බුද්ධාගම සහ දේවාලගම් ආරක්ෂා කරන බවට 1815 මහනුවර ගිවිසුමෙන් රටට පොරොන්දු වූ ඉංග්‍රීසිහු එම උණුසුම පහවෙන්නට මත්තෙන් කුඩාපොළ උන්නාන්සේ වැනි ජාතිහිතෛෂී එඩිතර හිමිවරු සිවුර පිටින්ම වෙඩි තබා මරා දැමීමට තරම් ම්ලේච්ඡ වූහ.


මුළු රටම බි්‍රතාන්‍ය කිරීටයට පවරාදෙන ගිවිසුම අත්සන් කරන්නට පෙර ඉංග්‍රීසි ධජය එසැවීමට තරම් උඩඟුවූ ඉංග්‍රීසීන්ට එරෙහිවූ වාරියපොල සුමංගල හිමියෝ ඉංග්‍රීසි ධජය පහත හෙළා යළි සිංහ කොඩිය එසවීමට තරම් නිර්භීත වූහ. ඒවේලෙහි කෝපයට පත් ඉංග්‍රීසි භටයෝ ගිනිඅවි අමෝරා ගත්තේ එ හිමියන් ඝාතනය කිරීමටය.


සිංහල ජාතියත් බෞද්ධාගමත් අතර ගහට පොත්ත මෙන් ඇති සබැඳියාව වටහාගත් පරගැති පාලකයෝ මෙම දෙපිරිස ඇවිළවීමට භේද කිරීමට සිරගත කරන්නට හා මරාදමන්නට නොයෙක් උගුල් ඇටවූහ.


සිංහලේ රජු සිංහලයකු නොවූ වකවානුවල බෞද්ධ පොතපත, විහාර සංකීර්ණ පමණක් නොව භික්ෂූන්වහන්සේද විනාශ කරන්නට නියෝග දුන් අතර උන්වහන්සේලාගේ සිවුරු ගලවා දසවධබන්ධනයට ලක් කර පිටුවහල් කළ අවස්ථාද ඉතිහාසයේ ඇත.


ලංකා ඉතිහාසයේ රජුට අවවාද අනුශාසනා දෙමින් රටට බලපාන සතුරු ආක්‍රමණ හා රාජාභිෂේකය වැනි අවස්ථාවලදී රජුට හා බළසේනාංකයට අනුශාසනා කරමින් පිරිත් සජ්ඣායනා කරමින් රාජ්‍යයට සුදුසුම කුමරා පවා තෝරාදෙමින් අවශ්‍යම විටක සිවුරු තාවකාලිකව ගලවා තබා යුද පිටියට පවා යමින් භික්ෂූන් වහන්සේ න්‍යායික හා ප්‍රායෝගිකව කටයුතු කළ අවස්ථා බොහෝය.


බෞද්ධ ඉතිහාසයේ රජුන් හා භික්ෂූන් අතර පැවති සහසම්බන්ධතා මෙන්ම විරසකවීම් ගැනද ඕනෑ තරම් තොරතුරු හමුවේ. රටේ යුක්තිය පසිඳලීම සඳහා රජු භික්ෂූන් වහන්සේලාගේ සහයෝගය ඉල්ලා සිටි අවස්ථාද අවසන් තීන්දුව මහා සංඝරත්නයට පැවරූ අවස්ථාද හමුවන අතර භික්ෂූන් විනයකර්ම සඳහා වෙනමම සංඝාධිකරණ පැවැති බවද නොරහසකි.


 

භාතිකාභය රජ සමයේ ගෝදත්ත නම් භික්ෂුව විනය ගැටලු විසඳීමෙහිලා දැක්වූ කෘතහස්තභාවය දැක රජුද විමතියට පත්විය. පක්ෂග්‍රාහී නොවී තත්වැසි නුවණින් මෙන්ම යුක්තිය පසිඳලීමේ ඥානයෙන් යුතුව අධිකරණය නිසිලෙස හැසිරවූ ගෝදත්ත හිමියන් රජු විසින් ප්‍රධාන රාජ්‍ය විනිසුරු පදවියට පත්කළ බව පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති.


භික්ෂූ විනය හා සම්බන්ධ කාරණා හෝ භික්ෂු ආරවුල් හෝ විහාරස්ථානවල ගැටලු විසඳීම සඳහා අධිකරණ විනිශ්චය අධිකාර හෝ ආයතන පිහිටුවීම නීතියෙන් විධිවිධාන සැලසිය හැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ංඩ පරිච්ඡේදයේ 105.4 ව්‍යවස්ථාවේ ඇතුළත් වේ. සංඝාධිකරණ ලියාපදිංචිය සඳහා කතාබහක් මෙරටේ දිගුකලක සිට ඇතිවී තිබිණ.


දැනට ක්‍රියාත්මක කළ යුතුව ඇති බුද්ධ ශාසන පනත, විහාර දේවාලගම් පනත, දසසිල් මාතා පනත හා ග්‍රන්ථ නියාම පනත සම්මත නොවීම විශාල අඩුපාඩුවක් බව අස්ගිරි පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.


සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ සමයේ සියම් නිකායික මහ සඟරුවන වෙනුවෙන් පනත් කෙටුම්පත් නිර්මාණය විය. මල්වතු අස්ගිරි හා කෝට්ටේ පාර්ශ්ව එක්වී සැකසූ පනත අදටද ගැළපෙන බව පෙනේ. භික්ෂූ ගැටලුවලදී සියලු නිකායික මහා නා හිමිවරුන් සම්මුතියකට එළැඹ කටයුතු කිරීම වැදගත්ය.


බෞද්ධ රටක් වන තායිලන්තයේ පාලකයා බෞද්ධයකු වන අතර සංඝ සංස්ථාව පාලනය කරන්නේ සංඝ රාජ කෙනෙකි. සාමාන්‍ය පොලිසිය අමතරව භික්ෂු විනය පොලිසියක්ද වන අතර භික්ෂු විනය විරෝධී කටයුතුවලදී අත්අඩංගුවට ගෙන සංඝරාජ හිමි ප්‍රධාන මණ්ඩලයට භාරදී යුක්තිය පසිඳලයි.


වැරදිකරු බවට නිගමනය වුවහොත් සිවුර ඉවත්කර රජයට භාරදෙන අතර රජු හෝ අධිකරණයෙන් ක්‍රියාදාමයට සංඝාධිකරණය ඇඟිලි නොගසයි. එම ක්‍රමය බෞද්ධ රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවටද ගැළපෙන බවට මතවාද පළවිය.


1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ද සංඝාධිකරණයක් සඳහා බලතල දී ඇතත් එය වසර ගණනාවකින් ක්‍රියාත්මකවී නොමැති බව සඳහන් කරන හෑගොඩ විපස්සී හිමියෝ එය ක්‍රියාත්මක වූවා නම් මේ රටේ සිදුවන පුරාවස්තු කොල්ලයද නතරවී එම භූමි පවා රැකෙන බව මාධ්‍යයට පවසා තිබිණ.


චීනයේ භික්ෂුවක් තවත් කෙනෙකුට බැණ වැදුණොත් එය සැලකෙන්නේ ඕමසවාදේ පාචිත්තයක් ලෙසය. එම වරද පිළිගෙන තවත් උපසම්පදා භික්ෂුවකට පාපෝච්චාරණය කර ඉන් මිදිය හැකිය. එම අපහාසය ජාති නාමගොත්ත කර්ම සිප්ප ආබාධාලිංග යනුවෙන් ප්‍රභේද කොට ඇත.


භික්ෂුව අනුශාසනා කිරීමටත් පාංශුකූලය පිළිගැනීමටත්, ඡන්දය දිනාගැනීමටත් සීමාකර තිබූ යුගය අවසන් කරමින් 1956 දී බිහිවූ මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුව හෙවත් අගමැති බණ්ඩාරනායක මැතිඳු සමයේ භික්ෂුව පංච මහා බලවේගයේ මුදුන් මල්කඩ ලෙස නම් කරන ලදී. සඟ - වෙද - ගුරු - ගොවි - කම්කරු යන එම ජන බලවේගය රටේ සංවර්ධනයටද එතැන් පටන් දායක කරගන්නා ලදී.


එසේ බුදු සසුනේ චිරස්ථිතියට මහඟු සේවාවක් කළ බණ්ඩාරනායක අගමැතිතුමා ඝාතනයට සැලසුම් කිරීම ගැනත් එතුමා ඝාතනය කිරීම ගැනත් චෝදනා නැගුණේ කැලණි රජමහා විහාරාධිපති මාපිටිගම බුද්ධරක්ඛිත හා ආයුර්වේද වෛද්‍යවරයකු වූ තල්දූවේ සෝමාරාම ඇතුළු පිරිසකටය. බුද්ධ චීවරයට මුවාවී අගමැති බණ්ඩාරනායක ඝාතනය කිරීම පිළිබඳව ජනතාව තුළ පවතින වේදනාව හා කුතුහලය තවමත් පහවී නැත.


මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනාටම මරණීය දණ්ඩණය හා සිරගෙය නියම වූයේ එතෙක් පැවති නීති පද්ධතියේ වෙනසක් කරමින් දිගු කලක් තහනම්ව තිබූ එල්ලුම්ගහ හෙවත් පෝරකය සෝමාරාම වෙනුවෙන් ක්‍රියාත්මක විණ.


මෙහිදී අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීමේදී නිලධාරීන් මුහුණ පෑ බලවත්ම අභියෝගය වූයේ චෝදනාවට වරදකරු වුවද බුද්ධ චීවරය පිටින්ම එම දඬුවම් ලැබීම සසුනට අගෞරවයක් යන මතයයි. සුද්දාගෙ කාලෙ සිවුර පිටින්ම හාමුදුරුවරුන් මැරුවට දඟගෙයි දැමීමට බෞද්ධ පාලනයක් යටතේ එහෙම කිරීම හරි නෑ.


එහෙත් බන්ධනාගාර සම්ප්‍රදාය වන්නේ දඬුවම් ලබන තැනැත්තා කුමන තරාතිරමක අයකු වුවද සිරගෙදරදී ජම්පරය ඇඳ නියම කරන දඬුවමට මුහුණ දිය යුතු බවයි.


පන්සලේ ඇඳුම සිවුර වුණාට මහඋළුගෙදර ඇඳුම ජම්පරේනේ ජේලර්වරු මිමිනූහ.


තල්දුවේ සෝමාරාම එල්ලා මැරීමට පෙර සිරගත කෙරුණේ සිවුර ඉවත්කරය. එසේම ඔහුගේ අන්තිම කැමැත්ත වූයේ බුද්ධාගම අත්හැර කිතුණු ආගම වැළඳ ගැනීමය. ඒ නිසා කිතුණුවකු ලෙස ඔහු භෞතිෂ්ම කෙරිණ. එල්ලුම් ගසට නැංවුණේද ගිහි ඇඳුම පිටිනි.


එහෙත් බණ්ඩාරනායක ඝාතනයේ ප්‍රධාන මොළකරු ලෙස සැලකෙන මාපිටිගම බුද්ධ රක්ඛිත ස්ථවිරයන්ට දිවි ඇති තෙක් සිරදඬුවම පසුව නියම වූ අතර ඔහු මියයන තුරුම බරපතළ සිරදඬුවම වින්ඳේ ජම්පරය ඇඳ ගෙනය. ඔහු සමග තවත් චූදිතයකු වූ ජයවර්ධන ද විය. ඔවුහූ හිරගෙදර රෙදි පිරිසුදු කිරීමේ අංශයේ වැඩ කළහ.


දේශපාලන හේතු නිසා වරදකරුවන් වී සිරබත් කෑ භික්ෂූහු රැසක්ද වූහ. ඉංග්‍රීසි යුගයේ පමණක් නොව නිදහස ලැබූ පසුද එහි අඩුවක් නොවීය. උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ සුද්දාට එරෙහිව වාමාංශික බලවේගවලට උදව් කළ පාපයට වරදකරුවී සිරබත් කෑහ. ඒ රාජද්‍රෝහී චෝදනා මතය. ඒ පිළිබඳ උන්වහන්සේ ලියූ සටනක සටහන් ග්‍රන්ථයේ මෙම තොරතුරු මනාව දැක්වේ.


හේන්පිටගෙදර ඤාණසීහ හිමියන්ද වියත් ධර්මධර එසේම සටන්කාමී චරිතයක් ලෙස මෑත දේශපාලන ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙයි. 1966 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරළා දමන්නට කුමන්ත්‍රණ කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරයේ රඳවන්නට නියෝග ලැබිණ.


භික්ෂූන්ට නඩු පවරා වරෙන්තු නිකුත් කර අත්අඩංගුවට ගත් පමණින් භික්ෂූත්වය කෙලෙසෙන්නේ හෝ පාරාජිකාවන්නේ නැත. එම චෝදනා මනා ලෙස ඔප්පු විය යුතු අතර වරදකරු ලෙස නම් කර සිරගත කළද චූදිත භික්ෂුව එම තීන්දුවට එරෙහිව අභියාචනයක් කළේ නම් එතෙක් දඬුවම ක්‍රියාත්මක නොවන බැවින් ජම්පරය ඇඳීම ඊට බලනොපාන බව පැහැදිලිය.


මෑතකදී භික්ෂු ආරවුල් විශ්වවිද්‍යාල අරගල හා සිවිල් නීති කඩකිරීම් වැනි චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කළ භික්ෂූන්ට සිරබත් කෑමට සිදුවූයේ ජම්පරය ඇඳීමෙන් තොරවය. ඔවුන්ට ඇප ලබාදුන් පසු නැවත නඩු විභාග වන තුරු මහඋළුගෙදරට නොපැමිණෙති.


එහෙත් වෙනස් අපරාධ චෝදනා නිසා වරදකරුවන්වූ භික්ෂූන් රැසක් වෙනත් හිරකරුවන්සේම ජම්පරය හැඳ බර වැඩෙහි යොදවා තිබීම ඊට වෙනස්ය. පසුගියදා අත්අඩංගුවට ගෙන වරදකරු කළ ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ට බරපතළ සිරදඬුවම් නියමවූ අතර උන්වහන්සේට නගා තිබූ චෝදනාව වූයේ අධිකරණය තුළ ඊට අපහාස වන පරිදි හැසිරීම මිස අපරාධ චෝදනාවක් නොවේ.


එනිසාම එහිමියන් කළ අභියාචනය විභාග වී අද වන විට ඇප මත මුදාහරිනු ලැබ ඇත. ඒ සමගම ජම්පර් ඇඳීමේ ආන්දෝලනාත්මක ගැටලුවද එක්තරා දුරකට නිරාකරණය වී ඇත. ඉදිරි නඩු තීන්දු අනුව එහි ප්‍රතිඵල වෙනස්වනු ඇත.


අධිකරණ සංඝනායක වැනි තනතුරු නාමයට පමණක් සීමා නොවූ සංඝාධිකරණයක දැඩි අවශ්‍යතාව මෙම සිද්ධිය නිසාද ඉස්මතුවී පවතී. දේශපාලනඥයන්ගේ ඇඟිලි ගැසීමකින් තොරව ක්‍රියාත්මක වන සංඝාධිකරණයක් මෙරටට ලැබීම ජනතා ප්‍රාර්ථනයයි.

 

 

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි