අනාදිමත් අතීතයක සිට බක් මාසය ශ්‍රී ලාංකේය ජන සමාජයට ගෙන එන්නේ උත්සව සිරියකි. එයට හේතුව වන්නේ කෘෂිකාර්මික දිවි පෙවෙතකට හුරුව සිටි එම ජනතාව තම අස්වනු නෙළාගෙන අටුකොටු පුරවා තමන්ට එම සම්පත් ලබා ගැනීමට මහෝපකාරී වූ සූර්යයාට තම ගෞරවය සහ උපහාරය පුද කිරීමට පවත්වන සැණකෙළිය එම මාසයට යොදාගෙන තිබීමයි.


මෙයට අඩසිය වසකට කිට්ටු කාලයකට පෙර නිවැරැදිවම කිවහොත් 1971 වසරේ සිට බක් මාසයට තවත් නව අරුතක් සහ නව අත්දැකීමක් එක්විය. ඒ ජනතා විමුක්ති පෙරමුණ මගින් මෙහෙයවන ලද ශ්‍රී ලාංකික සමාජවාදී විප්ලවය සාර්ථක කරගැනීම උදෙසා වූ එම අප්‍රියෙල් පස්වැනි දින සිදුකරන ලද ආයුධ සන්නද්ධ මහා අරගලයයි. දස දහස් සංඛ්‍යාත පිරිසකගේ ජීවිත පරිත්‍යාගයෙන් සහ අප්‍රමාණ දුක් කඳුළු සහ රුධිර පූජාවකින් අසාර්ථක ලෙස එය අවසන් වූ බව සත්‍යයකි. එහෙත් එම සටන මගින් ලැබූ අත්දැකීම් සහ හඳුනාගැනීම් අනාගත සාර්ථක අරගලයට ඔවුනට මග පෙන්වීමක් වනු ඇත.


හැත්තෑ එකේ අප්‍රේල් පස්වැනිදාට නියමිත වූ සටන සරල වශයෙන් සලකා බැලුවහොත් අංග තුනකට අයත් වන බව එයට යම් පමණකින් දායක වූ ප්‍රබලයෙක් කලකට පෙර මා සමඟ පැවසීය. ඒවා නම් (1) රට පුරා පොලිසිවලට එක්වර පහරදී ආයුධ පැහැර ගැනීම් සහ රාජ්‍ය තන්ත්‍රය බිඳ හෙළීම්,


(2) අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය අත්අඩංගුවට ගෙන ව්‍යවස්ථාව අත්හිටුවා ධනේශ්වර රාජ්‍යය අහෝසි කිරීම 


(3) ජවිපෙ නායක රෝහණ විජේවීරයන් සිරකොට සිටි යාපනයේ බන්ධනාගාරයට දැවැන්ත ප්‍රහාරයක් එල්ලකොට ඔහු නිදහස් කරගෙන ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය පවරා දීම වශයෙනි. අඩුවැඩි වශයෙන් දරන ලද ප්‍රයන්ත හමුවේ වුවද මෙම ක්‍රියාමාර්ග තුනම අසාර්ථක වූ බව ඉතිහාසය විසින් මනාව ඔප්පු කර තිබේ.


1905 සිදුවූ අසාර්ථක වූ සෝවියට් සමාජවා දී විප්ලවයෙන් පසු ලෙනින් මෙසේ පැවැසීය. “ඕනෑම විප්ලවවාදී ව්‍යාපාරයකට විවේචනය සහ ස්වයං විවේචනය අත්‍යාවශය අංගයකි. රටක නිර්ධන පන්තියේ විප්ලවයක් සාර්ථක කරගැනීමට නම් සටනින් ලබන අත්දැකීම් නිසි ලෙස විවේචනයට හා ස්වයං විවෙචනයට ලක්කිරීම එම විප්ලවයේ නිරතවන කාඩර්වරුනට ජයග්‍රහණය සඳහා කෙරෙන සුවිශාල මගපෙන්වීමකි.” විජේවීරයන් යාපනයේ සිරගෙදරින් මුදවා ගැනීම සඳහා දියත් කළ සැලසුමත් එයට අත්වූ ඉරණමත් පාඨක ඔබ වෙත ඉදිරිපත් කරනුයේ එකි ක්‍රියාදාමයේ අභිමානය මහත් ඉහළින් සමරණ බක් මහේ විප්ලවීය ජීවගුණය තවමත් මැකී ගොස් නැති නිසාය. මෙම අඩුපාඩු ජවිපෙ තුළ ස්වයං විවේචනයකට බඳුන් වූවා ද? නැද්ද? යන්න ගැන මම කිසිවක් නොදනිමි. මන්ද යත් මා එහි ඇතුළතෙකු නොවන බැවිනි. තම පක්ෂයේ සංවිධාන කටයුතු සඳහන් විශේෂයෙන් ළඟ ළඟම එන ආයුධ සන්නද්ධ විප්ලවය ගැන තම අනුගාමිකයන් දැනුම්වත් කරමින් විජේවීර මහතා සියලු දිස්ත්‍රික් ආවරණය වන මහා සංචාරයක යෙදෙමින් සිටියේය. එහෙත් පහරදීම සිදුවන දිනය දැනුම් දීමක් වූවේ නැත. ඔහු අම්පාරේ ප්‍රේමරත්න දොඩම්ගොඩගේ නිවසේදී 1971 මාර්තු 13 වැනිදා පොලිස් අත්අඩංගුවට පත්විය. මෙය ජනතා විමුක්ති පෙරමුණට වැදුණු මරු පහරක් විය. ඒ පිළිබඳව එම පක්ෂය මෙම නිවේදනය නිකුත් කර තිබුණි.


විජේවීර සහෝදරයා ඇතුළු
විප්ලවවාදීන් නිදහස් කරනු
“ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවරයා වූද එහි ප්‍රධාන ලේකම් වූද රෝහණ විජේවීර සහෝදරයා පසුගිය 13 වැනිදා අම්පාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ලාංකික විප්ලවවාදී ජනතාව වෙත සහෝදරත්වයෙන් පිරි සොවින් දැනුම් දෙමු.”


රෝහණ සහෝදරයා අත්අඩංගුවට ගත්තේ අම්පාර ප්‍රදේශයේ  ප්‍රචාරක රැස්වීමක් සඳහා අවශ්‍ය වැඩකටයුතු සකස් කරගෙන යන අතරමගදීය. ඒ සමඟ ජනතා විමුක්ති පෙරමුණේ තවත් සහෝදරයන් හය දෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇත.


මේ සිද්ධියට පෙර එනම් පසුගිය නව වැනිදා දේශප්‍රේමී ශිෂ්‍ය පෙරමුණේ සභාපති මහින්ද විජේසේකර සහෝදරයාත් තවත් සහෝදරයෙකුත් සහෝදරියකුත් රක්වාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


මේ සිද්ධිවලින් තේරුම් යන්නේ රටේ සැබෑ ලෙසම සමාජවාදය පතා පෙරට ඇදෙන නිර්ධන පන්ති විප්ලවවාදී  ව්‍යාපාර මර්දනය කිරීමට ධනපති පන්තිය විසින් ගෙන යනු ලබන නිහීන ක්‍රියාමාර්ගයක ඉදිරි පියවරයන් ඉතා දරුණු සහ කෘර වන බවයි. බංකොලොත් ධනේශ්වර ක්‍රමයෙන් දිගින් දිගටම පහර කෑවා වූත්, ධනපති පාලක පන්තීන් විසින් ඉතිහාසය විසින් රවටනු ලැබුවා වූත් ලාංකික නිර්ධන පන්ති ජනතාව සමග විජයග්‍රහණයේ මාවතේ පෙරට ඇදෙමින් සිටින ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කළේ රෝහණ විජේවීර සහෝදරයායි. රෝහණ විජේවීර සහෝදරයා තම වැඩිමහල් ජීවිතය මුළුමනින්ම කැප කළේ ලාංකික නිර්ධන පන්ති ජනතාවගේ අනිවාර්ය පන්ති අවශ්‍යතාව වූ ශ්‍රේෂ්ඨ සමාජවාදී ලංකාවක් ගොඩ නැගීමේ කටයුත්ත සඳහා ජනතාව මෙහෙයවන නිර්ධන පන්ති විප්ලවවාදී පක්ෂය ගොඩනැංවීම සඳහාය. මේ ධනේශ්වර සමාජ ක්‍රමය තූළ තමාට ලබා ගැනීමට පුළුවන්කම තිබූ සියලුම වරප්‍රසාද පීඩිත බහුජන සමාජයන්ගේ පන්ති උවමනාවන් වෙනුවෙන් අතහැර දමා ලාංකීය විප්ලවය සඳහා වූ නොසෑහෙන විශ්වාසයෙන්ද ලාංකීය විප්ලවය කෙරෙහි වූ අධිෂ්ඨාන සහගත බලාපොරොත්තුවෙන්ද විමුක්තිය සහ සමාජවාදය පතා කෙරෙන ජනතා අරගලය කරා දේශප්‍රේමී විප්ලවවාදී ජනතාව මෙහෙයවමින් සිටියේය.


ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවරයා වශයෙනුත් පෙරට ගෙන යාමේ නියමුවා වශයෙනුත් සිය ශ්‍රේෂ්ඨ යුතුකම් කොටස දශමයකුදු නොපිරිහිහෙලා ඉටු කළේ ජනතා විමුක්ති පෙරමුණ ලාංකික පීඩිත බහුජන සමූහයාගේ විප්ලවයේ එකම පැතුම හා බලාපොරොත්තුව මෙන්ම සිය වැඩිමහල් ජීවිතයේ පරම පැතුම හා උත්තරීතර ඵලය ලෙස සලකා ගත් හෙයින්ය.


විදේශීය අධිරාජ්‍යවාදීන් සහ දේශීය ධනපතියන්ගේ සෙවණේ රැකෙන ධනපති තුන් හවුල් ආණ්ඩුව විප්ලවවාදීන් පොලිස් අත්අඩංගුවට ගන්නේ බංකොළොත් ධනපති සමාජ ක්‍රමය රැකීම සඳහා තමන්ගේ පන්ති යුතුකම ඉටුකිරීමක් වශයෙනි. යටත් විජිත අර්ථක්‍රමයේ මරණාසන්න අර්බුදයත් සමග පුපුරා කඩා හැලීමට ආසන්න මේ දුෂ්ට ධනේශ්වර සමාජ ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යා හැක්කේ පුළුල් බහු ජනතාව වෙත එම අර්බුදයේ බර පැටවීමෙනි. ද්‍රෝහී හත්හවුල් ආණ්ඩුව යටතේ පස් අවුරුද්දක් පුරාම දුක් පීඩා වින්ද ජනතාව සමගි පෙරමුණ සිය දැවෙන ප්‍රශ්න යම්තමින් හෝ විසඳා ගැනීමේ බලාපොරොත්තුවෙනි. ධනපති ක්‍රමය රකිනතාක් සමාජවාදී ඇඳුම් පැලඳුම් කොතෙක් ඇඳ ගත්තද සමගි පෙරමුණු ආණ්ඩුවට ජනතාවගෛ් ගිනිගෙන දැවෙන ප්‍රශ්න එකක්වත් විසඳීමට නොහැකිය. ධනපති පාලන ක්‍රමය යටතේ ජනතාවට උරුම වන පීඩනය, දුක්වේඳනා ඉහළ යත්ම ජනතාව අනිවාර්යෙන්ම යොමුවන්නේ විප්ලවයේ මාවතටයි. බංකොළොත් ධනේශ්වර පාර්ලිමේන්තු ක්‍රමයෙන් බැට කන ජනතාවට විමුක්තිය ලබාගත හැකි එකම මාවත ද එයයි. නිර්ධන පන්ති විප්ලවය ඉදිරියේ බියෙන් හා වියරුවෙන් වෙව්ලන ධනපති පාලක පන්තියට මෙතන දී ගත හැකි එකම පියවර වන්නේ වැඩෙන විප්ලවාදී ව්‍යාපාරය නිහීන ලෙස මර්දනය කිරීම සහ ඝාතනය කිරීමයි.


ලාංකික නිර්ධන පන්ති ජනතාව වෙත විමුක්තියේ රතු ධජය ඔසවා ගෙන ආ ජනතා විමුක්ති පෙරමුණ අන් කවර පක්ෂයකටත් වඩා පාලක පන්තීන්ගෙන් නිර්දය ලෙස පහර කෑ පක්ෂයයි. පසුගිය ද්‍රෝහි හත් හවුල් පාලනය යටතේ බිහිසුණු මර්දනයකට මුහුණ දුන් අප පක්ෂයට දැන් නැවත සමාජවාදී යයි කියාගන්නා ආණ්ඩුවක් යටතේද හිමිවන්නට යන්නේ මර්දනයද? පසුගිය මාස කීපය තූළ ජවිපෙ සහෝදරවරුන් පොලිස් අත්අඩංගුවේ තබා ගනිමින් ක්‍රමානුකූලව ඉදිරියට ආ මර්දනයේ අලුත්ම පියවර වූ රෝහණ විජේවීර සහෝදරයා අත්අඩංගුවට ගැනීම මෙරට මුළුමහත් විප්ලවවාදී ජනතාවට ආණ්ඩුවෙන් කෙරෙන අනතුරු ඇඟවීමකි. නිර්ධන පන්ති පක්ෂයේ නායකයන් අත්අඩංගුවේ තබා ගැනීමෙන් සිරකිරීමෙන්, ඝාතනය කිරීමෙන් එම පක්ෂවල මැඩීම සහ ක්‍රියාකාරිත්වය ඇනහිටවීමට පුළුවන් යැයි ධනපති පාලකයෝ සිතති. බොලිවියාවේ චේ ගුවේරා, මොරොක්කෝවේ බෙන් බර්කා වැනි සහෝදරවරුන් ඝාතනය කිරීමෙන් අධිරාජ්‍යවාදීන් අසාර්ථක ලෙස අත්හදා බැලුවේ එයයි. ලාංකික විප්ලවවාදී ව්‍යාපාරයට ද එවැනි බිහිසුණු අත්දැකීම් ඉදිරිපත් කිරීමට ධනපති පාලකයන් විසින් ගැනීමට ඉඩ ඇති පියවරයන් ගැන අනතුරු ඇඟවීමක් අපි මෙයින් ලාංකික සහෝදරවරුන් වෙත තබමු.


රෝහණ විජේවීර සහෝදරයා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය කෲර ධනපති පාලකයන් විසින් ඇතැම් විට ජනතාවගෙන් වසන් කිරීමට පුළුවන. විජේවීර සහෝදරයාට උන් අත්කරන ඉරණම ද එසේ ජනතාවගෙන් සැඟවීමට තරම් මේ නිවට පාලකයන් බියට පත්වන්නට පුළුවන. 


ලාංකික නිර්ධන පන්ති ජනතාවගේ ප්‍රගතියේ උදාරතර නියමුවා වූත්, ලාංකික විප්ලවයේ අසමාන ගුරුවරයා වූත් සදාදාරණීය ජනතා පුත්‍ර රෝහණ විජේවීර සහෝදරයා පොලිස් අත්අඩංගුවේ සිටින බව ලාංකික ජනතාව වෙත අපි හඬ නගා කියමු.

 


අපි අපේ සහෝදර නිර්ධන පන්ති ජනතාවගෙන් මෙසේ ඉල්ලා සිටිමු. ඔබේ පන්තිය වෙනුවෙන්, ඔබේ පන්ති සහෝදරවරුන්ගේ සැපත හා විමුක්තිය වෙනුවෙන් මෙතෙක් මුළු විමුක්තිය මිරිකා හළ රෝහණ විජේවීර සහෝදරයා, පොලිස් අත්අඩංගුවට ගැනීමේ නිහීන නින්දිත ක්‍රියාව හෙළා දකින්න. රෝහණ සහෝදරයාත්, මහින්ද සහෝදරයාත් ඇතුළු දැනට සිර භාරයේ සිටින ජවිපෙ සියලුම සහෝදර සහෝදරියන් වහාම නිදහස් කරන ලෙස බලකරන්න.


