ශ්‍රේෂ්ඨ අරගලයේ පිය සටහන්....-2

 

පොලිස් ස්ථාන 43 ක් අත හැර තාවකාලිකව පසු බැසීමට පොලීසියට සිදු විය. රට පුරා පොලිස් බල ප්‍රදේශ 35 ක පාලනය සටන් කාමී තරුණයන් අතට පත් වූ අතර විශේෂයෙන් කතරගම, දෙනියාය, වරකාපොළ, ඇල්පිටිය වැනි ප්‍රදේශ දින කිහිපයක් සටන්කාමීන් අතට පත්ව තිබුණි. සටන්කාමීහු නායක රෝහණ විජේවීර බේරා ගැනීමට සිරගෙදරට පහර දුන්න ද එම උත්සාහය සාර්ථක නොවීය. එසේම අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායකගේ නිල නිවහන වූ අරලියගහ මැදුර ඇතුළු රජයේ තීරණාත්මක මර්මස්ථානවලට පහර දීමට සැලසුම් සකස් කර තිබුණද ප්‍රහාර එල්ල කිරීමට සටන්කාමීන්ට හැකි වූයේ නැත. සටන්කාමීන් ප්‍රහාර එල්ල කරමින් දින කිහිපයක් ගත කළත් රජයේ ආරක්ෂක අංශ උපක්‍රමශීලීව ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ජ.වි.පෙ. උත්සාහය ව්‍යර්ථ කිරීමට කටයුතු කළේය. 


සටන්කාමීන් ක්‍රමවත් අවි පුහුණුවක් හෝ දිගුකාලීන සටන් පුහුණුවක් හෝ ලැබූ අය නොවූහ. එවැනි ක්‍රමවත් අවි පුහුණුවකට එම වකවානුවේ ඉඩක් ද නොවූ අතර බොහෝ දෙනෙකුට තිබුණේ අවි හැසිරවීම පිළිබඳ සරල දැනුමකි. එමෙන්ම යුද විද්‍යාව ගැන හෝ යුද කලාව පිළිබඳව දැනුමක් නොතිබූ අතර තරුණයන් ප්‍රහාරය සඳහා භාවිතා කළ අවි ද ඉතාම ප්‍රාථමික වර්ගයේ ඒවා විය. එකතුකරගත් පතොරම් තුවක්කු හා තමන් විසින් නිපදවා ගත් අත්බෝම්බ ඔවුන්ගේ අවි විය. ඒවා ක්‍රියාකාරීත්වය අතින් ද ඉතා දුර්වල ඒවා බව අරගලයේ සිදුවීම් වලින් සනාථ විය. ඒ කෙසේ වුවද පටු අරමුණු තිබූ කිහිප දෙනකු හැරෙන්නට ඔවුන් සතුව තිබූ ධෛර්ය, අධිෂ්ඨානය, සටන්කාමීත්වය හා කැප කිරීම ඉතාම ඉහළ මට්ටමක පැවතිණි. පොදු අරමුණක් වෙනුවෙන් එනම් මානව වර්ගයාට වඩා යහපත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා එසේම ඔවුහු තම අරමුණ වෙනුවෙන් දිවි පිදීමට ඉදිරිපත් වූ සැබෑ මිනිසුන් වූහ. 


අප්‍රේල් නැගිටීම දින කිහිපයක් තුළ පරාජයට පත් වන විට පොලීසිය හා හමුදාව තරුණ තරුණියන් 10,000 ක් පමණ මරා දමා තිබුණු අතර 20,000 ක් පමණ සිරගත කරන ලදී. මෙසේ මරා දැමූ තරුණ තරුණියන්ගෙන් සටනේදී මිය ගොස් තිබුණේ ඉතා සුළු ප්‍රමාණයකි. සාතිශය බහුතරය මියගියේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව විවිධ වධ හිංසාවලට භාජනය කොට මරා දැමීම හේතුවෙනි. මෙහිදී එවක පැවති ආණ්ඩුව අත්අඩංගුවට පත් වූවන් ඝාතනය කොට පොදුවේ යුද නීතිය ද උල්ලංඝනය කළ අතර මරා දැමූවන් ගංගාවල පාකර හරිමින් හා මහ මඟ පුලුස්සා දමමින් තම ම්ලේච්ඡත්වය ප්‍රදර්ශනය කළේය. නමුත් අරගලයට දායක වූ ජවිපෙ තරුණ පිරිස් සටන තුළ සිය වීරත්වය ප්‍රදර්ශනය කළහ. 
1971 අප්‍රේල් නැගිටීම තරුණ සංහාරයන් මගින් පරාජය කළ සමගි පෙරමුණු ආණ්ඩුව අත්අඩංගුවට ගෙන තිබූ නඩු පැවරිය නොහැකි ඒ නිසාම නිදහස් කළ යුතු වන අය නිකම්ම නිදහස් කරනවා වෙනුවට ආණ්ඩුව ඔවුනට ‘වරද බාර ගැනීමට’ බල කළේය. නිදහස් වීමේ අවශ්‍යතාවයෙන් පෙළුණු එවැනි බොහෝ දෙනා නිදහස් වීම සඳහා වරද පිළිගත්හ. නොමඟ ගිය කැරලිකරුවන් ලෙස නම් කරමින් ඔවුන්ව ඊනියා පුනරුත්ථාපන කඳවුරුවලට යවන ලදී. මේ අතරම ආණ්ඩුව අප්‍රේල් අරගලයේ නඩු ඇසීම ද ඇරඹූ අතර සාමාන්‍ය නීතිය යටතේ නඩු පැවරුවහොත් රඳවාගෙන සිටින සියලු දෙනා නිදහස් කිරීමට සිදු වන බව දැන සිටි ආණ්ඩුව අප්‍රේල් නඩුව සඳහා වෙනමම අධිකරණයක් පිහිටුවීය. ඒ අපරාධ යුක්ති විනිශ්චය කොමිසන් සභාවයි. සභාපතිවරයා සහ කොමසාරිස්වරුන් 04 දෙනෙකු ඇතුළු පස් දෙනෙකුගෙන් කොමිසම සමන්විත විය. කොමිසමේ සභාපති වූයේ අගවිනිසුරු එච්. එන්. ජී. ප්‍රනාන්දු මහතාය. සෙසු සාමාජිකයන් වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් වූ ඒ. සී. අලස්, තාමෝදරන්, දෙහෙරගොඩ හා රාජ රත්නම් යන මහත්වරුන්ය. රාජ රත්නම් මහතා අසනීප වූ නිසා ඔහු වෙනුවට ඩී. විමලරත්න විනිශ්චයකාරවරයා පත් කළ අතර ඔහු දිගටම කොමිසම තුළ කටයුතු කළේය. 


