මව් සෙනෙහස ඇය වෙනුවෙන් දෝරේ ගලා ගියාය. සොයුරන් දෙදෙනාගේ හා එකම අක්කාගෙ ආදරය ඉහළින්ම හිමිවූයේ පවුලේ බඩ පිස්සී වන මේ චූටි නංගීටය. 


සුන්දර ළමාවිය ගත කරමින් සිටි ඇය මිය ගියාය. ඒ රෝගාතුර වීමකින් නොව, 71 දී ආරක්ෂක අංශයේ ගිනි අවියකින් නිකුත් වූ උණ්ඩයකට ළය පාමින් විල්පත්තුව ඝන කැලෑව තුළදීය. දසවැනි විය පසුකරමින් සිටි ඇය අනුරාධපුර ජයන්ති පෙදෙසේ ස්වර්ණලතා නම් වූවාය. පසුව ඇය සියල්ලන්ගේම චූටි නංගි වූවාය. 


චූටි නංගි කිසිම දිනක නොහඳුනන හෝ නොදුටු හමුදා සෙබළුන් පවා සටනට මොහොතක විරාමයක්දී දෙනෙතට ඉනු කඳුළු බිදු රහසින්ම පිසදා ගත් බවට පුවත්ද එකල පළවිය. ඒ තමන්ගේ ගිනි අවියකට නොදැනුවත්ම හෝ අහිංසක දැරියක ගොදුරු වීම නිසාය. එදා මෙදා වසර 48 ක ඉතිහාසයක් ඇතත් අදත් චූටි නංගි පිළිබඳව මෙනෙහි නොකරන්නෙකු නැත. රජරට ප්‍රදේශවාසීන්ගේ මතකය හා බැඳියාව අදත් ඇය සඳහා විවෘතය. 


මේ ඇයගේ කතාවයි. 


චූටි නංගි විප්ලවකාරියක, කැරලිකාරියක නොවූවාය. ජනතා විමුක්ති පෙරමුණ ගැන හෝ චේ ගුවේරා කාරයින් හෝ රෝහණ විජේවීර පිළිබඳව හෝ අසාවත් නොතිබිණි. සුප්‍රසිද්ධ පංති පහේ අයන්නක්වත් අසා නැත. අනුරාධපුර මහාබෝධි විදුහලේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලද සුරතල් දැරියක පමණි. 


එහෙත් ඇය දයාබර ඔත්තුකාරියකව සිටියාය. ඒ ඔත්තු සේවයක් ලෙස ඇය දන්නේ නැත. ඇය කළේ තමත් දකින දේ අසනදේ ඩඞ්ලි අයියාට තුරුල්ව පැවසීම පමණි. චූටි නංගි ගෙනෙන තොරතුරු ඩඞ්ලිට තම ආරක්ෂාව සුරක්ෂිත කර ගැනීමට හේතුවක්ම විය. 


ඩඞ්ලි මේ වන විට ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකරුවකු නොවුවද ඒ වෙනුවෙන් තම මනස අවදි කරමින් සිටි පුද්ගලයකු විය. ඔහුට කොක්ක ගැසුවේ ලංගමයේ සේවය කළ මහින්ද සද්ධාසේනය. මහින්ද නවාතැන් ගෙන සිටියේ ඩඞ්ලිගේ නිවසේය. ඩඞ්ලි චේ ගුවේරා කාරයකු බවට පත්කළේ මහින්ද සහෝදරයායි. 


ඩඞ්ලිගේ නිවසේ දේශපාලන පංති සංවිධානය කිරීමට මහින්දට හැකියාව ලැබුණේ ඒ අනුව බව ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරයකුව සිටි තඹුත්තේගම ගුණරත්න (ටික්කා) සහෝදරයා පවසයි. 


චූටි නංගිගෙ ලොකු අයියා රංජි. මම අසා ඇති විදිහට රංජි නේවි එකේ වැඩ කළේ. රංජිට දේශපාලනයක් නැති වුණාට ඩඞ්ලි තද ජේවීපී කාරයෙක් වුණා. චූටි නංගිගෙ අම්මා හරිශ්චන්ද්‍ර විදුහලේ බාලිකා අංශයේ නේවාසිකාගාරය බලා කියාගෙන හිටියා. චූටි නංගි ඉගෙන ගත්තේ මහබෝධි ප්‍රාථමිකයේ. 