අපේ සහෝදර ජනතාව වෙත තවත් කිව යුත්තක් ඇත. පොලිස් අත්අඩංගුවේ සිටින රෝහණ සහෝදරයා විනාශ කිරීමේ අරමුණින් අවස්ථාවාදීන් හා ද්‍රෝහීන් විසින් ඇතැම් විට ජවිපෙ නමින් කලබල හා ත්‍රස්තවාදී ක්‍රියා ඇති කිරීමට පුළුවන. පසුගිය මාස කිහිපය තුළ නොයෙක් ත්‍රස්තවාදී කණ්ඩායම් සහ පුද්ගලයන් විසින් කරන ලද නොයෙක් කඩාකප්පල්කාරී ක්‍රියාමාර්ගයන් සහ සොරකම් ජවිපෙ මත පැටවීමේ ද්‍රෝහි ඛේදජනක සහ යටිකූට්ටු වැඩපිළිවෙළක් පැවතුණි. එය අදත් පවතී. මෙවැනි ක්‍රියා මාලාවක් ධනපති පන්තිය විසින්ම ඔවුන්ගේ ඵල ප්‍රයෝජනය සඳහා විප්ලවවාදී ව්‍යාපාරය අප්‍රසාදයට පත් කිරීමේත්, ඝාතනය කිරීමේත් යටිකූට්ටු චේතනාව මත ක්‍රියාත්මක කරනු ලබයි.
ජනතාවෙනි, විප්ලවවාදී සුපරික්ෂාකාරීත්වයෙන් යුතුව අවදිව සිටින්න.


විප්ලවවාදීන් අත්අඩංගුවට ගැනීම් වහා නවතව්. රෝහණ විජේවීර සහ මහින්ද විජේසේකර ඇතුළු ජවිපෙ අනෙකුත් සහෝදර සහෝදරියන් වහාම නිදහස් කරව්. අධිරාජ්‍යවාදයට විනාශය - ජනතාවට විමුක්තිය. ධනවාදයට විනාශය - ජනතාවට සමාජවාදය.


ජනතා විමුක්ති පෙරමුණ මේ ආකාරයෙන් ප්‍රචාරක දැන්වීම් කීපයක්ම නිකුත් කළ ජවිපෙ නායකයෝ රටපුරා ක්‍රියාත්මක වූ පෝස්ටර් ව්‍යාපාර මගින්ද විජේවීර නිදහස් කරගැනීම පිණිස රජයට බල කළහ. ජනතාව දැනුම්වත් කළහ. ඔවුන් දැඩි ලෙසම ඒ මගින් අවධාරණය කළේ තම නායකයා ඝාතනය කරනු ඇතැයි යන බියයි.


අප්‍රේල් 05 වැනිදා දිවයින පුරා පහර දී රාජ්‍ය බලය අත්කර ගැනීමට සමගාමීව යාපනය හිරගෙදරට කඩා පැන නායකයා නිදහස් කරගැනීමේ වගකීම පැවරුණේ බර්ටි රන්ජිත් නම් පක්ෂ ක්‍රියාධරයෙකුටය. දිවුලපිටිය ආසනයට අයත් බඩල්ගම පදිංචිකරුවෙකු වූ ඔහු එවකට මිනුවන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවෙකි. ජවිපෙ කෙරෙහි පැවැති අපමණ පක්ෂපාතීත්වය හා කැපවීම නිසා ඔහු මෙවැනි භාරදූර වගකීමක් භාරගත්තා නිසැකය. දුම්රියෙන් දහදෙනෙකු වැනි පිරිසක් සමග යාපනයට යද්දී ගමන් මලු තුළ බෝම්බ රැසක් ගෙන යාමට ඔවුහු අමතක නොකළහ. ඔහු සටහන් කර ඇති අන්දමට සිද්ධිය මෙසේය. “අපි කණ්ඩායමක් හිරගෙදර තාප්පය දිගේ විජේවීර සිරකරගෙන සිටි ඊ1 කාමර පෙළ අබියසට ගියෙමු. මේ කණ්ඩායම පියුමසේන කන්නන්ගර සහ මැදගම කුඩා මහත්තයා සිටි බව මට මතකය. අපි විජේවීරට හඬ ගසා කතා කළ නමුදු ඔහු නිහඬව සිටියේය. විජේවීර සිටි ඊ1 කාමර පෙළ තිබුණේ බන්ධනාගාරයේ පවුරට යාර හතළිහක් පනහක් පමණ දුරකිනි. අපි පවුර දිගේ ඔහු සිටි කාමර ආසන්නයට ගියෙමු. එතැන සිට මම විජේවීර ඇමතුවෙමි. අපි කොටු පවුරට ආවේ ගස් ලබු ගස් දෙකක් මගින් තාප්පය අසල වහලයට නැග වහළ දිගේ ගොස් පවුරට නැගීමෙනි. මා හිතන විදියට අප හා විජේවීර රඳවා තිබුණු මැදිරිය අතර දුර යාර හතළිහක් පමණි. මා සමග සිටි ජයන්තට වෙඩි වදින විට උදේ 4.30 ට පමණ ඇත. අපගේ අවසාන බෝම්බය පාන්දර පහට පමණ විසිකරන්නට ඇත. උදේ 6.30 පමණ වන විට හමුදාව කොටුව තුළට ඇතුළු විය. අපි ක්‍රමයෙන් කොටු පවුර දිගේ හිරගේ පැත්තට පසු බැස ගියෙමු. උදේ 8.00 වන විට හමුදාව සහ පොලිසිය අප කොටුකර අවසන්ය. යාපනය බන්ධනාගාර ප්‍රහාරය මේ අයුරින් අසාර්ථක විය. යාපනය පොලිසියට පහර දීමට අත් වූයේද මෙවැනි පරාජයකි.


එවැන්නක් සිදුවූයේ ඇයි? පක්ෂයේ තීරණය පරිදි මෙම පහරදීම් ගැන මූලික අධ්‍යයනයක් කර සැලසුමක් සකස් කිරීමට බර්ටි රන්ජිත් සහ තවත් කීප දෙනෙක් මාර්තු 30 වැනිදා බඩල්ගම සිට යාපනයට පැමිණියහ. 

ධර්මසිරි ෆොන්සේකා වීරසිංහ, පියුමසේන කන්නන්ගර සහ හේමවර්ධනද ඔහු සමග වූහ. මෙය මෙම සටන්කරුවන්ගේ ප්‍රථම යාපනය ගමන බව මෙහිදී පාඨක අවධානයට යොමුවියය යුතුය. වෙනස් භාෂාවක් කතා කරන වෙනස් සංස්කෘතියක් සහිත යාපන ප්‍රදේශය ඔවුන්ට දැනුණේ වෙනස් ලෝකයක් විලසිනි.


“පසුදින පාන්දරින්ම කොටුවට ගිය අපි එහි ඇතුළත විමසුම් ඇසින් බලා ගත්තෙමු. සිරගෙදර අසල ඇති පිට්ටනිය හරහා ගොස් සංචාරකයන්ට කොටු පවුරට නැගීමට ඇති පඩි පෙළ දිගේ උඩට නැග කොටු පවුර මෙන්ම පිටින් ඇති ආරක්ෂක තත්ත්වය ද දැක බලාගත්තෙමු. සිරගෙදර ඉදිරිපිට ඇති පොලිස් මුර පොළ පසු කළ අපි සෙමින් ඇවිදගෙන එළියට ආවෙමු. එළියේ පොලිසියෙහි පිහිටීම ආදිය ගැනත් හොඳින් බලා ගත්තෙමු. ඉන් අනතුරුව අප ගත් තීරණය වූවේ.


(1) පොලිසියේ සිය ගණනක් සිටින බැවිනුත් එහි දිවා රාත්‍රී විශාල මුරකාවල් යොදා ඇති නිසාත් විජේවීර පැවසූ ලෙසම පන්සියයක් දෙනා යාපනයට යා යුතුය.
(2) පහර දීමකට  සූදානම් වීමට මාසයක් තරම්වත් කාලයක් අවශ්‍යය.
(3) පහර දීමකට අඩුම තරමින් තුවක්කු 200 ක් සහ බෝම්බ යාපනයට සැපයිය යුතුය.
(4) හිරගෙදර ඇතුළත රූප සටහනක් සකස් කළ යුතුය. එය මුළු පවුරෙහිම හා හිරගෙය තුළත් එමෙන්ම විජේවීර රඳවා සිටින තැන ආදිය ගැනත් විස්තර ඇතුළත් විය යුතුය.


මේවා ක්‍රියාවට නැගීනම් අප සංවිධානයට සම්බන්ධ දොස්තරවරු දෙදෙනෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි යාපනය ප්‍රදේශයට මාරුවක් ගැනීම එම වෛද්‍යවරුන්ගේ නිල බඩු සමග තුවක්කු සහ බෝම්බ යාපනයට යැවීම සහ පහර දෙන දිනට සතියකට පෙර පුංචි කණ්ඩායම් වශයෙන් අප සහෝදරයන් යාපනයට යැවීම.


ප්‍රහාරයට යන සහෝදරවරුන් අතරින් දෙදෙනෙක් යාපනයට යන අතර මගදී ටිකට් නොමැතිව ගොස් යාපනයේදී අසුවීමටත්, උසාවියෙන් දඬුවම් ලබා ගොස් සිරගත වීමටත් ඔවුන් විජේවීර සමග සම්බන්ධකම් ඇතිකර ගැනීමටත් නියමිතව තිබුණි. එම කාර්යයට පියසේන, ධර්මසිරි සහ විජේසිංහ එකඟ වී සිටියහ.


මෙම සැලසුම් ක්‍රියාත්මක වීද? පහරදීම  සිදුවුණේ දවස් පහක් ඇතුළතය. බන්ධනාගාර සැලසුම පිළිවෙල වූවේ නැත. වෛද්‍යවරුන් මාරුවීම තබා ඔවුන් අත යැවීමට යෝජිත වූ ආයුධ හෝ බෝම්බ ලැබුණෙත් නැත. යම් පමණක බෝම්බ ප්‍රමාණයක් තිබුණත් යාපනයට යනතුරුත් ඒවායේ කැප් සවිකර නැත. හිරගෙදරට සහ යාපනය පොලිසියට පහරදීමටත් යන සටන් දෙක සඳහාම සිටියේ එකසිය පනහකට අඩු පිරිසකි. මේ කිසිවෙකුට ගිනි අවි පාවිච්චි කිරීම සඳහා පුහුණුවක් ද ලැබී නැත.


ආයුධ පාවිච්චි කිරීමට නොදන්නා පිරිසකට තුවක්කු සැපයීමෙන් ඇති පලක් නැත. රැගෙන ගිය බෝම්බ ටික එළියට ගත් මෙම පිරිස නවාතැන් ගැනීමට වෙන්කර තිබූ නාග විහාරයේ විශ්‍රාම ශාලාවේ කුටියෙදී බෝම්බවලට කැප් සවිකරමින් සිටියහ. රට පුරා හදිසි තත්ත්වය සහ ඇදිරි නිීතිය ප්‍රකාශයට පත්කර තිබුණු පසුබිම හමුවේ ආරක්ෂක අංශ සෝදිසි මෙහෙයුම් වැඩිකර තිබුණි. මෙසේ යන හමුදා කණ්ඩායමක් නාග විහාර ආශ්‍රිත විශ්‍රාම ශාලාවට පැමිණියේ අහම්බෙන් මෙනි.


එය සාමාන්‍ය පරිදි කෙරෙන සෝදිසියකි. කිසිදු තොරතුරක් ලැබීමෙන් සිදු කෙරුණේ නොවේ බර්ටිලා නැවැතී සිටි කාමරයේ සෑම තැනම අත්බෝම්බ විය. අස්කර ගැනීමට කාලවේලාවක් නැත. තමන්ට ලැබී තිබුණ පැදුර බෝම්බ මත එළාගත් සටන්කාමීහු ඒ මත නිදාගත්හ. ඔවුන්ගේ දෛවරය අකාරුණික නොවීය. බෝම්බ නොපිපුරුණි. හිස් කාමරයක පැදුරක් මත නිදා සිටින තරුණයන් කීප දෙනෙකු පමණක් දුටු හමුදා භටයෝ ආපසු ගියහ.


