ජවිපෙට එරෙහිව රළ ගැසූ “නව ප්‍රවණතාව”-02

ජවිපෙ නව ප්‍රවණතාවය වෙනුවෙන් එහි නායක ගීගනගේ චන්ද්‍රසිරි හෙවත් අසේල සමඟ ක්‍රියාකාරිකයින් 10 දෙනෙකු එම සාකච්ඡාවලට සහභාගි වූ බව පොලිස් පරික්ෂණවලදී හෙළිවිය. එම ජවිපෙ නව ප්‍රවණතාවයේ ක්‍රියාකාරිකයින් 9 දෙනා වූයේ වතුදුරු යසරත්නද සිල්වා, එස්.එම් කුමාරසිංහ, රුවන් අබේකෝන්, මැණික්හින්නේ නිශ්ශංක හේරත් බණ්ඩාර, එම්. ආනන්ද ජයසිංහ, මොරටු සරසවියේ සිසු නායක කැමිලස් සිල්වා වෙති. එයට අමතරව ජවිපෙ නව ප්‍රවණතාවයේ උතුරු - නැගෙනහිර ක්‍රියාකාරිකයින් වූ මඩකළපුවේ ආජරත්නම් ශ්‍රී ස්කන්ධරාජා හෙවත් බම්බල් සහ යාපනයේ චුන්නාකම්හි පදිංචි සිවඥානම් හෙවත් සිවාද එක් වී තිබිණි.

ප්ලොට් සංවිධානය සමඟ දෙවැනි සාකච්ඡාව පැවතියේ 1985 මැයි සහ ජුනි මස පිළියන්දල සුවාරපොළ ජවිපෙ නව ප්‍රවණතාවය කුලියට ගෙන තිබූ නිවසකදීය. සාකච්ඡාවට ප්ලොට් වෙනුවෙන් සහභාගි වූයේ ගෞරි කාන්දන් හෙවත් සුප්පයියාය. ප්ලොට් සංවිධානය සමඟ ජවිපෙ නව ප්‍රවණතාවය පැවති සාකච්ඡා සියල්ලම අසාර්ථක විය. එයට හේතුව වූයේ ප්ලොට් සංවිධානය බලාපොරොත්තු වූයේ දකුණු පළාතේ බෝම්බ පිපිරීම් වැනි කටයුතුවල යෙදෙමින් කඩාකප්පල්කාරි වැඩකළ හැකි සංවිධානයකි. ජවිපෙ නව ප්‍රවණතාවය එය ප්‍රතික්ෂේප කර තිබිණි. එමෙන්ම දෙමළ ජනතාව ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම සහ වෙනම ඊළමක් වෙනුවෙන් පෙනී සිටීම එකක් නොව දෙකක් බව ජවිපෙ නවප්‍රවණතාවය එහිදී අවධාරණය කර තිබිණි.


මෙම වකවානුව තුළදී ලයනල් බෝපගේ ද පොලිස් අත් අඩංගුවට පත්වූ අතර බෞද්ධාලෝක මාවතේ පිහිටි එවකට පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකය පිහිටි ගොඩනැගිල්ලේ රඳවාගනු ලැබීය. පසුව රහස් පොලිසියේ 4 වැනි තට්ටුවේ ද මැගසින් බන්ධනාගාරයේ ද මාස 7 ක් රඳවා ගැනීමෙන් පසු ලයනල් බෝපගේ නිදහස් කරන ලදී.


රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ නඩුව 1987 ජුලි 15 වැනිදා පැවරීම යටතේ ජවිපෙ නව ප්‍රවණතාවයේ නායකයින් සහ ක්‍රියාකාරිකයින් අතරින් 22 ට නඩු වැටිණි. ඉන් 38 වැනි විත්තිකරු ජවිපෙ නව ප්‍රවණතාවයේ සරසවි සිසු නායකයෙකු වූ මොරටු ඉංජිනේරු සිසු කැමිලස් සිල්වා සහ 39 වැනි විත්තිකරු කල්‍යානන්ද පෙරේරා යන සැකකරුවන් පොලිස් අත් අඩංගුවට ගැනීමට හැකිවූයේ නැත. සෙසු ජවිපෙ නව ප්‍රවණතාවයේ සැකකරුවන් 20 දෙනා වසර දෙකහමාරකට ආසන්න කාලයක් මුළුල්ලේ එනම් 1985 ජූලි සිට 1988 අප්‍රේල් දක්වා බන්ධනාගාරගත වීමට සිදුවිය.


