දිවංගත ජේ. ආර්. ජයවර්ධන මහත 1978 දී මෙරටට හඳුන්වා දුන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ප්‍රතිෂ්ඨාපනය කළ විධායක ජනාධිපති ධුරයට අසීමිත බලතල රාශියක්ම ලබාදී තිබුණේය. එහි නිර්මාතෘවරයාගේම වචනවලින් කිවහොත් එම විධායක ජනාධිපතිවරයා සතු බලතල යටතේ ඔහුට කළ නොහැකි වූයේ ගැහැනියක මිනිසෙකු බවට පත්කිරීමත්, මිනිසෙකු ගැහැනියක බවට පත් කිරීමත් පමණි.

එම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙරෙහි තම අප්‍රසාදය පළ කළ ල.ස.ස.ප. නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා එකල ප්‍රකාශ කර තිබුණේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයෙකුටවත් නොමැති අසීමිත බලතල කන්දරාවක් ශ්‍රී ලංකාවෙ විධායක ජනාධිපතිවරයාට ලබාදී ඇති බවය. එකල විසූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශ්ලේෂකයන් එම විෂයය පිළිබඳ උගතුන් හා බුද්ධිමතුන් වැඩි දෙනෙකුම ප්‍රකාශ කර තිබුණේ ඊට සමාන අදහස්ය. එහෙත් ඒ කිසිඳු අදහසක් පිළි නොගත් ජේ. ආර්. ජයවර්ධන මහතා ඒ වනවිට තම පක්‍ෂය සතුව තිබූ 5/6 ක් පමණ වූ පාර්ලිමේන්තු බලය උපයෝගී කරගනිමින් එම නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගත්තා පමණක් නොව අභිනවයෙන් ප්‍රතිෂ්ඨාපනය කරන ලද විධායක ජනාධිපති ධූරයට තෙමේම පත්වූයේය.


කෙසේ වෙතත් කුමන හේතුවක් නිසා හෝ ජේ. ආර්. ජයවර්ධන මහතා තමන් සතු විධායක බලතල ක්‍රියාත්මක කරන ලද්දේ ඉතාමත් සීමිතවය. 1988 වසරේදී තමන්ගේ දෙවැනි ධුරකාලය අවසන් වූ අවස්ථාවේ තම පක්‍ෂය සතුව පැවැති පාර්ලිමේන්තු බලය යොදා ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර යළිත් වරක් ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීමට ඔහුට හැකියාවක් තිබුණද හෙතෙම එම අවස්ථාවෙන් ප්‍රයෝජනයක් නොගෙන හැරියේය. 


ඇතැම්විට එතුමා එසේ කරන්නට ඇත්තේ තමන් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්නෙකු ලෙස ජනතාවට ඒත්තු ගැන්වීමේ අදහසින් විය හැකිය. එසේ වුවද ඔහු ඊට කලින් වසරේ එනම් 1987 දී ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා සමග ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කරනු ලැබුවේ ඊට එරෙහිව රට පුරා පැන නැගුණු මහජන විරෝධය, හදිසි නීති සහ ඇඳිරි නීති බලතල මත යටපත් කරමිනි. එසේම ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරුන්ට තම හෘදයසාක්‍ෂියට අනුව පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කිරීමටද ඉඩ නොදුන්නේය. 
ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් පත් කළ විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමක් මගින් සිදුකරන ලද ඒක පාර්ශවික පරීක්‍ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, හිටපු ඇමැතිවරයෙකු වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක සහ අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් නිහාල් ජයවික්‍රම යන මහත්වරුන් ඇතුළු පිරිසකගේ ප්‍රජා අයිතිය වසර හතක කාලයකට අත්හිටුවීමේ සිද්ධිය ද ඉතිහාසයට එක්වී ඇත්තේ විධායක ජනාධිපති බලතල දේශපාලන පලිගැනීම සඳහා උපයෝගී කරගත් අවස්ථාවක් වශයෙනි. 

 

 

ජේ. ආර්. ගෙන් පසු බලයට පත්වූ රණසිංහ ප්‍රේමදාස මහතාගේ පාලන කාලය තුළද එවැනි සිදුවීම් අඩුවැඩි වශයෙන් අසන්නට ලැබුණේය. කොටි සංවිධානයට මුදල් සහ ආයුධ සැපයීම මෙන්ම තමන්ට එරෙහිව දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලලිත්. ගාමිණී සහ ප්‍රේමචන්ද්‍ර ඇතුළු මැති ඇමැතිවරුන් කීප දෙනෙකුගේ මන්ත්‍රීධූර අහිමිකර පාර්ලිමේන්තුවෙන් පිටමං කිරීම වැනි සිදුවීම් ද හැඳින්විය හැක්කේ ජනාධිපතිවරයා සහ විධායක බලතල සීමාව ඉක්මවා ක්‍රියාත්මක කිරීමක් ලෙසය. 


මේ අතර තමන් සතු විධායක බලතල සීමාව ඉක්මවා ප්‍රයෝජනයට නොගත් එකම ජනාධිපතිවරයා ලෙස රණසිංහ ප්‍රේමදාස මහතාගේ අභාවයෙන් පසු ජනාධිපති ධූරයට පත් වූ ඩී. බී. විජේතුංග මැතිතුමා සපුරා හැඳින්විය හැකිය. ඔහු විසින් තමන් සතු විධායක බලතල ක්‍රියාත්මක කළ එකම අවස්ථාව ලෙස හැඳින්විය හැක්කේ 1995 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය ඊට වසරකට කලින් එනම් 1994 දී පැවැත්වීමට තීරණය කිරීම පමණි. 


කෙසේ වෙතත් එම තත්ත්වය ක්‍රමයෙන් වෙනත් අතකට හැරුණේ 1994 පැවැති ජනාධිපතිවරණයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජයග්‍රහණය කිරීමෙන් පසුවය. එවර පැවැති ජනාධිපතිවරණයේදී ඇය විසින් ජනතාව හමුවේ තබන ලද එක් ඡන්ද පොරොන්දුවක් වූයේ තමන් ජනාධිපති ධුරයට පත්වුවහොත් රටට ශාපයක් බවට පත්ව තිබෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවය.


කුමාරතුංග මහත්මිය වරක් හෝ දෙවරක් ඒ සඳහා වෑයම් කර තිබුණද එ.ජා.ප.ය ඒ ගැන සහයෝගයක් නොදුන් බව කියමින් ඇය එම අවස්ථාව පැහැර හැරියාය. එසේම චන්ද්‍රිකා ජනාධිපතිනිය 1995 වසර ආරම්භයේදී පමණ කොටි සංවිධානය සමග සාම සාකච්ඡා පැවැත්වීම සඳහා යැවූ රජයේ නියෝජිත කණ්ඩායමට තම සමීප හිත මිතුරන් පමණක් තෝරාගෙන තිබුණේ ද ස්වකැමැත්තට මුල් තැන දෙමිනි.


අඩුම වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුවත් එම කණ්ඩායමට එක් කිරීමට තරම්වත් ඇයට අවශ්‍යතාවක් නොතිබිණි. එම කණ්ඩායමට අයත් වූ පිළිගත හැකි එකම පුද්ගලයා වූයේ යාපනයේ හිටපු දිසාපතිවරයෙකු වූ ලයනල් ප්‍රනාන්දු මහතා පමණි. එහෙත් ඔහුට හෝ එම කණ්ඩායමට අයත් අනෙක් ප්‍රබල පුද්ගලයා වූ ජනාධිපති ලේකම් බාලපටබැඳි මහතාට හෝ එහිදී කිසිඳු වැදගත් මෙහෙයක් කළ නොහැකි වූයේ ඒ සඳහා අවශ්‍ය බලතල ඔවුන් සතුව නොතිබූ බැවිනි. 

 

 

මතු සම්බන්ධයි....

 

 

 

 

 

නිහාල් ජගත්චන්ද්‍ර