‘71 තරුණ නැගිටීමට වසර 48යි

 

 

ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික දේශපාලන ගමන් මඟ වෙනස් කළ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස 1971 අප්‍රේල් අරගලය හැඳින්විය හැකිය. 1971 අරගලයට නායකත්වය දෙනු ලැබුවේ රෝහණ විජේවීර විසින් ආරම්භ කරන ලදුව එවකට සය වසරක්වත් සම්පූර්ණ කර නොතිබූ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. නිදහසින් පසු සන්නද්ධ අරගලයක් මගින් රාජ්‍ය බලය ලබා ගැනීමට දැරූ ප්‍රථම උත්සාහය අවසන් වූයේ  “ශ්‍රේෂ්ඨ පරාජයකින්ය”. ඒ අනුව 1971 අප්‍රේල් අරගලය සිදුවී මේ වන විට වසර 48 ක් සපිරෙන අතර මේ ඒ “ශ්‍රේෂ්ඨ පරාජය” පිළිබඳව ලියැවෙන සටහනකි. 


අප්‍රේල් අරගලය සිදු වන අවස්ථාව වන විට ද රෝහණ විජේවීර සිටියේ යාපනය බන්ධනාගාරයේය. රෝහණ විජේවීර 1971 මාර්තු 13 දින පස්වරුවේ අම්පාරේදී අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහු සමග කෙලී සේනානායක, නිශ්ශංක ප්‍රේමරත්න, ලාල් සෝමසිරි හා ඇල්පිටියේ ඒ ප්‍රේමතික ද අත්අඩංගුවට ගන්නා ලදී. ප්‍රේමරත්න හා ලාල් සෝමසිරි 1971 මාර්තු 31 දින කල්මුණේ උසාවියට ඉදිරිපත් කළ විට ඇප පිට නිදහස් විය. ලාල් සෝමසිරි පවසන පරිදි විජේවීර කැරැල්ල ආරම්භ කිරීමට දිනයක් හා වේලාවක් තීරණය කර පහර දෙන ලෙසට පණිවිඩයක් කීවේ නැති බවත් විජේවීර කියා ඇත්තේ පහර දෙනවා නම් 500 ක පමණ පිරිසක් තමා නිදහස් කර ගැනීමට එවන ලෙස සනත්ට හා පියතිලකට දන්වන ලෙසය. 


1971 කැරැල්ලේ මහ නඩුවේ 21 වන විත්තිකරු වූ ඔස්මන්ඞ් ද සිල්වා ගේ මව වන සීලවතී ද සිල්වා කියා සිටියේ, යාපනය හිරගෙදර දී තමා විජේවීර බැලීමට ගිය අවස්ථාවේදී “පහර නොදී භේද අත හැර කටයුතු කරන මෙන් රෝහණ විජේවීර දුන් පණිවිඩය තමා සනත් හා ලොකු අතුලට දැනුම් දුන්” බවය. 


රෝහණ විජේවීර අත්අඩංගුවට ගෙන හදිසි නීති රෙගුලාසි යටතේ යාපනය බන්ධනාගාරයේ රඳවා තැබීමත් සමග පක්ෂයට ලැබුණු නායකත්වය දුර්වල විය. පක්ෂය තුළ නිර්මාණය වී තිබූ අවස්ථාවාදී කල්ලියට මෙය සිය අරමුණු සඳහා හොඳ අවස්ථාවක් වූ අතර ඔවුහු සිය පටු වුවමනාවන් වෙනුවෙන් යොදාගැනීමට කටයුතු කළහ. ඒ අනුව ආණ්ඩුවද සිය මර්දනය නොකඩවා උත්සන්න කළේය. මෙලෙස මර්දනය සිදුවෙමින් තිබියදී මෙම තත්ත්වය තුළ ලොකු අතුල ඇතුළු පිරිසක් සන්නද්ධ නැගිටීමට දින නියම කළේය. 
1971 මාර්තු 30 හෝ 31 වැනි දිනවල ලොකු අතුල ඇතුළු කිහිප දෙනෙකු එක් වී 1971 අප්‍රේල් 05 වැනිදා අලුයම පහර දීමක් සඳහා තීරණය ගෙන තිබිණි. නමුත් ලොකු අතුලගේ කල්ලියට සම්බන්ධ නොවූ කොළඹ දිස්ත්‍රික් ලේකම් ලෙස කටයුතු කළ ලයනල් බෝපගේ නුවර පාර ලෙස නම් කර තිබූ පෑලියගොඩ ප්‍රදේශයේ නායකත්වය දැරූ ජයදේව උයන්ගොඩ, මාතර දිසා ලේකම් සුසිල් වික්‍රම ආදී නායකයන් සම්බන්ධ කර නොගෙන පහර දීම සාර්ථක කර ගත නොහැකි බව ලොකු අතුල තේරුම් ගෙන සිටියේය. ඒ අනුව ලොකු අතුල විසින් නැවත සාකච්ඡාවක් කැඳවනු ලැබීය. එය ජනතා විමුක්ති පෙරමුණු ඉතිහාසයේ ඉතාම තීරණාත්මක සාකච්ඡාවක් විය. 


