පළාත් පාලන මැතිවරණය දිනෙන් දින උණුසුම් වෙමින් තිබේ. අපේක්ෂක අපේක්ෂිකාවෝද වෙනත් ක්‍රියාකාරීහු ද වැඩි බරක් යොදවමින් ප්‍රචාරක කටයුතුවල නියැළෙමින් සිටිති. පෙබරවාරි 10 වැනිදා වන විට සටන තවත් වේගවත් වනු නොඅනුමානය. එදිනට මැතිවරණය පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන හාරසියයකට ආසන්න සංඛ්‍යාවෙන් විශාලම සහ බලවත්ම ආයතනය වනුයේ කොළඹ මහ නගර සභාවයි. නිල අගනුවර නොවුණත් වාණිජ මෙන්ම පෞද්ගලික අංශයේ හා මාධ්‍ය ලෝකයේ කේන්ද්‍රස්ථාන වශයෙනුත් දේශපාලන ක්‍රියාකාරීත්වයේත් බොහෝ දේ මෙහෙයවනු ලබන්නේ කොළඹිනි. මෙම පසුබිම හමුවේ තවමත් කොළඹ අනෙකුත් ඕනෑම නගරයකට වඩා ප්‍රතාපයෙන් ඉහළය. කොට්ඨාස සංඛ්‍යාව අතිනුත් ආදායම්, වියදම් පැත්තෙනුත් නගර සභා ශාලාව අනුවත් කොළඹ නගර සභාව සුවිශේෂී වේ. එය මෙරට බිහිවූ විශිෂ්ට රාජ්‍ය නායකයන් ගණනාවක දේශපාලන බිමේ අත් පොත් තැබූ ස්ථානය ලෙසද ඉතිහාසයට එක්ව තිබේ. එමෙන්ම පාර්ලිමේන්තු විපක්ෂ නායකයන් ඇතුළු ඇමතිවරු රාශියක් ද එමගින් බිහිව ඇත.


නගර සභා පිහිටුවීමේ ක්‍රියාවලියද ගම් සභා යළි ඇති කිරීමට මුල් වූ ඉංග්‍රීසි ආණ්ඩුකාර සර් හර්කියුලීස් රොබින්සන්ගේ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස සඳහන් වේ. එවකට පැවති ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ වාර්ෂික සැසි වාරය අමතමින් ඔහු මෙසේ ප්‍රකාශ කළ බව 1885 ඔක්තෝබර් මස 04 වැනිදා ලක්මිණි පහන පුවත්පතේ පළවී ඇති මෙම වාර්තාවෙන් පෙනී යයි.


“මේ අවුරුද්දේ සාදන්නට අරමුණු කර තිබෙන රෙගුලාසිවලින් ප්‍රධාන නුවරවල කටයුතු කිරීමට සමාගම් සාදන පිණිස පනවන රෙගුලාසි වැදගත් එකක් බවද දැනට ප්‍රධාන නුවරවල් බොහෝ අපවිත්‍රව තිබෙනවාය. ඒවා පවිත්‍ර කිරීමට ද පවත්වන්නට ද එහි එළිය තිබෙන්ටද වැසියන්ට හොඳ වතුර දෙන්නට ද වෙනත් නොයෙක් දේ කරන්ට ද ප්‍රධානකොට ලෙඩ දුක් ඉපදීමට හේතු වූ දේ නැති කිරීමට ද ඒ ගැන මුදල් ගණනක් ලැබෙන්ට නියම කරන බවද නුවරට ඕනෑ කරන මේ අන්දමේ දෙය එහි පදිංචිකාර ලෝ වැඩ කැමති අයගේ මැදිහත්කම නැතිව ආණ්ඩුවට තනිවම කරන්ට බැරි බවද තමුන්ගේ මුළු රටේ වැඩි දියුණුවට ඕන කරන කටයුතු තමන් අතරේ ඉන්නා ලෝ වැඩ කැමති අයගේ මාර්ගයෙන් හෙවත් උපකාරයෙන් කරගන්නට බාර ගන්නට මත්තෙන් එක එක නුවරට එක එක නුවරට ඕනෑ කරන කටයුතු එසේ කරවාගෙන පුරුදු වෙන්ට ඕනෑ වේද කෑම බීම ඇඳුම් පැලඳුම් ආදිය පවිත්‍රව පැවැත්වීමෙන් ලෙඩ දුක් නැති වෙනවා පමණක් නොව එය මනුෂ්‍යයින්ගේ වැඩි දියුණුවටත් ඉතා හිත ඇති මගක් බවටත් තමුන් ශරීරයද ඇඳුම් පැලඳුම් ආදිය ද අපවිත්‍රව පැවැත්වීමෙන් වනචරභාවය පැමිණෙනවා සත්තකවා වගේම ඒවා පිරිසිදුව පැවැත්වීමෙන්......”


