උසාවිය දෙවනත් කළ ඇන්.ඇම්.ගේ ප්‍රකාශය - 04

කම්කරු රාජ්‍යයේ ආරක්ෂාව


අධිරාජ්‍යවාදී දේශපාලනඥයන් කන් බිහිරි කරවන තරම් හඬනගා මේ සටන කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමටත් කුඩා රටවල් පැසිස්ට්වාදයෙන් පෑගීම වැළැක්වීමටත් යයි කීම අපට පිළිගත නොහැකිවීම පුදුමයක්ද? අධිරාජ්‍යවාදයත් පැසිස්ට්වාදයත් අතරින් මේ හොඳයයි තෝරා ගත හැකි එකක් අපට නැත. ගිය යුද්ධය එහි ප්‍රතිඵලයක් සේ ඇතිවූ වර්සේලේස් ගිවිසුමින් ප්‍රකාශ වන්නාසේම විජිතයත් බෙදා ගැනීම සඳහා ඇතිවූවකි. 


වර්තමාන ලෝක යුද්ධයට ද ඊට වෙනස් අරමුණු හෝ අපේක්ෂා හෝ නැත. මේ යුද්ධය නම් තරඟ කරන අධිරාජ්‍යවාද දෙකක් අතර ඝට්ටනයකි. එක අධිරාජ්‍යවාදයක් තමා හට ඇති විජිතයන් රැකගැනීමට සටන් කරයි. අනෙක ඒ විජිතයන් කොල්ලකා ගැනීමට ප්‍රයත්න දරයි. අපේ ප්‍රාර්ථනාව නම් මේ වාද දෙකම විනාශවී යායුතුය කියායි. ජර්මනිය විසින් පළමුවැනි කම්කරු රාජ්‍යයට විරුද්ධව ගසන පළමුවැනි පහර නිසා මේ යුද්ධය පිළිබඳ අපේ මත තරමක් වෙනස්වී තිබේ. ඒ කම්කරු රාජ්‍යයේ ආරක්ෂාව හා අයිතිය සඳහා නිදහසේ පාවිච්චි කළ හැකි සියලු මං වලින් එය රැකීමට අපි ඉදිරිපත් වෙමු. ඊට වැඩිදෙයක් අප කියන්නේ නැත. කරන්නේද නැත.


කරුණු පරීක්ෂා කර බැලූවිට මෙයට වෙනස් ක්‍රියාමාර්ගයක් එඩිතර හෝ නුවණට හුරු හෝ නොවන බවද කියයුතුය. අපේ ප්‍රතිපත්තිය හා ක්‍රියාමාර්ගය වෙනස්වීමට හේතුව කිසිම කාරණයක් මේ යුද්ධ කාලය තුළ සිදුවී නැත. මෙයට හාත්පසින් වෙනස් වූ අත්ලන්තික් චාටරය ඉන්දියාවට හා ලංකාවට ක්‍රියාවේ යෙදිය නොහැකි යයි යන ප්‍රකාශය ද බි්‍රතාන්‍ය අගමැතියා තමා ඒ පදවියට පත්වූයේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය අවසන් කිරීමට නොවේ යයි යන ප්‍රකාශය ද අස්ථිර සිත් වඩාත් ස්ථිර කෙරෙයි. මේ යුද්ධයේ අවසානයේදී අධිරාජ්‍යවාදී දිවියා ඔහුගේ ලප වෙනස් කරතියි මෝඩයන්ගේ ස්වර්ගයේ ජීවත්වන්නෝ සිතති. අපට එබඳු ඇදහීමක් වත් බොළඳ මතයක්වත් නැත.


අප සිරභාරයේ තබාගෙන හිඳීම නීතිවිරෝධී යයිද, අපි සිරගෙයින් ගැලවී යාම නීත්‍යානුකූල යයිද තීරණය කිරීමට ඉහත සඳහන් කරුණු හේතුවෙනවා ඇත.


ඇන්. ඇම්. කළ මෙම ඓතිහාසික ප්‍රකාශය එදා ලංකාවේ ප්‍රකාශයට පත්වූ පුවත්පත්වල පළනොවූ නමුදු ලොව සමාජවාදී රටවල් කීපයකම පළවිය. ඇමෙරිකා එක්සත් ජනපදයේ පළ කරන ලද “මිලිටන්ට්” පුවත්පත මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පළකොට එය විප්ලවකාරී සමාජවාදී ව්‍යාපාරයේ ඉතාම අගනා වැදගත් සිද්ධීන් ඇතුළත් ඉතිහාසයට එකතු කළ යුතු වැදගත් ප්‍රකාශයක් බවද සඳහන් කොට තිබුණි.