1971 අප්‍රේල් 02 වැනි දින විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සංඝාරාමයට රැස් වූ 9 දෙනෙක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ. ඔවුන් නම් පියතිලක, ලයනල් බෝපගේ, ජයදේව උයන්ගොඩ, රංජිත් කුරුකුලසූරිය, සුනන්ද දේශප්‍රිය, සුසිල් වික්‍රම, සනත්, ඩබ්ලිව්. ටී. කරුණාරත්න සහ ඩබ්ලියු. ඩී. ඇන්. ජයසිංහ (ලොකු අතුල) යන අයයි. බදුල්ල දිසා ලේකම් සුනන්ද දේශප්‍රිය ලොකු අතුලට පක්ෂව සිටියේය. මෙම සාකච්ඡාවේ මූලික අරමුණ වූයේ ලොකු අතුල ඇතුළු පිරිස කලින් ගත් තීරණය මොවුනට සූක්ෂම ලෙස පැටවීමය. එසේම මාර්තු අග රැස්වූ බවක් ද බෝපගේ ඇතුළු පිරිසට දැන ගැනීමට තැබුවේ නැත. 


මෙම සාකච්ඡාවේදී ලොකු අතුල වහාම පහරදීමකට යා යුතු බව පවසා ඇති අතර එහිදී බෝපගේ හා උයන්ගොඩ ඇතුළු පිරිස එවැනි පහර දීමට හැකියාවක් නොමැති බවත් දැන් කළ යුත්තේ ආරක්ෂා වීම බවත් පවසා ඇත. එහෙත් රෝහණ විජේවීර සිරගෙදර සිට පහර දීමක් කරන මෙන් දන්වා එවා ඇති බව ලොකු අතුල විසින් අසත්‍යයක්  පවසා ඇති බව පසුව හෙළි වූ අතර ඒ තුළින් ඔහුගේ අරමුණ වූයේ බෝපගේ ඇතුළු පිරිස පහරදීමකට එකඟ කරවා ගැනීමය. ඒ අනුව අප්‍රේල් 5 වැනිදා රාත්‍රී 11 ට පහර දීමේ යෝජනාවට සියලු දෙනා එකඟ වූහ. කෙසේ එහෙත් ලොකු අතුල ඇතුළු පිරිස කලින්ගෙන තිබුණේ අප්‍රේල් 5 අලුයම පහර දීමටය. කලින් ගත් මෙකී තීරණය සාකච්ඡාවේදී නොකියාම එකඟ වීමට ලොකු අතුලට සිදු විය. ඒ අනුව ඔහුට සිදු වූයේ වේලාව වෙනස් වූ බව තම හිතවතුන් සිටි දිස්ත්‍රික්කවලට දන්වා යැවීමය. එහෙත් වේලාව වෙනස් වූ තීරණය මොණරාගල දිස්ත්‍රික් හිතවතුන්ට සන්නිවේදනය වී නොතිබුණි. ඒ අනුව මොණරාගල දිස්ත්‍රික් සටන්කාමීන් පහර දීම සඳහා අදාළ ස්ථානවලට ගොස් සිටි අතර කලින් ගෙන තිබූ තීරණය අනුව 1971 අප්‍රේල් 05 අලුයම වැල්ලවාය පොලීසියට ප්‍රථම ප්‍රහාරය එල්ල විය. නමුත් අප්‍රේල් 5 වැනිදා රාත්‍රී පහර දීම සඳහා ගනු ලැබූ තීරණය සෙසු ස්ථානයන්වලට සන්නිවේදනය වී තිබුණි. 
1971 අප්‍රේල් 5 වැනි දින අලුයම් යාමයේ 5 ට පමණ මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය පොලිස් ස්ථානය ඉලක්ක කරමින් ජනතා විමුක්ති පෙරමුණ තම ආයුධ සන්නද්ධ අරගලයේ ප්‍රථම වෙඩි මුරය තැබුවේය. එය ලංකාවේ ධනේෂ්වර පාලනයට එරෙහිව එල්ල කළ පළමු නිර්ධන පංතික සන්නද්ධ ප්‍රහාරය ලෙස ඉතිහාසගතව ඇත. මෙසේ වැල්ලවාය පොලීසියට පහර දීමත් සමග රටේ පොලිස් ස්ථාන සීරුවෙන් තැබීමට ආණ්ඩුවට අවස්ථාව ලැබුණු අතර එබැවින් එදින රාත්‍රියෙහි රටපුරා අනෙකුත් ස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමට ගිය අයට සිදු වූයේ ප්‍රහාරයකට සූදානමින් සිටි පොලිසියේ ප්‍රතිප්‍රහාරයන්ට මුහුණ දීමටය. මෙම තත්ත්වය නැගිටීම ආරම්භයේදීම ව්‍යාපාරය බරපතළ දුෂ්කරතාවයකට පත් කිරීමට හේතු විය. 


