දෙවැනි ලෝක යුද සමයේ සිදුවූ බලපෑම් නිසා 1943 වසර වන විට මෙරට ආහාර අහේනිය දරුණු අතට හැරී තිබිණ. ජාත්‍යන්තර මිතුරු සබඳකම් තිබුණද සහල් සහන ආධාර ලබාගැන්මට එතෙර ගිය මෙරට ප්‍රබල දේශපාලනඥයන් ආපසු ආවේ හිස් අතිනි. 
 
එහෙත් ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මැතිඳුන් එම භාරධූර කාර්යය භාරගත්තා පමණක් නොව ඔහුට තිබූ පෞද්ගලික පිළිගැනීම අනුව ඉන්දියාවෙන් සහල් නැවක්ම මෙරටට රැගෙන ඒමට සමත්වීම ප්‍රාතිහාර්යයක් බඳු විය. ජේ. ආර්. ජයවර්ධන වරක් ජයතිලක මැතිඳුන් ගැන කීවේ “ඉන්දියාවට මහත්මා ගාන්ධි නම් ශ්‍රී ලංකාවට සර්. ඩී. බී” කියාය.
 
දේශපාලන විචාරකයන් එතුමා හැඳින් වූයේ “ශ්‍රී ලංකාවේ නිදහස් සටනේ ඔටුනු නොපළන් රජු” ලෙස සංවිධායක බලතල හෝ අගමැති බලතල නොලබාම එතුමා තුළ වූ ධර්ම ඥානය, භාෂා ඥානය හා දේශපාලන පරිණතභාවය නිසාම දේශපාලන හා ආගමික ක්‍ෂේත්‍රයන්හි “පිදිය යුත්තකු” ලෙසින් පිළිගැනිණ.
 
මෙයින් වසර 150කට පෙර 1864.02.13 වැනිදා කැලණියේ වරාගොඩ ග්‍රාමයේදී දොන් දානියෙල් ජයතිලක සේනානායක ලියනආරච්චි සහ දෝන ඇලිසියානා වීරසිංහ ජයතිලක යන දම්පතීන්ගේ පුතණුවන් ලෙස එතුමා උපත ලද්දේය.
 
1868.02.13 වැනිදා මුලකුරු කියවන ලද්දේ පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපතිව විසූ පූජ්‍යපාද රත්මලානේ ධම්මාලෝක නාහිමියන් වෙතිනි. වරාගොඩ බැප්ටිස්ට් පාසලෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබූ නමුත් කීර්තිමත් පඬිවරයකුවීමේ  වරප්‍රසාදය එතුමා ලැබුවේ විද්‍යාලංකාර පිරිවෙන්පති පණ්ඩිත රත්මලානේ ධම්මාරාම නාහිමියන් ඇසුරිණි. 
 
සිංහල, පාලි හා සංස්කෘත භාෂා පරතෙරටම උගත් තරුණ ඩී. බී. 1881 දී උසස් අධ්‍යාපනය සඳහා කොළඹ වෙස්ලි විදුහලට ඇතුළත්ව විශිෂ්ට ප්‍රතිඵල ලබමින් ගුරුවරුන්ගේ ආදරය දිනාගත්තේය. 1890 දී කේම්බි්‍රජ් ජුනියර් විභාගයද කේම්බි්‍රජ් සීනියර් විභාගයද සමත්ව කල්කටා සරසවියෙන් බී. ඒ. උපාධිය ලැබීය.
 
බටහිර කතෝලික උගතුන් ඇසුරු කළ ද ඩි. බී. ගේ හදවතෙහි සිංහල බෞද්ධ ඌරුවට ඉන් බලපෑමක් නොවිණ. එබැවින් කර්නල් ඕල්කොට් තුමා  සමග බෞද්ධ පාසල් රටපුරා බිහිකිරීමේ ක්‍රියාදාමයට දායක විය. උඩරට සිංහල ජනතාව උදෙසා මහනුවර ධර්මරාජ විද්‍යාලය අරඹා එහි විදුහල්පති ධුරයටද පත්විය.
 
1898.8.12 වැනිදා ඩී. බී. තම අදහස්වලට ගැළපෙන පසුකලෙක බෞද්ධ මහෝපාසිකාවක හා දානපතිනියක ලෙස කීර්තියට  පත් වූ බෙන්තොට වරාහේනේ මල්ලිකා බටුවන්තුඩාව  මෙනවිය සමග විවා පත්විය.
පරමවිඥානාර්ථ බෞද්ධ සමිතිය ඩී. බී. ගේ යුග මෙහෙවර ගැන පැහැදී 1898 දී කොළඹ ආනන්ද විද්‍යාලයේ උප විදුහල්පති ධුරය ප්‍රදානය කළේය. එවකට අගනුවර තිබූ විශිෂ්ටයන් බිහිකරන ගුරුකුල ලෙස ප්‍රකටවූ රෝයල්, වෙස්ලි, ශාන්ත තෝමස් වැනි විදුහල් අබිබවා අති විශිෂ්ටයන් රැසක් ආනන්ද විද්‍යාලය තුළින් 1904 වන විට බිහි කිරීමට එතුමා සමත්විණ.
 
1910 දී වැඩිදුර අධ්‍යාපනය සඳහා බි්‍රතාන්‍යයට ගිය ඩී. බී. ජාත්‍යන්තර ආගමික සම්මේලනයේ ශ්‍රී ලංකාවේ නියෝජිතයා ලෙස ක්‍රියා කළේය.
 
ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේදී මෙන්ම ජීසස් කොලීජියේදී නීතිය හැදෑරූ ඩී. බී. 1913 දී ඇල්. ඇල්. බී. විභාගය සමත් වූ අතර ඉන්දියානු මජ්ලිස් සංගමයේ ලේකම් ලෙසද පත්විය. එම වසරේම ලින්කන් ඉන් නීති ආයතනයේ බැරිස්ටර්වරයකු ලෙසද පත්වූ ඩී. බී. ගේ කීර්තිය තවත් ප්‍රචලිත වූයේ ව්‍යක්ත කථිකත්වය තුළිනි. 
 
1868 දී කොළඹ තරුණ බෞද්ධ සංගමය පිහිටුවීමේ පුරෝගාමියා වූයේද ශ්‍රීමත් බාරොන් ජයතිලකය.
 
“මම බලාපොරොත්තු වන්නේ මව්බිමට සේවය කිරීම මිස ප්‍රශංසා හෝ නිලතල නොවෙයි. මාගේ ජිවිතයේ වැඩිහරියක් ගත කළේ තරුණයන් සමගයි. ඔවුන්ගේ සිත් බියෙන් තොරයි. කරදර බාධකවලට බියක් නැහැ. මගේ දියුණුවේ රහසත් තරුණකමයි”
 
ආනන්ද විදුහලේදී පැවති පිළිගැනීමේ උළෙලේදී එතුමා එලෙස පැවසුවේය. දෙස, බස හා රැස ගැන නිතර හඬ නැඟූ නිසාම ජයතිලකයනට එනිසාම පුරා මසක් සිරබත් කෑමට ද සිදුවිය.
 
“පංචමහා වාද” ගැන සිත පැහැදී බෞද්ධ ජනතාව වෙනුවෙන් සටන් වැදුණු තරුණ ඩී. බී. ගේ සිතට රටේ සිදුවන දේශපාලන විපර්යාස ගැනත් එයින් සිංහල බෞද්ධයාට වන හානිය ගැනත් සිත් කම්පා වී පූර්ණ කාලීන දේශපාලනයට පිවිසෙන්නට සිත්විය.
 
සිංහලයන් අයුතු ලෙස සිරගත කිරීම ඇතුළු කරුණු පිළිබඳව සොයා බැලීමට අපක්ෂපාතී කොමිසමක් පත්කරන ලෙස ඊ. ඩබ්ලිව්. පෙරේරා, ජේම්ස් පීරිස්. එච්. ජේ. සී. පෙරේරා සහ ඩී. බී. ජයතිලක එංගලන්තයට ගොස් ඉල්ලා සිටියහ.
 
එසේම 1931 දී ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ එතුමා කැලණිය ආසනයට නිතරගයෙන් පත්වූයේ විද්‍යාලංකාර පිරිවෙනේ සුභාශිංසනය ලබමිනි. ජයතිලක නාමය දේශපාලන ඉතිහාසයේ ලියැවෙන තවත් අවස්ථාවක් නම් එම වසරේ අයවැය ලේඛනය පළමුවරට ඉදිරිපත් කළ සිංහල අමාත්‍යවරයා වීම නිසාය. 1932 දී එංගලන්ත රජු විසින් නයිට් නාමයක් ද එතුමාට පිරිනමනු ලැබිණ.
 
1936 නිතරගයෙන් මැතිසබයට පත්වූ ජයතිලකයන්ට ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරය හා සභානායක ධුරය පිරිනැමුණු අතර රාජකීය ආසියාතිකයන්ගේ සංගමයේ මෙන්ම ලංකා ජාතික සංගමයේ සභාපති ධුරයද දැරීය. 
ශ්‍රී ලාංකික ජන ජීවිතය උසස් කිරීම හා දුගීභාවය නැති කිරීම, මැලේරියා උවදුර තුරන් කිරීම, මරණ අනුපාතය අඩුකිරීම, උඩරට ගම් දියුණු කිරීම වැනි යෝජනා ඩී. බී. ගෙන ආවේය.
 
විද්‍යාලංකාර පිරිවෙනින් බිහිවූ විශිෂ්ටතම ආදි ශිෂ්‍යයා ජයතිලකයන් බව එහි සාංවත්සරික කලාපයේ සඳහන් වේ. ත්‍රිපිටක සංශෝධනය. සිංහල ශබ්ද කෝෂය, දම්පියා අටුවා ගැටපද, සිඛ වළඳ විනිස වැනි ශාස්ත්‍රිය ග්‍රන්ථ රැසක් සම්පාදනය කළ ඩී. බී. සෙන්දයාමය නම් සතිපතා ශාස්ත්‍රීය සඟරාවක් ද සම්පාදනය කළේය.
 
විද්‍යාලංකාර පිරිවෙනට විශ්වවිද්‍යාල තත්ත්වය ලැබීමට පෙර මුළු ආසියාවේ විශිෂ්ටතම බෞද්ධ හා භාෂා අධ්‍යාපනික මධ්‍යසථානයක් වීමට බලපෑවේ ජයතිලක වැනි උසස් නායකයන්ගේ අනුග්‍රහයයි. එදා පිරිවෙනේ දියුණුවට අත දුන් ප්‍රධාන පවුල්  අතර ජයතිලක පවුල, ප්‍රනාන්දු පවුල හා වීරසිංහ පවුල කැපී පෙනිණ.
 
නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අගමැති ධුරය එතුමාට පිරිනැමීමට තරම් දේශපාලන ක්‍ෂේත්‍රය සෑදී පැහැදී සිටියේය. එහෙත් බුදුරදුන් උපන් භූමිය හෙවත් ඉන්දියාවේ මහ කොමසාරිස් පදවිය භාරගැනීමට එතුමාට සිදුවිය. කයින් ඉන්දියාවේ ජීවත් වුවද එතුමාගේ සිත සහ ආත්මය මුළුමනින්ම තිබුණේ ශ්‍රී ලංකාවේය. 
 
සැන්ප්‍රැන්සිස්කෝ නුවර පැවති සමුළුවකදී තමන් හඳුන්වා දෙමින් එතුමා කළ කතාවේ ඒ බව සඳහන් වේ.
 
“මාගේ ගුරුතුමිය විද්‍යාලංකාර පිරිවෙනයි, මිනිස් ජීවිත ශාන්ත  කර ගැනීමට අවශ්‍ය බණ දහම් සිරිත් පරිදි මා උගත්තේ එහිදීයි.
 
 
එම අත්දැකීම් මට එංගලන්තයේදීත් බොහෝ ප්‍රයෝජන වුණා. ලෝකයා මට බුහුමන් කළේ මා උගත් ඉංග්‍රීසි භාෂාව නිසා නොව පෙරදිග භාෂා නිසයි”
 
රටේ ප්‍රධාන පුරවැසියා ලෙස දෙස් විදෙස් කුමන දිග්භාගයේ සැරිසැරුවද මොහොතකට හෝ විද්‍යාලංකාර පිරිවෙනට ගොඩවැදීමට එතුමා අමතක නොකළේය. පිරිවෙන් ධර්මශාලාව අසල වාහනය නවත්වා, කොස්ගහ අසල සෙරෙප්පු යුගළය තබා පා ගමනින් රත්මලානේ ධම්මාලෝක නාහිමියන්ගේ කුටියට පැමිණෙන අයුරු සුලබ දසුනක් විය.
 
1930 දී කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි සුවිසල් නිවසට එතුමා සිය පවුල සමග පදිංචියට ආවේය. එම ගොඩනැගිල්ල එදා මිලට ගැනුණේ රුපියල් පනස් දහසකටය. අද එය වටිනාකම මිලියන 600කට අධිකය. බොහෝ දේශපාලනඥයන් මෙන් මුදල් හා තනතුරු පසුපස නොගිය ඩී. බී. තම සේසතම ජාතියේ පුනර්ජීවනයට වියදම් කළේය.
 
දොන් බාරොන් ජයතිලකයන්ගේ අන්තිම කැමැත්ත පරදි එම සුවිසල් නිවසද ජාතිය වෙනුවෙන් පිදූ අතර මහා භාරකාර දෙපාර්තමේන්තුව පිහිටා ඇත්තේ එම ගොඩනැගිල්ලේය.
 
එසේම 1919 ආනන්ද විදුහල් පියසේදී සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය එතුමා අතින් ඇරඹිණ. අනුරාධපුර රුවන්වැලි මහා සෑය යළි ප්‍රතිසංස්කරණය කිරීමේ රාජ්‍යමය දායකත්වයද දැරුවේ ඩී. බී. විසිනි. එහි කොත් පැලඳවීම සඳහා බුරුම රටින් පළිඟුව ගෙන එනු ලැබුවේ එතුමාගේ අනුග්‍රහයෙනි.
 
විද්‍යාලංකාර පිරිවෙනෙහි මහ සඟරුවනට මෙන්ම එතුමා ආදරය කළ තවත් චරිතයකි මෑවැල්ලේ දේශීය වෛද්‍ය පරපුරේ මහා වෙදැදුරුවරයා ඩී. බී. ජයතිලකයන්ගේ ආධ්‍යාත්මය බෞද්ධ දර්ශනය තුළින් හැඩගැසෙද්දී අනිත්‍ය වූ සිරුර භාර වූයේ මෑවැල්ලේ වෙද පරපුරටය.
 
ඉන්දියාවේ මහ කොමසාරිස් ධුරය දරද්දී එතුමා වැලඳුවේ මෑවැල්ලේ වෙද මහතා දුන් ජීවක ගුණ ඇති බෙහෙත් පන්තියක්ය. කලට වේලාවට උවටැන් නොලැබීමෙන්  එතුමාගේ උදරාබාධය උත්සන්න විය. වහා බටහිර ප්‍රතිකාර ලබා දෙන්නට උත්සාහ කළද “මට හරියන්නේ මෑවැල්ලේ වෙද මහතාගේ බේත් විතරයි. මම උන්නැහැ ලඟට අරන් පලයල්ලා ළමයිනේ” යැයි වැලපෙන්නට විය. බටහිර බෙහෙත් ප්‍රතික්‍ෂේප කරමින් දේශීය වෙදකම ගැන අවසන් මොහොතේ පවා ජයතිලකයෝ විශ්වාස තැබූහ.
 
පවතින තත්ත්වය ලංකාණ්ඩුවට දැනුම් දෙන ලද අතර  විද්‍යාලංකාර පිරිවෙනේ මහ සඟරුවනද මෑවැල්ලේ වෙද මහතා ද එතුමන්ට ප්‍රතිකාර කිරීමට කටයුතු සූදානම් කළහ. ගුවන්තොටුපළේ ගිලන් රථය සූදානම්ව තිබිණ. දේශපාලන, ආගමික හා ජාති හිතෛෂී සහෘදයෝ එතුමා එනතුරු රැස්කකා සිටියහ. ඒ සියලු පැතුම් සුන් කරමින් උඩුගුවනේදීම ජයතිලකයන් ගේ අවසන් හුස්ම ලක් ගුවන්තලයට මුසු විය.
 
එය මුළු ලොවම හද පත්ලෙන්ම නිසලවූ සෝ තැවුලට පත්වූ මොහොතක් ලෙස ජනමාධ්‍ය විසින් හඳුන්වා දී තිබිණි. දොන් බාරොන් ජයතිලක කිරුළ නොපලන් සිංහල බෞද්ධ නායකයා සැමරීමට බෞද්ධ රටවල ශෝක දිනයක් ප්‍රකාශයට පත්විණ. ජාතික හා බෞද්ධ ධජ අඩකුඹු කෙරිණ. විද්‍යාලංකාර පිරිවෙනේ ඝන්ඨා නාදය දිගින් දිගමට එම වියතාගේ ගුණ සුවඳ පතුරුවා හැරියේය.
 
 
“වියොවින් නුඹේ ලියලන දුක නිසා හිතේ
සතුටින් ගෙවෙන මොහොතක් මොහොතකුදු නැතේ
දැකුමෙන් දකින තුරු සසුනෙහි මුනිඳු මෙතේ
සැපතින් ඉඳින් පෙම්බර ජයතිලක පුතේ”
 
 
සමකාලීන කවියකු වූ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් ඩී. බී. ජයතිලකයන්ගේ ගුණ සැමරුවේ එලෙසිනි.
 
 
 
 
 
 
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි