හෙණ ගැහුවත් කම්මලේ බල්ලාට වගක් නැතැයි ගැමි කියමනක් තිබේ. කම්මල යනු නිරන්තරයෙන්ම යකඩයක් මතට කුළුගෙඩි පහර දෙන ශබ්දය ඇසෙන තැනකි. ඒ ශබ්දය නිතර අසන කම්හලේ කුක්කාට අවට තැනකට වැදෙන අකුණු පහර නොඇසේ. මන්දයත් ශබ්දයටම කන හුරුවී ඇති හෙයිනි. මට මේ කතාව සිහිපත් වූයේ දුම්රියේ මිතුරෙකු කී වදනක් නිසාය. අපේ රටේ ජනතාවත් හරියට කම්මලේ කුක්කා වගෙයි. කිසිම හැඟීමක් දැනීමක් නැහැ. එහෙම නැත්නම් මේ බඩු මිල ඉහළ යන හැටියට බදු වැඩිවන හැටියට නිහඬව ඉඳීද? අන්න ඇන්. ඇම්ලා ඉන්න කාලෙ. පාරට බැහැලා හර්තාලයකුත් කරලයි නවතින්නෙ. මිත්‍රයා කීවේය.

මම කල්පනා කලෙමි. සමස්ත මහා හර්තාලයයැයි වමේ දේශපාලන ඉතිහාසයේ විශේෂ තැනක සටහන්ව ඇති සංසිද්ධියට අගෝස්තු 13 වැනිදාට වසර හැට පහක් සපිරේ. ඒ ගැන කතා කිරීමේදී නිසැකවම නම කියැවෙන ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා දිවංගතවී අගෝස්තු 14 වැනිදාට වසර 39 කි. නිදා සිටි ජනතාවක් අවදිකර ඔවුන්ගේ අයිතිය ආරක්ෂා කර ගැනීමට මග පෙන්වූ මෙම දේශපාලන නායකයා සහ හර්තාලය පිළිබඳව මෙම ලිපිය සැකසේ.


මෙරට දේශපාලන බසේ යුගල පද තරම් එකිනෙකට සම්බන්ධව පවත්නා නාමයන් කීපයක් වේ. ජාතියේ නිදහස ගැන කතා කළොත් මතකයට එන්නේ ඩී. ඇස්. සේනානායක මහතාය. නිදහස් අධ්‍යාපනය නම් සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතාය. පනස් හයේ පෙරළිය නම් ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාය. හර්තාලය කීවොත් ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතාය. මෙසේ මෙම සංසිද්ධීන්ට එම නම් ඈඳුනත් තවත් බොහෝ ස්ත්‍රී පුරුෂයෝ මේවාට අඩු වැඩි වශයෙන් දායක වූහ. එය සත්‍යයකි.


එක් දහස් නවසිය පනස් තුනේ වසරේ අය වැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එදා මුදල් ඇමති ජේ. ආර්. ජයවර්ධන මහතා මෙසේ පැවසීය. “මා මුදල් ඇමැතිධුරය ඉසිලූ හය වසර තුළ මගේ හිත අවුල් කළ ආර්ථික හා මූල්‍යමය ප්‍රශ්න බොහෝය. එහෙත් ඒ කිසිත් මින් වසරකට පෙර අපගේ බාහිර වත්කම් සිඳී යාමට පටන් ගත් අවස්ථාවේදී මුහුණ පෑ දුෂ්කරතාව තරම් සිතට වධ දුන් අවුලක් හෝ තැවුලක් හෝ අකරතැබ්බයක් වූවේ නැත. මෙයට එකම පිළියම අය වැය පරතරය පියවීම බව මම දනිමි. ආහාර සහනාධාරය කපා නොහැර එම පියවර ගත නොහැක.


අප විසින් ගන්නා ලද මෙම තීරණය දිරවා ගැනීම අපහසුවුවත් ප්‍රකාශ කිරීමට අපහසු වුවත් එය දුරදිග බලා සැලකිල්ලෙන් විමසිල්ලෙන් ගන්නා ලද්දකි. එය අප මුහුණපා සිටින ප්‍රශ්න විසඳීමට ගත යුතු නිවැරදි තීරණය බව මගේ ඒකාන්ත විශ්වාසයයි. කෙතරම් අප්‍රසන්න වුවත් නිවැරදි වූ මෙම තීරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උනන්දුව හා ශක්තිය ලැබුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නොමද සහයෝගයේ පිහිටෙනි. එම සහයෝගය නොලැබුණා නම් ඒ තීරණය ක්‍රියාත්මක කිරීමට තීරණ ගත් අය තුළ වූ (නිවැරදි) අවබෝධය හා ස්ථිර විශ්වාසය පමණක් ප්‍රමාණවත් නොවේ. ජාතියක් ප්‍රතිසංවර්ධනය කරන විට අනාගතයේදී පරිපූර්ණ වූත් දීර්ඝකාලීනවූත් සැප සම්පත් භුක්ති විඳීමේ අරමුණින් කෙටි කාලීනවූත් තාවකාලිකවූත් සතුටක් පරිත්‍යාග කිරීම ඵලදායී බුද්ධිමත් පියවරක් බව කැබිනට් ඇමැතිවරුන්ටත් පාර්ලිමේන්තුවේ වැඩි දෙනෙකු අයත් පක්ෂයටත් අවබෝධ කර දිය හැකිනම් අපගේ ජනතාවගෙන් වැඩි පිරිසකටද එය වටහා දිය හැකිය.”


අහාර සහනාධාරය ඉවත් කිරීමත් සමඟ සලාක සහල් සේරුවක මිල ශත විසිපහේ සිට ශත 75 දක්වා ඉහළ ගිය අතර සීනි මිල ද විශාල ලෙස ඉහළ ගියේය. එක වරම සහල් මිල තුන් ගුණයකින් ඉහළ දැමීමත් සලාක සහල් සේරුවක මිල ශත විසි පහ බැගින් දීමට ළඟදී පැවැති මැතිවරණයේදී දුන් පොරොන්දුවත් නිසා මෙම තීරණය දේශපාලන වශයෙන් ප්‍රකෝපකාරී පියවරක් විය. පාසල් දරුවන්ට නොමිලේ දිවා ආහාරය සැපයීම නතර කිරීමට සහ දුම්රිය හා තැපැල් ගාස්තු වැඩිකිරීමටද එම අයවැයෙන් පියවර ගන්නා ලදී. රජයේ ආදායම තර කර ගැනීමට මෙන්ම සමාජයේ සෑම පන්තියකටම අයවැය බරට උරදීමට මග සලස්වමින් ඍජු අයබදු හා සුඛෝපභෝගී භාණ්ඩ සඳහා අය කළ තීරුබදු වැඩි කෙරුණි.


මෙම තොරතුරු දැනගත් වහාම රටවැසියෝ කෝපයෙන් වියරු වැටුණහ. ගාලු මුවදොර පිටිය සිසාරා යන දැවැන්ත මහජන රැලියක් පවත්වා අය වැය යෝජනාවලට විරුද්ධත්වය දැක්වීමට වමේ නායකයෝ ක්‍රියා කළහ. අම්බලන්ගොඩ, රන්දොඹේ ජනතාව පාර හරහා වැතිර ගෙන ගාලු පාර අවහිර කළහ. එය  අකුරල තොටගමුව, බළපිටිය, කරන්දෙණිය ඌරගහ, අහුන්ගල්ල ආදී පෙදෙස්වලටද පැතිර ගියේය. ලංකා සම සමාජ පක්ෂය ලංකා කොමියුනිස්ට් පක්ෂය විප්ලවකාරී සම සමාජ පක්ෂය එක්ව සාකච්ඡා සභාවක් පවත්වා සමස්ත මහා වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමටත් එයට සමගාමීව හර්තාලයක් පැවැත්වීමටත් ජනතාවට ආරාධනය කරනු ලැබුවේය. ඒ අනුව මහා අය වැය විරෝධී සටනකට සමස්ත ජනතාවට ආරාධනා කෙරුණි. වැඩි වෘත්තීය සමිති බලයක් හෝ ජනතා සංවිධාන ජාලයක් නොතිබුණා වුවද අලුතෙන් පිහිටුවා ගන්නා ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මෙම සටනට පූර්ණ සහාය පළ කරන ලදී. සටනට නියමිත දිනය වූවේ අගෝස්තු 12 වැනිදාය. ආණ්ඩුවද මහජන ආරක්ෂක පනත ක්‍රියාත්මක කර මර්දනයේ අනතුරු ඇගවීම් කරනු ලැබීය. පසුදින සම සමාජ පුවත්පතේ සිරස්තල සහ අනුසිරස්තල මෙසේ විය.

 

ඇන්. ඇම්. පෙරේරා වැනි ප්‍රබල දේශපාලකයෙකුගේ වෘත්තීය සමිති නායකයකුගේ සමාජ සේවකයෙකුගේ සහ තවත් නොයෙකුත් ක්ෂේත්‍රයන් කරා පැතිර ගිය කීර්තියක් දැරූ චරිතයක් ගැන මෙවැනි කෙටි ලිපියකින් කරුණු දැක්වීම කිසිසේත්ම ප්‍රායෝගික නොවේ. සෙලිනා පීරිස් මෙනෙවිය සමග බැඳුණු යුගදිවිය පවා නොතකමින් ඔහු මහජන සේවයම දිවිය කොට ගත්තේය. සිරගෙදර ජීවිතයේදී නිසිකලට ආහාර නොගැනීම නිසා ඇතිවූ අක්මා ආබාධයකට මෙම සුවිශේෂී පුද්ගලයා ගොදුරු වූවේය. එය උත්සන්න වීමෙන් මෙම යෝධ පෞරුෂය 1979 අගෝස්තු 14 වැනිදා මෙරටට අහිමි විය.


හර්තාලය සම්පූර්ණයෙන් සාර්ථකයි.


යූ.ඇන්.පී. ආණ්ඩුවට අස්වෙන ලෙස බලකරයි. දොම්පේදී පොලිසිය මගින් කළ වෙඩි තැබීමකින් එක් කෙනෙක් මිය ගිය අතර තවත් කෙනෙක් මරණාසන්නව සිටියි. පිටකොටුවේදී පොලිසිය වියරු වැටුන උන් මෙන් මහජනයාට පහර දී තිබේ.


● සෑම තැනදීම කඩ සාප්පු වසා තිබේ
● භික්ෂූන් වහන්සේලා නගර ශාලාව අසල උපවාසයක යෙදී සිටිති.
● බස් හා දුම්රිය සේවාවන් නතර වී තිබේ


ට්‍රොලි බස් හා විදුලි රිය මහා මාර්ගයේ නැත


● හොරිකඩයෝ අතරමංවී සිටිති.
● බස් ස්ට්‍රයිකය මැඩීමට මිලිටරි රියදුරෝ අසමත්ව සිටිති.
● වරායේ හා පෝට් කොමිසන් සභාවේ කම්කරුවන්ගේ ස්ට්‍රයිකය සම්පූර්ණයෙන් සාර්ථකයි.
● දුම්රියේ සෑම රනින් ෂෙඞ් එකක්ම ස්ට්‍රයික්


ෆයර්මන් හා එන්ජින් ඩ්‍රයිවර්වරුද ස්ට්‍රයිකයට සහභාගි වෙති.


● නගරයේ කිසිම තැනක ලොරියක් පෙනෙන්නට නැත.
● සෑම තැනකම පෙනෙනුයේ කළු කොඩිය කිසිම තැනක කුලී මෝටර් රථ නැත.
● බර කරත්ත සහ රික්ෂෝද ස්ට්‍රයිකයට සහභාගි වී සිටිති.
● රත්මලානේ දුම්රිය වැඩපොළද කොළොන්නාවේ ආණ්ඩුවේ වැඩ පොළද මට්ටක්කුලියේ සම් භාණ්ඩ වැඩ පොළද ඩී.අයි. වැඩපොළවල්ද ස්ට්‍රයික් කර තිබේ.


වැල්ලවත්ත රෙදි මෝලද කැලණියේ ගිනිපෙට්ටි මෝලද ටකර්ස් වෝකර්ස් ලිවර් බ්‍රදර්ස් සිගරට් කොම්පැණි හා බී.බී.සී. මෝල යන වැඩපොළවල් හා තවත් කුඩා වැඩ පොළවල් විශාල ගණනක් ස්ට්‍රයිකයට සහභාගි වී ඇත.
● කොළඹ නාගරික කම්කරුවන් සම්පූර්ණයෙන්ම වැඩ නවත්වා තිබේ.


● ලියුම් බෙදීම නතර වී තිබේ.
● පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ පෙළපාළි පොලිසිය සමග ගැටෙති.
● හර්තාලයේ ජයග්‍රහණය මුළු ජනතාවම උද්‍යෝගිමත් කරයි.
● ලංකා සම සමාජ පක්ෂ නායකයෝ ස්ට්‍රයික් කරුවන් අමතා කතා කරගෙන යති.
● පිටපළාත්වලද හර්තාලය සම්පූර්ණයෙන්ම සාර්ථක බව ලැබෙන ආරංචි වලින් පෙනේ.


මෙයින් පෙනෙන්නේ හර්තාල් දිනයේ රටේ පැවැති තත්ත්වයයි. ආරක්ෂක අංශවල වෙඩි ප්‍රහාරවලින් නව දෙනෙකු මියගිය බව  කියවුණි. මෙයින් තත්ත්වය තවත් බැරෑරුම් අතට හැරුණි. හර්තාල් සංවිධායකයන්ට පවා එය පාලනය කර ගැනීමට නොහැකිවූ බව කියවුණි. අගෝස්තු 13 වැනි දිනද හර්තාලය පැවැත්වුණි. ඌරගහ සහ රත්ගම පොලිස් වෙඩි තැබීම් ඇති වූයේ එදිනය. හර්තාලය නිමා කොට වැඩට යන ලෙස ඇන්. ඇම්. පිලිප් සහ පීටර් කෙනමන් ජනතාවගෙන් ඉල්ලා සිටියහ. ඇතිව තිබෙන තත්ත්වය ගැන සාකච්ඡා කිරීම පිණිස එච්. ඇම්. ඇස්. නිව්ෆවුන්ඞ්ලන්ඞ් නම් වූ කොළඹ වරායේ නවත්වා තිබුණු නෞකාවේදී ඇමැති මණ්ඩලය රැස්වූවේය. ඉතා යහපත් මානුෂික ගුණාංගයන්ගෙන් යුතු නායකයෙකු වූ ඩඞ්ලි සේනානායක අගමැතිවරයා “මිනිසුන් මරමින් මට අගමැතිකම් කිරීමට අවශ්‍ය නැති බව” ප්‍රකාශ කරමින් එම ඝාතනවල වගකීම තමාම භාර ගනිමින් තනතුරින් ඉල්ලා අස්වූවේය. එය එතෙක් මෙතෙක් එවැනි වගකීම භාර ගත් එකම අවස්ථාව ලෙස ඉතිහාසයට එක්ව ඇති බව එතුමාට ගෞරවයක්. වශයෙන් සඳහන් කළ යුතුය. අයවැය යෝජනා ඉදිරිපත් කළ ජේ. ආර්. ජයවර්ධන මහතාද මුදල් ඇමැතිධූරයෙන් ඉල්ලා අස්විය. කලබල නිසා විශාල පිරිසක් අත්අඩංගුවට ගනු ලැබීය. මේ පිරිසට එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී චම්ලි ගුණවර්ධන මහතා අතුරුගිරිය ගම්කාර්ය සභාවේ සභාපති විල්ෆ්‍රඞ් සේනානායක මහතාද අයත් වූහ. මෙවැනි පිරිස් සඳහා නඩු 93 ක් පවරා තිබුණු බව කියැවේ. ඒ සියල්ලේම ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා වූවේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතාය. කලකට පසු ඒ සැවොම නිදහස් කර ගැනීමට ඒ මහතා සමත් විය. හාල් සේරුවක මිල ශත පහළොවකින් අඩුවීමද සිදු විය. මෙම හර්තාලයෙන් අත්වූ දේශපාලන වාසිය ලැබුණේ ශ්‍රීලනිප නායක ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාටය. වාමාංශික සමගිය ගොඩ නැගීම අනිවාර්යයෙන්ම සිදු විය යුතු බවත් වමේ ජයග්‍රහණය එය බවත් භෙදවෙමින් සිටි වමේ නායකයන්ට පෙන්වා දුන්නේ මහා හර්තාලයයි. 1956 බණ්ඩාරනායකයන්ගේ ජයග්‍රහණයට මූලික පදනම වැටුණේ එමගිනි.


මෙම අරගලයේ ප්‍රමුඛයෙකු වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතාගේ දිවංගතවීමෙන් වසර තිස් නවයක් පිරීමද අගෝස්තු දාහතර වැනිදාට නියමිතය.

 

 

නානායක්කාර පතිරගේ මාටින් පෙරේරා තොටළඟ වාසය කළ මධ්‍යම පන්තික ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයකු ලෙස උපත ලදුයේය. ඒ හත් මසින් උපන් දරුවෙකු වශයෙනි. ඒසේ උපදින දරුවන් මිය යන බවද නොඑසේම ජීවත් වුවහොත් යම් කිසි අංශයකින්  ඉහළටම යනබවක් ගැමියෝ විශ්වාස කරති. සිය මෑණියන් විසින් ඉතා අපහසුවෙන් දිවි බේරා ගත් මෙම දරුවා කොළඹ ආනන්ද මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබාදීමට එම දෙමාපියන්ට ශක්තිය තිබුණි. එය සාර්ථකව නිමා කිරීමෙන් පසු බි්‍රතාන්‍යයේ ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමි විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව හැදෑරීම ආරම්භ කළේය. එහිදී ඇන්. ඇම්. ගේ ආචාර්යවරයාවූවේ ලෝක ප්‍රසිද්ධ ආර්ථික විද්‍යාඥයෙකු වූ මහාචාර්ය හැරල්ඞ් ලැස්කි මහතාය.


සරසවියෙන් අර්ථ ශාස්ත්‍රය පිළිබඳ බී.ඇස්.සී. (ගෞරව) උපාධියක් එහි පී.එච්.ඩී. යත් ලබා ගත්තේය. එමෙන්ම දේශපාලන විද්‍යාව පිළිබඳ පී.එච්.ඩී, උපාධියද මෙම දක්ෂ තරුණයා විසින් ලබා ගන්නා ලදී. 1933 දී ආපසු මෙරටට පැමිණි ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා සම මත දැරූ තරුණ පිරිසක් සමග සූරිය මල් ව්‍යාපාරයට සම්බන්ධ වූවේය. 


එමගින් උපයා ගත් මුදල් සහ මෙම පුරෝගාමින්ගේ මුදල්ද යොදවා තුන් කෝරලයේ පැතිර ගිය (විශේෂයෙන්) මැලේරියා, වසංගතය නිසා පීඩාවට පත්වූ ජනතාවට උපකාර කිරීම සඳහා රුවන්වැල්ල යටියන්තොට වැනි ප්‍රදේශවල සමාජ සේවා කටයුතුවල යෙදුණේය. 1936 දී ලංකා සම සමාජ පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් තරග කර රුවන්වැල්ල ආසනයේ රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රීවරයා ලෙස පත්විය.


මෙරට දුක් විඳින ජනතාවගේ සුබසිද්ධිය සඳහා යෝජනා විශාල ප්‍රමාණයක් රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරමින් සම සමාජ පක්ෂයේ අනෙක් රාජ්‍ය මන්ත්‍රීවරයා වූ අවිස්සාවේල්ල මන්ත්‍රී පිලිප් ගුණවර්ධන මහතාද සමග එම සභාව තුළ විශාල අරගලයක් දියත් කළේය. පාසැල් ශිෂ්‍යයන්ට නොමිලයේ දිවා ආහාරය ලබා දීම, ඉන්දියානු වතු කම්කරුවන් මෙරටට ගෙන්වීම නවත්තන්නැයි ඉල්ලූ යෝජනා ඒ අතර මුල් තැනක් ගනී. යුද්ධයට බි්‍රතාන්‍ය පාලකයන්ට සහාය නොදිය යුතුයයි කියැවෙන ප්‍රතිපත්තියක සිට කටයුතු කිරීම නිසා බි්‍රතාන්‍ය පාලනය විසින් ලංකා සම සමාජ පක්ෂය නීති විරෝධී කරන ලද අතර නායකයෝ සිරභාරයට ගත්හ. ජපන් ආක්‍රමණයක් සිදු වුවහොත් මරා දැමීමට පැවැති සැලැස්ම හෙළිවී පිලිප් ගුණවර්ධන, කොල්වින් ආර් ද සිල්වා සහ එඞ්මන්ඞ් සමරක්කොඩි යන නායකයන්ද සමග බන්ධනාගාරයෙන් පලා ගියේය. පසුව ඉන්දියාවට පැනගොස් රහසේ දේශපාලනය කිරීමට පටන් ගත්හ. එහිදී සුදු පාලකයෝ නැවතත් ඉන්දියාවේදී ඔවුන් අත්අඩංගුවට ගත්හ. දීර්ඝ කාලයක් සිරබත් කමින් රට වෙනුවෙන් අනන්ත දුක් විඳීමට මොවුන්ට සිදු විය.


මෙරට ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූ 1947 වර්ෂයේදී රජය පාර්ශ්වයට විරුද්ධව වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත් පක්ෂයේ නායකයා වශයෙන් ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා විපක්ෂ නායක ධුරයට පත්වීම ඔහුගේ දේශපාලන ජීවිතයේදී සුවිශේෂී සිදුවීමක් විය.


එවක් පටන් පුරා තිස් වසරක් අපරාජිතව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ භාග්‍ය ලැබූ ඔහු 1956 - 1960 අතර වකවානුවේ නැවතද විපක්ෂ නායක ධුරය දැරීය. 1964 දී මාස කීපයක්ද 1970 සිට 1975 දක්වාද මෙරට මුදල් ඇමැතිවරයා වශයෙන් රටට දැනෙන විශාල සේවයක් සිදු කිරීමට ඒ මහතා සමත් විය. 1935 ලංකා සම සමාජ පක්ෂය ආරම්භ කරන ලද වකවානුවේ සිටම කම්කරු පංතියට නායකත්වය දෙමින් වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ සිදු කළ සටන් මෙරට ඉතිහාසයේ නොමැකෙන ලෙස සටහන්ව තිබේ. 1939 අගෝස්තු දහවැනිදා ආරම්භ කරන ලද ලංකා වතු කම්කරු සංගමයේ ප්‍රථම සභාපතිවරයා ලෙස පත්වූ ඔහු මෙරට වෘත්තීය සමිති අරගලයන්හි ඉහළ තැනක ලා සැලකෙන මුල්ඔය සටනේද නායකත්වය දැරීය.


පළාත් පාලන දේශපාලනයෙහි යෙදෙමින් දීර්ඝ කාලයක් කොළඹ නගර සභාවේ බොරැල්ල කොට්ඨාසය නියෝජනය කිරීමට එතුමාට ජනතා සහාය ලැබුණි. 1954 දී කොළඹ නගර සභාවේ බහුතරය යූ.ඇන්.පී. විරෝධීන්ට ලබා ගැනීමට සමත් වූ අතර ඇන්. ඇම්. කොළඹ නගරාධිපති ධුරයට පත් කර ගනු ලැබීය. එමගින් කොළඹ නාගරික ජනතාවට විශාල සේවාවක් ඉටුකිරීමට සමත් විය. එහෙත් ඔහු එම තනතුර දැරීම එවකට රාජ්‍ය පාලනයේ යෙදුණු ප්‍රබලයන්ගේ ප්‍රසාදයට හේතු වූයේ නැත. එහෙයින් රහසිගතව ක්‍රියාත්මක වූ සැලැස්මක් අනුව ඇන්. ඇම්. නගරාධිපතිධුරයෙන් නෙරපා දමන ලදී.


බොහෝ කාර්ය බහුල ජීවිතයක් ගත කළ මෙම ජන නායකයා තම කුශාග්‍ර බුද්ධිය යොදවා ග්‍රන්ථ කීපයක්ද රචනා කර ඇත. ඔහු බන්ධනාගාරයේ සිට රචනා කරන ලද නිදහස් අධ්‍යාපනයේ ස්වරූපය නම් කෘතිය ඉතා සම්මානීය පර්යේෂණ වාර්තාවක් ලෙස උගතුන්ගේ ප්‍රශංසාවට ලක්වූවේය. එමෙන්ම තම උපාධි නිබන්ධනය ලෙස සම්පාදන කරන ලද පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක් නම් වූ ග්‍රන්ථය සඳහා ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ඩී.ඇස්.සී. ගෞරව උපාධිය පිරිනැමුවේය.


දක්ෂ ක්‍රීකට් ක්‍රීඩකයෙකු වූ ඇන්. ඇම්. කොළඹ ආනන්ද විද්‍යාල කණ්ඩායම නියෝජනය කළ පුරෝගාමීයෙකි. දෙවරක්ම ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධුරය හෙබවීමෙන් එම ක්ෂේත්‍රයට සිදු කරන ලද සේවාවද ඉමහත්ය. ලංකාවේ ප්‍රථම සිනමා නළුවා වශයෙන් ඉතිහාසයට එක්වීමට ඔහුට තිබුණු අවස්ථාව මගහැරී ගියේ අහම්බෙනි. මෙරට නිපදවූ ප්‍රථම සිංහල චිත්‍රපටය වූ රාජකීය වික්‍රමය ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලැබුණේ නැත. එය විනාශ වී ගිය බැවිනි. එම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ලෙස රඟපෑවේ සුරූපී ඇන්. ඇම්. ය.


ඇන්. ඇම්. පෙරේරා වැනි ප්‍රබල දේශපාලකයෙකුගේ වෘත්තීය සමිති නායකයකුගේ සමාජ සේවකයෙකුගේ සහ තවත් නොයෙකුත් ක්ෂේත්‍රයන් කරා පැතිර ගිය කීර්තියක් දැරූ චරිතයක් ගැන මෙවැනි කෙටි ලිපියකින් කරුණු දැක්වීම කිසිසේත්ම ප්‍රායෝගික නොවේ. සෙලිනා පීරිස් මෙනෙවිය සමග බැඳුණු යුග දිවිය පවා නොතකමින් ඔහු මහජන සේවයම දිවිය කොට ගත්තේය. සිරගෙදර ජීවිතයේදී නිසි කලට ආහාර නොගැනීම නිසා ඇතිවූ අක්මා ආබාධයකට මෙම සුවිශේෂී පුද්ගලයා ගොදුරු වූවේය. එය උත්සන්න වීමෙන් මෙම යෝධ පෞරුෂය 1979 අගෝස්තු 14 වැනිදා මෙරටට අහිමි විය. අඩ සිය වසක් පමණ කාලයක් ඇන්. ඇම්. ගේ ප්‍රබල ප්‍රතිවාදියා ලෙස ක්‍රියා කළ ජේ. ආර්. ජයවර්ධන මහතා (එවකට ජනාධිපති) එම ආදාහන උත්සවයේදී මෙසේ පැවැසීය.


“වඩා හොඳ ජීවන තත්ත්වයක් අපේක්ෂා කරන පීඩිත පන්ති ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ සටනට උර දෙමින් දීර්ඝ කාලයක් රට ජාතිය වෙනුවෙන් ක්‍රියා කළ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා වැනි දේශප්‍රේමීන් අපේ ඉතිහාසයේ ඉතා දුර්ලභය. තමන් ගත් මගෙහි සාර්ථක අවසානයක් දැක ගැනීම සඳහා අපේ ඉතිහාසයේ නොදක්නා තරම් ආත්ම පරිත්‍යාගයකින් කටයුතු කළ ආචාර්ය පෙරේරා මහතාගේ නාමයත් ඒ මහතා විසින් කරන සේවයත් අනුස්මරණීය වනු ඒකාන්තය. ජාති ජාතිත් පෙරේරා මහතාගේ ගුණ අනුස්මරණය කරන අනාගත පරම්පරාව සත්‍ය වශයෙන්ම අවංකවූ දේශ සේවකයාණනි ඔබ ඔබේ කාර්ය හොඳින් ඉටු කළා යැයි කියනුවා නිසැකය.

 

 

 

 


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : අන්තර්ජාලයෙනි.