වැල්ලවාය පහර දීම පිළිබඳව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අප්‍රේල් 05 වන දින නිකුත් කළ නිවේදනයෙහි මෙසේ සඳහන් කර තිබේ. 


අද උදේ පාන්දර එකට පමණ ත්‍රස්තවාදීන් කණ්ඩායමක් දඹගහවැවපොළදී ලොරියක් බලහත්කාරයෙන් තමන් සතු කර ගෙන වැල්ලවාය දෙසට ගමන් කරමින් ජීප් රථයක මුර සංචාරයක යෙදී සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට පොතුවිල් මහා මාර්ගයේදී වෙඩි තබා ඇත. 


පාන්දර 5.30 ට පමණ 50 කට ආසන්න ත්‍රස්තවාදීන් කණ්ඩායමක් අත්බෝම්බ හා තුවක්කු අතැතිව වැල්ලවාය පොලිස් ස්ථානයට පහර දී ඇත. වැල්ලවාය පොලීසිය තුළ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් ජේමිස් මහතා මෙම පහර දීමේදී එතනම මියගිය අතර මෙම කලබලකාරී තත්ත්වය ගැන අසා තම නිවසේ සිට පොලිස් ස්ථානයට එමින් සිටි කොස්තාපල් ගුණසේකර මහතා ඇල්ල - වැල්ලවාය මහා මාර්ග හන්දියේදී වෙඩි තබා මරා දමා ඇත. පොලිස් පරීක්ෂක ජයසේකර මහතා සහ පොලිස් සැරයන්වරයෙක් ද පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් ද මෙම පහර දීමේදී බරපතළ තුවාල ලැබූහ. පොලිස් ප්‍රතිප්‍රහාර වලින් කැරලිකරුවන්ට ද හානි සිදු විය. 


රජයේ නිල වාර්තාවලට අනුව 1971 අප්‍රේල් 05 ප්‍රහාරය ආරම්භ කරමින් තරුණ පිරිස් රට පුරා පොලිස් ස්ථාන 92 කට පහර දුන් අතර ඉන් 57 ක් විනාශ කරන ලදී. දෙනියාය, ඌරගහ, රාජාංගණය, කතරගම හා වරකාපොළ යන පොලිස් ස්ථාන 5 ක් යටත් කර ගැනීමට සටන්කාමීහු සමත් වූහ.

 

 


මතු සම්බන්ධයි.

 

 

එම්. තාරික්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි