ජවිපෙට උපත දුන් අප්‍රිකානු නායකයා - 02

එක් අයෙකු වූවේ සැන්සිබාරයේ සිට එහි පැමිණ සිටි කරුමේ හංගාය. වැඩි කලක් ගත නොවුනි. 1963 දෙසැම්බර් 23 වැනිදා ලෝපුරා ජනමාධ්‍ය වලින් අනාවරණය කළ ප්‍රවෘත්තියකින් කියවුණේ සමාජවාදී පක්ෂයක නායකයා වූ කරුමේ හංගා තම පක්ෂ කණ්ඩායමක් සමග ප්‍රහාරයක් එල්ල කර සැන්සිබාර් රාජ්‍යයේ සුල්තාන්වරයා පලවා හැර බලය අත්පත් කොටගෙන එරට අගමැති ධූරයට පත්වූ බවයි. මොස්කව්හි අධ්‍යාපනය ලබන සමයේදීත් මෙම තරුණයාගේ එකම අභිලාෂය වශයෙන් දක්නට ලැබුණේ මාතෘ භූමිය අධිරාජ්‍යවාදයෙන් හා වැඩවසම්වාදයෙන් ගලවාගෙන සමාජවාදී රජයක් පිහිටුවීම බව ඔහුගේ සමකාලීන සගයෝ දැන සිටියහ. හංගා ඒ ගැන නිතර අදහස් පළ කළේය. එනිසාම ශිෂ්‍ය සගයන් අතර අගමැති යන උපහාස නාමයෙන් හැඳින්වූ බවද කියනු ලැබේ.”


මෙම සැන්සිබාර් රාජ්‍යය අද ලෝක සිතියමේ දක්නට ලැබෙන්නේ නැත. එය මේ වන විට ටැන්සානියා ඒකාබද්ධ රාජ්‍යයේ සම හවුල්කරුවා වේ. අතීතයේදී අප්‍රිකා මහාද්වීපයේ ටැන්ගනියිකාව නමින් රාජ්‍යයක් පැවති අතර එය බි්‍රතාන්‍ය යටත් විජිතයක් වශයෙන් පැවැතියේය. උගන්ඩාව, කෙන්යාව හා ටැන්ගනියිකාව යන යටත් රටවල් තුනම එකම කලාපයක් වශයෙන් ගෙන එම යුගයේ පාලනය වූ බව කියනු ලැබේ. ජුලියස් නියරේ නම් මධ්‍යස්ථ මතධාරී නායකයා යටතේ ගෙන ගිය විමුක්ති අරගලය නිසා ටැන්ගනියිකාවට 1960 දී නිදහස ලැබුණි. 1963 දී කරුමේ හංගා යටතේ සැන්සිබාර් රාජ්‍යය නිදහස ලැබීම ඔහුගේ සතුටට හේතුවිය. පසුව දෙරට අතර පැවති සාකච්ඡා හා එකඟතා අනුව එක්සත් ටැන්සේනියානු රාජ්‍යය ප්‍රකාශයට පත් කරන ලදී.


තමන්ගේ සහෝදර ශිෂ්‍ය සගයකු වූ කරුමේ හංගා සැන්සිබාර් රාජ්‍යයේ නායකයා ලෙස බලයට පත්වූ බව දැනගැනීමෙන් ලුමුම්බා සරසවියේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මහත් සේ උද්දාමයට පත්වූහ. ඔවුහු රතු කොඩි ඔසවාගෙන විශ්වවිද්‍යාල පරිශ්‍රයේ මහා පෙළපාළි දැක්වූහ. ජයඝෝෂා නැගූහ. මෙම උද්යෝගයේ ප්‍රමුඛයා වූයේ ලංකාවේ රෝහණ විජේවීර ශිෂ්‍යයාය. කරුමේ හංගා සහෝදරයා මෙන්ම යම් කිසි දිනක ශ්‍රී ලංකාවේද තමාගේ නායකත්වය යටතේ සමාජවාදී රාජ්‍යයක් බිහි කරන බවට තරයේ අධිෂ්ඨාන කරගත්තේය. ඔහු ඒ බව තම සගයන් සමගද ප්‍රකාශ කළේය.


හංගා බලයට පත්වීමේ පුවත සෝවියට් කොමියුනිස්ට් පක්ෂයට මෙන්ම එහි රජයට ද ගෙන දුන්නේ අමන්දානන්දයකි. රාජ්‍ය මාධ්‍ය මගින් මෙම ප්‍රවෘත්තිය මුල්තැනෙහි ලා පළ කළේය. ප්‍රවුඩා පත්‍රයේ මහ සිරස්තල යටතේ එම ප්‍රීතිමත් ආරංචිය වාර්තා කළේය. ටාස් ප්‍රවෘත්ති සේවය ද ලොව පුරා ප්‍රචාරය කළේය.


