අච්චු කන්තෝරුවේ සේවක අරගලය-02

 

රජයේ මුද්‍රණාල වැඩවර්ජනයේ ප්‍රථම රැකියා බිල්ල වූයේ ආධුනික සේවකයකු වූ ලාල් පෙරේරාය. ඔහු අස්කිරීමත් සමගම සියල්ලෝම වැඩ නවත්වා ඉහළ කාර්යාලයේ සිටි එවකට මුද්‍රණාලයාධිපති එල්. ඩබ්. පී. පීරිස්ගේ මේසය වටකරගත්හ. අනතුරුව ඔහු පහළ මාලයට රැගෙන ආ සේවකයෝ ලාල් පෙරේරාගේ අස්කිරීමේ නියෝගය ඉවත් කරගන්නා ලෙස බලකළහ.


මේක “මගේ තීරණයක් නෙවෙයි. ඇමැතිතුමාගේ නියෝගයක්” මුද්‍රණාලයාධිපතිවරයා පැවසුවත් මෙල්ල නොවූ සේවකයෝ ඔහු ප්‍රාණ ඇපයට ගෙන ප්‍රධාන දොරටුව වසා යතුර අතට ගත්හ. ගිනි අවි, කුළු, පොලු රැගත් පොලිසිය තාප්පය මතින් පැන උද්ඝෝෂකයන් බිය වද්දන්නට උත්සාහ කළහ. “තොපි ආවේ අපව මරන්නද මෙන්න පපුව වෙඩි තියපියව්”
මෙසේ ඝෝෂා කරමින් කම්කරුවෝ පෙරට ආහ. වෘත්තිය සමිති නායකයන් නොසිටි නමුත් මැදිහත්කරුවෝ උඩවත්තේ සහෝදරයා කාරයක බොනම්ටුව මතට නංවා සේවක ජනතාව අමතන්නට සැලැස් වූහ.


“මේක අපේ සටනේ ආරම්භයයි. මුලින්ම ජීවිත රැකගනිමු. හෙට උදේ වහාම එකතුවෙමු” සවස හයට පමණ සටන්පාඨ කියමින් සේවක ජනතාව පොලිසිය විසින් ඉබියතුරු කඩාදමා විවෘත කළ ගේට්ටුවෙන් පිට වී ගියහ.


ජනවාරි 21 වැනිදා උදේ වැඩට පැමිණි වෘත්තීය සමිති නායකයන්ට මුද්‍රණාලයාධිපතිගෙන් දැනගන්න ලැබුණේ අපූරු පණිවුඩයකි. එනම් ඇමැතිගේ නියෝගය පරිදි කලබල කළ සේවකයන් අස්කළ බවයි. මෙයින් යළි ඇවිස්සුණු කම්කරු අරගලය මහා වැඩ වර්ජනයක් බවට පත්විණ. වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය කොටාරෝඞ්හි කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේදී රැස්වී මෙම තීරණය ප්‍රකාශයට පත් කළහ.


ජනවාරි 22 වැනිදා වැටුප් දිනය වුවත් එයින් සේවකයන්ගේ ශක්තිය දුර්වල නොවිණ. ජනවාරි සහ පෙබරවාරි මාසවල වැටුප් නොගෙන ඔවුහු සටනේ නියැළුණහ. ජනවාරි 25 වන විට රජයේ මුද්‍රණාලයේ රාජකාරියේ නියැළී සිටියේ මුද්‍රණාලයාධිපති පමණි.


“ජනවාරි 10 ට පෙර සේවයට නාවොත් සියල්ලන්වම අස්කරනවා” ආණ්ඩුව අවසන් තීරණය දැන්වීය. අත්‍යවශ්‍ය සේවා නියෝග නොතැකූ සේවකයෝ සටන අත් නොහළහ.
මේ අතර ගුවන් විදුලියෙන් විශේෂ දැන්වීමක් වරින්වර ප්‍රචාරය කෙරිණ. ඒ අලුත් සේවකයන් බඳවා ගන්නා බවයි. විරැකියාවෙන් පෙළෙන තරුණ පරපුර රජයේ මුද්‍රණාලය ඉදිරිපිට රැස්කන්නට වූහ. රැකියා පෝලිමේ කලබලකාරී බවක් ඇති වූ අතර අන්තිමට පොලිසිය බැටන් ප්‍රහාරයක් එල්ල කර රැකියා අපේක්ෂකයන් පන්නා දැමූහ. අනතුරුව රජයේ මැති ඇමැතිවරුන්ගේ හිතවතුන් 498 ක් බඳවා ගැනිණ.