ඔවුහු බෞද්ධාලෝක මාවතේ වර්තමාන අල්ලස් කොමිසම පිහිටි එවකට පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකය පිහිටි ගොඩනැගිල්ල, කොටුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ 4 වැනි තට්ටුව, ලොන්ඩන් පෙදෙසේ විශේෂ රැඳවුම් ඒකකය, කොම්පක්‍ඳ්ක්‍ඳවීදියේ පිහිටි යුද හමුදා ඉංජිනේරු සංඥා මධ්‍යස්ථානය, පොලිස් ස්ථාන වූ කොල්ලුපිටිය, බම්බලපිටිය, දෙමටගොඩ, බොරැල්ල, මොරටුව, මාලිගාවත්ත, වරාය, මෝදර, කොම්පඤ්ඤවීදිය යන පොලිස් ස්ථානවල රිමාන්ඞ් මැදිරිවල ද රඳවා ගෙන වධ බන්ධනවලට ලක්ව අවසානයේ බොරැල්ලේ මැගසින් රිමාන්ඞ් බන්ධනගාරයේ එච් සහ එල් වාට්ටුවල රඳවා තබාගන්නා ලදී. එච් වාට්ටුව විවෘත වාට්ටුවක් වන අතර එල් වාට්ටුව විශේෂ සිරකුටි 7 ක් සහිත වාට්ටුවකි.


සිය ව්‍යාපාරයේ අරමුණු මුදුන්පත් කර ගැනීම සහ පූර්ණකාලීනයින් නඩත්තු කිරීම සඳහා ජවිපෙ නව ප්‍රවණතාවය මුදල් රැස්කිරීම සඳහා ජවිපෙ මෙන්ම විවිධ මංකොල්ලකෑම් 30ක් පමණ 1984 සිට 1985 දී සිදු කර තිබිණි. එම මුදල් රැස්කිරීමේ කටයුතු සඳහා රුවන් අබේකෝන්, ගාමිණී පතිරගේ, සැම්සන් ගුණසේකර, තිස්ස උදයකුමාර, වාස් තිලකරත්න, මහින්ද පතිරණ ඇතුළු සාමාජිකයෝ ක්‍රියාකාරීව මැදිහත් වූහ. එයට 1984 දී මඩකලපුවේදී, 1985 මැයි 14 පිළියන්දලදී සහ 1985 ජුනි 30 නුවර තැන්නකුඹුරේදී ඇතුළු ඉන්ධන පිරවුම්හල් 17 කින් පමණ මුදල් මංකොල්ලකෑම, බොරැල්ල ඇතුළු මත්පැන් අළෙවිහල් කිහිපයක මුදල් කොල්ලකෑම්, 1985 මැයි 20 වාද්දුව මහා විද්‍යාලයේ ගුරු වැටුප් රුපියල් 86,000 මුදල් මංකොල්ලය, 1985 සැප්තැම්බර් 20 මොරටුව වේල්ස් කුමාර විදුහලේ ගුරු වැටුප් රුපියල් 110,000ක මංකොල්ලය, පන්නිපිටිය ධර්මපාල විදුහලේ ගුරු වැටුප් රුපියල් 220,000ක මංකොල්ලය, බිස්කට් කර්මාන්ත ශාලාවකින් රුපියල් ලක්ෂ 12 මුදල් මංකොල්ලය, වත්තල පෙගාසිස් හෝටලයේ 325,000ක මුදල් මංකොල්ලය, ගල්කිස්ස හෝටලයේ 220,000 මුදල් මංකොල්ලය ඒ අතර විය. තවත් එවැනි මංකොල්ලකෑමකදී ඇති වූ සිද්ධියකින් පිළියන්දල මාම්පේ පදිංචි යුද හමුදා සෙබළ පී. ජී. සෝමදාසගේ මරණයද 1985 මැයි 14 සිදුවී තිබිණි. කොළඹ තෝමස් කුක් ආයතනයෙන් 1984 දී රුපියල් ලක්ෂ 30 මුදල් සහ ලක්ෂ 50ක සංචාරක චෙක්පත් ඇතුළු රුපියල් ලක්ෂ 80 මංකොල්ලයේ ප්‍රධාන සැකකරු ලෙස පොලිසිය චෝදනා කළේද ජවිපෙ නව ප්‍රවණතාවයේ නඩුවේ 3 වැනි විත්තිකරු වූ සුබසිංහ කුමාරසිංහටය. සර්වෝදයට අයත් රුපියල් 32,000ක් වටිනා නවීන යතුරුපැදියක්ද පස්යාලේදී කොල්ලකා තිබිණි.


