමැතිකමක් පිරිනැමුවේය. එය ප්‍රතික්ෂේප කළ ඊරියගොල්ලයෝ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවේදී කටයුතු කිරීමට ඉටා ගත්හ.

 

 


තවත් කොටසක් ලබන සතියට.

 

 

 

 

 

 

ආචාර්ය ඊ. ඇම්. රත්නපාල