පසුගිය 10 වැනිදා බදාදා පාර්ලිමේන්තුවේදී සිදුවූ ආන්දෝලනාත්මක ගුටි බැට හුවමාරුව ගැන සමාජයේ නොයෙකුත් කතා බහට ලක්වෙනු අසන්නට ලැබේ. එයට බොහෝ සෙයින්ම හේතු වූයේ මෙම සිදුවීම ඇතුළත් දර්ශන රූපවාහිනී මාධ්‍ය මගින් සජීවීව විකාශය කළ නිසා එය අපූරුවට දැක ගැනීමේ අවස්ථාව සැමට හිමිවිය. බැදුම්කර සිද්ධියට අදාළව පැවැත්වූ විවාදය ආරම්භයේ සිටම මතභේදයට ලක්වන බව කවුරුත් දැන සිටියහ. එහිදී අගමැතිතුමාට චෝදනා එල්ලවීම සහ පක්‍ෂය අපකීර්තියට ලක්වන බැවින් එක් පක්‍ෂයක මන්ත්‍රීවරුන්ට කෙසේ හෝ මෙම චෝදනා එල්ල කිරීම අත්‍යවශ්‍ය වූ බවත් තවත් පාර්ශ්වයක මන්ත්‍රීවරුන් අතර මෙම ගැටුම ඇතිවූ බව ප්‍රතිවිරුද්ධ පාර්ශව චෝදනා කළේය. කෙසේ වෙතත් පෙරළිය අවසානයේදී මන්ත්‍රීවරු කීප දෙනෙක් පහර කෑමට ලක්ව සිටියහ. තුවාල ලබා ලේ වැගිරීම් පවා සිදුවුණු බවද මාධ්‍ය වාර්තා කළේය.


පාර්ලිමේන්තුව උත්තර බව අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම පැහැදිලිවම දක්වා තිබේ. ඒ නිසාම එයට පමණක් ආවේණික බලතල වරප්‍රසාද සහ පරිහාර බොහොමයක් ඇත. ඒසා විශාල බලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී ඇත්තේ නීති සම්පාදන කාර්යේ දී බාධකවලින් තොරව සහ බලපෑම් නොමැතිව නිදහස්ව සෘජුව කටයුතු කිරීමට ඉඩ සලසාදීම පිණිසය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ උත්තරීතර බව රැඳී ඇත්තේ එහි මන්ත්‍රීවරුන් හැසිරෙන කතා කරන අනෙකුත් ඉරියව් පවත්වන ආකාරය අනුව යයි මේ රටේ බොහෝ දෙනා විශ්වාස කරති. එහි ආසාධාරණයක් නැතැයි සිතීමටද කරුණු තිබේ.

 

එසේද වුවත් මෙවැනි සිදුවීම් කීපයක්ම වරින් වර සිදුවූ බව අපි අසා ඇත්තෙමු. එයින් එක් සිද්ධියක් වාර්තා වන්නේ වාර්තමාන පාර්ලිමේන්තු ක්‍රමය ආරම්භ වූ සමයටත් පෙරය. එනම් ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ රාජ්‍ය මන්ත්‍රණ සභාව පැවති අවධියේදීය. ලංකාවට නිදහස ප්‍රදානය කිරීම සඳහා එයට පෙර බි්‍රතාන්‍යයෙන් නිකුත් වූ රාජ සභා ආඥාවක් ගැන එයට විරෝධය පළ කරමින් එවකට පේදුරුතුඩුව මන්ත්‍රී ජී. ජී. පොන්නම්බලම් මහතා යටත් විජිත ලේකම්වරයාට ලිපියක් යවා තිබුණි. තමා දියත් කර ඇති “පනහට පනහේ” ක්‍රමය ලබා නොදී ලංකාවට නිදහස ප්‍රදානය කරනු ලැබුවහොත් එයින් මෙරට වාසය කරන දෙමළ ජනතාවට විශාල අසාධාරණයකට මුහුණ දීමට සිදුවන නිසා එවැනි ක්‍රියාමාර්ගයකට එළඹීමෙන් බි්‍රතාන්‍ය ආණ්ඩුව වැළකිය යුතු බව පොන්නම්බලම් මහතාගේ ලිපියේ සඳහන් විය. මෙම රාජාඥාව පිළිබඳව රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පැවති විවාදයේදී ලංකා ජාතික සංගමයේ සභාපති පදවිය දැරූ එවකට ඇමතිවරයෙකුද වූ ජෝර්ජ් ඊ ද සිල්වා මහතා පොන්නම්බලම් මහතාගේ ක්‍රියා කලාපය දැඩි සේ විවේචනයට ලක් කළේ එය ජාතිද්‍රෝහී ක්‍රියාවක් ලෙස හඳුන්වමිනි. ජෝර්ජ් ඊ ද සිල්වා මහතාගේ කතාවට මහත් සහයෝගයක් ලබා දුන් අවිස්සාවේල්ල මන්ත්‍රී පිලිප් ගුණවර්ධන මහතා මෙවැනි ද්‍රෝහීන්ට සබුක්කු මෙන් තැලිය යුතුයැයි කියා සිටියේය. පොන්නම්බලම් සහ ගුණවර්ධන යන මහතුන්ගේ වාග් සංග්‍රාමය බොහෝ දුර ගිය බව කියවේ. විවාදය නිම වුවද දෙදෙනා අතර කෝන්තරය අවසන් වූවේ නැත.


තේ පානය කරන අවස්ථාවේදී මන්ත්‍රී භෝජනාගාරයේ දී පිලිප් සහ පොන්නම්බලම් මහත්වරු දෙදෙනා යළිත් හමුවූහ. දෙදෙනා වාග් සංග්‍රාමයක පැටලුනහ. එය අවසන් වූවේ ගුටි බැට හුවමාරුවකිනි. ඩී. ඇස්. සේනානායක යන මහත්වරු වහා මැදිහත්ව සටන් කරුවන් දෙපසට කළහ. ප්‍රතාපවත් සහ ශක්තිමත් දේහයකින් යුත් ඩී. ඇස්. සේනානායක මහතා සහ සර් ජෝන් කොතලාවල මහතුන් දෙදෙනා නොවන්නට කෙසඟ සිරුරකින් යුත් පොන්නම්බලම් මහතා නියම දඬුවමකට යටත් වන්නට තිබුණි. එවර සිද්ධියද එතෙකින් නිමා විය. මේ වනවිට යම්කිසි කටයුත්තක් සඳහා  මැති සභා පරිශ්‍රයට පැමිණ සිටි පිලිප්ගේ සොහොයුරු රොබට් ගුණවර්ධන මහතාට දැනගන්නට ලැබී වහාම මන්ත්‍රී භෝජනාගාරය වෙත දිව ආවේය. එකල ඒ මහතා මන්ත්‍රීවරයෙකු නොවූ අතර නැවතත් ගැටුම ආරම්භ වූ බව කියනු ලැබේ. පසු කලෙක කෝට්ටේ  ආසනය නියෝජනය කරමින් ලංකා සමසමාජ පක්‍ෂයෙන් මැතිවරණ පහකින්ම ජය ගෙන දීර්ඝ කාලයක් සේවය කළ රොබට් ගුණවර්ධන මහතා සිය සහෝදරයා වූ පිලිප් ගුණවර්ධනයන්ද සමග දූෂණයට වංචාවට සහ අක්‍රමිකතාවන්ට එරෙහිව නිරන්තරයෙන් සටන්  වැදුණේය. බොරළුගොඩ ගුණවර්ධන පරපුරේ පාරම්පරික සටන්කාමී දේශපාලන ඉතිහාසය ප්‍රකට කරවමින්  පිලිප් ගුණවර්ධන මහතාගේ කනිටු පුත් දිනේශ් ගුණවර්ධන මහතාද සටන් කාමිඅයුරින් ක්‍රියාකරනු දක්නට ලැබේ.


පාර්ලිමේන්තුව තුළ නොව පියගැටපෙල මත සිදුවූ ගැටුමක් ගැනද බොහෝ දෙනෙකු අතර කතා බහ පැතිර තිබුණි. 1956 මහා මැතිවරණයෙන්  ඈත ගම් දනව්වලින් දුප්පත් ගොවි කම්කරු තරුණයෝ බොහෝ දෙනෙක් පත්ව ආහ. කලාවැව දිනූ ඇම්. ඇස්. දිසානායක මහතා ගුරුවරයෙකි. නිකවැරටියෙන් ආ මුදියන්සේ තෙන්නකෝන් ගොවි පුතෙකි. මෙවැන්නෝ බොහෝය. ඒ ඈත පිටිසර ආසන නියෝජනය කරමිනි. එහෙත් බොහෝ දෙනා නොසිතූ අන්දමින් නාගරික මැද කොළඹ ඔහු ආසනය දිනා මැතිසබයට පැමිණි තැපැල් සේවකයකු වූ ඇම්. ඇස්. තේමිස් මහතාගේ ජයග්‍රහණය කාගේත් මවිතය දනවන සිදුවීමක් විය. එක්සත් ජාතික පක්‍ෂයේ අති ප්‍රබල අපේක්‍ෂකයන් වූ හිටපු ඇමති ඇම්. සී. ඇම්. කලීල්, නගරාධිපති වී. ඒ. සුගතදාස වැනි දැවැන්තයින් දෙදෙනකු පරාජය කරමින් මැදකොළඹ තුන්වැනි මන්ත්‍රීධුරයට පත්වීමට මෙම තැපැල් සේවකයාට හැකිවිය.

 

පැතිර තිබුණු කතාවට අනුව සිද්ධිය මෙසේය. 1956 මහා මැතිවරණයේදී හිටපු අගමැති සර් ජෝන් කොතලාවල මහතා දොඩන්ගස්ලන්ද අසුන දිනා සාමාන්‍ය මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියේය. දිනක් පාර්ලිමේන්තුවේ පියගැටපෙළ බසින හිටපු අගමැතිවරයාට පියගැටපෙළ නගින ඇම්. ඇස්. තේමිස් මන්ත්‍රීවරයා මුණ ගැසුණේය. එය දුටු මැද කොළඹ මන්ත්‍රීවරයා හිටපු අගමැතිවරයාට හලෝ ජෝන් යැයි ඇමතූ  බව කියවේ. අභිමානවත් පුද්ගල පෞරුෂයක් වූ සර් ජෝන් තම පාදය ඔසවා තේමිස් මහතාට පහර දුන්නේය. පියගැටපෙළ පාමුලට විසි වී ගිය තේමිස් මහතා මෙම සිද්ධිය ගැන තම නායකයා වූ අගමැති ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාට පැමිණිලි කළ බව කියවේ. එහිදි බණ්ඩාරනායක මහතා කියා ඇත්තේ “මම අමතන්නෙත් සර් ජෝන් කියලයි. උඹ හලෝ  ජෝන් කීවාම ඔය තරමින් බේරුවා ඇති කියාය. එහෙත් පසු කලෙක මෙම කාර්යාලයට පැමිණි ඇම්. ඇස්. තේමිස් මහතා එවැනි සිද්ධියක් නොවූ බව පවසනු මම අසා සිටියෙමි. එහෙත් 1956 පාර්ලිමේන්තුවේ සිටි තවත් සමකාලීන මන්ති්‍රීවරයෙකු වූ ගම්පහ ආසනය දිනා සිටි ඇස්. ඩී. බණ්ඩාරනායක  මහතා මා සමග කියා සිටියේ එම සිද්ධිය සත්‍ය බවයි.

මොරගහකන්ද ජලාශයෙන් දියවර නිකුත් කිරීම නොබෝදා සිදුවිය. එනිසා මහවැලි ව්‍යාපාරය ගැන නැවතත් කතා බස් කිරීම ආරම්භව ඇත. 1965 එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයෙන් යුතු ඩඞ්ලි. සේනානායක මහතාගේ ජාතික රජය මගිනි. ලෝක බැංකුවේ ණය ආධාර මත මෙම මහා සංවර්ධන ව්‍යාපාරය දියත් කිරීමට නියමිතව තිබුණි. එනිසා එකල විපක්‍ෂයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ඔවුන්ගේ හවුල්කරුවෝ එය දැඩි දෝෂ දර්ශනයට ලක් කළහ. මහවැලි පනත පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවෙද්දී එම විවාදය කඩාකප්පල් කිරීමට ඔව්හු නොයෙක් උපක්‍රම යෙදූහ. එයින් එක් උපක්‍රමයක් වූවේ පැය දහය දොළහේ දීර්ඝ කතා පැවැත්වීමයි. පනත සම්මත කර ගැනීම අසීරු වීම නිසා අගමැතිවරයා කෝපයට පත්විය.

ඔහු මෙම ව්‍යාපෘතියේ සාර්ථක කොට ගෙන මෙරට සහලින් ස්වයං පෝෂිත කිරීම එතුමාගේ අවංක අපේක්‍ෂාව වී තිබුණි. එනිසාම මෙම ක්‍රියාවලියට දැඩි උනන්දුවක් දැක්වීය. එතුමා කතා කරද්දී නොයෙක් බාධා ඇති කිරීමට විපක්‍ෂ මන්ත්‍රීවරු දැඩි වෙහෙසක් ගත්හ. අගමැතිතුමාගේ කතාවේදී තම පියාගේ රජයෙන් ක්‍රියාත්මක කළ ගල්ඔය මිටියාවතේ සංවර්ධනය සාර්ථක අන්දමින් සිදුවූ බවත් දැන් එය කොළ පාට නිම්නයක් බවට පත්ව ඇති බව ප්‍රකාශ කළේය. එවකට විපක්‍ෂයේ ප්‍රබලයකු වූ දොමේපේ මන්ත්‍රී ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා විමසුවේ “ඇත්තටම තමුසෙගෙ නිම්නය කොළ පාටද?” කියාය. මාරාවේෂයෙන් මෙන් විපක්‍ෂය දෙසට දිවගෙන පැමිණි අගමැතිවරයා ෆිලීක්ස් ඩයස් මන්ත්‍රීවරයාගේ බෙල්ලෙන් අල්ලා ගත්තේ හිටපන් මගේ නිම්නය පෙන්වන්න” යැයි පවසමින් බව කියවේ. අගමැතිවරයා දොම්පේ මන්ත්‍රීවරයාට පහර දුන් බව කියැවුණත් විශිෂ්ට ගණයේ ප්‍රජාතන්ත්‍රවාදියෙකු සහ ආචාරශීලි දේශපාලන නායකයෙකු වූ ඩඞ්ලි සේනානායක මහතා කිසිවිටෙකත් එවැනි පහරදීමක් නොකරන බව එකල බොහෝ දෙනා පැවසූහ.


ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ දෙවැනි ධූර කාලය ආරම්භ වෙද්දි පාර්ලිමේන්තුවේ කතානායකවරයා පත් කර ගැනීමේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ බවත් බොහෝ දෙනාට මතකය. එම ධූරයට ඉදිරිපත්ව සිටියේ එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ පාර්ශ්වයෙන් වි. ජ. මු. ලොකු බණ්ඩාර මහතා සහ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා අතරය. ඉතිහාසයේ ප්‍රථම වරට ඡන්ද විමසීම් තුනක් පැවැත්වීමට එදින සිදුවීම විශේෂත්වයකි. දෙදෙනාටම සමාන ඡන්ද ගණනක් ලැබීම නිසා මෙම තත්ත්වය උදා විය. මෙහිදි තීරණාත්මක ඡන්ද කීපය හිමිව තිබුණේ ජාතික හෙළ උරුමය නියෝජනය කළ ස්වාමීන් වහන්සේලා පිරිසටය. කුමන හෝ දේශපාලන තීන්දුවක් නිසා උන් වහන්සේලා ඡන්දය දීමෙන් වැළකී සිටියහ. කෙසේ හෝ  අවසානයේ වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතා කතානායක ධුරයට පත්වූ අතර මැති සබය තුළ මන්ත්‍රීවරුන්ගේ විශාල කලබලයක් හට ගත්තේය. එම අවස්ථාවේ දී එකල මන්ත්‍රීවරයෙකුව සිටි දඟකාරයෙකුගේ ක්‍රියාවක්  නිසා මන්ත්‍රී හිමි නමකට බලවත් ඇබැද්දියකට මුහුණ දීමට සිදුවිය. රෝහල් ගත කරනු ලැබූ උන් වහන්සේ කලක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්හ. කලබලකාරි සහ උද්වේග කාර දේශපාලන භූමිය භික්‍ෂූන් වහන්සේලා වැනි සරල විනීත අයට නොගැළපෙන ක්‍ෂේත්‍රයක් බව  මෙම සිදුවීම නිසාම බොහෝ දෙනා කියන්නට වූහ. පසු කාලීනව වෙනත් හේතු මත භික්‍ෂුන් වහන්සේලා බහුතරයක් පාර්ලිමේන්තු කටයුතු අතහැර දැමූහ. 


පාර්ලිමේන්තුවේ ගුටි බැට හුවමාරු කරගත් අවස්ථා රාශියක් එහි ඉතිහාසයට එක්ව ඇත. ඒ සියල්ල මෙහිලා සඳහන් කිරීම ප්‍රායෝගික නොවේ. සමස්තයක් වශයෙන් සලකන කල ගෞරවනීය සහ උත්තරීතර පාර්ලිමේන්තුවේ හැසිරීම වඩාත් ආචාරශීලී සහ විනය ගරුකව සිදුවන්නේ නම් එය තමන් තෝරා ගත් ජනතාවට කරන අනුග්‍රහයකි. එහෙත් තවත් පැත්තකින් සලකන විට පාර්ලිමේන්තුව යනුවෙන් හැඳින්වෙන්නේද සමාජයේම සාම්පලයකි. විවිධ අදහස්, උදහස්, සිතුම් පැතුම් ඒ තුළ නියෝජනය වේ. එනිසා මෙවැනි ගැටුම්ද තවත් බොහෝ කාලයක් පවතිනු නිසැක බව අකමැත්තෙන් වුවද පිළිගැනීමට සිදුවී තිබේ.

 

 

 

 

 

 

 


සෝමසිරි වික්‍රමසිංහ