විජයග්‍රාහී ලීලාවෙන් සිය සේනාව ඉදිරියෙන් අසු පිට නැගී ජර්මන් විදී ඔස්සේ ගමන් ගන්නා නැපෝලියන් බොනපාට් දෙසට සිය අත දිගු කරමින් ජර්මන් දාර්ශනිකයෙකු වූ ගතේ පැවසුවේ, “බලව අසුපිට නැග යන්නේ යුරෝපයේ මහජන ප්‍රසාදයෙන් අභිෂේක වූ පුද්ගලයාය. ඔහු යුරෝපයේ ජනතා අභිප්‍රායයි” යනුවෙනි. 1812 වන විට නැපෝලියන්ගේ රණකාමිත්වයේ අවිය ඔස්ටි්‍රයානු බලය බිඳ දමමින් යුරෝපය ඔස්සේ රුසියාව විනිවිද යමින් එහි හදවත වූ මොස්කව් නුවර දක්වා විහිදුණි.


යුරෝපය පුරා ගොඩනැගුණු සිය බලය පෙරදිගට යොමු කිරීම නැපෝලියන්ගේ අභිලාෂය විය. එමෙන්ම රුසියාවේ ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ ඇතැම් ක්‍රියාවන්ද ඔහු කෝපයට පත්කෙළේය. නැපෝලියන් ගත් ඇතැම් තීරණ නිසා අධිරාජයාද පසු වූයේ සතුටින් නොවේ. ජොසපින්ගෙන් වෙන් වූ නැපෝලියන් රුසියානු කුමරියක තෝරා ගනු ඇතැයි අධිරාජයා බලාපොරොත්තු වුවද, නැපෝලියන් ඕස්ටි්‍රයානු කුමරියක හා විවාහ විය. මෙය රුසියානු අධිරාජයාගේ මහත් පසුතැවිල්ලට හේතු වූ කරුණකි. එමෙන්ම එංගලන්තයට භාණ්ඩ රැගෙන එන නෞකාවලට රුසියානු වරායවලට ඇතුළු වීමට ඉඩ නොදෙන ලෙස නැපෝලියන් කළ ප්‍රකාශය පිළිබඳවද රුසියන් අධිරාජයා අවධානය යොමු නොකළේය. 


ඇති වූ මෙම විරසකය යුද්ධමය පසුබිමක් නිර්මාණය කිරීමට හේතුවකි. හය ලක්ෂයකට අධික හමුදාවක් රැගෙන මහා රුසියානු භූමිය ආක්‍රමණය කිරීමට නැපෝලියන් පෙලඹුණි. ඔහු සිය සේනාද රැගෙන රුසියානු දේශයට ඇතුළු වනතෙක් රුසියානු සේනාවෝ ඉවසීමෙන් සිටියහ. ප්‍රංශ සේනා පිවිසෙන ගම් දනව්වල ජනතාව විසින් පිදුරු එක්රැස්කර ගොඩගසන ලදි. ඒ අස්වැන්න නෙළාගෙන අවසන්ව තිබූ කාලයයි. මේ නිසා අවශ්‍ය තරම් පිදුරු සපයා ගැනීමට හැකියාව තිබුණි. රුසියානු හමුදා ඒවා ගිනි තබමින් පසු බැස ගියෝය. හමුදාවකට ලැඟුම්ගත හැකි ස්ථාන ආහාර ලබා ගත හැකි වගා බිම් සියල්ල එහි වූ පැල්පත් සමගින් දැවී ගියේය. ශීත සෘතුව එළඹෙමින් තිබූ කාලයක බොහොමයක් වගා බිම් වල අස්වනු නෙළා ගෙන තිබුණි. ප්‍රංශ සේනාවට සම්මුඛ වූයේ කිසිදු ආහාරයක් සපයා ගත නොහැකි දැවෙමින් පැවති වගා බිම් හා අග්නි ජාලා සමූහයකි. 