රාත්‍රියේ ප්‍රහාරය ආරම්භ කළ යුතුය. ඔවුහු ගිවිස ගත් පරිදි නියමිත ස්ථානයට ගියහ. අනෙක් පිරිස එනතුරු බලා සිටියහ. කණ්ඩායමක් යාපනය සිංහල මහා විද්‍යාලයට පැමිණ වගකීමෙන් වැඩි කොටස බාරගත් මංජු, උපාලි තිලකසිරි හෝ උපාලිත් ඔවුන්ගේ කණ්ඩායමක් තවමත් නැත. කලින් උපදෙස් ලැබී තිබුණු ආකාරයට නම් පලාලි හමුදා කඳවුරෙන් සහ නාවික හමුදාවේන් ජවිපෙට සහාය දෙන විශාල පිරිසක්ද පැමිණිය යුතුය. ඒ කිසිවෙකුද නැත. කස්ටම් පියදාස සමග පිරිසක් ඔහුගේ හිතවතුන් පිරිසක් ඔවුන් තැනූ බෝම්බද සමග පැමිණියේය. එක් කණ්ඩායමක් නන්දන මාරසිංහ සැම්සන් ආදීන්ගේ නායකත්වයෙන් යාපනය පොලිසියට  පහර දීමට පිටත්ව ගියහ.


දැන් කාලයද ඉතා වැදගත්ය. තීරණයක් ගත යුතුය. බර්ටි ඔහුගේ පිරිස ඇමතීය. සහෝදරවරුනි, “ඔබලාටද හොඳින් පෙනෙන අයුරු අපේ කණ්ඩායමේ වගකීම් භාර ගත් සොයුරන් මෙහි පැමිණ නැත. අද රාත්‍රී 11.38 ට ලංකාව පුරා අපේ සොයුරු සොයුරියන් පොලිසිවලට සහ හමුදාවට පහර දෙනු ඇත. තවත් වැඩි වේලා නොගොස්ම අපගේ අනෙක් සොහොයුරු කණ්ඩායම යාපනය පොලිසියට පහර දෙනු ඇත. අපට ඇත්තේ ඉතා විශාල වගකීමක්. ඒ අපේ නායකයා නිදහස් කර ගැනීමයි. අපේ නායකයෝ ඇවිත් නැති වුවත් අපි පහරදීම කළ යුතු බව මගේ අදහසයි. ඒ වුණත් විශේෂයෙන්ම ඔය සහෝදරවරුන්ගේ නායකයන් පැමිණ නැති නිසා පහර දෙනවාද? නැද්ද? යන්න ඔය සහෝදරවරුන් තීරණය කළ යුතුයි. මගේ පෞද්ගලික හැඟීම නම් පහර දිය යුතු බවයි.


ඒත් ඔය සහෝදරයන්ගේ තීරණයකට මම එකඟ වෙනවා.” බර්ටි රන්ජිත් පැවසීය. සිටින සීමාසහිත පිරිස බෙදී කණ්ඩායම් කීපයක් වශයෙන් සිර ගෙදරට ඇතුළු වීමට උත්සාහ ගත්හ. පොලිස් මුරපොළ අසලට ගිය බර්ටි මහ හඬින් මෙසේ ප්‍රකාශ කළේය. “අපි ආවේ විජේවීර සහෝදරයා නිදහස් කරගන්න. අපි එළියේ පොලිසියට ගහලා ඉවරයි. අපි අද ලංකාවෙම බලය අපි අතට ගන්නවා. වෙඩි තැබීම් නතර කරලා අපට යටත් වෙයල්ලා. බැරිවෙලාවත් අපේ එක්කෙනෙකුට වෙඩි වැදුණොත් උඹලා ඔක්කොම මරණවා. පේනවා නේද උඹලට උදව්වට එන්න කවුරුවත් නැහැ. වෙඩි තැබිල්ල නතර කරලා අපට යටත් වෙයල්ලා.
ඉතිරි කොටස ලබන සතියට.

සෝමසිරි වික්‍රමසිංහ