එක් දහස් නමසිය හැත්තෑ හත ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන දෙරටටම තීරණාත්මක වර්ෂයක් විය. දෙරටේම ජනතාවෝ තමන්ගේ ඡන්දයේ බලය උපයෝගී කරගෙන ප්‍රජාත්නත්‍රවාදී උපාය මාර්ගයට අනුව තම රටවල පැවති ප්‍රබල ආණ්ඩු දෙකම පෙරළා දැමූහ. ඉන්දියාවේ පාලනය ගෙන යමින් සිටියේ නිදහසින් පසුව බලයට පත්ව එතෙක් සියලුම මැතිවරණ දිනා නොකඩවා බලයේ රැඳී සිටි ඉන්දියානු ජාතික සංගමයයි. නොඑසේ නම් කොන්ග්‍රස් පක්ෂයයි. එවකට එහි නායිකාව සහ රටේ අගමැතිනිය වූවේ ඉන්දිරා ගාන්ධි මැතිනියයි. ඇයගේ රජය පරාජය කරමින් බලයට ආවේ මොරාජ් දේශායි නම් නායකයෙකු යටතේ තරග වැදුණු භාරතීය ජනතා පක්ෂය නමැති සන්ධානයකි. 


එම මැතිවරණයේදී ඉන්දිරා ගාන්ධිට අත් වූවේ පරාජයක් නොව අන්ත පරාජයකි. ඇය තමාගේ රායි බරෙල්ලි ආසනය පරාජය වූයේ ලක්ෂයකටත් වැඩි ඡන්ද සංඛ්‍යාවකිනි. ලංකාවේ තත්ත්වය ද එයම වූ බව අපට හොඳටම මතකය. 1990 දී තුනෙන් දෙකක බලයක් සහිතව රාජ්‍ය බලය අත්කර ගෙන සිටි ශ්‍රී.ල.නි.පක්ෂයට දිනා ගත හැකි වූයේ ආසන අටක් පමණි. බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂය හයෙන් පහක ආසන සංඛ්‍යාවක් දිනා ගෙන තිබුණි. මෙම ආණ්ඩු දෙකම ප්‍රතිපත්ති අතින් ඉතා සමාන බවක් දක්නට ලැබුණි. ආර්ථික සහ විදේශීය යන දෙආකාර ප්‍රතිපත්ති -යේදීම දෙරටේම නව පාලකයෝ සම අදහස් දැරූහ. බටහිර කඳවුරට හිතවත් විවෘත ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කළ ඔව්හු ඉතා සහයෝගයෙන් රාජ්‍ය පාලනය කරගෙන ගියහ. 


ශ්‍රී ලංකාවේදී මෙම තත්ත්වය තවත් පැත්තකින් බරපතළ ප්‍රතිවිපාක උද්ගත කළේය. ශ්‍රී.ල.නි.ප. ලැබූ දැවැන්ත පරාජය හමුවේ විපක්ෂ නායක ධුරය පවා එම පක්ෂයට අහිමි වී ගියේය. එම තනතුරට පත් වූයේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ඒ. අමිර්තලිංගම් මහතාය. මෙය දෙමළ පක්ෂයකට එම තනතුර හිමි වූ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව විය. එය ජාත්‍යන්තර තලයේ විශාල බලපෑමක් කිරීමටත් එම බලවේගයට රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් ඇති වීමටත් හේතු විය. 


හැත්තෑ හතේ මැතිවරණයේදී ද්‍ර.එ.වි පෙරමුණ තම ප්‍රචාරක කටයුතු මෙහෙයවා තිබුණේ මුළුමනින්ම ජාතිවාදී ස්වරූපයෙනි. අනගාතයේදී ලේ වැගිරීමක් නොඅනුමානව සිදු වන්නේ යැයි ද එම සටන සිදුවීමෙන් පසු ඇති වන වෙනම රාජ්‍යයේ දෙමළ ජනතාවට සැනසීමෙන් යුතුව ජීවත් වීමේ භාග්‍යය ලැබෙන බව අමිර්තලිංගම් මහත්මිය උතුරේ ප්‍රචාරක රැස්වීම් වලදී ප්‍රකාශ කළ බවට ඇයට චෝදනා නැගිණි. එමෙන්ම එම පක්ෂයේ තරුණ නායකයෙකු වූ කාසි ආනන්දන් එයටත් එහා ගිය ලේ වැගිරීමට තුඩු දෙන අදහස් ප්‍රකාශ කර තිබුණි. වසර කීපයකට පෙර එක් ප්‍රසිද්ධ රැස්වීමකදී ඔහු කියා තිබුණේ ඇල්ෆ්‍රඞ් දොරයප්පා. සී. අරුලම්පලම්, ඒ. ත්‍යාගරාජ සහ සී. සුබ්‍රමනියම් යන අයට ස්වභාවික මරණයක් උරුම නැතැයි ද එය කෙසේ සිදු විය යුතු යන්න තීරණය කරනුයේ දෙමළ තරුණයන් බවය. කාසි ආනන්දන් මෙසේ පවසද්දී රැස්වීමේ මුලසුනේ සිටි ඇස්. ජේ. වී. චෙල්වනායගම් මහතා සිනාමුසු මුහුණින් හිස සැලූ බව කියවේ. මෙම ප්‍රචණ්ඩකාරී අදහස් සහ වෙනම රාජ්‍යයක් දිනා ගැනීම පිළිබඳව වූ සංකල්පය ද්‍ර.එ.වි. පෙරමුණේම නිර්මාණයක් බවත් තම ගතානුගතික වැඩ පිළිවෙළ ගැන කලකිරී තරුණ කොටස් ඈත් වීම වැළැක්වීමට මෙම මත වාදය තරුණ පරපුර වෙත කාන්දු කළේ එම නායකයන්ම බවටත් බොහෝ දෙනා මත පළ කළහ. කාසි ආනන්දන් විස්තර කළ නාමාවලියේ සඳහන් වූ සෑම දෙනාම උතුරේ මන්ත්‍රීවරුන් ලෙස සිටියදී රජයට සහය දුන් අය වූහ. 


1972  ජනරජ ව්‍යවස්ථාව සම්මත කිරීමේදී සිංහලය රාජ්‍ය භාෂාව ලෙසත් බුද්ධාගම රාජ්‍ය ආගම ලෙසත් ප්‍රකාශයට පත් වීම දෙමළ නායකයෝ අනුමත නොකළහ. ඒ පිළිබඳව ඇති වූ සමහර විරෝධතා පවා ප්‍රචණ්ඩකාරී වූ බව කියනු ලැබේ. 1973 දී ලෝක දෙමළ සංසදයේ සමුළු වාරයක් පැවැත්වෙමින් තිබියදී විදුලි සැර වැදීමෙන් පිරිසක් මිය යාමේ සිද්ධියද නොහොඳ නොක්කාඩු වැඩි වීමට හේතු වූ බව කියනු ලැබේ. වසර කීපයකට පසු මොරාජි දේශායිගේ ඉන්දියානු ආණ්ඩුව බිඳ වැටී ඉන්දිරා ගාන්ධි යළිත් බලයට පැමිණියාය. එහෙත් ලංකාවේ පැවතියේ ජේ. ආර්. ජයවර්ධන රජයමය. මෙම දෙපාර්ශ්වය අතර ද රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් වුවද නොගැළපීම් බහුල විය. ඉරණවිල ඇමෙරිකානු හඬ සම්ප්‍රේෂණාගාර ව්‍යාපෘතිය මෙරට විවෘත ආර්ථිකය වැනි දේ තම ජාතික ඕනෑ එපාකම් සමඟ ගැටෙන බව ඉන්දිරා ගාන්ධි අගමැතිනිය වටහා ගත්තාය. මේ පිළිබඳවද යම් යම් නූල් සූත්තර ක්‍රිියාවට නැගෙමින් තිබුණි. ලංකාවේ රජය හීලෑ කර ගැනීම තම ප්‍රමුඛ කාර්යභාරයක් ලෙස ඇය සැලකුවාය. මේ හේතුව නිසාම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු කෙරෙහි ඉන්දියාවේ අත පෙවීම් ශීඝ්‍රයෙන් වැඩි වන තත්ත්වයක් නිර්මාණය වූ බව විචාරකයෝ පැවසූහ. 


කාසි ආනන්දන් ප්‍රකාශ කළ පරිදිම මන්ත්‍රීවරයෙකු ඝාතනයට ලක් විය. ඔහු ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ අපේක්ෂකයා ලෙස 1977 මැතිවරණයේදී පොතුවිල් ආසනයට තේරි පත්ව සිටි එම්. කනකරත්නම් මහතාය. පාර්ලිමේන්තුවට පත් වී ටික දිනකින්ම තම පක්ෂ්‍ය හැර දමා රජයට එක් වීමට ඔහු කටයුතු කළේය. මෙය බරපතළ පාවා දීමක් ලෙස හැඳින් වූ තරුණ පිරිසක් 1978 ජනවාරි 27 වැනිදා කොළඹ දී වෙඩි තබා ඔහු මරා දැමූහ. මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය සැක කළේ ප්‍රභාකරන් සහ උමා මහේශ්වරන් යන දෙදෙනාය. 