එහෙත් සියල්ල සර්වශුභවාදී ලෙස සිදුවූවේ නැත. සිය උපාධිය සම්පූර්ණ කරගෙන සෝවියට් රුසියාවේ සිට තම මව්බිම වූ සැන්සිබාරයට ගිය කරුමේ හංගා තරුණයා එහි රාජ්‍ය බලය ද අත්කර ගත්තේය. ඔහුගේ සමකාලීන සරසවි මිතුරා වූ රෝහණ විජේවීරයන්ට සම්පූර්ණ කාලය නිමවනතුරු සරසවි ජීවිතය ගත කරන්නට ලැබුණේ නැත. එකල පැන නැගී ආ චීන සෝවියට් න්‍යායික අර්බුදයේ ගොදුරක් බවට පත්ව රුසියාවට යාමට වීසා ලබා නොදීමට රුසියාව කටයුතු කිරීමෙන් බලාපොරොත්තු වූ ආකාරයට වෛද්‍ය උපාධිය සම්පූර්ණ කර ගැනීමට ඔහුට අවස්ථාව නොලැබුණි. රුසියාව සහ චීනය අතර අර්බුදයේ දී විජේවීරයන්ගේ කැමැත්ත තිබුණේ චීන මතයට බව කියවේ. වෙනත් අදහස්ද මෙයට බලපෑ බව කියන අය ද වෙති.


තමා දැනගත් සහ ඉගෙන ගත් විප්ලවවාදී දර්ශනය ක්‍රියාත්මක කිරීමට ඔහුට අවශ්‍ය විය. එනිසා ලංකාවේ සමාජවාදී විප්ලවය වෙනුවෙන් පෙනී සිටි ලංකා කොමියුනිස්ට් පක්ෂය (චීන පිල) ට සම්බන්ධව දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදුන නමුදු එය සාර්ථක වැඩපිළිවෙළක් නොවන බව මෙම උගත් බුද්ධිමත් තරුණයාට වැටහුණි. ජනතා විමුක්ති පෙරමුණ බිහි කිරීම ඔහුගේ ප්‍රයත්නයේ අග්‍ර ඵලයයි.


එම පක්ෂයේ ක්‍රියාකාරකම් හෝ හරි වැරදි විමසීම් අපට භාර කාර්යයක් නොවේ. 1971 දී 88 - 89 යුගයේදී වශයෙන් සන්නද්ධ අරගල දෙකක් මෙහෙයවීමට ඔහුට හැකි විය. බලසම්පන්න රාජ්‍යය සමග හැප්පී රාජ්‍ය බලය අත්කර ගැනීම පහසු ක්‍රියාවක් නොවන බව විජේවීරයන් දැන සිටියේය. එහෙත් ඔහු අනුදත් විප්ලවය පිළිබඳ මතවාදය බැහැර කිරීමට ඔහු කිසිවිටෙකත් එකඟ නොවීය. මරණය හමුවේ වුවද එවැන්නක් සිදු නොවූ බව මම අසා ඇත්තෙමි.


ශ්‍රී ලංකාවේ සමාජවාදී විප්ලවය කවදා කවුරුන් අතින් සිදුවන්නේද? යන්න ගැන කීමට තවමත් කල් වැඩිය. අපි ඒ ගැන නොදනිමු. එහෙත් කාල් මාක්ස් දැක්වූ පරිදි සහ රෝහණ විජේවීරයන් පැතූ පරිදි නිසැක වශයෙන්ම එය සිදුවනු ඇතැයි සමහරු විශ්වාස කරති. ඒ කෙසේ වෙතත් ශ්‍රී ලංකා දේශපාලනය තුළ ජනතා විමුක්ති පෙරමුණේ බලපෑම කිසිවෙකුට නොතකා හැරීමට නොහැකි පමණට ශක්තිමත් පදනමක පිහිටා ඇති බව පිළිගත යුතු සත්‍යයකි. රෝහණ විජේවීරයන් ලුමුම්බා සරසවියේදී මැවු සිහිනයටත් ඔහු ආදර්ශයට ගත් කරුමේ හංගා සැන්සිබාර් නායකයාටත් මෙම ප්‍රගතිය දකින්නට හැකිනම් නිසැකවම සතුටු වනු ඇතැයි මම සිතමි.

 

 


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූපය : ශාන්ත රත්නායක