ඔක්තෝබර් මාසයේදී ලෝක ඉතිහාසයට එක් කරන ලද සිදුවීම් ගණනාවකි. චීන මහා දේශයේ විප්ලවය ජයග්‍රහණය කිරීම, ඉන්දියානු අර්ධමහද්වීපයේ ජාතික නිදහසේ පීතෘවරයා වූ මහත්මා ගාන්ධිතුමාගේ උපත සිදුවීම මෙන්ම සෝවියට් සමාජවාදී විප්ලවය ජයග්‍රහණය කිරීම එයින් මුල්ම තැන ගනී. ඒ අතරිනුත් රුසියාවේ සිදුවූ ඔක්තෝබර් සමාජවාදී විප්ලවය ජයග්‍රහණ කිරීමේ සංසිද්ධිය ලෝක ජනතාවගේ මහත්ම අවධානයට ලක්වූවේය. එය කෙතරම් පරමාදර්ශී සිදුවීමක් ලෙස ඉතිහාසයට බලපෑමක් කරනු ලැබුවේද යත් බොහෝ දෙනා එම සිද්ධිය හැඳින්වූවේ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය යනුවෙනි. 


එය සිදුවී හරියටම අවුරුදු සියයක් සපිරෙන මේ මොහොත ඔක්තෝබර් විප්ලවය ගැන මෙනෙහි කිරීමට ඉතා උචිත අවස්ථාවකි. එක් දහස් නවසිය අනූ ගණන්වලදී ඇතිවූ සමාජවාදී කඳවුරේ බිඳ වැටීම හේතුකොට ගෙන එම රාජ්‍ය පද්ධතිය ලෝක සිතියමෙන් ඉවත්ව යාම නිසා වූ පසුබැසීම නිසා ඔක්තෝබර් විප්ලවයේ ප්‍රභාෂ්වරය අඩුව ගිය බව සත්‍යයකි. එහෙත් ආසියාවේ අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ ජාතික විමුක්තිය සඳහා සටන් කළ ජනතාවන්ට නිදහස දිනා ගැනීමටත් ඔවුන්ගේ නිදහස, භෞමික අඛණ්ඩතාව රැක ගැනීමට මෙන්ම බොහෝ රටවල සමාජවාදී ඉදිරි ගමන ආරක්ෂා කර ගැනීමටත් ඔක්තෝබර් විප්ලවය මගින් සිදුවූ සේවය අතිවිශාලය.

 

ඔක්තෝබර් විප්ලවයේ සාර්ථක වීමේ පදනම අවබෝධ කර ගැනීමට නම් 1917 වසර වනවිට රුසියානු අධිරාජ්‍යයේ එදා පැවැති සමාජ පසුබිම වටහා ගත යුතුය. අපි මදක් ඒ කෙරෙහි යොමු වෙමු. රුසියාවේ සාර් රාජවංශයට ශත වර්ෂ ගණනක ඉතිහාසයක් පැවතියේය. අහංකාර ඒකාධිපති පාලකයන් වූ ඔවුහු කිසි විටෙකත් පොදු ජනතාවගේ ඉල්ලීමකට සවන් දුන්නේ නැත. මහා පීටර්, මහා කැතරින් ආදී නම් ලත් බලවත් අධිරාජයන් අධිරාජිනියන් පහළ වූ නමුදු තම තමන්ගේ කාමුක සල්ලාල සුඛෝපභෝගී ජීවිතයන් ගෙවා දැමීම සඳහා ඔවුහු ජනතාවගේ බදු මුදල් විනාශ කර දැමූහ. තමාගේ සැමියා මරා රජකම අතට ගත් මහා කැතරින් සතියට දෙකට සැමියන් බඳවා ගනිමින් ඔවුන්ද මරා දමමින් පොදු ජනතාව තළා පෙළා රාජ්‍යය පාලනය කළාය. මොවුන්ගේ කාමාශක්ත බව කොතෙක් වී ද යත් ඇය මියගියේ අශ්වයකු සමග ලිංගික ඇසුරක දී බව රුසියානු ඉතිහාසයේ සඳහන් වේ. 


මෙවැනි පවිටු ගති ගුණ ඇතිව රට වැසියාගේ කිසිදු යහපතක් ගැන නොතකමින් කිසිදු සහනයක් නොදී රට පාලනය කළ පාලකයෝ රුසියාව අඳුරු මුල්ලේම තබා ගැනීමට උත්සාහ කළහ. ප්‍රංශය, බි්‍රතාන්‍ය සහ ඕලන්දය වැනි රටවල් ශීඝ්‍ර දියුණුවට පත්වෙමින් අධිරාජ්‍යයෙන්ද වාසි ලබාගැනීමට හරවා ගත් ආකාරය ගැන රුසියාව උනන්දුවක් දැක්වූවාය. එයට ඔවුන් සතු නාවික බලය මහත් සේ උපකාර වූ බව දැන ගත්තත් රුසියාවට එම ශක්තිය ලබාගැනීමට කිසිම මුහුදකින් නැව් තොටක් තිබුණේ නැත. ආසියාව සහ යුරෝපය යන මහාද්වීප දෙකේම විශාල භූමිභාගයක් අයත්ව පැවතිය ද  එම රාජ්‍යයට මුහුදක් යාවී නොතිබුණි. ඒනිසා බටහිර දෙසට හැරුණු මහා පීටර් අධිරාජයා පීටර්ස්බර්ග් නම් නගරයක් ඉදිකර එය රුසියාවේ අගනුවර බවට පත් කළේ ස්වීඩනයෙන් බිම් කඩක් යුද්ධයෙන් අත්පත් කර ගනිමිනි. ඒ අනුව බෝල්ටික් මුහුදට සම්බන්ධවීමට රුසියාවට නැව් තොටක් ලැබුණු නමුදු නාවික හමුදාවක් ඇති කරගෙන බලයක් ගොඩ නගා ගැනීමට ඒ රටට අවස්ථාවක් නොලැබුණි. ඒ ආර්ථික දුෂ්කරතා නිසාමය. 


මෙසේ පරම්පරා කීපයක්ම ගෙවී යන අතර දැඩි අමානුෂික පාලනයේ පීඩාව දරාගත නොහුණු රුසියානු වැසියෝ 1905 දී සාර් රජුට එරෙහිව මහා විප්ලවයක් ඇති කළහ. එය කඩුවෙන් තුවක්කුවෙන් සහ රාජ්‍ය මර්දනයෙන් මැඩපවත්වන ලදී. එය ඉතිහාසයේ සඳහන් වන්නේ 1905 අසාර්ථක විප්ලවය යනුවෙනි. මෙම සිදුවීමෙන් පසු සාර් රජු තව තවත් දරුණු පියවර ගත් අතර සිය දහස් ගණන් මිනිසුන් මහා සයිබිරියානු කාන්තාරයේ වහල් කඳවුරුවල රඳවා තබමින් ඔවුන් දුකට පත් කළේය. 


මෙසේ මරා දමන ලද එක් තරුණයකුගේ සොහොයුරෙකු වූ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් මේ සිදුවන අපරාධවලට එරෙහිව කටයුතු කිරීම සඳහා නොබියව දේශපාලන ක්ෂේත්‍රයට පිවිසියේය. ඔහු නමින් ව්ලැඩිමීර් ඉලියනොවේ ලෙනින් ය. ඔහුගේ ඉතා සමීප සගයන් දෙදෙනෙකු වූවේ ලියොන් ට්‍රොට්ස්කි සහ ජෝසප් විසරියානෝවේ ස්ටාලින් ය. රුසියාවේ ප්‍රාන්තයක්  වූ යුක්රේනයේ ගොවියකු වූ ඬේවිඞ් බ්‍රොන්ස්ටයින්ගේ පුත්‍රයකු වූ මොහුට ලෙව් යන නම තබන ලදී. ලෙව් බ්‍රයින්ස්ටයින් පසුකාලීනව  ප්‍රකට වූවේ ලියොන් ට්‍රොට්ස්කි නමිනි. ඒ රහසිගතව සාර් පාලනයට විරුද්ධව සටන් කිරීමේදී යොදාගත් නම විය. ස්ටාලින්  වනාහි ඉතා දුගී දුප්පත් පවුලක උපත ලද අසරණ දරුවෙක් විය. ඇඳුම් මසන්නියක වූ ඔහුගේ මව තම දරුවා නඩත්තු කළේ ඉතා අපහසුවෙනි. ස්ටාලින්ට වයස අවුරුදු එකොළහක් වෙද්දී පියා මියගිය නිසා මෙම අපහසුතාවන්ට මුහුණදීමට මොවුන්ට සිදුවූ බව කියනු ලැබේ. ජෝර්ජියාව අසල පිහිටි කොකේසියස් කඳුවල වාසය කළ අතීත රණවිරුවන් සහ දේශපේ්්‍රමීන්ගේ කතා පුවත්වලින් ස්ටාලින්ගේ හදවත උණුසුම් වී තිබුණි. එකී මුතුන් මිත්තන් කළාක් මෙන් සටන් වැද ජෝර්ජියාව නිදහස් කර ගැනීමේ අසීමිත බලාපොරොත්තු කුඩා කාලයේ සිටම ස්ටාලින් තුළ තිබුණි. උගත් දක්ෂයෙකු වූ ට්‍රොට්ස්කිත් නීතිඥ ශිෂ්‍යයකු වූ ලෙනිනුත් යන මෙම තුන් කට්ටුවේ සුසංයෝගය රුසියානු සමාජවාදී විප්ලවයේ මූලික අඩිතාලම දැමීම සඳහා මහෝපකාරී විය. 


මේ වනවිට ජර්මනියේ විසූ ආර්ථික විද්‍යාඥයකු වු කාල්මාක්ස් සහ ඔහුගේ ප්‍රාණ ප්‍රිය සගයා වූ ෆෙඞ්රික් එංගල්ස් විසින් ලෝකයට ඉදිරිපත් කරන ලද කොමියුනිස්ට් ප්‍රකාශනය නම් වූ ලියවිල්ල විප්ලවවාදී අදහස් දරන බොහෝ පිරිස් අතර ජනප්‍රියවෙමින් තිබුණි. එකී කොමියුනිස්ට් ප්‍රකාශයට අනුව යම් කිසි කර්මාන්තයක හෝ ව්‍යවසායක හෝ ලාභය අයත් විය යුත්තේ ප්‍රාග්ධනයට නොව ශ්‍රමය වැය කරනු ලබන කම්කරුවාට බවත් ඒ නිසා සමස්ත සමාජයේම වැදගත්ම ස්ථානය හිමිවිය යුත්තේ වැඩ කරන ජනතාවට බවත් ප්‍රකාශ විය. රාජ්‍යයේ බලය නිරන්තරයෙන්ම රැඳී තිබෙන්නේ නිෂ්පාදන බලවේගය මෙහෙයවන ධනේශ්වර පංතිය අත වන නිසා ධනේශ්වර පංතිය සහ කම්කරු පංතිය අතර සිදුවන ආයුධ සන්නද්ධ අරගලයක් මගින් සිදුවන සමාජවාදී විප්ලවයක් මගින් රාජ්‍ය බලය අත්කර ගතයුතුය. එමගින් පන්ති විරහිත, අගති විරහිත, සූරාකෑමෙන් තොර සමසමාජයක්  කොමියුනිස්ට්වාදී පාලනයක් ගොඩනැගෙන බවත් මාක්ස් සහ එංගල්ස් ප්‍රකාශ කළහ. යුරෝපයේ බොහෝ දියුණු කාර්මික රටවල මෙම අදහස් ශීඝ්‍රයෙන් පැතිර ගොස් තිබුණි. මෙම වකවානුව වන විටත් කාර්මික රටක් හැටියට රුසියාව ඉදිරියට ගොස් නොතිබුණාක් මෙන්ම එහි මෙවැනි විප්ලවවාදී අදහස් මෝරා යාමට තරම් දියුණු කම්කරු පංතියක් සිටියේද නැත. එසේද වුවත් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව සහ නව අගනගරය වූ පීටරස්බර්ග් ආශ්‍රිතව සිටි සුළුතරයක් වූ කම්කරු පංතිය අතරද මෙම මතවාදය ජනප්‍රිය වෙමින් පැවතුනි.

 

 

රුසියාවේ බලවත් දේශපාලන පක්ෂයක් ගොඩනගා ගැනීමට සමත් වුවත් ඉතා කෙටි කලකින් එය කොටස් දෙකක් බවට පත්විය. ඒ බෝල්ෂෙවික් සහ මෙන්ෂෙවික් යනුවෙනි. රුසියානු භාෂාවෙන් බෝල්ෂේවික් යනු බහුතරය යන්න බව සඳහන් වේ. මෙන්ෂෙවික් යනු සුළුතරය යන්න වේ. ලෙනින්, ට්‍රොට්ස්කි සහ ස්ටාලින් වැනි ප්‍රබලයෝ බෝල්ෂේවික් පිලට අයත් වූහ. ඔවුහු තිදෙනාම කාල්මාක්ස් සහ ෆෙඞ්රික් එංගල්ස් විසින් ලෝකයට අනාවරණය කරන ලද කොමියුනිස්ට් න්‍යාය කෙරෙහි තදින්ම බැඳී සිටි හෙයින් රුසියාවේ සාර් විරෝධී අරගලය මුළුමනින්ම පාහේ මාක්ස්වාදය ගුරු කොටගෙන සිදුවූවක් විය. 


පීටර්ස්බර්ග් නුවර අලුතෙන් නැගී එමින් පවතින කාර්මික සංවර්ධනය නිසා බිහිවූ වඩා බලවත් නොවූ කම්කරු පංතිය සමග එක්වූ සටන්කාමී ගැමි ගොවි ජනතාවද උගත් බුද්ධිමත් සීමිත විශ්වවිද්‍යාල ශිෂ්‍ය පරපුර ද එක්සත්ව දියත් කරන ලද අරගලය ඔක්තෝබර් විප්ලවය නමින් ඉතිහාසයට එක්ව තිබේ. 


පළමුවැනි ලෝක මහා යුද්ධය ඇරඹුණේ මේ අතරය. ඔස්ටි්‍රයා, හංගේරියා මහාධිරාජිනියව සිටි මාරියා තෙරේසාගේ බාල පුතණුවන් වූ එවකට එම යටත් විජිතයක්වූ බොස්නියා - හර්සගොවිනා රාජ්‍යයේ අග්‍ර ආදිපතිවරයා වූ ෆ්‍රැන්සිස් ෆර්ඩිනන්ඞ් කුමාරයා සහ එම දේවිය බොස්නියාවේ අගනුවර වූ සර්ජෙවෝහි වීදි සංචාරයක යෙදෙමින් සිටියදී එරට විමුක්තිකාමියකුගේ වෙඩි පහරට ලක්වීම නිසා රාජකීය යුවළ මරුමුවට පත්වූහ. මෙම සිදුවීම  පළමු ලෝක යුද්ධයට නිමිත්ත වූ අතර සමස්ත  ලෝකයම කඳවුරු දෙකකට බෙදී යුද්ධ කිරීමට වූහ. මෙම යුද්ධයට මැදිහත්වීමට රුසියාවටද සිදුවිය. 1914 ආරම්භ වූ මෙම සටන වසර හතරක් තිස්සේ එකිනෙකා මරා ගනිමින් ඉදිරියට ඇදී ගියේය. යුද්ධයක් යනු එක් අතෙකින් සමහර පාලකයන්ට වෙස් වළාගෙන පැමිණෙන ආශිර්වාදයකි. එයට හේතුව වන්නේ ජනතාව තුළ දේශප්‍රේමය අවුළුවා යුද බිමට තල්ලු කර ප්‍රචාරක මාධ්‍ය ඔස්සේ එයට දිරි දෙද්දී රටේ ප්‍රශ්න ගැන අවධානය යොමු කිරීමට ජනතාව උනන්දු නොවීමයි. මෙම තත්වයෙන් සාර් රජුද උපරිම ප්‍රයෝජන ගත්තේය. එහෙත් ශක්තිමත් නොවූ රුසියානු හමුදාව විනාශයට පත්වෙමින් දහස් ගණන් භටයෝ මරණයට පත්වූහ. 


මේ වනවිට ලෙනින් සහ ඔහුගේ අනුගාමිකයන් බහුතරයක් සයිබීරියාවේ සිරකරනු ලැබ සිට එයින් පැනගොස් ලන්ඩනයේ ජීවත් වූහ. බෝල්ෂේවික් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ බහුතරයක් මෙසේ පැන ගොස් ලන්ඩනයේ සිටි නිසා පක්ෂයේ සියලු තීන්දු තීරණ ගැනුණේ එංගලන්තයේදී වීම අතිශය පුදුමය ගෙන දෙන සිදුවීමකි. ඒ එක් පැත්තකි. 


මනා සැලසුම්කරුවකු වූ ලෙනින් දියුණු අදහස් ඇති සංවිධානාත්මක පිරිසක් අතට පක්ෂයේ වගකීම් පවරා තිබුණි. අප්‍රකටව සිටි ඔවුහු ජනතාව අතර සිටිමින් එම කාර්යභාරය ඉටුකළහ. 1917 මාර්තු මාසය වන විට ශාන්ත පිටර්ස්බර්ග් නගරයේ තත්ත්වය නරක අතට හැරුණි. සාගින්නෙන් පෙළෙන එම නගරවාසීහු විශේෂයෙන් කම්කරු ජනතාව ආහාරයට යමක් ඉල්ලා පෙළපාළි  දැක්වූහ. රජ මැදුරෙන් එයට ප්‍රතිචාර දැක්වුණේ සිරිත් පරිදි හමුදාව කැඳවීමෙනි. සාර් රාජ වංශයේ ආරම්භයේ සිටම රජුගේ ආරක්ෂාව භාරව සිටි කොසැක් බළකාය පෙළපාළිකරුවන්ට වෙඩි තැබීම ප්‍රතික්ෂේප කළේය. ඕනෑම පංති අරගලයක සිදුවන නියත සාධකය එය වේ. ජනතාව මෙසේ අරගල කරන්නේ තමාද අයත් පීඩිත පංතිය වෙනුවෙන් යැයි භටයෝ අවබෝධ කර ගත්හ. එසවූ ගිනි අවි පහත් කෙරුණි. ආහාරයට  පාන් ඉල්ලා සටන් වැද සිටි පිීටර්ස්බර්ග් කම්කරුවෝ ජයග්‍රහණය අත්කර ගත්හ. තවත් හමුදා බළ ඇණි ජනතාවගේ පැත්ත ගෙන සටන් වැදුණු බවද කියවේ. 


පීටර්ස්බර්ග් නගරයෙන් ඇරඹුණු සටන ගම් නියම් ගම් කරාද මොස්කව් වෙතද පැතිර ගියේය. සෑම ප්‍රදේශයකදීම ජයග්‍රාහකයා වූවේ බෝල්ෂේවික්වරුය. එහෙත් මෙතැනදී කරුණු සිදුවූවේ බලාපොරොත්තු වූ අයුරින් නොවේ. අරගලයේ මූලාරම්භකයන් සිටියේ විදේශයන්හිය. මාර්තුවේ සාර් පාලනය බිඳ වැටෙන විට බලයට පත්වූවේ බෝල්ෂේවික්වරුන් නොවේ. මධ්‍යස්ථවාදී කණ්ඩායමකි. ඔවුන්ට ශීඝ්‍ර වෙනසක් කිරීමේ හැකියාවක් හෝ අවශ්‍යතාවක් නොවීය. මෙය බරපතළ අර්බුදයකි. විප්ලවයට සහභාගී වූ ජීවිත පරිත්‍යාගයෙන් දායක වූ  කම්කරුවන්ට ගොවීන්ට සහ අනෙකුත් නිර්ධන පංති ජනතාවට එවැනි පාලනයක උවමනාවක් නොවීය. කම්කරුවන්ට වෘත්තීය සහන සහ වැඩි වැටුප් අවශ්‍යව තිබිණි. ගොවි ජනතාව ඉඩම් සහ ඉඩම් ප්‍රතිසංස්කරණ බලාපොරොත්තු වූහ. ගෘහණියන්ට අඩු මිලට පාරිභෝගික භාණ්ඩ මෙන්ම පාන් සුලභව අවශ්‍යව තිබුණි. අනෙක් ජනයාටද විප්ලවය මගින් ලබාගැනීමට අවශ්‍ය වූ බොහෝ ඉලක්ක තිබුණි. පළමුවැන්න සාමයයි. එහෙත් විප්ලවීය ආණ්ඩුවක් බිහි කිරීමෙන් හැර අන් ක්‍රමයක් මගින් ඒවා සපුරාගත නොහැකි බව නිර්ධනයෝ දැන සිටියහ. 


මේ වනවිට ලෙනින් සිටියේ ස්විට්සර්ලන්තයේය. ඔහුට රුසියාවට පැමිණීමට ක්‍රමයක් තිබුණේ නැත. ඒ රුසියාවට විරුද්ධව ජර්මනිය යුද වැදී සිටි නිසාය. 


