මැති සබය හොල්ලන විපක්‍ෂ නායක ධුරයේ පුරාණය-2

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රථම රජය 1960 අගෝස්තු පස්වැනිදා රාජාසනයේ කථාව පවත්වා උත්සවශ්‍රීයෙන් වැඩ ආරම්භ කරන ලදී. එම විවාදයේදී කථා කළ එවර විපක්ෂනායක ඩඞ්ලි සේනානායක මහතා මෙසේ පැවසූ බව මාධ්‍යවල සඳහන් විය. පසුගිය මාස තුන තුළ රට පාලනය කළ මගේ ආණ්ඩුව මේ රටට විශාල සේවයක් කළා යැයි මම නොකියමි. එය ස්ථාවර රජයක් නොවේ. දින තිස් තුනකින් එම රජය බිඳවැටුණේ ඒ නිසයි. 1956 දී එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වෙද්දී අපි මහජන එක්සත් පෙරමුණ භාර දුන්නේ ආර්ථික වශයෙන් ශක්තිමත්, ජාතිවාදයෙන් තොර රටක්. එහෙත් මේ වන විට එම තත්ත්වය නැහැ. පසුගිය ජූලි 20 වැනිදා පැවති මහා මැතිවරණයේදී ජනතාව තීන්දුවක් ලබා දී තිබෙනවා. 

එම තීන්දුව මගේ පක්ෂයට වාසිදායක වූවක් නොවේ. එම තීන්දුව අපි හිස නමා පිළිගන්නවා. අප ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදයේ උතුම් සම්ප්‍රදාය ඒකයි. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායේ උතුම් ගති ලක්ෂණයන්ට ගරු කරමින් මෙම රජය පත් කිරීමෙන් ලංකාවාසී ජනතාව අපේක්ෂා කළ සේවාව ඉටු කිරීමට විරුද්ධව පක්ෂයේ සිට සහයෝගය දෙනවා. ජනතා අභිලාෂයට එරෙහිව සිදුකරන ඕනෑම ක්‍රියාදාමයකට විරුද්ධව අපි පෙරට එනවා. විපක්ෂනායකවරයා ලෙස ඩඞ්ලි සේනානායක මහතා එම ප්‍රකාශය කළේ පැහැදිලි බහුතරයක් සහිතව නව ප්‍රබල ආණ්ඩුවක් පිහිටුවා තිබියදීය. ලංකා සමසමාජ පක්ෂයේ මන්ත්‍රීවරු 14 ක් සහ ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මන්ත්‍රීවරු 4 දෙනෙක්ද එයට විවේචනාත්මක සහයෝගය දෙමින් විපක්ෂයේ රැඳී සිටියහ. 1964 ජුනි මස 11 වැනිදා ලංකා සමසමාජ පක්ෂයද රජයට එක්වී සභාග රජයක් පිහිටුවන ලදී. මෙම නිල් - රතු සුසංයෝගයේ කටයුතු ඩඞ්ලි සේනානායක මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂයේ දැඩි විවේචනයට හේතුවිය. එපමණක් නොව රජයේ වැරදි ක්‍රියාමාර්ග පෙන්වා දෙමින් ප්‍රබල ජනමතයක් ගොඩනැගීමට ඒ මහතා සමත් විය. විශේෂයෙන් මෙරට පුවත්පත් නිදහස සීමා කිරීම සඳහා ඉදිරිපත් කළා යැයි විපක්ෂයෙන් චෝදනා ලද ලංකා පුවත්පත් මණ්ඩල පනත සහ පෞද්ගලික පුවත්පත් සමාගම් තුනක කටයුතු පාලනය කිරීම උදෙසා ගෙනා පනතද රටේ දැඩි විවාදයට භාජනය වෙමින් තිබුණි. තම නියෝජ්‍ය නායකයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතාගේද සහය ඇතිව දියත් කරන ලද සුවිශේෂී සැලැස්මකට අනුව 1964 දෙසැම්බර් තුන්වැනිදා පාර්ලිමේන්තුවේදී එම වර්ෂයේ ඉදිරිපත් කළ රාජාසන කථා ස්තුති යෝජනාව පරාජය කිරීමට විපක්ෂයට හැකිවිය. එහි සුවිශේෂිත්වය වන්නේ රජයේ දෙවැන්නා ලෙස සැලකෙන සභානායකවරයා මෙන්ම ප්‍රබල ඇමතිවරයෙකු  වූ සී.පී. ද සිල්වා මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු දාහතර දෙනෙකු රජයෙන් පිටතට ගෙන රහසේම රජය පරාජය කිරීමට හැකිවීමයි. 


මෙම පරාජයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදුව 1965 මාර්තු 22 වැනිදා යළි මහා මැතිවරණයක් පැමැත්වීමට විධිවිධාන සලස්වන ලදී. එහිදී ශ්‍රී.ල.නි.ප. පුමුඛ තුන් හවුල පරාජයට පත්විය. 1964 දෙසැම්බරයේදී රජය පෙරළීම සඳහා ඡන්දය දුන් සියලුම බලවේග එක්සත් කර ඩඞ්ලි සේනානායක මහතාගේ නායකත්වයෙන් රජයක් ගොඩනැගීමට සමත් විය. විපක්ෂ නායකවරයෙකුගේ කාර්යභාරය වනුයේ මහජන සුබසිද්ධිය වෙනුවෙන් පෙනී සිටිමින් ඒ වෙනුවෙන් සටන් කරන අතරම තම පක්ෂය ඊළඟ මැතිවරණයේදී බලයට පත් කිරීමට නායකත්වය දීමයි. එවර විපක්ෂයට ගිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය නව පාර්ලිමේන්තුවේ විපක්ෂනායිකාව ලෙස පත්වූවාය. එය කාන්තාවක් එම තනතුරට පත්වූ ප්‍රථම අවස්ථාව විය. දීර්ඝ දේශපාලන අත්දැකීම් නොමැතිව වුවත් ඇය ඉතා දක්ෂ ලෙස තම වගකීම් ඉටු කළ අතර වසර පහක් තුළ පැවති රජය අන්ත පරාජයකට පත්කෙරෙන අයුරින් තම පක්ෂයේ දේශපාලන ගමන් මග මෙහෙයවූවාය. 


එතෙක් කිසිම නායකයෙකුට ලබාගත නොහැකි වූ ආකාරයෙන් තුනෙන් දෙකේ බලයක් සහිතව නැවතත් රාජ්‍ය බලය අත්කර ගැනීමට 1970 මැයි 27 වැනිදා මැතිවරණයේදී හිටපු විපක්ෂනායිකාවට හැකියාව ලැබුණි. 
තුන් හවුල් ආණ්ඩුවේ මන්ත්‍රී සංඛ්‍යාව 115 වූ අතර එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබුණේ ආසන 17 ක් පමණි. ඒ වන විටත් එජාපයේ නායකයා වූවේ ඩඞ්ලි සේනානායක මහතා වුවත් පක්ෂ නායකත්වය තමා අත තබාගත් ඒ මහතා විරුද්ධ පක්ෂයේ නායක පදවිය තම නියෝජ්‍ය නායකයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතාට පැවරීය. මේ සා ප්‍රබල ආණ්ඩුවකට විපක්ෂව කළ හැකි දෙයක් පාර්ලිමේන්තුව තුළ වුවද දක්නට නොතිබුණි. සම්පූර්ණ ආණ්ඩු පක්ෂයේ ආසන සංඛ්‍යාවෙත් විපක්ෂයේ පසු පෙළ ආසනවලත් වාඩිගෙන සිටියේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුය. විරුද්ධ පක්ෂය ගැන එදා සඳහන් වූයේ දත් තිස්දෙක මැද දිව තිබෙන්නාක් මෙන් අනතුරුදායක ලෙස විපක්ෂය අනාරක්ෂිත බවයි. උද්වේගකාරී ගැටුම් නොයෙක් විට ඇතිවිය. එ.ජා.ප.යේ හිරියාල මන්ත්‍රී ඇස්.බී. හේරත් මහතා වරක් පාර්ලිමේන්තු සභාවාරයට පැමිණියේ හෙල්මට් හිස්වැස්මක් පැලඳගෙනය. ඒ පවතින වාතාවරණයට විරෝධය පෑමක් වශයෙනි. එවැනි බාධක මධ්‍යයේ වුවද විපක්ෂනායක ජේ.ආර්. ජයවර්ධන මහතා තම ඉඩ අවකාශය පුළුල් කර ගනිමින් මැති සබය තුළ මෙන්ම බාහිරවත් විශාල අරගලයක් ගෙන යාමට සමත්වූවේය. එහි ප්‍රතිඵලය වූවේ 1977 මහා මැතිවරණයේදී වමේ පක්ෂ බිංදුවට වැටී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද ආසන අටකින් සෑහීමට පත්වීමට සිදු වීමයි. 