මෙම පනත ඉදිරිපත් කර දෙවැනි වර කියවීමෙන් පසු මේ ගැන තවදුරටත් සොයා බැලීම පිණිස කාරක සභාවක් පත් කිරීමටද තීරණය විය. එය පහත සඳහන් අයගෙන් සැදුම් ලද්දේය. බස්නාහිර පළාතේ ඒජන්ත සී. ඩී. ලෙයාර්ඞ්, මධ්‍යම පළාතේ ඒජන්ත එෆ්. බී. ටෙම්පලර්, මුතුකුමාරස්වාම්, ජේ. ඒ. මාටිනස්, මහ රැජිණගේ අද්වකාත් ආර්. ඇෆ්. මෝර්ගන් සහ ජී. ඩී. බී. හැරිසන් යන අය ඇතුළත් වූහ. ඒජන්තවරු (දිසාපති) දෙදෙනාත්, රැජිනගේ නීතිඥයා (නීතිපති) හැර අනෙක් අය එවකට ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීධූර දරන්නෝ වූහ. මෙම කමිටුවේ නිර්දේශය වූවේ ප්‍රධාන නගර සඳහා නාගරික සභා පිහිටුවීම සුදුසු බවයි. එහෙත් හැරිසන් මන්ත්‍රීවරයා එයට දැඩි ලෙස විරුද්ධ වූ බව කියවේ. ඔහුගේ මතය වී ඇත්තේ ලංකාවාසීන් එවැනි සභා නියෝජනය කිරීමට සුදුස්සන් නොවන බවයි. මෙරට ස්වදේශීක ජනතාවගෙන් බහුතරයකට හොඳ අධ්‍යාපනයක් ලැබී නොමැති තත්ත්වය හමුවේ නගර සභා පිහිටුවීමෙන් පලක් නොමැති බව ඔහුගේ අදහස විය. එනිසා පෙර කී කමිටු වාර්තාවට අත්සන් කිරීමෙන් පවා වැළකී සිටියේය. ඔහු වෙනම නිර්දේශයක් සටහන් කර තිබුණි. ඒ මෙසේය. “මේ ආඥා පනතේ කාරණා ගැන වැඩි දෙනා සමග එකඟ විය නොහැකි බැවින්ද එහි සඳහන්ව ඇති ප්‍රකාර ප්‍රධාන නුවරවල් අපරාධීන නුවරවල් කිරීම ඒවායේ දියුණුවට හිත ඇති කාරණයක් නොව බාධා ඇති කරන එකක්යැයි මට කල්පනා වෙන බැවින්ද මම මේ රපෝර්තුවට අත්සන් නොකරමි.”


ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේදී මෙම පනත සාකච්ඡාවට ගත් අවස්ථාවේදී හැරිසන් මන්ත්‍රීවරයා එයට විරුද්ධව කළ කතාව (1865 නොවැම්බර් මස 11 වැනිදා) ගැන නොවැම්බර් 24 වැනිදා ලක්රිවි කිරණ පත්‍රයේ මෙසේ සඳහන් කර තිබුණි. ‘මේ ආඥා පනතට විරුද්ධව හැරිසන් උන්නැහේ කථා කරමින් මෙලෙස කීවාය. උතුමානන් වහන්සේද, මේ ආඥා පත්‍රයේ කාරණා විභාග කිරීමට පත් කළ වැඩි දෙනාද කල්පනා කරන ලෙස මේ ආඥා පත්‍රය පැනවීමෙන් ලංකා වැස්සෝ වැඩි ඵල ලැබීමට සුදුස්සෝ වීමට පුරුදු කරන්නැයි නොසිතති. ලංකාවෙහි පූර්ණ දිග වැස්සෝ බොහෝ දෙනෙක්ද එරෝපා කාර වැස්සෝ ස්වල්ප දෙනෙක් පමණක් වසන බැවින් ආණ්ඩු කිරීමේ කටයුතු මෙරට වැස්සන්ට බාර දීමට ඔවුන් සුදුස්සෝ නොවෙති. අපරාධීන නුවරවල් සාදා ආණ්ඩු කිරීමේ බලය තමුන් වෙතට ගැනීමට වඩා නුවර සුද්ධ පවිත්‍රව තැබීම කරත්නම් යහපත්ය.


පොහොසත් නුවරවලට මේවා හොඳ නමුත් දුප්පත් නුවරවල් අපරාධීන කළ විට එහි කටයුතු කරන නුවර වැස්සෝ හොඳ වෙළඳාම් පිහිටුවන්නටද කල්පනාවට ගන්නවා විනා කළ යුතු කාරණා නොකර අතපසු කරයි. කල්කුතාවේ, බෝම්බායේ ආදී තවත් නොයෙක් ස්ථානවල අපරාධීන සභාවල් පිහිටුවන්ට යෙදී ඒවා සපල නූනේය. මෙරට අය අපරාධීන නුවරවල් පිහිටුවීමට අප්‍රසන්න නොවන්නේ තමුන්ට ආණ්ඩු කිරීමේ බලය ලැබෙන නිසාය.”

 

 

මෙම විවාදයෙන් පසු නාගරික සභා පිහිටුවීමේ පනත සම්මත වූ අතර එය රජයේ ගැසට් පත්‍රයේ පළ කර 1866 ජනවාරි පළමුවැනිදා සිට කොළඹ සහ මහනුවර නගර සභා ක්‍රියාත්මක වන බව නිවේදනය කෙරුණි. සර් හර්කියුලීස් රොබින්සන් ආණ්ඩුකාරවරයා අදහස් කරන ලද්දේ ස්වදේශික ජනතාවට දේශපාලන කටයුතු ගැන අවබෝධයක් සහ පුහුණුවක් ලබාදීමට පෙර පාසැලක් ඇති කිරීම් වශයෙනි.


නගර සභා මැතිවරණය සඳහා ප්‍රථම පියවර වශයෙන් සිදු කර ඇත්තේ කොට්ඨාස බෙදීමයි. ඒ අනුව මුළු කොළඹ නගරය ප්‍රදේශ නවයකට බෙදන ලදී. ඒවා නම් (1) කොටුව (2) පිටකොටුව (3) සාන්ත බස්තියම, (4) ශාන්ත පාවුළු (5) කොටහේන (6) අලුත්කඬේ (7) මරදාන (8) කොම්පඤ්ඤ වීදිය (9) කොල්ලුපිටිය වශයෙනි. ඉන් පසු මෙකී කොට්ඨාසවල පදිංචි නිවැසියන් අතරින් ගෘහ මූලිකයන්ගේ නාම ලේඛනයක් සකස් කිරීම සිදුවිය. ඒ ඡන්ද දායක නාම ලේඛනය විය. එම පිරිස කොළඹ කච්චේරියට කැඳවන ලදුව ඔවුන්ගේ කැමැත්තෙන් මන්ත්‍රීවරුන් පත් කර ගන්නා ලදහ. මෙම තරඟයට ඉදිරිපත්ව සිටි අපේක්ෂකයන් ගණන 17 දෙනෙකි.


