ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පළාත් පාලන ආයතනයක් ස්ථාපිත වූයේ මීට අවුරුදු 152 කට පෙරය. එනම් ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවට ඡන්දයෙන් ප්‍රථම වරට මහජන මන්ත්‍රීවරයකු තෝරා පත් කර ගැනීමටත් අවුරුදු 45 කට කලිනි. මුල්ම ව්‍යවස්ථාදායක සභා ඡන්දය පැවැත්වුණේ 1911 දීය. මුල් රාජ්‍ය මන්ත්‍රණ සභා ඡන්දය පැවැත් වුණේ 1931 දීය. මුල්ම පාර්ලිමේන්තු ඡන්දය පැවැත්වුණේ 1947 දීය. එබැවින් පළාත්පාලන ක්‍රමයක් පළාත් පාලන ඡන්දයත් බොහෝ වැඩිමහල්ය.

 

මෙරටට පළාත් පාලන ක්‍රමයක් හඳුන්වාදීමේ යෝජනාව මුල් වරට ඉදිරිපත් කරන ලද්දේ 1865 සිට 1872 දක්වා ලංකාවේ ආණ්ඩුකාර ධුරය දැරූ සර් හර්කියුලස් පී. ආර්. රොබින්සන් විසිනි. ආණ්ඩුකාරවරයා නිල බලයෙන් එවක පැවැති ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ සභාපතිවරයා ද විය. ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ සෙසු සාමාජිකයන් වූයේ ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් සහ ආණ්ඩුකාරවරයා විසින්ම පත්කර ගන්නා ලද තවත් කීප දෙනෙකු පමණි.


ආණ්ඩුකාරවරයාගේ අදහස වූයේ නගරයේ පවිත්‍රතාව ජල සම්පාදනය සෞඛ්‍ය සංරක්ෂණය ආදී අවශ්‍යතා ක්‍රමවත්ව මෙහෙයවීම උදෙසා පාලන මණ්ඩලයක් පත් කිරීමත් එකී සේවා පවත්වාගෙන යෑම නගරවාසී ජනතාවක් බදුවලින් සිදු කළ යුතු බවත්ය.


1865 මෙරටට පත්ව ආ රොබින්සන් ආණ්ඩුකාරවරයා ඒ වර්ෂයේ ඔක්තෝබර් මාසයේම මේ යෝජනාව ඉදිරිපත් කිරීමෙන් මෙය ඔහුගේ මුල් කර්තව්‍යයෙන්ගෙන් එකක් වූ බව පෙනේ. 1865 නොවැම්බර් මාසයේ මේ යෝජනාව දෙවැනි වර කියැවීමෙන් පසු සම්මත කර ගැනුණි.

 

 


ඒ අනුව 1866 ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ සහ මහනුවර නගර සඳහා නගර සභා දෙකක් ස්ථාපනය කෙරිණි. එයින් ද ප්‍රථමයෙන් ඡන්දය විමසන ලද්දේ කොළඹ නගර සභාවටයි. එබැවින් ශ්‍රී ලංකාවේ ප්‍රථම නගර සභාව කොළඹ නගර සභාව විණි. කොළඹ නගරය කොට්ඨාස නවයකට බෙදා ඒ ඒ කොට්ඨාසය සඳහා දිසාපතිවරයා විසින් කොළඹ කචචේරියේදී නාම යෝජනා භාර ගන්නා ලදී. කොළඹ නගරයේ බදු ගෙවන නගරවාසීහු ඡන්ද දායකයෝ වූහ. කොළඹ කච්චේරියේ දී ඔවුන්ගේ කැමැත්ත විමසා වැඩි දෙනාගේ කැමැත්ත පරිදි කොට්ඨාසවලට නියෝජිතයන් පත් කර ගැණුනි. ඒ අනුව කොට්ඨාස නවයට පත් කර ගත් සභිකයෝ මෙසේ වූහ.


1. කොටුව ජේ. ඩබ්. වෑන්

2. පිටකොටුව ජේ. ඩබ්. වෑන් ගයිසල්

3. සාන්ත බස්තියම ඇස්. ජේ. ද සේරම්

4. සාන්ත පාවුලු ඇස් තම්බයියා

5. කොටහේන සී. ඒ. ලෝරන්ස්

6 අලුත්කඬේ ජේම්ස් ද අල්විස්

7. මරදාන ඇම්. සී. ලෝස්

8. කොම්පඤ්ඤවීදිය වීලිස් පොර්ඞ්

9. කොල්ලුපිටිය එල්. සී. ප්‍රදිනන්දස්

 

මේ හැර නිලධාරීන් පස් දෙනෙක් ද නගර සභා නියෝජිත මණ්ඩලයට ඇතුළත් වූහ.