මෙම මංකොල්ලකෑ මුදල්වලින් සංවිධානයේ පූර්ණකාලීනයින් සඳහා නිවාස 5 කුලියට ගැනීම්, යතුරු පැදි 6ක් මිලදී ගැනීම්, අවි ආයුධ මිලදී ගැනීම්, කේඩරයන් නඩත්තු කිරීම් සහ දෛනික සම්බන්ධීකරණ කටයුතු ආණ්ඩුවේ සහ ජවිපෙ තර්ජනයට ලක් වූ සාමාජිකයන් ජීවිත ආරක්ෂාවට විදේශගත කිරීම සඳහා වැනි අවශ්‍යතාවයන්ට වැයකර තිබිණි.


ජවිපෙ නව ප්‍රවණතාවේ සාකච්ඡා විටින් විට කණ්ඩායම් වශයෙන් රැස්වූයේ රත්මලාන දුම්රිය නිවාස, රාජගිරිය ඔබේසේකරපුර, තිහාරිය, වත්තල, පිළියන්දල, මොරටුව ඇතුළු ස්ථාන කිහිපයකය. සංවිධානයේ කටයුතු සඳහා වත්තල, කිරිබත්ගොඩ, අංගොඩ සහ කටුබැද්ද යන ස්ථානවලින් නිවාස 5 බදු පදනම යටතේ කුලියට ගෙන තිබිණි. කටුබැද්ද නිවසේ චූලසේන ඇතුළු ඔහුගේ මව සහ සොහොයුරියන් සිටි අතර වත්තල නිවසේ රුවන් සහ ඔහුගේ පවුලේ අය පදිංචිව සිටියහ. අංගොඩ දෙල්ගහවත්ත නිවසේ ගුණසේකර සහ පවුලේ අය පදිංචිව සිටියහ. ඊට අමතරව පිළියන්දල සුවාරපොල නිවසක්ද සංවිධානයේ කටයුතු සඳහා පරිහරණය කෙරිණි.
මෙම කණ්ඩායම වෙළඳපොළෙන් සහ උතුරේ සන්නද්ධ කැරලිකරුවන්ගෙන් මිලදී ගත් නවීනතම අවි ආයුධ සුළු ප්‍රමාණයකින් සන්නද්ධ වී තිබිණි. මෙම ආයුධ මිලදී ගනු ලැබුවේ රිවෝලරයක් රුපියල් 8,000 කට සහ පිස්තෝලයක් රුපියල් 15,000 කට වැනි මුදලකට මොරටුව, රත්මලාන සහ වව්නියාවෙනි. එසේ ගත් අවි ආයුධ අතර ඒ.කේ. 47 තුවක්කුවක්, රිපීටර් තුවක්කු, රිවෝලර් 10ක් සහ පතුරොම්ද විය. එමෙන්ම කිහිප දෙනකුට අවි පුහුණුව, ස්වයංව ජා-ඇල මුතුරාජවෙල ප්‍රදේශයේදී ලබාදුන් බවට හෙළිවිය. පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙන ඉදිරිපිට ලී මෝලේ සඟවා තිබී පොලිසියෙන් රිවෝලර් 5 ක්ද සොයාගත් අතර එම ගිනිඅවි පන්නිපිටිය සහ පැපිලියාන යන ස්ථානවල සඟවා තබා ගැනීම වෙනුවෙන් සුසිල් කරුණාරත්න, රුවන් අබේකෝන් සහ රැල්ෆ් විජේසිංහ යන තිදෙනාට අධිකරණය ඉදිරියේ චෝදනා නඟා තිබිණි. ඉරාකයේ සිට පැමිනීමේදී වායු පිස්තෝලයක් රැගෙන පැමිනි සංවිධානයේ ක්‍රියාකාරිකයකු වූ රත්මලානේ මාපිටිගම 1986 මුලදී ගල්කිස්ස පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර පසුව පහරදීමකින් පසු මියගොස් තිබුණද එය සියදිවි හානිකර ගැනීමක් ලෙසට කරුණු ඉදිරිපත් විය.

 

ජවිපෙ නව ප්‍රවණතාවය පිළිබඳව රාජ්‍ය බුද්ධි අංශ 1984 සිට අවධානය යොමු කළද කිසිවකු අත්අඩංගුවට ගැනීමට 1985 ජුනි දක්වා නොහැකි විය. පොලිසිය විසින් ඔවුන්ගේ මංකොල්ලකෑම් හඳුන්වනු ලැබුවේ ‘හයිවේ රොබරීස්’ ලෙසය. 


එහෙත් 1985 ජුනි 30 නුවර තැන්නකුඹුර සමූපකාර ඉන්ධන පිරවුම්හල කොල්ලකා පලායෑමෙන් පසු ගලගෙදර පොලිසිය මගින් එය ඉදිරිපිටදී මුහුණට මුහුණලා පැවති වෙඩි ප්‍රහාරයකින් පසු දෙදෙනකු අත්අඩංගුවට පත්විය. එම කොල්ලය සඳහා රුවන් අබේකෝන්, සැම්සන් ගුණසේකර, ගාමිණී පතිරණගේ සහ වාස් තිලකරත්න යතුරුපැදි දෙකකින් එක්ව තිබිණි. කොල්ලයෙන් පසු රුවන් විසින් පදවන ලද යතුරුපැදියෙන් වාස් පලායාමට සමත් වුවද ගුණසේකර පැදවූ යතුරුපැදියේ පසුපස ගමන් කළ ගාමිණී පතිරගේ ගලගෙදර කුරුණෑගල පාරේදී පොලිසියට කොටුවිය. දෙපිරිස අතර වෙඩි හුවමාරුවක් ඇති විය. අවසානයේ බරපතළ තුවාල ලැබූ ගාමිණී රෝහළට ඇතුලත් කළ අතර ගුණසේකර එම ස්ථානයේදීම අත්අඩංගුවට පත්විය. එම දෙදෙනාගේ ප්‍රකාශයන් අනුව සෙසු අය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අවසානයේදී මාස කිහිපයකින් සාර්ථක විය.
ජවිපෙ නව ප්‍රවණතාවයට එරෙහි පොලිස් පරීක්ෂණ සිදුකළ ප්‍රධානියා වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටෙරන්ස් පෙරේරාය. එම කණ්ඩායමට රහස් පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මොහාන් ජයසූරිය, සහකාර පොලිස් අධිකාරීවරුන් වන පුණ්‍යා ද සිල්වා, ඕ. කේ. හේමචන්ද්‍ර, ලයනල් ගාල්ලගේ, එම්. එම්. එල්. බී. ජයසූරිය, ලයනල් ගාල්ලගේ, කේ. ගජනායක, ඩී. එම්. ටී. පුස්සැල්ල ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහුද මොරටුව, තලාතුඔය, ගලගෙදර, මහනුවර, මාතර, මතුගම, මහරගම, ගාල්ල, පෑලියගොඩ, වැලිමඩ ඇතුළු පොලිසි කිහිපයක පොලිස් නිලධාරීහුද එක්ව සිටියහ.


ජවිපෙ නව ප්‍රවණතාවයේ සාමාජිකයන් වශයෙන් සිට රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනාව යටතේ නඩු පැවරූ 22 දෙදෙනාගේ විස්තර මෙසේය. ගීගනගේ චන්ද්‍රසිරි නඩුවේ 1 වැනි විත්තිකරුය. අසේල හෙවත් සමන්ත හෙවත් සරමසිංහ නමින්ද හැදින්විණි. ජවිපෙ නව ප්‍රවණතාවයේ නිර්මාතෘ සහ නායකයා ඔහුය. සිව්දරු පියෙකි. ටෙරන්ස් පෙරේරා සහ ගල්කිස්ස පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක දිසානායක, උප පොලිස් පරීක්ෂක පාලිත පෙරේරාගේ සහභාගීත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් විසින් 1986 ජූලි 7 පැපිලියානේදී අත්අඩංගුවට ගන්නා ලදී.