1. කොටුව කොට්ඨාසය - ජේ. ඩබ්ලිව්. වැන්, ජේ. ඇස්. ආමිටේජ්

2. පිටකොටුව - ඔසන් ලෙබ්බෙ, ජේ. ඩබ්ලිව්. වැන්ගයිසල්

3. සන්ත බස්තියම - ඇම්. ජේ. ද සරම්

4. සාන්ත පාවුළු - ජේ. ඒ. පොන්නම්බලම්, කවුස් ජී. අදුල්

5. කොටහේන - සී. ඒ. ලෝරන්ස්

6. අලුත් කඬේ - ජේම්ස් ද අල්විස්, ජී. පී. ඩයස් අතපත්තු මුදියන්සේ.

7. මරදාන - ඇම්. සී. ලෝස්, ඇම්. මැක්වුඞ්, ඒ. ආර්. ඩී. මුවැට්


යම් යම් ප්‍රචාරක මාධ්‍යයන් ද පැවති ඇති අතර ගෙයින් ගෙට ගොස් ඡන්දය හිමි ගෘහ මූලිකයන් හමුවී තමාට ඡන්දය දෙන ලෙස ඉල්ලා සිටීම ප්‍රධානම ප්‍රචාරක මාධ්‍යය බවට පත් වූ බව කියවේ. 1866 ජනවාරි මාසයේ පැවති ප්‍රථම ඡන්ද විමසීමෙන් පසුව පත් වූ නියෝජිතයන් මෙසේ දැක්වුණි.


කොටුව - ජේ. ඩබ්ලිව්. වැන්

පිට කොටුව - ජේ. ඩබ්ලිව්. වැන්ගයිසල්

සන්ත බස්තියම - ඇස්. ජේ. ද සරම්

සාන්ත පාවුළු - ඇස්. තම්බයියා

කොටහේන - සී. ඒ. ලෝරන්ස්

අලුත් කඬේ - ජේමිස් ද අල්විස්

කොල්ලුපිටිය - එල්. සී. ප්‍රදිනන්දස්

කොම්පඤ්ඤවීදිය - විලිස්ෆෝර්ඞ්


මෙම මහජන නියෝජිතයන්ට අමතරව නිල ලත් මන්ත්‍රීවරුන් වශයෙන් පත් කෙරුණු පස් දෙනා වූවේ.


1 බස්නාහිර පළාතේ ඒජන්ත සී. පී. ලෙයාර්ඞ්

2. ප්‍රධාන සිවිල් වෛද්‍ය නිලධාරී දොස්තර චාර්ලිස්ලි

3. මහමාර්ග කොමසාරිස් සහ ප්‍රධාන ඉංජිනේරු ඉවැට්

 

මහ රාජිනියගේ නියෝජ්‍ය අද්වකාත් බැරික්


සහාය මිනින්දෝරු ජෙනරාල් ග්‍රින්නේලින්


ජනතාවගෙන් ඡන්දයෙන් පත් වූ නාගරික මන්ත්‍රීවරුන් නව දෙනෙක්ද තනතුරු දැරීම නිසා පත්වූ පස් දෙනෙක්ද වශයෙන් දාහතර දෙනෙකුගෙන් සැදුම් ලත් කොළඹ නගර සභාවේ ප්‍රථම නගරාධිපතිවරයා වශයෙන් පත්වූයේ සී. පී. ලෙයාර්ඞ්ස් මහතාය.


