සද්දන්ත පුරුෂයන් මෙන්ම දේශපාලනික හා සමාජීය අවබෝධ සහ අත්දැකීම් හා පුළුල් බුද්ධි මහිමය විසින් යුගය නියෝජනය කළ අතිශය විචිත්‍රවත් රාජ්‍ය මන්ත්‍රණ සභාවක්, පාර්ලිමේන්තුවක් තිබුණු යුගයක මතුව ආ විශිෂ්ට මිනිසකු ලෙස සර් ජෝන් කොතලාවලගේ සෞන්දර්යාත්මක ගමන් මගක සුවිශේෂී වූ සිදුවීම් මාලාවක් අපි ඔබ හමුවෙහි තැබීමු.
වසරක් වැනි දිගු කලක් එක දිගට එවැනි මිනිසකු ඇසුරු කිරීම පිළිබඳව මා නිහතමානීව සිතනුයේ එක්තරා යුගයක මෙරට සමාජ ඉතිහාසය පිළිබඳව පොත පතෙහි නොලියැවුණ බොහෝ කරුණු කාරණා උගැන්මටත් ඒ තුළින් යම්කිසි ආකාරයක ගවේෂණයක යෙදීමටත් වාසනාව උරුම වූ බවයි.

 

පුවත්පත් කලාවේදියකු ඇසුරු කිරීමේ දී තම පෞද්ගලික ජීවිතයේ දී ලබා ඇති අත්දැකීම් කෙළින්ම හෙළි පෙහෙළි කිරීමට ඔහු පසුබා සිටියේය. දේශපාලනය නොකළත් දේශපාලනයේ යෙදෙන්නවුන් කරන කියන දෑ සොයා බැලීමේ පූර්ව පුහුණුවක් ලද හෙයින් එබඳු කරුණු වූව ද දැන කියා ගැනීමට හැකි වූව ද එවැනි සුළු සුළු කරුණු හුවා දැක්වීම හෝ හෙළි කිරීම අපට පුරුදු කළ චාරිත්‍ර ධර්ම නොවූ හෙයින් එය මතකයේ සිහිවටන ලෙස තබා ගැනීමට සර් ජෝන්ගේ කතා පුවත හෙළි කිරීමේදී ප්‍රවේශම් සහගත වීමි. 


වයස්ගත වත්ම පුද්ගලයකුට තම අතීත තොරතුරු හෙළි පෙහෙළි කිරීමට පවත්නේ දැඩි රුචිකත්වයකි. විශේෂයෙන්ම දිනපතා සතිපතා මුළු රටටම පුවත් මැවූවන් එමෙන්ම අතිශය සම්භාවනාවට පත් පුද්ගලයෝ වයස්ගත වත්ම දැනෙන තනිකම තුළින් අතීතාවර්ජනය කිරීම පුරුද්දක් කොටගෙන සිටිති.


මා දිනමිණෙහි සිටියදී වරක් දුරකථනයෙන් කතා කළ මහාගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ තමන්ගේ උපන්දිනය පසුවදාට යෙදී තිබෙන බව පුවත්පතෙහි පළ කරන්නටය. එමෙන්ම එබඳුම වූ සාහිත්‍යධරයකු වන ජී. බී. සේනානායක මහත්මා තම පදිංචිය මහර සිට කඳාන නාගොඩ ප්‍රදේශයේ නිවෙසකට මාරුකළ බව සඳහන් කොට ලිපියක් එවා තිබුණේ කිසිවකු ඔහු ගැන ඇසුවොත් ලිපිනය ලබාදෙන ලෙසය. මෑත යුගයේ දේශපාලන කරළියේ පතාක යෝධයකුව සිටි ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා කොල්ලුපිටියේ නුගගහවත්ත පෙදෙසේ නිවසේදී තමා දේශපාලන ජීවිතයේ කළ දඩබ්බරකම් එකිනෙක රට හමුවේ තබන්නට ඒ සියල්ල හෙළි කළත් අප සතු ආචාර ධර්ම අනුව ගමන් ගත්තෙමු. මේ පුංචි පහේ අටුවාටීකා සඳහන් කළේ සර් ජෝන් නමැති සුවිශේෂී චරිත ලක්‍ෂණයන්ගෙන් පිරී පැවැති මිනිසකු ඔහුගේ ජීවිතයේ සන්ධ්‍යා සමයත් සමඟ සම්බන්ධවීම තුළ ලද තොරතුරු එක්රැස් කර ගැනීමට හැකිවීම ගැන පූර්විකාවක් වශයෙනි.


ඒ තුළින් මා ලද පෞද්ගලික අත්දැකීමක් ඇත. මෙරට තුළ එදා සිටි දේශපාලනඥයන් බොහෝ විට විවිධාකාර චරිත ඇත්තෝ වූහ. විශ්ව කීර්තිධර නීතිඥයන්ගේ පුතුන් තුළ මැතිසබයට පැමිණිය ද නීතිගරුක වීම නීතිය සුරැකීම පිළිබඳව ක්‍රියාකාරකම් හෙළි දැක්විණ. ජනමතය පිට මැතිසබයට පැමිණි ඇතමුන් තුළ තිබුණේ තම පරම්පරාගත ජානයන් අනුව මෙහෙය වූ වාචාලකම පමණි. මිල මුදලින් ආඪ්‍යව පරම්පරාගත දේපොළ උරුම කරගත් ඇතැම් ඇත්තෝ අහිංසක ළපටි බිලිඳියන්ට රැකියා ලබාදුන්නේ තානායම්පොළවලදීය. එදත් අද මෙන්ම මැණික් ඉල්ලම් ගැරූවෝ ද වූහ.


සර් ජෝන්ගේ ජීවන රටාව අරුම පුදුම එකකි. ඔහු අඩි විස්සක් පමණ උස ඇති උඩුමහලින් බිමට බසින්නේ විදුලි සෝපානය මගිනි. සේවකයෝ පෙළ ගැසී සිටින්නේ තම ප්‍රභූවරයාට අවශ්‍ය කළමනා සකසා දෙන්නටය. ඒ කඳවලවත්තේ පසෙක වගා කළ සමන්පිච්ච මල් පුරවා ගත් මල් වට්ටියක් තම ස්වාමියාට පිළි ගැන්වීමටය. යළිත් උඩුමහලට පිවිසෙන ඔහු බුද්ධ මන්දිරයට තම දෝතින් එකින් එක සමන්පිච්ච මල් අතුරා එය සුවඳ පැනින් නහවයි. යළිත් පහළට එන ඔහු ගෙදර පිටුපස සිටින සුරතල් සතුන් සොයා යයි. මුව පොව්වන්, සාවුන්, මොනරුන් පිරී ඇති කුඩා සත්තු වත්තට ළංවත්ම සතුන්ගේ කංකරච්චලයක් නැත.


අමුත්තන් පැමිණෙන තුරු සර් ජෝන්ට ඉවසුමක් නැත. අමුත්තන් යනු තමන්ගේ හිත ගත් පැරණි මිතුරන් හා මිතුරියන්ය. එබඳු නිදහස් විවේකී සුවයක් ගත කළ මෙරට සිටි ප්‍රමුඛතම රාජ්‍ය නායකයකු සතු සුවපහසුකම් අපමණය. එහෙත් ඔහු ප්‍රගුණ කළ කායවර්ධන ක්‍රමයන් අතිශය විචිත්‍රවත් වූවකි.


උඩුමහලේ ඔහු නිදා ගන්නේ කොහොඹ ලීයෙන් හැදූ කොහොඹ ලෑලි තට්ටුවක් මතය. එහි කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි කිසිවක් නොවීය. මලල ක්‍රීඩකයන් පුහුණුවට ගන්නා වැලි පිරවූ බෑග් දෙක තුනක් විය. ඒ ඔහුට අලුයම තම දෙඅත්වලට ව්‍යායාම ගැනීමටය. වඩාත් සමීප වන කෙනකුට ඔහු අමතන්නේ “උඹ, බං, බොලං” යන ආදරණීය නාමයකිනි.


එක් දවසක් මම සර් ජෝන් සමග කතා කරමින් සිටියදී ඔහු මගෙන් ප්‍රශ්නයක් ඇසීය.


“උඹ මං හොඳින් දන්නවනේ. උඹේ තාත්තා මොනව ද රටට කළේ?” 
“මගේ තාත්තා ගම්මුලාදෑනියෙක්. දැන් ඔබතුමාගේ වයසෙමයි ඉන්නේ.”


“මොනව ද එහෙනම් මං ගැන කියල තියෙන්නේ.” 


“පනස් හයේදී ඔබතුමාගෙ ගෙදරට ආව කියල කිව්වා. ඒ ඡන්ද කාලෙ හින්දා අපේ ගෙදරටත් වගා කරන පැළ ජාති එහෙමත් ආණ්ඩුවෙන් ගෙනාවා.” 


“ඒක විතරක් නොවෙයි කොල්ලො. ඒ කාලේ අපේ ගම්වලට රේඩියෝ එකක් නැහැ. අපේ නෑදෑය විජේවර්ධන පට්ටපල් බොරු පත්තරේට දානවා. මම හැම ගමකම තියෙන ඉස්කෝලවලට රේඩියෝ දුන්නා.”


“ඒක ඡන්ද පොරොන්දුවක් ද?”


“කොහෙද මිනිහෝ ඒ කාලේ ඡන්ද පොරොන්දු. ඒ වුණත් මම දැන ගත්ත කැලණියෙ වෙච්ච සිද්ධිය. අර බණ්ඩාරනායක මැරෙන්න ඉන්දෙද්දී කිව්ව වාගේ අපේ මෝඩ මිනිහෙක් අර වටිනා කියන හාමුදුරු කෙනකුට කම්මුලට දෙකක් තුනක් දීලා පාරට දාපු සිද්ධිය.”


සර් ජෝන් දිගින් දිගටම අතීතාවර්ජනයක යෙදෙයි.


“මගේ පය දැන් එගොඩට බරයි කොල්ලෝ. හැබැයි මම එක දෙයක් තීරණය කරල තියෙන්නෙ. අපේ රට ආරක්‍ෂා කරන්නෙ අපේ යුද්ධ හමුදාව. මම මගේ ඉඩම මේ ඔක්කොම යුද්ධ හමුදාවට පවරනවා. මට හිටියෙ එකම කෙල්ලයි. මං එයාට යුතුකම් ඉෂ්ට කළා. වටපිට අහල පහල ඉඳලා මගේ ගෙදරට කෑම බීම ගෙනත් දෙන අයට ගෙවල් දොරවල් ඉඩම් කඩම් දුන්නා.”


“එතකොට සර් මේ බංගලාවට අලුතින් ගෙනත් තියෙන රූපවාහිනී යන්ත්‍රය, ඒක බොහොම වටිනා කියන එකක්නේ?”
සර් ජෝන් යළි නැගී සිටියේය.


“මිනිහෝ උඹ මහ මෝඩ ප්‍රශ්නයක් අහන්නේ. මම මේක ගත්තේ මගේ මල්ලිගෙ කොම්පැනියෙන්. ඒ කියන්නේ සෙලින්කෝ එකෙන්. මේක බද්දට ගත්ත එකක්. දැන් මම මැරුනම ෆිනෑන්ස්කාරයෝ ඇවිත් මේක උස්සගෙන යාවි. ඉතින් මට ඉන්නවය කියන නෑදෑයන්ට මේක අයිති වෙන එකක් නැහැ.”


අවසන් කාලයේ සර් ජෝන් නිරන්තරව සිහිපත් කළේ තමා ප්‍රාර්ථනය කළ නිදහස් ලොවක් සඳහා පියමං කරන්නට තරම් පුණ්‍ය සම්භාරයක් කර කියා ගෙන සිටි බවය.


සර් ජෝන්ගේ නිවසෙහි ළබැඳියන් මගේ ද ළබැඳියන්ව සිටි හෙයින් එතුමන් අසාධ්‍යව රෝහල්ගත කෙරෙන බවට ලද දැනුම් දීමකින් මම ඉක්මනින් එහි ගියෙමි. ඒ වනවිට දෑත්වලින් වාරු කරගෙන ආ සර් ජෝන් 5 ශ්‍රී 5 කාරයේ පසුපස ආසනයට නංවන්නට පිරිස උනන්දු වූහ. තම දකුණු අත අපහසුවෙන් වම් දෙවුරට ළං කළ ඔහු, “මට අමාරුයි.. උඹත් ආව ද?” ඇසීය.


ගෙමිදුලෙහි වූ රූස්ස කිරිපලු ගහේ අත්තක් කඩා වැටිණ. ගමන් මග අවහිර විය. මහ රෝහලේ හදිසි හෘදයාබාධ ඒකකයට ඔහු රැගෙන ගොස් තිබිණ. ජීවිතයේ පළමු වතාවට එතැනට ගිය මම ඔහුගේ දෑත් අල්ලා එතැනින් පිටත් වූයෙමි.


1980 අවුරුද්දේ ඔක්තෝබර් මස 05 වැනි ඉරිදා සන්ධ්‍යාවෙහි ඔහු රාජ්‍ය ගෞරව සහිතව ජෙනරාල් සර් ජෝන් කොතලාවල නමින් පට්ටමක් ද සහිතව නිදහස් චත්‍රරශ්‍රයේ ඉදිව තිබූ සොහොන් ගැබක දැවී අළුවී ගියේය.