ඇන්. ඇම්. ගේ මෙම ප්‍රකාශය කොතරම් සාධාරණ යුක්තිසහගත එකක් වුවද මහනුවර මහේස්ත්‍රාත්වරයා ඔහු එම චෝදනාවන්ට වැරදිකරු කරමින් බරපතළ වැඩ සහිත සයමසක සිර දඬුවමක් නියම කළේය.
සුවිශේෂ ආරක්ෂිත රැකවල් මැද සිරමැදිරියේ රඳවා සිටි ඇන්.ඇම්. පසුව එම කාලය ගැන මෙසේ ප්‍රකාශ කොට තිබිණි.


“නියම කරන ලද දඬුවම අපි සාඩම්බරයෙන් භාරගතිමු. හිරේට යාමේ බියෙන් අපි හඬා දුක් නොවීමු. මුළු සිර දඬුවම අපි සතුටින් හා විනෝදයෙන් වින්ඳෙමු. අපිට ලැබුණේ බරපතළ වැඩ සහිත සිර දඬුවමකි. අපි පොල්ලෙලි තලමින් මාසයක් බරපතළ වැඩ කළෙමු. එය අවසානයේ අපි වේවැල් පුටු විවීමේ වෘත්තිය පුහුණුව ලැබීමු.


සම්පූර්ණ සිරකරුවෙකුගේ දෛනික ජීවිතය අපි ගත කළෙමු. අපට දෙන ලද කෑම අපි කෑවෙමු.


දෙන ලද ඇඳුම් ඇන්ඳෙමු. අපට සපයන ලද පැදුරුවල නිදාගතිමු. මෙය ඉතා කටුක දුක් සහිත ජීවිතයක් විය. එහෙත් මේ සිරගෙය තුළින්, අප විඳින ඉතා කටුක දුක් තුළින් අපේ මව්බිමේ නිදහස දිනා ගැනීමට මග පෑදෙන බව අප දැන සිටි නිසා ඒ සිරකූඩුව අපට මිහිරක්ම විය.


සිරගෙය බිඳ පලා යාමේ චෝදනාවට වරදකරු වූ ඇන්. ඇම්. ගැන ආණ්ඩුකාරයාගේ නියමය පරිදි ප්‍රධාන ජේලර් විසින් 1944 අගෝස්තු 01 දින නිකුත් කළ විශේෂ නියෝගය.


ඉහත සඳහන් සිරකරු මහනුවර සිර කඳවුරෙන් පලායාමේ වරදට දඬුවම් ලබමින් සිටී. මේ පලායාම පිළිබඳ තොරතුරු හොඳහැටි ප්‍රසිද්ධව තිබෙන බැවින් නැවත මතක් කිරීමක් වුවමනා නැත. එහෙත් මෙය කලින් කරන ලද සැලැස්මක් අනුව ඉතා දක්ෂ ලෙස, ප්‍රවේසමෙන් කරන ලද්දක් බව මතක තබාගැනීමට නිලධරයන්ට තදින්ම අවවාද කරනු ලැබේ.


මේ සිරකරු සාමාන්‍ය සිරකරුවකු නොව ගරු ආණ්ඩුකාරතුමන් විසින් නිකුත් කරන ලද තවමත් බල පවත්නා හා ක්‍රියාවෙහි යෙදෙන සිරබාරයේ තබා ගැනීමේ ආඥාවක් ඇත්තකු බවද පෙන්වා දෙනු ලැබේ.


මොහු ආරක්ෂා කරන සියලුම මුලාදෑනීනට ඉතාම තදින් ප්‍රවේසම් වන ලෙසටත්, මොහොතකට හෝ ඔහුගේ රැකවල් ලිහිල් නොකරන ලෙසටත් දන්වා සිටිනු ලැබේ. මේ සිරකරුගේ සියලු ක්‍රියා විමසිල්ලෙන් යුක්තව බලාගත යුතු බව පමණක් නොව අමුත්තක් ඇතිවුවහොත් එය වහාම බන්ධනාගාර පාලකතුමාට දැන්විය යුත්තාහ.

 

 

 


අත්සන් කළේ
බස්නාහිර පළාතේ
ප්‍රධාන බන්ධනාගාර පාලක තැන

 

ඊ. එල්. ජයන්ත ද සොයිසා