රෝහණ විජේවීර ද ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවරයා වශයෙන් අපරාධ යුක්ති විනිශ්චය කොමිසන් සභාව හමුවට පමුණුවන ලදී. කැරලිකරුවන් 41 දෙනෙකු සැකකරුවන් ලෙස කොමිසම හමුවට කැඳවනු ලැබූ අතර රෝහණ විජේවීර 13 වැනි සැකකරු විය. 41 ක් වූ මහ නඩුවේ සැකකරුවන්ට එරෙහිව කොමිසම හමුවේ චෝදනා නැගුණු අතර එම චෝදනා වූයේ, 


1. මහ රැජිණට එරෙහිව කුමන්ත්‍රණය කිරීම 

2. ලංකා ආණ්ඩුව බලහත්කාරයෙන් පෙරළා දැමීමට කුමන්ත්‍රණය කිරීම 

3. රටේ විවිධ පළාත්වලදී මහ රැජිණට එරෙහිව යුද වැදීම 

4. මහ රැජිණට එරෙහිව යුද්ධ කිරීමට අනුබල දීම යන චෝදනාය. 

 


රෝහණ විජේවීර මෙම ඓතිහාසික නඩුව සඳහා කිසිම නීතිඥයෙකුගේ සහාය නොලබමින් තමාම පෙනී සිටියේය. ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පමුණුවනු ලැබූ අය 5 දෙනෙකු වූ අතර රෝහණ විජේවීර ද ඔවුන් අතර විය. අපරාධ යුක්ති විනිශ්චය කොමිසන් සභාවේ නඩු විභාගය 1972 අගෝස්තු 10 වැනිදා ආරම්භ වූ අතර 1974 සැප්තැම්බර් 02 දින අවසන් විය. නඩුව අවසන් වන විට පිටු 12,000 ක නඩු වාර්තාවක් ගොනු වී තිබිණි. 


1977 දී බලයට පැමිණි ජේ. ආර්. ජයවර්ධන රජය අපරාධ යුක්ති විනිශ්චය කොමිසන් සභා පනත අවලංගුකොට ඒ යටතේ දඬුවම් විඳිමින් සිටි සියලු සිරකරුවන් නිදහස් කරන ලදී. මේ නිදහස් කිරීම් ආන්දෝලානාත්මක සිද්ධියක් වූ අතර ඒ අනුව විනිමය වංචාවකට අපරාධ යුක්ති කොමිසන් සභාව ඉදිරියේ නඩුවලට හසු වූ එ.ජා.ප. ආධාරකරුවන් නිදහස් කර ගැනීමට එකී කොමිසම අහෝසි කිරීම හේතුවෙන් 71 කැරැල්ලේ දේශපාලන සිරකරුවන් නිදහස් වූ බව පැවති මතය විය. කෙසේ වුවද 1977 නොවැම්බර් 02 දින රෝහණ විජේවීර නිදහස් කරන ලදී. 


1971 අප්‍රේල් අරගලය තුළ තිබෙන්නේ, ජීවිත දහස් ගණනක් මහපොළව සිපගත් මහා මිනිස් මැදිහත්වීමයි. ඒ අනුව අප්‍රේල් අරගලය නිවහල් දේශයක් වෙනුවෙන් සටන් කළ මිනිසුන් හා ගැහැනුන්ගේ ශ්‍රේෂ්ඨ පරාජයක් වුවද, ඒ තුළින් ලාංකේය සමාජයට ලබා දුන් ධෛර්ය සහ ආදර්ශ අපමණය.

 

 


එම්. තාරික්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි