සිනමාවේ ජනප්‍රියම නළුවාද, දේශපාලනයේ ජනප්‍රියම දේශපාලනඥයාද වීමේ දුලබ වාසනා ගුණ මහිමය දෝතින් ගත් විජය කුමාරතුංගයන් ඝාතනය කර තිස් වසරක් ගෙවී ගියේය. පිරිපුන් මානව හිතවාදියකු ලෙස ජනයාගේ ආදරය දිනාගත් විජය දේශපාලන හේතු මත ඝාතනය කළද ඒ සොඳුරු මතකය කිසි විටෙක මිය නොයයි. 


මේ ඒ සොඳුරු මිනිසා ළඟින් ඇසුරු කළ, එකට දේශපාලනය කළ හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා සමග කළ සංවාදයක් ඇසුරෙන් ලියැවෙන විජය පුරාවතයි. 


විජය වසර 1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රෝහලේ දී උපත ලැබූ අතර ඔහුගේ පියා වූයේ බෙන්ජිමින් කුමාරතුංගය. මව බියටි්‍රස් පෙරේරා වූවාය. විජයට සහෝදර සහෝදරියන් තිදෙනෙකි. ඔවුහු සිඞ්නි කුමාරතුංග, විවියන් කුමාරතුංග හා රූපා කුමාරතුංග වේ. 


විජය කුමාරතුංගයන් සීදූව මහ විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ අතර පසුව කඳාන මැසනද් විදුහලෙන් හා කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා තිබේ. පාසල් සමයේ ඔහු දක්‍ෂ වොලිබෝල් ක්‍රීඩකයෙකි. කුඩා කල සිටම මානව හිතවාදියකු මෙන්ම අන් අයගේ දුකට පිහිටවූ ශ්‍රේෂ්ඨ පුද්ගලයකු බව විජය සමග පාසල් මිතුරෙකු වූ හිටපු අමාත්‍යවරයකු වූ ෆීලික්ස් පෙරේරා මහතා පැවසීය. 


විජයගේ අතීතය සිහිපත් කළ ෆීලික්ස් පෙරේරා මහතා:


මම විජයව දැන හැඳින ගත්තේ අවුරුදු 15 වගේ කාලයක සිටයි. එතුමා සීදුවේ. මම ජාඇල. අපේ ගෙවල් අතර කිලෝමීටර් 2ක 3 ක වගේ පරාසයක් තමයි තිබුණේ. එතුමන් මමත් කුඩා කාලයේ ඉඳලා ඉතා ළඟින් මිතුරු කමක් තිබුණා. විජය ඉස්සර වෙලාම ගියේ ශාන්ත බෙනඩික් විද්‍යාලයට. පසුව කඳාන ද මැසනද් විද්‍යාලයට අධ්‍යාපනය ලබන්න පැමිණියා. අපි බොහෝම හිතවත්. විජය වොලිබෝල් ක්‍රීඩා කරනවා. අපි පාපන්දු ක්‍රීඩා කරනවා. හොඳ ක්‍රීඩකයෙක් පාසල් යන කාලයේ. 


විජයට අවශ්‍ය වුණේ පොලීසියට බැඳෙන්න. ඒ සඳහා ඉල්ලුම් කළ ඔහු ආධුනික උප පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස තෝරාගෙන තිබිණ. එහෙත් පොලිසියට බැදීමට පෙර විජය චිත්‍රපට ක්ෂේත්‍රයට ඇද ගියේය. ඊට පස්සේ තමයි රංගනයට පිවිසුණේ. ඒ කාලයෙන් අපේ මිතුරු දමේ අඩුවීමක් වුණේ නැහැ. හැබැයි අපි දෙන්නා කොච්චර මිතුරු වුණත් මම දැන හිටියේ නැහැ. විජයට ලස්සනට ගීත ගයන්ත පුළුවන් කියලා. එහෙම ප්‍රසිද්ධියේ ගීත ගයන්න ආවේ නැහැ. හැබැයි බොහොම චාම් ජීවිතයක් ගත කළ අයෙක්. ඒක මම හොඳට දන්නවා.


විජය කුමාරතුංගයන් මුලින්ම සිනමා ජීවිතයට පිවිසෙන්නේ සුගතපාල සෙනරත් යාපා අධ්‍යක්‍ෂණය කළ හන්තාගේ කථාව චිත්‍රපටයෙනි. ඔහු ඊට පෙර පුවත්පත් දැන්වීමකට අනුව මනමාලයෝ චිත්‍රපටයේ සමූහ චරිතයකට පෙනී සිට ඇත. ඒත් හන්තානේ කථාව චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පෙනී සිටිමින් විජය කුමාරතුංග සිනමාවෙන් දුර ගමනක් පියමන් කළේය. චිත්‍රපට 114ක ප්‍රධාන චරිතය රඟපා ඇති විජය 1983 වසරේ සිට 1988 දක්වා සරසවිය ජනප්‍රියතම නළුවා සම්මානය නොකඩවා දිනා ගත්තේය.