ජර්මන් පාලකයන් මුළාවට පත් කර ලෙනින් එම රට හරහා රුසියාවට පැමිණියේය. 1917 නොවැම්බර් 07 වැනි දින රුසියාවේ සියලු සෝවියට් (මහජන) සභාවන්හි ඒකාබද්ධ සම්මේලනය කැඳවා තිබුණි. එහිදී කථා කළ ලෙනින් “විප්ලවයේ අරමුණු සපුරා ගැනීම සඳහා සෝවියට් සභාවල පාලක මණ්ඩල අත්‍යාවශ්‍යය. අපි එම ක්‍රමය පිළිගන්නෙමු. එම සභා රටපුරා පිහිටුවන්නෙමු’යි ප්‍රකාශ කළේය. ලෙනින්ගේ  නායකත්වයෙන් පිහිටුවන ලද සෝවියට් රජයේ යුද්ධ කටයුතු භාර වූයේ ට්‍රොස්ට්කිටය. එම රජයේ සාමාජිකයන්ට ඇමතිවරුන් යන නම යෙදීමට ට්‍රොට්ස්කි තදින්ම විරුද්ධ විය. එනිසා කොම්සාර් යන වචනය යොදා ගැනීමට ලෙනින් එකඟ විය. රුසියානු මහා රාජ්‍යයට සෝවියට් දේශය යන නම ලැබුණේ සෝවියට්  සභාවලින් පාලනය සිදුවීම නිසාය. ඔක්තෝබර් සමාජවාදී විප්ලවයේ ජයග්‍රාහී රතු ධජය සමස්ත රුසියාව මතම ලෙළ දුන්නේය. 


එහෙත් කරදර එතෙකින් නිමා නොවුණේය. හිටපු සාර් රජුගේ ඥාතීන් සහ මිතුරන් වූ අවට රටවල අධිරාජයන්ගේ හමුදාවෝ සෝවියට් දේශය වටකොට පහර දෙන්නට වූහ. ඒ අතරේ පළමුවැනි ලෝක මහා සංග්‍රාමයද නොකඩවා පැවතුණි. 


මෙම සියලු බාධකයන් අකා මකාගෙන ඔක්තෝබර් විප්ලවයේ ජයග්‍රහණය දශක අටකට ආසන්න කාලයක් ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යාමට සෝවියට් කොමියුනිස්ට් පක්ෂයට හැකිවිය. එහෙත් ලෝකයේ පවතින නව ප්‍රවණතාවන්ට අනුව සෝවියට් රුසියාව පමණක් නොව එම කඳවුරේ සාමාජිකයන් වූ චෙකොස්ලෝවෙකියාව, යුගොස්ලෝවියාව, හංගේරියාව, බල්ගේරියාව, පෝලන්තය, රුමේනියාව, ඇල්බේනියාව සහ නැගෙනහිර ජර්මනිය යන රටවල කොමියුනිස්ට් පාලනය  බිඳ වැටුණි. එදා සෝවියට් රාජ්‍යය වශයෙන් පැවති එකම රාජ්‍යය අද වෙනම ස්වාධීන රාජ්‍ය ගණනාවක් බවට පත්ව ඇත. එම රටවල් මෙසේය. 


රුසියානු ෆෙඩරේෂනය, ජෝර්ජියාව, යුක්‍රේනය, බයිලෝ රුසියාව, ආර්මේනියා, මොල්ඩාවියා, කසකස්ථානය, උස්බෙකිස්ථානය, තුක්මෙනිස්ථානය, කිර්ගීසියාව, තජිකිස්ථානය, ලැට්වියාව, ලිතුවේනියාව, එස්තෝනියාව හා අසර්බයිජානය ආදියයි. මෙම බිඳ වැටීම නිසා යුගෝස්ලාවියාව නමින් එකල පැවති රාජ්‍යය සර්බියාව, ක්‍රොඒසියාව, මොන්ටිනීග්‍රෝ, මැසිඩෝනියාව හා බොස්නියා හර්සගොවිනා ආදි වශයෙන් බෙදී වෙන්විය. චෙකොස්ලෝවේනියාව චෙක් සහ ස්ලෝවේකියා යනුවෙන් ජනරජ දෙකක් විය. එහෙත් කොමියුනිස්ට් රටක්ව පැවති නැගෙනහිර ජර්මනිය බටහිර ජර්මනිය සමග ඒකාබද්ධ ප්‍රබල එක් රටක් බවට පත්විය. ඔක්තෝබර් සමාජවාදී විප්ලවයේ බිඳ වැටීම ලෝකයට දැනුණේ ඒ ආකාරයටය.

 

 

 

 

 

 

 

 

 

 

 

සෝමසිරි වික්‍රමසිංහ