රජයේ මුද්‍රණාලයේ කම්කරු සටනට සහය පළකරමින් ජනවාරි 20 වැනිදා සමස්ත කම්කරු මහා වැඩ වර්ජනයක් ඇරැඹීමට තීරණය විය. මුද්‍රණ සේවක සටනට සහය දැක්වීමේ රැලිය හයිඞ්පාක් පිටියේදී ජන ගඟක සහභාගිත්වයෙන් පැවැත්විණ. රාජ්‍ය. සංස්ථා මෙන්ම පෞද්ගලික අංශවල සියල්ලෝ සටනට පිළිපන්හ. අත්‍යාවශ්‍ය අංශ හැර සෞඛ්‍ය සේවයද, අධ්‍යාපන, තැපැල්,  පළාත්පාලන ආදී අංශවල වැඩ කරන ජනතාවද මීට එක්වූයෙන් රටම අකර්මණ්‍ය විය.


මහා මැතිවරණය ආසන්නව තිබියදී ඇවිළුණ වර්ජන ගිනිමැලය නිසා ආණ්ඩුව අන්දුන් කුන්දුන් විය. වහාම රජයේ වෘත්තීය සමිති සමග සාකච්ඡා ඇරඹීමට තීන්දු වූ අතර එහි පූර්ණ බලය තැපැල් හා විදුලි සංදේශ ඇමැති ධුරය දැරූ සී කුමාරසූරියර් වෙත පැවරිණ. එහි ප්‍රතිඵලය වූයේ සියලු සමිතිවල ඒකමතික තීරණය ලෙස දින 45 ක් පැවති වර්ජනය නිමකිරීම සඳහා එකඟ වීමය.


ඉන් පසු රජයේ මුද්‍රණාලයේ පිරිස්පාලන කටයුතු උඩුයටිකුරු වන වාතාවරණයක් දර්ශනය විය.


වර්ජකයන් වෙනුවට බඳවාගත් නවකයන්ගේ සුදුුසුකම් නොබලා බඳවා ගැනීම් පටිපාටියට විරුද්ධව ප්‍රායෝගික පරීක්ෂණවලින් අසමත් වූවන්ට පවා ස්ථිර පත්වීම් දෙන ලදැයි මුද්‍රණාලයාධිපතිට හා ඔහුට අණ දුන් ඇමැතිවරයාට එරෙහිව දෙපිරිස අතර බරපතළ ගැටුමක් ඇතිවිය.


මුද්‍රණාලය තුළට කඩා වැදුණු පිරිස් නවකයන්ට එළව එළවා පහර දුන් අතර වර්ණයෝජන අධිකාරිගේ කාර්යාලය කුඩුපට්ටම් කෙරිණි. නව ගොඩනැගිල්ලේ තුන්වන මහලෙන් ආත්මාරක්ෂාව සඳහා බිමට පැන්න සේවකයෝ අතපය බිඳගත්හ. වහාම 3000කට අධික සේවකයන්ට මුද්‍රණාලයට ඇතුළුවන්නට නොදී ගේට්ටු වසා දමන ලදී.
අමාත්‍යවරයාගේ නියෝගය නිසා වර්ජනය කළ, වර්ජනය නොකළ හා අලුතින් බඳවාගත් සියලු සේවකයනට රැකියා අහිමිවීමේ තර්ජනය එල්ල විය. ඔවුන්ගේ ආර්ථිකයට වැදුණ පහරද බලවත් විය.


මේ අතර රැකීරක්ෂා කාර්යාලයේ ලියාපදිංචි වූ විරැකියාවෙන් පෙළුණ පිරිසක්ද රැකියා ස්ථිර කිරීමේ පොරොන්දු පිට සේවයට බඳවා ගෙන තිබූ අතර මෙම අර්බුදය නිසා ඔවුහූ රැකියාවත් හාල්පොතත් දෙකම  අහිමිව අසරණ වූහ.