1. සී. වී. ලෙයාර්ඞ් බස්නාහිර පළාත් දිසාපති

2. දොස්තර චාර්ල්ස් වෛද්‍ය නිලධාරී

3. මාර්ග කොමසාරිස්/ ඉංජිනේරු ඉඩම්

4. උප නිීතිපති/ මිනින්දෝරු - ග්‍රීන් හේලීස්

5. සභා ලේකම් - සැමුවෙල් ග්‍රෙනියර්


කොළඹ නගර සභාවේ ප්‍රථම සභාපතිවරයා ලෙස පත්වූයේ මහජන නියෝජිතයකු නොව බස්නාහිර දිසාපතිවරයා වූ සී. පී. ලෙයාර්ඞ්ය.


1866 ජනවාරි 16 වැනිදා මංගල රැස්වීම පැවැත්වීමෙන් කොළඹ නගර සභාවේ වැඩ කටයුතු පටන් ගැණුනි. කොළඹ කච්චේරියේ පැවැති මේ ප්‍රථම රැස්වීමේ දී සාකච්ඡාවට ගැනුණු වැදගත් කාරණයක් වූයේ නගර සභා කටයුතු පවත්වාගෙන යෑමට විධිමත් නගර ශාලාවක ඇති අවශ්‍යතාවයි.


එයින් පසු නගර සභාව සඳහා සුදුසු ගොඩනැගිල්ලක් සපයා දෙන ලෙස ලංකාණ්ඩුවෙන් සභාව විසින් ඉල්ලා සිටින ලද නමුත් ඒ ඉල්ලීම් සාර්ථක නොවිණි. ඒ නිසා සභාවට යෝග්‍ය වන ආකාරයේ ගොඩනැගිල්ලක් ඉදිකර ගත යුතු යැයි සභාව විසින්ම යෝජනා සම්මත කර ගන්නා ලදී.


ඒ සඳහා කොළඹ පිටකොටුවෙන් තෝරා ගන්නා ලද භූමි භාගය ජලාශ්‍රිත එකක් විය. එය සාන්ත ජෝන් ඇළ මාර්ගය සමග පිහිටා තිබුණි. එබැවින් එකී භූමිය පස් පුරවා අලුතෙන් සකස් කර ගත යුතු විණි. ඒ අනුව ගොඩනැගිල්ල ඉදිකිරීම පිණිස සැලසුම් සහ ඇස්තමේන්තු කැඳවිමට කටයුතු කෙරිණි.


ඉදිරිපත් වූ සැලසුම් අතුරින් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ පී. බර්මන් මහතා විසින් ඉදිරිපත් කර තිබූ සැලැස්ම නගර සභාව විසින් පිළිගන්නා ලදී. ඒ සැලැස්ම වෙනුවෙන් බර්මන් මහතාට ගිනි පනහක ගෙවීමක්ද සිදු කෙරිණි. කලානුරූපී අංගසම්පූර්ණ ගොඩනැගිල්ලක් ලෙස පෙණුන ද ඊට වැය වන අධික වියදම ගැන සලකා බැලු සභාව ඒ සැලසුම අතහැර දැමීමට තීරණය කළ බැවින් නගර ශාලාවක් ඉදිකිරීමේ කාර්යය කල් ගියේය.
එහෙත් නොබෝ කාලකින්ම ඒ යෝජනාව යළි ඉස්මතු විය. එබැවින් නැවත සුදුසු සැලසුම් පිළියෙල කරවීමට කටයුතු කෙරිණි. 1868 දී ඉදිරිපත් වූ නව සැලසුම් අතුරින් බි්‍රතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පී ජේ. පී. ස්මිතර් විසින් ඉදිරිපත් කළ සැලසුම පිළිගැනීමට තීරණය විණි. ඓතිහාසික අගයෙන් යුක්තව අභිමානවත් ගොඩනැගිල්ලක් ලෙස අදත් කොළඹ පිටකොටුව නගර මධ්‍යයේ පිහිටා තිබෙන පැරැණි නගර ශාලාව ඒ සැලසුම අනුව බිහි විණි.
නගර ශාලාවේ පිහිටීම අනුව එහි ඉදිරිපසින් පිහිටා තිබුණේ සාන්ත පාවුලු දේවස්ථානයයි. එය පෘතුගීසි යුගයට නෑකම් කී එකක් වූ අතර ඒ වන විට ද එකී දේවස්ථානයට සම්බන්ධිත බොහෝ දෙනා එවක ශේෂව සිටි පෘතුගීසීහු වූහ. නගර ශාලාව පිටු පසින් පිහිටියේ එඩින්බරෝ පොදු වෙළෙඳ පොළයි. 1870 දී එය එඩින්බරෝ පොදු වෙළෙඳ පොළයි. 1870 දී එය එඩින්බරෝ ආදිපාදවරයා විසින් මුල්ගල් තබා ආරම්භ කරන ලද්දක් වූ හෙයින් ඒ නමින් හැඳින්විණි.


නගර ශාලා ගොඩනැගිල්ල දෙමහලකින් සැදුම් ලදුව ඉදිවිණි. උඩුමහලෙහි පිහිටි රැස්වීම් ශාලාව දිගින් අඩි 58ක් ද පළලින් අඩි 25 ක්ද වූ වපසරියකින් යුක්ත විණි.

උඩුමහලේ පිහිටි සභා කාර්යාලය අඩි 25ං21 ප්‍රමාණයෙන්ද ඊට යාබද විශ්‍රාම ශාලාව අඩි 21ං18 ප්‍රමාණයෙන්ද යුක්ත විණි. පහත මහල සුවිසල් ආලින්දයකින් ද පුළුල් බරාදයකින් සමන්විත වූ අතර නාගරික උසාවිය පිහිටියේද පහත මහලයේය. උසාවිය දෙපස බරාද පමණක් අඩි 21-7 ප්‍රමාණයේ විය. ගොඩනැගිල්ලේ දොර ජනේල විවිධ කැටයම් සහිත නිමැවුවෙන් චිත්තාකර්ෂණීයව සකස් විණි. මෙකී දැව භාණ්ඩ නිර්මාණය ද ස්ටිකරයේ සැලසුම් පරිදි විණි. මන්දිර අංගණය ද ප්‍රධාන දොරටුව ද ශෝභාමත්ව සැකසුණි.


මෙසේ අංගසම්පූර්ණව නිමැවුණු නගර ශාලා ගොඩනැගිල්ල සඳහා එවක ඇස්තමේන්තු ගත මුළු වියදම පවුම් 7,000ක් විය. 1873 දී මේ නගර ශාලා ගොඩනැගිල්ල විවෘත කරන ලද්දේ ඒ වන විට ලංකාණ්ඩුවරයාණන් ලෙස පත්ව සිටි සර් විලියම් ග්‍රෙගරි විසිනි.


1873 සිට 1928 දක්වා අවුරුදු 55 ක් පුරා කොළඹ නගර සභාව ලෙස භාවිත වූයේ පිටකොටුවේ පිහිටි මේ ගොඩනැගිල්ලයි. 1928 දී කොළඹ හතේ වික්ටෝරියා උද්‍යානය (වර්තමාන විහාර මහාදේවී උද්‍යානය) නුදුරේ කොළඹ මහ නගර සභා ගොඩනැගිල්ල ඉදිකෙරෙන තුරු කොළඹ නගරයේ සකල නාගරික පරිපාලන කාර්යයන් සිදු වූයේ පිටකොටුවේ මේ නගර සභා ගොඩනැගිල්ල තුළය.


1928 න් පසු විවිධ කාර්යයන් උදෙසා භාවිතයට ගැනුණු පැරැණි නගර සභා ගොඩනැගිල්ල පසු කාලයක අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුවට පැවරී ‘බැසට් වෙළෙඳ පොළ’ බවට පත්විය. 1984 දී එවක රජය විසින් යළි මේ පැරැණි මන්දිරය කොළඹ මහ නගර සභාව වෙත පවරන ලදී. කොළඹ නගර සභා ඉතිහාසය පමණක් නොව ශ්‍රී ලංකාවේ පළාත් පාලන ඉතිහාසයේ ද ඉපැරණි දෘශ්‍යමාන සංකේතය ලෙස අදත් කොළඹ පිටුකොටුවේ මේ පැරැණි නගර සභා ගොඩනැගිල්ල අභිමානවත් දර්ශනයක් සේ දැකිය හැකිය.

 

 

 

 

 

 

 


ආචාර්ය ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ
හිටපු නාගරික ලේකම්