ඈතින් දිස් වෙන ස්මොලෙන්ස්ක් නුවරට පමණක් යාමට සිදුවෙනු ඇතැයි නැපෝලියන් අදහස් කළේය. එහිදී ඇලෙක්සැන්ඩර් රජු තමා සම්මුඛ වී සමාව අයදිනු ඇතැයි ඔහු සිතුවේය. නමුත් නැපෝලියන්ගේ සුළු පණිවුඩයකට පවා පිළිතුරු ලබාදීමට සාර් රජු උනන්දු නොවුණි. ඩිමොලෙන්ස්ක් නුවරට පිවිසි නැපෝලියන් දුටුවේ ජනශූන්‍ය ගිනිගත් නගරයකි. ප්‍රංශ හමුදාව පිළි ගැනීමට සිටි බොරොන්ඩිනෝ නගරයද මීට නොදෙවෙනි විය. නගරය සතුරන් අතට පත් නොකිරීමට අදහස් කළ හමුදාව හා ඒ නුවර වැසියෝ නගරය ගිනි තබා පසු බැස ගියෝය. නමුත් මෙහිදී විශාල සටනකට මුහුණ දීමට සිදු වූ ප්‍රංශ හමුදාවට අශ්වයින් 30,000 ක් ද, සෙබළුන් 50,000 කට අධික සංඛ්‍යාවක් ද අහිමි විය. 


1812 වසරේ අගෝස්තු මස එළඹුණි. සීත සෘතුව සමස්ත මහා රුසියානු භූමිය වසා ගැනීමට ආසන්නය. එහෙත් මොස්කව් නුවර යටපත් කර ගැනීමේ අභිලාෂය නැපෝලියන්ගේ සිතින් පහව නොගියේය. ඇලෙක්සැන්ඩර් සාර් රජු යටත් වනු ඇතැයි නැපෝලියන් දැඩි ලෙස විශ්වාස කළේය. නගරය අල්ලා ගැනීමේ අවසන් සටන සඳහා ඔහු සිය සේනාව මෙහෙය වීය. ප්‍රංශ සේනාංක තව තවත් නගර අභ්‍යන්තරයට එන තෙක් අසුන් පිට නැගී කොසැක් භටයින්ගෙන් සමන්විත රුසියන් සේනාවෝ විමසිල්ලෙන් සිටියහ.


ආශ්චර්යකට මෙන් නගරයේ තැනින් තැන ගිනිජාලා මතුවිය. මොස්කව් නගරය දුමින් වැසුණු සුන්බුන් ගොඩක් බවට පත්විය. සීත සෘතුවකට මුහුණදීමේ කිසිදු සූදානමක් නොමැති ප්‍රංශ සේනා මහත් දුෂ්කර තත්ත්වයකට මුහුණ දුණි. තැනිතලා ඔවුන් ඉදිරියේ දිස් විය. ගිනි ගත් පාළු නගරයේ ප්‍රංශ සේනාවට කිසිදු අහරක් ලබා ගැනීමට ක්‍රමයක් නොමැති වූ අතර දැඩි සීතලෙන් මිරිකුණි. අසුන් පිට නැගුණු ශූර කොසැක් භටයෝ ප්‍රංශ සෙබළුන් කඩුගා දැමූහ. කටුක තැනිතලා මුඩුබිම් මත සීතලෙන් ගැහෙමින් ගිනිමැල වටා රොක් වූ ප්‍රංශ සෙබළුන්ගේ හිස් මත කොසැක් භටයින්ගේ අසිපත් පතිත විය. 


පසු බැසීමේ නියෝග ලැබුණේද ප්‍රමාදවය. ‘නී’ සෙනෙවියා පෙරටුකොට ගත් ප්‍රංශ සේනාවෝ මහත් අපහසුවෙන් හිමෙන් වැසී යමින් තිබුණු නීමන් නදිය තරණය කළහ. ගඟේ ගිලීමෙන් ද හිම කුට්ටි අතර හිර වීමෙන් ද තවත් භට පිරිස් විනාශ විය. හය ලක්ෂයකට අධික භටයින් සහිත සේනාවකට හිමි කම් කී නැපෝලියන්ට ඒ වන විට ඉතිරිව සිටියේ කුසගින්නෙන්ද, විඩාවෙන් ද පෙළුණු අනූදහසක පමණ පිරිසකි. රහසිගතව හෝ ප්‍රංශය බලා පැනයාම හැර වෙනත් විකල්පයක් ඔහුට නොතබුණි.

 

 

 

 

ප්‍රියන්ත සිල්වා