මෙසේ සේවය අහිමි කළ අනියම් සේවකයෝ සියගණනක් වෘත්තීය සංගමයේ මැදිහත් වීමෙන් රජයේ මුද්‍රණාලය අබියස මාරාන්තික උපවාසයක් ඇරඹූ අතර එක් සේවකයකු මාරගසකට නැග තම විරෝධය පළ කළේය.


මේ සියලු අරගලවල අවසන් තීරණාත්මක ප්‍රතිඵලය වූයේ 1977 මහ මැතිවරණයෙන් සමගි පෙරමුණු ආණ්ඩුව බරපතළ පරාජයක් ලබා එක්සත් ජාතික පක්ෂය හයෙන් පහක බලයෙන් පාලනයට පත්වීමයි. පීඩිත ජනතාව මහත් බලාපොරොත්තුවෙන් ජේ. ආර්. ජයවර්ධන පාලනයට නතු වූ නමුත් මුල් සති කිහිපය තුළ සිදු වූ දේශපාලන බලපෑම් නිසා බරපතළ තත්ත්වයක් ඇතිවිය. රජයේ මුද්‍රණාලයේ වර්ජිත හා රාජ්‍ය පාක්ෂික සේවකයන් අතර බරපතළ ගැටුම් ඇතිවිණ.


කෙසේ නමුත් එජාප රජය පාසල් පොත් නොමිලයේ ලබාදීමට කටයුතු කළ අතර එම ලක්ෂ සංඛ්‍යාත පාසල් පොත් වලින් වැඩි ප්‍රමාණය රජයේ මුද්‍රණාලයේ මුද්‍රණය කෙරිණ. මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය අනකුත් වෘත්තීය සමිති සමග එක්වී ශ්‍රමදාන ව්‍යාපාර තුළින් මෙම සද්කාර්ය වේගවත් කළහ. එජාප රජය සේවක නිවාඩු කප්පාදු කිරීමට එරෙහිව කළ වෘත්තීය සමිති අරගලද සාර්ථක විය.


එජාප රජය යටතේ යුක්තිය, සාධාරණය, සංහිඳියාව, සැලසෙතැයි සිහින මවමින් සිටි සමස්ත සේවකයන්ගේ සිහින ප්‍රාර්ථනා බිඳ දමමින් මර්දනය හා පාක්ෂිකයනට සැලකීමේ සම්ප්‍රදාය ඉස්මතු වනු පෙනිණ. 1980 දී මහ වැඩ වර්ජනය වනාහි එම අසහනය පුපුරායාමකි. පක්ෂ භේදයෙන් තොරව වැඩකරන ජනතාවෝ රුපියල් 300 ක වැටුප් වර්ධකයක් ඉල්ලා සටනට අවතීර්ණ වූහ. ජුනි මස 05 වැනිදා සේවක විරෝධතා දිනයක් පැවැත්වූ රජයට සහයෝගතා දිනයක්ද ආණ්ඩුවේ හිතවාදීහු සංවිධානය කළහ.


විරෝධතා දිනයට එක්වූ සැමට මැරප්‍රහාර එල්ල වූ අතර රජයේ මුද්‍රණාලය ඉන් ප්‍රධාන තැන ගත්තේය. සෝමපාල සහෝදරයාගේ මරණය පිළිබඳ විරෝධතාවේදී ද රජයේ මුද්‍රණාලය පෙරමුණ ගත් අතර එම සේවකයෝ ජූලි 18 වර්ජනයටද පූර්ණ දායකත්වය ලබා දුන්හ.


1980 වර්ජනයට සහභාගි වූ සේවකයන් සියල්ලන් අස්කර දැමීමට රජය කටයුතු කළ අතර එම සේවකයන් කඩින්කඩ සේවයේ පිහිටුවීමටත් ඔවුන්ට හිඟ වැටුප් ගෙවීමටත් වෘත්තීය සමිති මැදිහත්වීමෙන් පසු කාලයේදී හැකියාව ලැබිණ.

 

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප : අන්තර්ජාලයෙනි