හැත්තෑවේ පෙරළිය 77 දී නොපිට පෙරළියක් බවට පත්වූයේ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ කෘතහස්ත විපක්ෂනායකත්වය යටතේ ජනතාව පෙළ ගැස්වීම නිසාය. එවර සිදුවූ තවත් විශේෂ සිදුවීමක් වූවේ ප්‍රාදේශීය දේශපාලන පක්ෂයක් අතට විපක්ෂනායක ධුරය මාරු වීමය. ජාතික දේශපාලන පක්ෂයක් වශයෙන් ශ්‍රී ල.නි.ප ආසන අටකට සීමා වෙමින් දැවැන්ත පරාජයකට මුහුණ දුන් අතර ආසන 11 කට හිමිකම් කියූ උතුරේ සහ නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාව නියෝජනය කළ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට ආසන 18 ක් හිමිව තිබුණි. එනිසා වැඩිම ආසන ලැබූ එ.ජා.පය රජය භාරගත් මෙම අවස්ථාවේදී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ඒ. අමිර්තලිංගම් මහතාට විපක්ෂනායක ධුරය හිමිවිය. මෙමගින් බරපතළ අර්බුදයක් නිර්මාණය වූ බව දක්නට ලැබුණි. මෙයට පෙර විපක්ෂනායක ධුරයට පත්වූ අය බොහෝ විට ඊළඟ මැතිවරණයේදී රටේ පාලකයා විය. බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව වටහා ගත්තේද ඒ අයුරින් බව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා පිළිබඳ හසළ දැනුමැත්තෙකු වූ සර් අයිඩෝර් ජෙනින්ස්ගේද මතයයි. මෙම පදනම මත බොහෝ බටහිර රටවල් වටහා ගත්තේ අමිර්තලිංගම් මහතා ලංකාවේ ඊළඟ ජනාධිපතිවරයා විය හැකිවෙයි. එමෙන්ම විපක්ෂනායක වශයෙන් ඒ මහතාට ලැබුණු රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීම මත ඔහු කටයුතු කළේ ශ්‍රී ලංකා රාජ්‍යයට වාසි සහගතවන අයුරින් නොවේ. එවකට නැගී එමින් තිබූ දෙමළ බෙදුම්වාදී මතවාදයට ධෛර්ය හා සහාය පළ කරන ආකාරයෙනි. මෙය පරස්පර විරෝධී තත්ත්වයක ආරම්භයක් විය. පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳ ධුරාවලියේ ඉහළම තැනක් ගන්නා විපක්ෂනායක ධුරය දරන්නා බෙදුම්වාදී අරගලයකට ව්‍යංගයෙන් හෝ අනුබල දීම වටහා ගැනීම අසීරු කරුණක් විය. රටේ අනාගත නායකයා වීමේ ඉඩකඩ ඇතැයි තමන් සලකන නිල විපක්ෂනායකයා කියන දේ රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් පිළිගැනීමේ න්‍යාය අනුව දෙමළ බෙදුම්වාදී මතවාදය ලොව පුරා පැතිරීමට මෙය අනියමින් අනුබලයක් වූ බව කියනු ලැබේ. 


1983 වන විට ආයුධ සන්නද්ධ බෙදුම්වාදී අරගලය නිල වශයෙන්ම කරළියට පැමිණි අතර ද්‍ර.එ.වි.පෙ. එම බලවේගයට ප්‍රසිද්ධියේ සහාය දෙන ආකාරයත් දක්නට ලැබුණි. විශේෂයෙන්ම උතුරු - නැගෙනහිර බලය ක්‍රමානුකූලව ආයුධ සන්නද්ධ කැරලි කරුවන්ගේ බලය තහවුරු කර ගනිමින් සිටියදී ඔවුන්ට පක්ෂ වීම හැර අමිර්තලිංගම්ලාට ගත හැකි වෙනත් පියවරක් නොවුණු බව පැහැදිලි සත්‍යයක් විය. ආණ්ඩුවටද මෙම තත්ත්වය තදින්ම දැනෙමින් තිබුණි. රාජ්‍ය සේවය තුළද වෙනම රාජ්‍යයක් සඳහා සටන් කරන ත්‍රස්තවාදීන්ට උදව් කරන බොහෝ පිරිසක් සිටින බව රජය දැන සිටියේය. මෙම ව්‍යාපාරය අඩපණ කිරීමේ අරමුණ මත රජය විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට හයවැනි සංශෝධනය ඉදිරිපත් කරන ලදී. එයින් කියවුණේ රජය පාලනයේ හෝ රාජ්‍ය සේවයේ නියුතු ඕනෑම කෙනෙකු රට බෙදීමේ අරගලයකට කිසිදු ආකාරයක සහායක් නොදෙන බවට දිවිරුම් දීමක් සිදුකර අත්සන් තබා ප්‍රකාශයක් ලිඛිතව භාරදිය යුතු වීමය. ඒ. අමිර්තලිංගම් මහතා ඇතුළු ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රීවරුනට මෙම දිවුරුම් ප්‍රකාශය ලබාදීම ඉතා අපහසු කාර්යයක් විය. “අපේ කොල්ලන්” කියමින් මූලික අවස්ථාවේදී ත්‍රස්තවාදීන්ට අනුබල දුන්නේ මෙම නායකත්වයය. එමෙන්ම හයවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ දිවුරුම් ලබා දුනහොත් තම ජීවිතය අරක්‍ෂා නොවන බවද ඔව්හු දැන සිටියහ. එම නිසා ඔවුන් කළේ එම ප්‍රකාශය සිදු නොකර සිටීමය. ඒ අනුව මාස තුනක් යනතුරු පාර්ලිමේන්තු සභා රැස්වීම්වලට සහභාගි නොවී සිටීම හේතුකොටගෙන ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුර අහෝසි වී ගියේය. එහි ප්‍රතිඵලය වූවේ විපක්ෂනායක ධුරයද හිස් වීමයි. 


එම පුරප්පාඩුව සඳහා පත්කර ගනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නුවරඑළිය මස්කෙළිය ආසනයේ දෙවැනි මන්ත්‍රී අනුර බණ්ඩාරනායක මහතාය. මේ වකවානුව වනවිට එම පක්ෂය කොටස් දෙකකට බෙදී දේශපාලනය කරමින් සිටි අතර පක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පාර්ලිමේන්තුව නියෝජනය නොකළාය. 

 

 

 


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : අන්තර්ජාලයෙනි.