එය එකල සිනමාවේ වාර්තාගත සිදුවීමකි. “ගෝඞ් කින්ග්” නමැති ඉංග්‍රීසි චිත්‍රපටයේත් “නන්ගුරාන්” නමැති දෙමළ චිත්‍රපටයෙත් විජය රඟපා ඇත. විජයම නිෂ්පාදනය කළ ප්‍රථම චිත්‍රපටය වූ “වරදට දඬුවම” චිත්‍රපටය තිරගත වූයේ ඔහුගේ මරණයෙන් පසුවයි. විජය රඟපෑ අවසන් චිත්‍රපටය “ඇය ඔබට බාරයි” චිත්‍රපටය 1997 වසරේදී ප්‍රදර්ශනය විය. ඒ වනවිට විජය මරා දමා අවසන්ය.


විජය කුමාරතුංගයන් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේ 1977 මහ මැතිවරණයෙන් කටාන ආසනයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් තරඟ කිරීමත් සමගයි. ඔහු එහිදී ඡන්ද 19,738 ලබා ගැනීමට සමත් විය. ඔහු ක්‍රියාකාරී ලෙස 1982 වසරේදී පැවති ජනාධිපතිවරණයේදී හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ජයග්‍රහණය කරවීමට සටන් වැදුණු බව හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා පවසයි.


විජය කුඩා කාලයේ ඉඳලම වාමාංශික දේශපාලනයට බර චරිතයක්. මමත් වාමාංශික දේශපාලනයට බර නිසා අපි දෙන්නා අතර ඉතා හොඳ සබඳතාවක් තිබුණා. අපි මුලින්ම දේශපාලනය ආරම්භ කළේ සමසමාජ පක්‍ෂයෙන්. මේක ගොඩක් දෙනෙක් නොදන්නා කාරණයක්. අපි සම සමාජ පක්ෂයට බැඳුණා. අපි දෙන්නම රතු පාට කමිස තමයි ඇන්ඳේ. රතු කමිස ඇඳගෙන මේ පළාතේ ඉන්න කොට එතරම් පිළිගැනීමකට ලක්වුණේ නැහැ අපිව. මොකද මේක කතෝලික ජනතාවක් සිටින ප්‍රදේශයක්නේ. විප්ලවවාදී හැඟීමක් තමයි තිබුණේ. විප්ලවවාදී හැඟීමක් අපි තුළ තිබුණ නිසා තමයි අපි රතු පාට කමිස ඇඳගෙන සිටියේ. අපි පංතිවලට ගියා. ඒ ප්‍රතිපත්ති පිළිපැද්දා. වමේ දේශපාලන ගතිය අපේ හදවත් තුළ තැන්පත් වුණා. 


මැතිනියගේ ප්‍රජා අයිතිවාසිවකම් අහෝසි කළ වේලාවේ රැස්වීමක් තියන්න මේ ප්‍රදේශයේ තැනක් තිබුණේ නැහැ. ඒ කාලයේ මම ව්‍යාපාරිකයෙක්. ව්‍යාපාර රැසක් කළා. දවසක් විජය ඇවිල්ලා මට පුළුවන්ද රැස්වීම පවත්වලා දෙන්න කියලා ඉල්ලීමක් කළා. මම විජයට ඒ මොහොතේ ප්‍රකාශ කළේ මම ඕනෑම උදව්වක් කරන්නම්. හැබැයි ක්‍රියාකාරී දේශපාලනයට එන්න අපහසුයි. මොකද මගේ ව්‍යාපාරවලට හානියක් වෙයි කියලා.


පස්සේ මගෙන් ඉල්ලීමක් කළා කමක් නැහැ රැස්වීම පවත්වලා දෙන්න කියලා. පස්සේ අපි තොටළඟ පාලම ළඟ ඉඳලා යතුරුපැදි 200ක් හෝ 300 කින් ලොකු පෙළපාළියකින් ඇවිත් ජාඇල රැස්වීමක් පැවැත්වූවා. ඒ රැස්වීම මම හිතන්නේ මේ පළාතේ තිබුණ ලොකුම රැස්වීම. පාරවල් රැසක් වැසුවා. කටුනායක - කොළඹ ප්‍රධාන මාර්ගයත් අවහිර වුණා. අපි මල් වෙඩි හදලා විජය කුමාරතුංගට ජයවේවා කියලා මල් වෙඩි වලින් දර්ශනය වන අයුරින් සකස් කළා. 


අන්න ඒ අවස්ථාවේදී තමයි අපි ද්වේශ සහගත ලෙස කථා කළා කියලා අත්අඩංගුවට ගත්තේ. කීප දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඊට පස්සේ තමයි මමත් ක්‍රියාකාරී දේශපාලනයට ඇවිල්ලා විජය සමග එකතුවෙලා ඉදිරියට වැඩ කළේ.

 

 

 

 

 

මතු සම්බන්ධයි.

 

 

නිශාන්ත කුමාර බණ්ඩාර