අයියගෙ කාමරයට එක්වෙන මහින්ද අයියා ඇතුළු දෙතුන් දෙනා ඉතා හෙමිහිට සාකච්ඡාවේ යෙදෙන අයුරු චූටි නංගිට අමුත්තක් නොවුවාය. දැන් එම සාකච්ඡා චූටි නංගිට හුරු පුරුදු දසුනකි. මේ නඩයට තේ එකක් සාදාදීම වතුර වීදුරුවක් දෙකක් ගෙනැවිත් දීම නංගිගේ රාජකාරියයි. මේ කණ්ඩායම් සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඇයට අක්කලා කිහිප දෙනකු හා මිතුරු වීමට ඉඩ ලැබුණි. ඒ සාකච්ඡාවල වචන කනට වැටුණත් එහි අදහස තේරුම් ගැනීමට ඇයට අවශ්‍ය නොවූවාය. ඒ බරපතළ වචනය ඒ ලොකු අයගෙ කතාය. පුංචි අපට වැඩක් නැත. 


1970 අගෝස්තු මාසයේ අනුරපුර, සල්ගාදු පිටියේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැලිය නැරඹීමට චූටි නංගි ගියේ කණ්ඩායමේ අක්කලා දෙදෙනකු සමගිනි. කොණ්ඩ රැවුල් වවාගත් වැද්දන් වගේ මිනිස්සු උගුර යටින් කෑ ගසනවා. පිස්සන් වගේ මොකට මෙහෙම කෑ ගහනවද. අයියල කතා කරනවා කනට ඇහෙන්නෙ නැහැ. “චුටි නංගි එසේ පැවසු බව පසුකාලිනව ඩඞ්ලි අයියා සිය මිතුරන් හා කියා තිබිණි. 


අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති විශ්‍රාමික විපුලසේන රාජපක්ෂ මහතා ස්වර්ණලතා චූටි නංගි පිළිබඳව තොරතුරු හෙළි කරමින් පැවසුවේ, ඇය විල්පත්තුවට ගමන් කළේ අහම්බයකින් බවයි. ජේ.වී.පී. කාරයින් පිළිබඳව පොලිසිය දැඩි අවධානයකින් මේ කාලයේ හිටියේ. ඩඞ්ලි ගැනත් යම් සැකයක් ඔවුන්ට නොතිබුණා නොවේ. ඔහු නගරය හොඳින් හඳුනන සමාජශීලි වැදගත් ලෙස ගැවසෙන කතාබහකරන තරුණයෙක්. ඕනෑම බරපතළ වගකීමක් බාරගන්න සූදානම් අයෙකු ලෙසත් ප්‍රදේශයේ වාමාංශිකයෙක් ලෙසත් හංවඩුව ඔහුට තිබුණි. එවැනි අය ජේ.වී.පී. ට නැඹුරුතාව වැඩි බවයි පොලිසියේ මතය. ඒ සුදුසුකම් ඔහුට තිබුණා. අනික යමෙක් ගැන සැක කරන්න ලොකු හේතුවක් ඕනෙත් නැහැ. 


චූටි නංගි ක්‍රමානුකූලව අයියගෙ ඔත්තුකාරිය බවට පත් වූවාය. ඒ ආදරයෙන් පිරුණ දයාබර සේවාවක් වුවත් වගකීමකින් ඉටුකළාය. අයියල නිවසේ සිටින මොහොතක පිටස්තරයින් ගැවසීම ඇය නොරුස්සයි. ඩඞ්ලිට හෝ මහින්දට පණිවිඩය එසැණින්ම ලැබේ. පණිවිඩය විමසන අයියලා නංගිගෙ හිස අතගෑම ඇය වඩාත් දිරිමත් කිරීමක් විය. පාරෙ පොලිස්කාරයෙක් ගියා. බැලින්නම් නිල ඇඳුම් සහිතව ලිපි බෙදමින් යන තැපැල් සේවකයෙක් පසු කලෙක ඩඞ්ලි තම මිතුරන් සමග කියා තිබිණි. ඉවකින් මෙන් අයියා වෙනුවෙන් ඇය කැපවූයේ එලෙසිනි. 


71 අප්‍රේල් 05 වැනි දින ඩඞ්ලි හා මහින්ද නිවසින් අතුරුදහන්ව තිබීම චූටි නංගිට ප්‍රශ්නයකි. පොලිස් හා හමුදා ආරක්ෂක සේවාවන් තර විය. මාර්ගයන් හා නගරය හිස් වෙමින් පැවතිණ. පාන්දර යාමේ නොනවත්වාම වෙඩි පුපුරණ හඬින් ඇය විමසිලිමත් වූවාය. පරිසරය නිහඬ වුවත් ගිනියම් වෙමින් පැවතිණ. ස්වර්ණලතා වැට කඩුල්ලේ එල්ලී පාර දෙස බලා සිටියාය. අයියා තවම නැත. ගිනි අවි සුරතින් දැරූ සෙබළු විමසිලිමත්ව යන එන අයුරු ඇය බියපත් දෑසින් බලා සිටියාය. චූටි නංගිට ඉකි බිඳිනි. ඇයට ඉසිලිය නොහැකි තනිකමක් දැනුණි. දින දෙක තුනක් ගතවූයේ එලෙසිනි. 


අයියලා සමග සාකච්ඡාවන් සඳහා සහභාගිවෙන අක්කලා දෙදෙනෙකු පාරේ එන අයුරු චූටි නංගි දුටුවාය. කඩුල්ලෙන් පැනගත් ස්වර්ණලතා ඔවුන් හා එක් වූවාය. 
“චූටි ගෙදර යන්න නංගියෙ පාරෙ ගැවසෙන්න හොඳ නැහැ. 


“දවස් තුනකින් අයියලත් ගෙදර ආවේ නැහැ. මට තනිවම ඉන්න බැහැ. මාත් අක්කල එක්ක එනවා” 


“අපේ ගමන දුරයි නංගියෙ” 


“කමක් නැහැ. මට ආපසු යන්න කියන්නෙපා” 


අතර මගදි තවත් කිහිප දෙනෙක් ඔවුන් හා එක් වූහ. චූටි නංගිට එය සතුටකි. අක්කලා වැඩිවුණා. ගමනේ ව්‍යාකූලත්වය. හා අවිනිශ්චිත බව පිළිබඳව ඇයට කිසිවක් නොවැටහිණි. ඇයට දැන් තනිකමක් නොදැණේ.


අනුරපුර, තඹුත්තේගම, රාජාංගණ ප්‍රදේශවල ජ.වි.පෙ. ක්‍රියාකාරිකයෙකු සිටි විල්බට් පෙරේරා මහතා (වත්මන් ව්‍යාපාරිකයෙකි) පවසන්ණේ චූටි නංගි ඇතුළත් වූ කණ්ඩායම විල්පත්තු කැලයට පිවිසෙනවිට කාන්තාවන් දස දෙනෙකු පමණ සිටි බවයි. ගමනේ දුෂ්කරතාව පිළිබඳව පවා කිසිදු හැඟීමක් නැතිව ඇය දගකාර ළමයෙකු මෙන් සතුටෙන් සැහැල්ලුවෙන් ගමනෙ යෙදුණ බවයි කියැවෙන්නෙ. ඔය කණ්ඩායමට ඇතුළත්ව හිටියා අනුරාධපුර ලීලා, කෑගල්ලෙ ලීලා, රන්මැණිකා, ජුලියට් කියන සහෝදරියන්. චූටි නංගිට මාමා වෙන කෙනෙකුත් කණ්ඩායමෙ සිටි බව කියැවෙනවා. ලැබෙන දෙයක් කමින් කැලෑවේ ගඩාගෙඩි පලතුරු ආහාරයට ගනිමින් අක්කලා ඔසොවා ගෙනයන බර සැහැල්ලු කර ගැනීමට උපකාර වෙමින් කිසිදු මැසිවිලි හඬක් නොමැතිව චූටි නංගි ගමනෙ යෙදුණා. මේ වන විට විල්පත්තුවෙ රැකවරණය සොයා පැමිණි විවිධ පිරිස් ඒකාරාශිවී සියයකට ආසන්න ලෙස කණ්ඩායම විශාලවී තිබුණෙ. තුල්හිරියේ ආරි, කුරුණෑගල සමරතුංග හෙවත් බෝල සමරෙ, කෑගල්ලෙ, බලපත්තෑව කණ්ඩායම් මේ පිරිසට එක්ව සිටි බව තඹුත්තේගම ගුණරත්න පවසයි. පසුව වෙඩිවැදී මියගිය සරසවි සිසුවියකවූ සුජාතා හඳගම සොයුරියද හිටියේ මෙම කණ්ඩායමෙයි.


(චූටි නංගි පිළිබඳව තොරතුරු සොයා ගැනීමට සහයදුන් අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති විශ්‍රාමික විපුලසේන රාජපක්ෂ, තඹුත්තේගම ව්‍යාපාරික විල්බට් පෙරේරා, තඹුත්තේගම ගුණරත්න (ටික්කා), තුල්හිරිය ආරි මහත්වරුන්ට හා චූටි නංගි තනි නොකර සිටි රන්මැණිකා සොයුරියට විශේෂ ස්තූතිය.)

 

 

 


මතු සම්බන්ධයි.

 

ගණේමුල්ල බුද්ධි බොල්ලත 
නීතීඥ සඳමුතු ශර්මි ශ්‍රී බුද්ධික