බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලබොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට අධිකරණයෙන් දඬුවම් පැනවීමෙන් පසු ඇතිව තිබෙන තත්ත්වය ගැන සමස්ත දිවයින පුරා මහත් ආන්දෝලනයක් හටගෙන ඇති බව මාධ්‍ය වාර්තාවන්ගෙන් පෙනී යයි. ගලබොඩ අත්තේ හිමියන්ගේ ක්‍රියාකාරකම් ගැන ජනතාව තුළ ඇත්තේ මිශ්‍ර ප්‍රතිචාර බව අපි දනිමු. අපි ඒ ගැන කිසිවක් මෙහි සඳහන් නොකරන්නට පරිස්සම් වෙමු. ශාසන භාරධාරී මහානායක ස්වාමීන් වහන්සේලා අතරින් පවා කියැවෙන පරිදි සංඝයා වහන්සේලාට බන්ධනාගාරය තුළ දී මෙසේ කටයුතු කිරීම සුදුසු ද යන ප්‍රශ්නය මතු වී තිබේ. එය විසඳීම සහ අදහස් ප්‍රකාශ කිරීම අදාළ පාර්ශ්වයන්ගෙන් සිදු වනු ඇත. අපේ මෙම උත්සාහය වන්නේ යටත් විජිත යුගයේ සිදු වූ මෙවැනිම සිදුවීමක් යළි පාඨක අවධානයට යොමු කිරීමයි.


අනුරාධපුර රාජධානිය පැවති ඈත යුගයේදී පවා සංඝයා වහන්සේලා රාජ්‍ය පාලකයන්ට උපදේශක මට්ටමින් මැදිහත් වූ බව ඉතිහාසයේ සඳහන් වේ. එළාර රජුට එරෙහිව කෙරුණු සටනේදී යුද බිමට පවා වැඩම කර එම සටනට ධෛර්ය දුන් බව වංශ කථාවේ කියවේ. එවැනි අවස්ථා බොහෝය. ගැමුණු සහ තිස්ස යන දෙසොහොයුරන් අතර පැන නැගුණු අර්බුදයේදී එය විසඳා රට එක්සේසත් කිරීමට මග සලසා දුන්නේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා විසිනි. සංඝයා වහන්සේලාගේ දේශප්‍රේමීත්වය මෙන්ම උන්වහන්සේලාට ඒ නිසාම බරපතළ දඬුවම් විඳීමට සිදු වූ අවස්ථාද බොහෝය. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයට එරෙහිව දෙවැනි විමුක්ති අරගලයේදී සටනට සහාය දුන් බවට චෝදනා ලද හිමිවරු සියයක් පමණ දෙනා එවකට බි්‍රතාන්‍ය ආණ්ඩුකාර ටොරින්ටන් සාමිවරයාගේ නියමය පරිදි සිවුරු පිටින්ම වෙඩි තබා ඝාතනය කරන ලද බව ඉතිහාසයේ දැක්වේ.


මෙම ඛෙදවාචකය ගැන විරෝධය පළ කළ එවකට අග්‍ර විනිශ්චයකාර සර් ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් පවා තම විරෝධය බි්‍රතාන්‍ය මවු රජයට දැක් වූ බව කියවේ. මේ හේතුව නිසා මොරින්ටන් සාමිවරයා ආණ්ඩුකාර තනතුරෙන් ඉවත් කර ආපසු කැඳවූ බව ද සඳහන් වේ. 


වාරියපොළ සුමංගල අනුනායක හිමියන්ගේ වීරත්වය මාධ්‍යවල නිතර පළ කෙරෙන මාතෘකාවකි. බි්‍රතාන්‍ය කොඩිය බිම ඇද දැමීම බොහෝ ප්‍රසිද්ධ කතාවකි. සිංහල රාජ්‍යයේ අයිතිය හඟවන සංකේතය අති වන්දනීය දළදා වහන්සේය. උඩරට ගිවිසුමෙන් ලංකා රාජ්‍යය බි්‍රතාන්‍යයට පවරා දුන් බව කියවුණත් දළදා හිමිගේ භාරකාරත්වය ලබා ගන්නා තුරු සම්ප්‍රදායිකව බි්‍රතාන්‍යයට අයත් නොවන බව එදා බොහෝ දෙනා විශ්වාස කළහ. මෙම මතය තහවුරු කරමින් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය දැරූ වාරියපොළ ශ්‍රී සුමංගල හිමියෝ දළදා වහන්සේ තමා භාරයට ගෙන එය බි්‍රතාන්‍යයන් අතට පත් වීම වැළැක්වීම සඳහා වනාන්තර ගතව වසර ගණනාවක් දුෂ්කර ජීවිතයක් ගත කළ බව ලේඛන ගතව ඇත. උන්වහන්සේ සොයා වසර ගණනාවක් පුරා බි්‍රතාන්‍ය හමුදා මෙහෙයුම් දියත් කළ ද සාර්ථක නොවිණි.