මේ ගැන පරීක්ෂණ පැවැත්වීම භාර වූයේ පොලිස් පරීක්ෂක බස්තියන් පිල්ලේ මහතා ඇතුළු පිරිසකටය. මන්ත්‍රීවරයා මරා දැමීමේ අපරාධය ගැන විමර්ශනය කිරීම සඳහා මෙම කණ්ඩායම මන්නාරම ප්‍රදේශය බලා පිටත්ව ගියේය. පොලිස් පරීක්ෂක බස්තියන් පිල්ලේ, උප පොලිස් පරීක්ෂක පේරම්බලම්, පොලිස් සැරයන් බාලසිංහම් සහ රියදුරු සිරිවර්ධන ආදීහු මෙසේ මන්නාරම් බලා ගියහ. 


ඔවුන් ගොස් නැවතුන ස්ථානය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සටන් පුහුණු කඳවුරක් විය. බාහිර පෙනුමෙන් එය ගොවිපළක් ලෙස වෙස් ගන්වා තිබුණී. මේ බව නොදත් පොලිසිය මෙම කඳවුරට ගොස් තිබුණි. මේ වන විට උමා මශේෂ්වරන් ද එහි සිටියේය. තරුණ පිරිස දුටු පොලිස් පිරිස එහි ගොස් තමන් කව්රුන් දැයි විමසීය. “අපි මෙ ගොවිපලේ වැඩ කරන අයයි.” පිළිතුරු ලැබිණි. 


නිලධාරීන්ට පානය සඳහා ජලය ද ලබා දුන් තරුණයෝ ඔවුනට ගරු සරු දක්වන බවක් පෙන්නුම් කළහ. පිපාසයෙන් පීඩිතව සිටි බස්තියන් පිල්ලේ දිය පොදක් පානය කිරීම සඳහා තමා අත තිබූ නිල ගිනි අවිය පසෙකින් තැබීය. වහා ක්‍රියාත්මක වූ තරුණයෙක් තුවක්කුව පැහැර ගෙන පොලිස් පිරිසට වෙඩි තැබූවේය. සිදු වන්නේ කුමක් දැයි සිතා ගැනීමටත් බස්තියන් පිල්ලේට අවස්ථාවට ලැබුණේ නැත. ඔහු සහ සාජන්වරයා එතනම මැරී වැටුනහ. බාලසිංහම් අසල තිබුණු ළිඳකට ඇද වැටුණු අතර රියදුරු සිරිවර්ධනටත් ඔවුහු වෙඩි තබා මරණයට පත් කළහ. පොලිස් කණ්ඩායමට සිදුවූයේ කුමක් දැයි යන්න කලක් යනතුරු රජයට රහසක් වුවේය. මේ අවස්ථාවේ අසල කැලයේ ගසක සිටි දර කපන්නෙකු මෙම සිද්ධිය හොඳින් දැක තිබුණි. පසුව ඔත්තුව ලැබුණේ ඔහු මගිනි. 


උතුරේ ප්‍රචණ්ඩත්වය ආරම්භ වූයේ ඒ ආකාරයෙනි. උතුරේ පමණක් නොව ත්‍රස්තවාදීහු අගනුවරට ද අපරාධ සංස්කාතිය ව්‍යාප්ත කළහ. ඒ වසරේදීම සැප්තැම්බර් 9 වැනිදා රත්මලාන ගුවන් තොටුපළේ දී ඇව්රෝ ගුවන් යානයක් පුපුරුවා හැරියහ. යාපනය ප්‍රදේශයේ විශාල බැංකු මංකොල්ලයක් ද සිදු විය. දිනෙන් දින මෝරා එන ත්‍රස්තවාදී කටයුතු ගැන ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ අවධානය යොමු වුයේ නිතැතිනි. එන පොට හොඳ නැති බව තේරුම් ගත් ඔහු උතුරේ ප්‍රදේශ වලට හදිසි නීතිය පනවා හමුදා ආරක්ෂාව ලබා දෙන ලෙස නියෝග කළේය. එමෙන්ම වහාම මෙම තත්ත්වය පාලනය කරන ලෙස නියම කර බි්‍රගේඩියර් තිස්ස වීරතුංග මහතා යාපනයට යැවීය. මේ වන විට උතුරේ මනුෂ්‍ය ඝාතන සිදුව පැවති බව කියනු ලැබේ. 


නැගී එන දෙමළ ත්‍රස්තවාදයට විසඳුමක් වශයෙන් බලය විමධ්‍යගත කිරීමේ සංකල්පයට අනුව ප්‍රාදදේශීය සංවර්ධන සභා පිහිටු වීම ජේ. ආර්. ජයවර්ධන රජය මගින් සිදු කරන ලදි. මෙම මැතිවරණය කොටි සංවිධානය විසින් ප්‍රතික්ෂේප කරන ලද නමුදු ද්‍ර.එ.වී.පෙ. මෙම තරගයට ඉදිරිපත් විය. ඔවුනට බලය හිමි වන බව දුටු අදූරදර්ශී දේශපාලකයන් පිරිසක් උතුරේන් බැහැර ප්‍රදේශ වලින් ගෙන යන ලද මැරවරයින් යොදා එම ඡන්දය කඩා කප්පල් කිරීමට කටයුතු කරන ලදී. එම ගැටුම් වල ප්‍රතිඵලයක් වශයෙන් උතුරු පළාතේ ඥානාගාරය ලෙස හැඳින්වෙන යාපනයේ පුස්තකාලය ගිනිබත් විය. එය දමිළ ආධ්‍යාත්මයේ හදවතට එල්ල වූ පහරක් ලෙස සැලකීම පුදුමයක් නොවීය. මෙසේ ඇති වූ නොසන්සුන්තාව දියුණු තියුණු වීමට හේතු වූ තවත් සිදුවීමක් ද විය. 


චාල්ස් ඇන්තනි හෙවත් සීලන් යනු ප්‍රභාකරන්ගේ ඉතා සමීප විශ්වාසවන්තයෙකි. එකල ප්‍රභාකරන් සිටියේ තමිල්නාඩුවේය. සීලන් තවත් පිරිසක් සමග චාවකච්චේරියේ පොලිසියට පහර දුන්හ. බස් රථයක් පැහැර ගත් ඔවුහු පොලිසිය ආක්‍රමණය කළහ. මෙම සටනේදී පොලිස් වෙඩි පහරකින් සීලන්ගේ පාදයකට බරපතළ හානි සිදු විය. පොලිසිය ඔවුන් ලුහුබඳිද්දී සීලන්ට දිව යාමට නොහැකි වූයේ පාදයට වෙඩි වැදී සිටි හෙයිනි. සීලන් සමග සෙල්ලක් කිලි නම් ත්‍රස්තවාදියාද මෙම ප්‍රහාරයට නායකත්වය දුන්හ. මෙම සිදු වීමෙන් පසු ආරක්ෂක අංශ මොහු ගැන විශාල සෝදිසියක සිටි අතර 1982 ජුලි 15 වැනි දින නියම ඔත්තුව ලැබුණි. ඒ අනුව ආරක්ෂක අංශ ඔහු සිටි තැන වට කළේය. එතැන සිටි අරුණා සහ සීලන් පැන දිවූහ. පැරණි වෙඩි වැදීමෙන් තිබුණු ආබාධය නිසා සීලන්ට දිවීම අපහසු විය. ඔහු තමා සමඟ සිටි අරුණාට නියෝග කළේ තමාට වෙඩි තබා මරා දමන ලෙසය. පොලිසියට අසු වී මුහුණ දීමට සිදු වන ඉරණම ඔහු දැන සිටියා විය යුතුය. එය ව්‍යාපාරයට ද හානියකි. අකමැත්තනේ වුවත් අරුණා තම පිස්තෝලයෙන් සීලන්ට කොකා ගැස්සුවේය. සීලන් මරු තුරුලට ගියේය. 
මේ පුවත සැලවීමෙන් ප්‍රභාකරන් කෝපයෙන් වියරු වැටුණේය. තමාගේ සමීපතම සටන් සගයාගේ මරණය දරා ගැනීම ඉතා අසීරු කරුණක් සේ ඔහුට දැනුණි. මේ වන විට ඔහු සිටියේ යාපනයේය. මිතුරාගේ මරණයට ලෙයට ලෙයින් පළිගත යුතු යැයි ඔහු ස්ථිරවම තීරණය කළේය. යම් කිසි සැලසුමක් සිතෙහි ඇඳ ගත්තේය. 

 

 

 

මතු සම්බන්ධයි.

 

 

සෝමසිරි වික්‍රමසිංහ