කොළඹ නගරයට සමගාමීවම ‘මියුනිසිපල්’ තත්ත්වය ලැබූ අනෙක් එකම නගරය වන්නේ මහනුවරය. එහි නගර සභාවට අයත් වූයේ කොට්ඨාස හතරකි. ඒවා නම් කෙරුණේ (1) ශාන්ත පාවුළු (2) ශාන්ත අන්තෝනි, (3) ශාන්ත ඈන් සහ ශාන්ත මේරි වශයෙනි. 1866 මාර්තු හය වැනිදා මහනුවර කච්චේරියේදී පැවති ගෘහ මූලිකයන්ගේ රැස්වීමේදී අංක 1 කොට්ඨාසය සඳහා අධිනීතිඥ චාර්ල්ස් සන්ද්‍රවාල් මහතාද අංක දෙක ආසනය සඳහා ජේම්ස් වැන්ලැන්බර්ග් මහතාද තෝරා ගන්නා ලදී. අංක දෙකේ නියෝජිතයා තෝරා ගැනීම පිණිස පිරිස රැස්කර තිබුණේ මිලිටරි මැස් හවුස් යන ස්ථානයේ බව පුවත්පත්වලට පළවී තිබුණි. අංක තුන කොට්ඨාසය සඳහා සභිකයා තෝරා ගැනීමට ගෘහ මූලිකයන්ගේ රැස්වීම පැවතුණේ මහනුවර තැපැල් කාර්්‍යාලය අසලය. එහිදී පත් කර ගන්නා ලද්දේ නීතීඥ විලියම් ජයතිලක මහතාය. හතරවැනි අංකය දරණ ශාන්ත මේරි ආසනයට පත්කරගනු ලැබුවේ කැප්ටන් බාර්ඞ් නැමති ඉංග්‍රීසි ජාතික හිටපු හමුදා නිලධාරියෙකි. ජනතාවගේ කැමැත්තෙන් පත් වූ නියෝජිතයෝ මෙසේ වූහ. මේ අය තෝරා ගැනීමෙන් පසු අලි ඇතුන් සහ අශ්ව රථද නැටුම්, ගැයුම්, වැයුම් සහිත මහ පෙරහර පවත්නා මෙම නාගරික මන්ත්‍රීවරුන් සිය නිවෙස්වලට කැඳවාගෙන ගිය බවද පුවත්පත්වල පළවී තිබුණි. ඉන් පසු මේ අය තමන්ගේ ආධාරකරුවන් වෙත බ්‍රැන්ඩි, විස්කි, ෂැම්පේන් ආදී මධ්‍යසාර මෙන්ම රසමසමුලෙන් යුතු සාද පැවැත් වූ බවද වාර්තා වී තිබුණි.


වසර 1886 මාර්තු 14 වැනි දින ලක්මිණි පහණ පුවත්පතේ පළවූ වාර්තාවක කොටසක් මෙසේය. මාර්තු මාස හය වැනි දින උදය හතට නාගරික සභාවේ සැන්ට් පෝල්ස් වාඞ් කියන කොට්ඨාසයට සභාපති (නියෝජිත) කෙනෙක් තෝරා ගන්නට කච්චේරියේ සමූහයක් රැස්වෙන්ඩ යෙදී එහිදී චාර්ලිස් සන්ද්‍රාවල් අද්වකාත් උන්නැහේව සමූහයාගේ කැමැත්ත පිට තෝරාගන්න යෙදුනාය. ඉන්පසු එම උන්නැහෙව අශ්වයින් දෙදෙනෙකු යෙදූ රථවාහනයක නංවා දවුල් තම්මැට්ටන් ලී කෙළි ආදී නැටුන් සහිතව කොඩිද ඇතුන් සතර දෙනෙක් පෙරටුවද ඇතිව මහත් පෙළහරකින් උන්නැහේගේ වලව්වට කැන්දවාගෙන විත් වලව්ව සමීපයේදී වැදගත් මහතුන් කීප දෙනෙක් එම උන්නැහේ ඔසවාගෙන වලව්වට ගෙන යන්ට යෙදුනාය. එහිදී රැස්වූ සමූහයාට වයින්, බ්‍රැන්ඩි, සම්පින් ආදියෙන් ආදර සංග්‍රහ කරන්ඩ යෙදුනාය.”


එවකට ආණ්ඩුකාර ධූරය දැරූ සර් හර්කියුලිස් රොබින්සන් නාගරික සභා පිහිටුවීමේදී ප්‍රකාශ කළ අදහසක් වූවේ ස්වදේශික ජනතාවට දේශපාලන කටයුතු ගැන දැනීමක් පුහුණුවක් ලැබීමට මෙම ක්‍රමය මහත් සේ උපයෝගී වන බවයි. එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සත්‍යයක් වූ බව වසර එකසිය පනස් එකකට පසු ආපසු හැරී බලන විට පෙනී යයි. ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, අගමැතිවරයා, ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා, ආර්. ප්‍රේමදාස ජනාධිපති වැනි රාජ්‍ය නායකයන් සිය දේශපාලන ගමන ආරම්භ කළේ කොළඹ නගර සභාවෙනි. මෙරට බිහි වූ ප්‍රබල දේශපාලනඥයන් වූ ඒ. ඊ. ගුණසිංහ, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ, පීටර් කෙනමන් විවියන් ගුණවර්ධන වැනි නායකයෝද කොළඹ නගර සභාව නියෝජනය කළහ. ඊ. ඇල්. සේනානායක, ටී. බී. තෙන්නකෝන් වැන්නෝ මහනුවර නගර සභාවෙන් පැමිණියහ. ටික කලක් අගමැතිධූරය දැරූ විජයානන්ද දහනායක මහතා වරක් ගාල්ල පුරපතිවරයා විය. මෙවැන්නන් බොහෝය. එනිසා හර්කියුලීස් රොබින්සන් නිවැරදි යයි තීරණය කළ හැක.


පෙබරවාරි 10 වැනිදා පැවැත්වෙන නාගරික මැතිවරණයේදී කොළඹ නගර සභාව සඳහා නියෝජිතයන් 110 ජනතාවගේ ඡන්දයෙන් පත්ව එනු ඇත. වසර 150කදී කොළඹ විශාල වී ඇති ප්‍රමාණය ඒ අනුව වටහාගත හැකිවන්නේ ආරම්භයේදී පත්වූයේ නව දෙනෙකු බව සලකන කල්හිය. එමෙන්ම 1866 ජූලි මස හතරවැනිදා ලක්මිණි පහණ පුවත්පතේ පළවූ ලිපි කොටසකින් මෙය අවසන් කිරීම සුදුසුයැයි සිතමි.


“මියුනිසිපල්ටි යන ඉංග්‍රීසි නමට සිංහල භාෂාවෙන් නාගරික සභාවයි ව්‍යවහාර කරන ලද මන්ත්‍රී සමූහයක් විසින් දැනට මේ නුවර කටයුතු කෙරෙන්නා. එහෙත් එයින් මෙරට වැස්සන්ට හිරිහැර බවක් මුත් තිබුණු හිරිහැර අඩුවක් අපට පෙනෙන්නේ නැත. මේ සභා කෙසේ තැබුවත් දැන් අවුරුදු දහයකට පහළොවකට ඉහත කාලෙදී සිලින් තුනට තුනහමාරට වැඩි උනොත් සිලින් හතරට වික්කා වූ සහල් බුසල දැනට සිලින් නවය දහය වෙලා තිබෙන්නේ. කොළඹ වැසි දුප්පතුනේ උඹලාට හිටින්නට බැරිනම් පිටිසර අල බතල මුල් පලා ඇති පලාතක්වත් දැන්ම හිට බලාගනිල්ලා. එපමණ කටයුතු විභාග කරලා කියලා මෙහලා කල් ඇතිව නොකීමේ යනාදීන් අපට දොස් නොකියල්ලා. අපටත් දැනට දන බිම ගහන තරමයි. උඹලට කොහොමද අපි දන්නේ නෑ.”

 

 

 

 

 

 

 

 

 

සෝමසිරි වික්‍රමසිංහ