එතැන් සිට ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් දක්වා ශ්‍රී ලංකාවේ ජාතික නිදහස වෙනුවෙන් හඬනැගු පූජනීය මහා සංඝයා වහන්සේලාගේ ගණන අපමණය. එම අගනා චරිත මුතුහරේ අද්විතීය ස්ථානයක් හිමිකර ගත් වෙනස් ආකාරයක දේශපාලන ගමන් මගක් උරුම කොටගෙන ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝක දේශපාලනයේද ඉහළ නමක් දිනා ගත් යතිවරයන් වහන්සේ කෙනෙකු ලෙස පූජ්‍ය උඩකැන්දවල සිරි සරණංකර ස්වාමීන් වහන්සේ හඳුන්වා දිය හැකිය. එතුමන්ගේ ජීවිත කතාව අධ්‍යයන කිරීමේදී ඥනසාර හාමුදුරුවන් වහන්සේ පිළිබඳව අද උද්ගතව ඇති තත්ත්වයට සමාන අත්දැකීමකට මුහුණ දීමට සරණංකර හිමියන්ටද සිදු වූ බව දක්නට ලැබේ. මෙම සිදුවීම් දෙකේ සමානත්වය සලකා මෙසේ සටහන් කිරීමට මම අදහස් කළෙමි.


සත්කෝරල මහ දිසාවට අයත් එකල පිටිසර බද දුෂ්කර ප්‍රදේශයක් වූ හිරියාලට නුදුරු උඩකැන්දවල නමැති ගමේ දුප්පත් පවුලක උපත ලැබූ රන් බණ්ඩා නමැති දරුවා පසු කලෙක ලෝක පූජිත විප්ලවවාදියෙකු වීමේ කතා පුවත දෛවයේ නියමය අනුව සිදු වූවක් බවට නිගමනය කළ හැකිය. වසර 1900 පමණ වන විට මෙම ප්‍රදේශය පමණක් නොව කොළඹ අවට සමහර ප්‍රදේශ පවා පැවතියේ නොදියුණු බවේ පතුලේය. නව සංවර්ධනයේ අරුණැල්ලක්වත් වැටී නොතිබුණු එම යුගයේ මෙකී ගම්බද ප්‍රදේශවල අධ්‍යාපන පහසුකම් තිබුණේ ඉතා අඩු මට්ටමේය. එම ප්‍රදේශයේම කුඩා පාසලකින් මූලික අධ්‍යාපනය ලැබූ රන් බණ්ඩා දරුවා වැඩිහිටියන්ගේ කැමැත්ත පරිදි ළාබාල අවධියේදීම ශාසනයට ඇතුළත්ව සාමණේර බවට පත්ව පහතරටට වැඩම කළහ. ගම්පහ, උඩුගම්පොල කොස් පිල්ලෑව විහාරස්ථානයේ නේවාසිකව උඩකැන්දවල සිරි සරණංකර හිමි යන ශාසනික නාමයෙන් ප්‍රචලිත වූහ. මෙම කුඩා ස්වාමීන් වහන්සේ මෙසේ පැවිදිව සිටියදී දිනක් පුවත්පතක පළ වූ දැන්වීමක් දැකීමෙන් ප්‍රමෝදයට පත් වූහ. දැන්වීම පළ කර තිබුණේ අනගාරික ධර්මපාල තුමාය. තමාගේ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා ඉන්දියාවට යාම සඳහා කැමති කුඩා ස්වාමින් වහන්සේලා කීප නමක් අවශ්‍ය බව එහි පළවී තිබුණි. සිරි සරණංකර හිමියෝ මහත් උනන්දුවෙන් යුතුව එම කටයුත්තට ඉදිරිපත් වූහ. නොබෝ දිනකින්ම ධර්මපාලතුමාගේ නිවසට වැඩි හිමියෝ එතුමා හමුවීමේ බලාපොරොත්තුවෙන් සිටිය දී ධර්මපාල තුමාණන්ගේ දයාබර මෑණියන් වූ මල්ලිකා හේවා විතරණ මැතිනිය හමුවීමේ භාග්‍යය ලද්දහ. කුඩා ස්වාමීන් වහන්සේ දැකීමෙන් හා උන්වහන්සේගේ තොරතුරු අසා දැන ගැනීමෙන් පසු එම උදාර මාතාව මෙම කුඩා ස්වාමීන් වහන්සේ කෙරෙහි පුත්‍ර ස්නේහයෙන් යුතුව අනගාරික ධර්මපාලතුමාට උපදෙස් දුන්නේ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා සරණංකර හිමියන් ඉන්දියාව කැඳවාගෙන යන ලෙසය.


මෙසේ සරණංකර හිමියන් ඉන්දියාවට කැඳවාගෙන ගොස් හින්දි භාෂාව පිළිබඳ උසස් අධ්‍යාපනයක් ලබාදීමට ධර්මපාලතුමෝ කටයුතු කළහ. ඒ අනුව සරණංකර සාමණේර හිමියන් බෙංගාලයේ ශාන්ති නිකේතනය නම් මහා විද්‍යා පීඨයට ඇතුළත් කරන ලදී. ඉන්දියාවේ විසූ අසහාය කවියා වූ රවීන්ද්‍රනාත් තාගෝර් තුමාගේ මෙහෙයවීම යටතේ පැවති මෙම සරසවිය නිදහස් නිවහල් චින්තනයෙන් යුතු මානව වාදී මිනිසුන් තැනීමේ අරමුණෙන් යුතුව ආරම්භ කරන ලද්දක් විය.


මේ වන විට බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය පරාජය කර ඉන්දියාවට නිදහස ලබා ගැනීමේ අරගලය මහත්සේ උත්සන්නව පැවති යුගයයි. මහත්මා ගාන්ධිතුමාගේ නායකත්වයෙන් පැවති එම විමුක්ති සටනට ආධ්‍යාත්මික නායකත්වය ලබා දුන්නේ මහා කවි රවීන්දුනාත් තාගෝර් තුමාය. එවකට ඉන්දියාවේ පැතිර තිබුණේ ඉංග්‍රීසින්ගේ අනුග්‍රහය ලත් බටහිර අධ්‍යාපන ක්‍රමයයි. එහෙත් තාගෝර් තුමාට අවශ්‍ය වූවේ භාරතයේ පැරණි උසස් අදහස් රැක ගන්නා අතර පැරණි වුව ද මලකඩ අදහස් වෙනුවට බටහිර හෝ වේවා පෙර දිග හෝ වේවා උසස් නවීන විද්‍යාත්මක අදහස් ශිෂ්‍යයන්ට උගන්වා ඔවුන් වර්තමාන යුගයට සුදුස්සන් සේ හදා ගැනීමය.


තාගෝර්තුමා වැනි දැඩි අධිරාජ්‍ය විරෝධී චින්තකයෙකුගේ සෙවණේ අධ්‍යාපනය ලැබූ ගිහි පැවිදි තරුණ ශිෂ්‍යයෝ එතුමාගේ අදහස් ගුරු කොට ගත්හ.


භාරතයේ බෙංගාලය යනු විප්ලවවාදීන්ගෙන් ගහන බලවත් කොමියුනිස්ට් පක්‍ෂයක් ද සහිත ප්‍රදේශයක් විය. නිදහස් සටන ගාන්ධිගේ නායකත්වයෙන් අවි හිංසාව මුල්කරගෙන ක්‍රියාත්මක වුවද බෙංගාලයේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් වූවේය. බෙංගාලයේ ප්‍රතාපවත් නායකයා වූ සුභාෂ්චන්ද්‍ර බෝස් කියා සිටියේ ආයුධ සන්නද්ධ අරගලයක් මගින් බි්‍රතාන්‍යයන් පලවා හැරිය යුතු බවයි. එම මතයට එකඟ වූ ඇම්. ඇන්. රෝයි නමැති නායකයෙක්ද එහි විය. ඔහු මාක්ස්වාදය පිළිගත් විප්ලවවාදී ප්‍රතිපත්තිය කොටගත් සටන්කාමි නායකයෙකි. තාගෝර්ගේ අදහස්වලින් පන්නරය ලබා සිටි සරණංකර හිමියෝද මෙම විප්ලවවාදීන්ගේ අදහස්වලට සමීප වූහ. ඉන්දියානු නිදහස් සටනේ දී බොහෝ කොට මිනීමැරුම් හා ත්‍රස්තවාදී කටයුතු සිදු වූයේ බෙංගාල ප්‍රාන්තයේදීය. බි්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා ලෙස එකල කටයුතු කළ සයිමන් මහතා සහ එම ආර්යාවට කල්කටාවේ උසස් අධ්‍යාපන ආයතනයක උපාධි ප්‍රදානය කිරීමේ උත්සවයකට ආරාධනා කරනු ලැබීය. තම උපාධිය ලබා ගැනීමට ගිය වීණා දාස් ශිෂ්‍යාව තම ඇඳුමේ සඟවාගෙන තිබුණු පිස්තෝලය ගෙන ආණ්ඩුකාරවරයා සහ එම ආර්යාවට වෙඩි තබා මරා දැමුවාය. ඒ තම රට යටත් කරගෙන සිටීමට විරෝධය දැක්වීම උදෙසාය. ශාන්ති නිකේතනයේ අධ්‍යාපනය නිමවා කල්කටා විශ්ව විද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය ලබමින් සිටි සරණංකර හිමියෝ සමහර අවස්ථාවලදී මෙම රුඩිකල් තරුණ තරුණියන්ට සමහර අවස්ථාවලදී තම නේවාසිකාගාරයේ රහසිගතව රැකවරණය සැලසූ බවද කියා ඇත. මේ අයුරින් ක්‍රමානුකූලව විප්ලවවාදී දේශපාලන මගට අවතීර්ණව සිටි සරණංකර හිමියන්ට කල්කටාවේදී ලාංකික මිත්‍රයෙකු මුණ ගැසුණේය. ඔහු නම් බි්‍රතාන්‍යයේ අධ්‍යාපනය නිමවා බටහිර වෛද්‍යවරයෙකු ලෙස සමත්ව ලංකාවට එමින් සිටි දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ මහතාය. තම රටට ගොස් සමාජවාදී දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට දෙදෙනා කල්කටාවේදී එකඟ වූහ. දොස්තර වික්‍රමසිංහ ලංකාවට පැමිණි අතර සරණංකර හිමියෝ ඉන්දියාවේ නැවතුණහ.

 

 

මේ අතරවාරයේ ඉන්දියාවේ දී පොලිස් අත් අඩංගුවට පත් වූ සරණංකර හිමියන් තම ප්‍රතිපත්ති වලින් මිදී යටත් විජිත පාලනයට උදව් කරනුයේ නම් දියුණු වීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා දෙන බවට පොලිස් නිලධාරිහු පොරොන්දු දුන්හ. එහෙත් එය සිදුවූවේ තැන. පසුව බරණැස් විශ්වවිද්‍යාලයේද කලක් අධ්‍යාපනය ලැබීමට එම හිමියන්ට අවස්ථාව ලැබුණි.


“හිරගෙදර දේශපාලන විශ්වවිද්‍යාලයක්” යැයි කියනු ලැබේ. ඒ අනුව ඉන්දියානු බන්ධනාගාරයක දේශපාලන සිරකරුවෙකු ලෙස රඳවනු ලැබ සිටි සරණංකර හිමියෝ නිසැක කොමියුනිස්ට්වාදියෙකු බවට පත්ව සිටියහ. ඒ බන්ධනාගාර ගතව සිටි බොහෝ විප්ලවවාදී නායකයන්ගේ ආභාසය ලැබීම නිසාය. හිරගෙදර වසර කීපයක් ගත කිරීමේදී එම ස්වාමීන් වහන්සේගේ ඇස් පෙනීම දුර්වල විය. එම රෝගය අපවත්වීම දක්වාම උන්වහන්සේට පීඩා ඇති කළ බව මම පෞද්ගලිකව දනිමි. අවසානයේදී විශේෂ පොලිස් බළ ඇණියක රැකවරණය ඇතිව කල්කටාවට ගෙන ආ සරණංකර හිමියෝ නැවත ඉන්දියාවට නොඑන ලෙස තරයේ අවවාද කර ලංකාවට එවූහ. 
ඒ වන විට පිලිප් ගුණවර්ධන මහතා ලිපි මගින් හඳුනාගෙන සිටි සරණංකර හිමියෝ ලංකා සම සමාජ පක්‍ෂයට එක් වූහ.


සමසමාජ පක්‍ෂය යුද්ධය මුල් කරගෙන දෙකට බෙදී ගියේ ලංකා කොමියුනිස්ට් පක්‍ෂය නමින් නව බලවේගයක් බිහි කරමිනි. දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ මහතා කොමියුනිස්ට් පක්‍ෂයේ නායකයා ලෙස පත් වූ අතර සරණංකර හිමියන්ද එහි ප්‍රබලයෙකු වූවේය. බි්‍රතාන්‍යය සහ එම අධිරාජ්‍යයත් පැසිස්ට් වාදී හිට්ලර්ගේ කඳවුරත් අතර ඇති වූ යුදමය ගැටුම ගැන සමසමාජ පක්‍ෂය තුළ තිබුණේ දැඩි විරෝධයකි. එයට හේතු වූයේ බි්‍රතාන්‍යය ලංකාව යටත් විජිතයක් වශයෙන් පාලනය කරන තත්ත්වයක් හමුවේ බි්‍රතාන්‍යයේ යුද්ධයට සහාය දීම සමසමාජය විසින් ප්‍රතික්‍ෂේප කර ලද බැවිනි. මෙය මෙරට පාලනය කළ බි්‍රතාන්‍ය අධිකාරීන්ගේ දැඩි කෝපයට හේතුවිය. සම සමාජ පක්‍ෂය නීති විරෝධී බවට ප්‍රකාශ කර එහි නායකයන් අත් අඩංගුවට ගැනීමට ඔවුහු කටයුතු කළහ. මේ වන විට කොමියුනිස්ට් පක්‍ෂය යනුවෙන් වෙනත් පක්‍ෂයක් වශයෙන් බෙදුණේ රුසියාව යුද්ධයට සම්බන්ධවීම හේතු කොට ගෙනය. ඔවුහු යුද්ධයට පක්‍ෂ වූවේ කොමියුනිස්ට්වාදීන්ගේ පරමාදර්ශය වූ සෝවියට් රුසියාවට එරෙහිව යුද්ධය මෙහෙයවීම නිසාය.


මෙසේ යුද්ධයට විරුද්ධව ගාල්ලේ තිරාණගම දී පැවති රැස්වීමකදී ප්‍රකාශයක් කරන ලදැයි චෝදනා ලබා උඩකැන්දවල සරණංකර හිමියන් අත් අඩංගුවට ගන්නා ලදුව නඩු පවරනු ලැබීය. එහි ප්‍රතිඵලයක් වශයෙන් උන්වහන්සේට සිර දඩුවම් නියම වූ අතර ගාල්ල බන්ධනාගාරයේ රඳවා තබන ලදී. හිර ගෙදර තුළට ගිය සරණංකර හිමියන්ට ඇසුණේ ‘රෙදි ගලවාපන්” යනුවෙන් කෙරුණු ගෝරනාඩුවකි. එය කාට කී කථාවක්දැයි නොදත් හිමියෝ වටපිට බලන විට දුටුවේ බන්ධනාගාර නිලධාරියෙකු රවාගෙන සිටින ආකාරයයි. එය කීවේ කාටදැයි හිමියෝ විමසූහ. ‘තමාට’ යැයි නිලධාරියා දැඩි හඬකින් යුතුව පිළිතුරු දුන්නේය. ඒ ඇසූ සරණංකර හිමියෝ ‘රාළහාමි මේවා රෙදි නොවේ. මේවා සිවුරු මේවා ඇන්දෙ බොහොම ගරු සරු ඇතිව. මේවා ගලවන්නෙත් එවැනිම ගරු සැලකිලි ඇතිවයි. මේවා මංකොල්ලකාරයන්ගේ හෝ ගණිකාවන්ගෙ රෙදි ගලවන විධියට ගලවන්න බැහැ” යැයි පැවසූහ. මෙහෙ ඔය ලොකුකම් බැහැ. කොච්චර ලොක්කෙක් ආවත් දොර ළඟට විතරයි ලොකුකම්, එතැනින් එහාට ආවානම් කතා බැහැ. අපි කියන එක කරන්න ඕනෑ. ගලවනවා ඇඳගෙන ඉන්න රෙදි. අඳිනවා හිර ඇඳුම්. නැත්නම් හුඟක් ඇඟ රිදෙනවා ඇති” නිලධාරියාගේ පිළිතුර විය.


වෙන්න පුළුවන්. මට ඒක ගැන තමුසෙලා එක්ක වාද කරන්ට දෙයක් නෑ. මේ සිවුර පෙරෙව්වෙ මහ උත්සව සහිතව. මේවා ගලවන්නත් එවැනිම උත්සව නැතත් සැලකිලි තිබෙන්ට ඕනෑ. එබැවින් මගේ සිවුරු ගලවන්නට නම් ඊට පෙර අපේ මහානායක හාමුදුරුවොත් ගිහි බෞද්ධ නායකයෙක් විදිහට පිළිගත් ස්වදේශ කටයුතු භාර අමාත්‍ය සර් ඩී. බී. ජයතිලක මහත්තයාත් මට හමුවෙන්න ඕනෑ. එහෙම නැතිව මා සිවුරු ගලවන්නෙත් නැහැ. කාටවත් ගලවන්න දෙන්නෙත් නෑ. එහෙම නැතිව ගලවනවා නම් තමුසෙලගේ වැඩක්. ඒත් ඊට පසුපසින් මතුවන අනිත් කරදර ගැන තමුසෙලා වග කියන්න ඕනෑ.


නිලධාරියා ඇසුවේ “මොකද හාමුදුරුවො හිර ගේ කඩන්න ද?” කියාය.


එහෙම වෙන්නත් බැරි නෑ. ඒත් මගේ සිවුරු බලෙන් ගලවපු හැටියේ මම මෙතනම උපවාසයක් පටන් ගන්නවා, හාමුදුරුවෝ කීහ. නිලධාරිහු ආපසු ගියහ. මෙවැනි තත්ත්වයක් උදාවන බව සරණංකර හිමියෝ මුල සිටම දැන සිටියහ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් වැඩ පිළිවෙළක් සුදානම් කිරීමට ද එතුමෝ අමතක නොකළහ. ඒ නිසා කලින්ම මෙම වැඩ පිළිවෙළ ගැන සිංහල බලය පුවත්පතේ කතෘ හේමපාල මුනිදාස මහතාට ද කියා තිබුණි. මෙම පුවත් පත එකල පැවති දේශපාලන පක්ෂයක් වූ සිංහල මහා සභාවේ නිල පුවත්පත විය. සිංහල මහා සභාවේ නායකයා වූවේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ වේයන්ගොඩ මන්ත්‍රී සහ ඇමතිවරයෙකුද වූ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාය. සරණංකර හිමියන්ගේ ක්‍රියා මාර්ගය අනුමත කළ හේමපාල මුනිදාස මහතා කියා ඇත්තේ “හාමුදුරුවනේ එහෙම දෙයක් සිදු වූණොත් (උපවාසය ඇරඹුවොත්) කුමන හෝ ක්‍රමයකින් තමාට දන්වන ලෙසය.” මේ ගැන ජනතා අවධානය ලබාදීම තමා භාර ගන්නා බවය. අවසානයේ ස්වදේශ කටයුතු භාර අමාත්‍ය සර් ඩී. බී. ජයතිලක මහතාගේ නිර්දේශය අනුව චීවරයෙන් සැරසී සිරගෙදර විසීමට හිරගෙදර බලධාරින් තමාට අවසර දුන් බව මෙයට පනස් වසරකටත්  එහා අතීතයේ දිනක උන්වහන්සේ මා සමග ප්‍රකාශ කළහ.


එදත් අදත් කවදත් නීතියත්, නිලධාරිනුත් වින්දිතයනුත් කටයුතු කරන්නේත් හැසිරෙන්නේත් එකම ආකාරයට බව අපට වටහා ගත හැක. ඒ යටත් විජිත යුගයේ එහෙමය. මේ නිදහස් යුගයේ මෙහෙමය. අපි බලා සිටිමු.

 

 

 

 

 

සෝමසිරි 
වික්‍රමසිංහ