අත අතට පත් ලේකම්වරු - 03

රජයේ ලිපිකරුවකු ලෙස රාජ්‍ය සේවයට එකතු වූ ටී. බී. ඉලංගරත්න මහතා 1946 වන විට සමස්ත රාජ්‍ය ලිපිකරුවන් නියෝජනය කළ එකම වෘත්තීය සමිතියේ සභාපති ධුරයට පත්ව සිටියේය. 


දෙවැනි ලෝක මහා සංග්‍රාමය නිමා වීමෙන් පසු අනෙක් බොහෝ රටවලට මෙන්ම ශ්‍රී ලංකාවේද පීඩිත ජනතාවටත් විශේෂයෙන් නාගරික කම්කරු පන්තියටත් මුහුණ දීමට සිදුව තිබුණු අනේකවිධ ආර්ථික හා මානුෂීය අපහසුතා නිසා දෛනික ජීවිතය පවත්වාගෙන ගියේ මහත් අසහනයෙන් යුතුවය.


දහස් ගණන් දෙනා සේවයෙන් නෙරපා දැමූ අතර තවත් බොහෝ දෙනෙකුගේ වැටුප් අඩුවීම් සිදුවනු දක්නට ලැබුණි. මේ රට බි්‍රතාන්‍ය යටත්විජිතයක්ව පැවැති එම යුගයේ ජනතාවට සිදුවන පීඩාවන් ගැන කතා කිරීමට සිටියේ ඉතා අතළොස්සක් වූ සමාජ නායකයන් පිරිසක් පමණි. මෙම අසහනය සමස්ත ලංකා මට්ටමේ මහා වැඩවර්ජනයක් දක්වා මෝරා ගියේ විස්මිත අන්දමිනි. මෙයට පෙර හුදකලා වැඩවර්ජන ඇතිවූ අවස්ථා තිබුණද ඒ කිසිම විටෙක රජයේ ලිපිකරුවන් වර්ජනයකට සම්බන්ධ වී නොතිබුණි. එම යුගයේ වටහා ගැනීම වූවේ ලිපිකරු ශ්‍රේණිය එවැනි වර්ජන ව්‍යාපාරවලට සහභාගි වෙමින් වැළකී සිටිය යුතු සමාජ මට්ටමක් දරන බවයි.
කෙසේ වුවත් 1946 දී පැවැති මහා වැඩවර්ජනයට බහුතරයක් ලිපිකරුවෝ සම්බන්ධ වූහ. ඒ ඔවුන්ගේ සංගමයේ සභාපති ඉලංගරත්න මහතාගේ නායකත්වයෙනි. එවකට සිටි ආණ්ඩුකාරවරයා මහජන ආරක්ෂක පනත පනවා ක්‍රියාත්මක කිරීම ඇතුළු බොහෝ මර්දනකාරී ක්‍රියාමාර්ග ගැනීම නිසා වැඩවර්ජනය පරාජයට පත්විය. බොහෝ වර්ජකයන් රජයේ සේවයෙන් නෙරපා දමන ලදහ. ඉලංගරත්න මහතාගේ ඉරණම වූවේද එයයි. ඔහු සිය බිරිඳගේ ගම් පළාත වූ ගම්පොළ නිවසට වී කාලය ගත කළ අතර එදිනෙදා ජීවිතය ගත කිරීම පවා අසීරුසහගත තත්ත්වයකට මුහුණ දෙමින් සිටියේය.


සෝල්බරි කොමිසමේ නිර්දේශය පරිදි 1947 දී ප්‍රථම මහා මැතිවරණය පැවැත්වීමට කටයුතු සිදුවූයේ මෙම වකවානුවේදීය. එවකට පැවැති ප්‍රබල වාමාංශික පක්ෂ වූ ලංකා සමසමාජ පක්ෂය, ලංකා කොමියුනිස්ට් පක්ෂය සහ වෙනත් ප්‍රගතිශීලී බලවේගවල ආරාධනය වූවේ වාමාංශික කඳවුරේ අපේක්ෂකයා වශයෙන් මහනුවර ආසනයට ඉලංගරත්න මහතා ඉදිරිපත් කිරීමයි. එය ප්‍රතික්ෂේප කළ නොහැකි පමණට බරපතළ වූවෙන් අතේ සතේ නැතිව වුවද මහනුවර අසුන තරග කිරීමට ඔහු එකඟ වූවේ ප්‍රතිපත්ති මතය. ඔහුගේ ප්‍රතිවාදියා වූවේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මහනුවර ආසනය නියෝජනය කළ වූත් හිටපු ඇමැතිවරයකු වූත්, ප්‍රභූ දේශපාලනඥයකු වූත් ජෝර්ජ් ඊ. ද සිල්වා මහතාය. එහෙත් කන්ද උඩරට එකල ජීවත් වූ ධනවත් පුද්ගලයෝ ඉලංගරත්න මහතාට ආධාර උපකාර කිරීමට ඉදිරිපත් වූහ. විශේෂයෙන් කන්ද උඩරට පැවති කුලභේදය හේතුකොටගෙන එම පීඩිත කුලවල ධනවත් පුද්ගලයෝ ඉලංගරත්න මහතාට දැඩි ශක්තියක් සැපයූහ. දානපති ව්‍යාපාරිකයන් වූ ජේ. පී. ජයසේන සහ ජේ. ඇම්. ජයසේන යන සොහොයුරන් දෙදෙනා ඉන් මුල් තැනක් ගනී. එම මැතිවරණයේ ප්‍රතිඵලය වූවේ ඉතා සුළු ඡන්ද ගණනකින් ජෝර්ජ් ඊ. ද සිල්වා මහතා ජයගැනීමයි. ඉන්පසු වැල නොකැඩී ඉදිරිපත් වූ ඡන්ද පෙත්සම් මාලාවක ප්‍රතිඵලයක් වශයෙන් තමරා කුමාරි ඉලංගරත්න මහත්මිය කලක් පාර්ලිමේන්තුව නියෝජනය කළාය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කෙරුණේ මෙම වකවානුවේදීය. කුරුණෑගල මන්ත්‍රී එච්. ශ්‍රී නිශ්ශංක, නාගරික මන්ත්‍රී ටී. බී. තෙන්නකෝන්, ඉලංගරත්න යුවළ, ආදී පිරිස එක්ව ගොඩනගාගෙන තිබුණු මහනුවර සමාජවාදී සංගමය, කෙළින්ම ශ්‍රී.ල.නි. පක්ෂයට සම්බන්ධ විය. ඒ නිසා ඔව්හු ශ්‍රීලනිපයේ ප්‍රබල ක්‍රියාකාරිකයෝ වූහ.


ඡන්ද පෙත්සමකට වරදකරු වී ප්‍රජා අයිතියද අත්හිටවනු ලැබ සිටි ටී. බී. ඉලංගරත්න මහතාට යළි පුරවැසි හිමිකම් ලැබීමට නියමිත අවධිය වන විට 1956 මහා ඡන්දය එළඹියේය. එයට ඔහු ගලහ ආසනයෙන් ඉදිරිපත් විය. අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ ඒ මහතා කම්කරු සහ සමාජ සේවා අමාත්‍ය ධුරයට පත්කර ගන්නා ලදී. අගමැති බණ්ඩාරනායක මහතාගේ විශ්වාසය දිනාගත් සමීප කැබිනට් සගයකු වශයෙන් ක්‍රියා කළ ඉලංගරත්න මහතා එම රජය තුළ ඇතිවූ වම - දකුණ ඇමති මණ්ඩල අර්බුදයේදී අගමැතිතුමා ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියක සිට කටයුතු කළේය. ඇමති මණ්ඩලයේ බහුතරය අගමැතිවරයාට එරෙහිව වර්ජන ව්‍යාපාරයේ යෙදුණු අතර අගමැතිතුමාට පක්ෂ වූයේ දෙතුන් දෙනෙකු පමණි. ඒ අතරින් ඉලංගරත්න මහතා ඉදිරියෙන් සිටියේය.


කම්කරු නායකයකු ලෙස කටයුතු කළ අයකු කම්කරු ඇමැතිවරයා ලෙස පත්වීම සුවිශේෂී සිද්ධියකි. එය කියමනකට පමණක් සීමා නොකර කම්කරු පන්තියට විශාල මෙහෙයක් ඉටු කිරීමට නව කම්කරු ඇමතිවරයා මහත් උත්සාහයක් ගත්තේය. සේවක අර්ථසාධක අරමුදල පිහිටුවීම, මැයි දිනය නිවාඩු දිනයක් කිරීම, සෑම ශ්‍රේණියකම සේවක පිරිස්වලට වෘත්තීය සමිති අයිතිවාසිකම් ලබාදීම, වැඩි වැටුප් සහ අයිතිවාසිකම් බෙහෝමයක් ලබා දීම එතුමා අතින් සිදුවිය. 1977 දක්වා දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළේය. 1968 දී කොළොන්නාව ආසනයේ මන්ත්‍රීවරයා ලෙස ජයග්‍රහණය ලැබූ එතුමා 1970 සමගි පෙරමුණු රජයේ ද බලගතු අමාත්‍ය පදවි කීපයක්ම දරමින් රටටත් ජනතාවටත් මහඟු සේවයක් ඉටු කළේය.


පනස් හයේ ජයග්‍රහණය සමයේ පක්ෂයේ ලේකම් ධුරය දැරූ දෙදෙනාම අමාත්‍යවරුන් බවට පත් වී වගකීම් වැඩිකම නිසා 1958 දී ඉවත් වීමෙන් පසු එම තනතුරට පත්වූවේ ජේ. සී. ඩබ්ලිව්. මුණසිංහ මහතා සහ ඇම්. පී. ද සොයිසා යන මහත්වරුය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුල් කාලීන සාමාජිකයකු වූ ඇම්. පී. ද සොයිසා මහතා දිවංගත අගමැති ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ඉතා සමීප සටත් සගයෙක් විය. පාර්ලිමේන්තු මැතිවරණ පොරපිටිය ගැන උනන්දුවක් නොදක්වමින් පකෂයේ ජයග්‍රහණය කෙරෙහිම ඇප කැපවී ක්‍රියාකිරීම නිසාම ශ්‍රීලනිප සම ලේකම් ධුරයකට පත්කර ගන්නා ලදී. එමෙන්ම එවකට පැවැති උත්තර මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයකු ලෙස පත්කරන ලදුව එමගින්ද රටට මහඟු සේවාවක් ඉටු කළේය.


හලාවත ප්‍රදේශයේ ඉතා පැරණි ප්‍රභූ පෙළපතක් වන වැලිකල මුණසිංහ පෙළපතේ සාමාජිකයකු වශයෙන් උපත ලද ජේ. සී. ඩබ්. මුණසිංහ මහතා සිංහල මහා සභාව පක්ෂයේ ආරම්භක සාමාජිකයෙක් වශයෙන්ද කටයුතු කළ බව සඳහන් වේ. 1952 මහා මැතිවරණයේදී හලාවත ආසනයට ශ්‍රීලනිපයෙන් තරග කළ මුණසිංහ මහතා එවකට ප්‍රබල දේශපාලනඥයකු වූ ෂර්ලි කොරෙයා මහතාට විරුද්ධව තරග වැදී පරාජයට පත් වූවේ 54ක් වූ අතිශය සුළු ඡන්ද සංඛ්‍යාවකිනි. එහෙත් 1956 දී හලාවත ආසනය පහසුවෙන්ම ජයගත් මුණසිංහ මහතා බණ්ඩාරනායක රජයේ කර්මාන්ත සහ ධීවර උප ඇමති පදවිය ලැබීය. එහෙත් දක්ෂිණාංශික මත දැරූ ඔහු පසුව පක්ෂයට විරුද්ධව කටයුතු කළ බව සඳහන් වේ. 1959 දී ධීවර ඇමති පී. එච්. විලියම් ද සිල්වා මහතා රජයෙන් ඉවත් කිරීමෙන් පසු එම ඇමති පදවියේ කටයුතු කිරීමේ අවස්ථාව ජේ. සී. ඩබ්ලිව්. මුණසිංහ මහතාට හිමි විය. එහෙත් ඒ ටික කලකටය.


නැවතත් මෙම ධුරය සඳහා වෙනත් අය පතකරනු ලැබුවේ 1960 දීය. ඒ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාය. බණ්ඩාරනායක පවුලේ සමීප ඥාතියකු වූ ඔහු දීර්ඝ කාලයක් තිස්සේ නීති වෘත්තියේ යෙදුණු ප්‍රවීණයන් පිරිසකගේ අනුප්‍රාප්තිකයා වූ අතර වයස අවුරුදු තිහේදී දේශපාලන ක්ෂේත්‍රයට අවතීර්ණ වී විවිධ තනතුරු දැරුවේය. දක්ෂ අධිනීතීඥයෙකු ලෙස අධිකරණ කටයුතුවලට සම්බන්ධව සිටියේය. 1960 මාර්තු මැතිවරණය එළඹෙන විට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආරාධනය පරිදි එම ක්ෂේත්‍රයට ඇතුළු වූ ඒ මහතා අත්තනගල්ල ආසනයේ බෙදුණු කොට්ඨාසය වන දොම්පේ ආසනය ජය ගත්තේය.


හැටේ ජූලි මැතිවරණයෙන් පසු පිහිටුවන ලද සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පළමු රජයේ මුදල් ඇමැති ධුරයට පත් ඒ මහතා 1970 සිරිමා මැතිනියගේ රජයේද ඇමැති පදවි රැසක් දැරීය. 1962 රාජ්‍ය විරෝධී හමුදා කුමන්ත්‍රණය මැඩපැවැත්වීම මෙන්ම එයට අදාළ නීති සකස් කිරීම ද 1971 තරුණ කැරැල්ල පරාජය කිරීම ද ඔහුගෙන් සිදුවූ කටයුතු කීපයකි. එමෙන්ම වසර සිය ගණනක් මුළුල්ලේ ලංකාවේ ක්‍රියාත්මක වූ අපරාධ නීතිය අහෝසි කර යුක්තිය පසිඳලීමේ පනත ක්‍රියාත්මක කිරීමද වේ. 1977 මහා මැතිවරණයෙන් පරාජයට පත්වූ මෙම දක්ෂ දේශපාලනඥයා දේශපාලන ක්ෂේත්‍රයෙන් ඉවත් විය.

 

 

 

 

සෝමසිරි වික්‍රමසිංහ