බි්‍රතාන්‍ය යටත් වජිත පාලකයෝ මුහුදු බට ප්‍රදේශ අත්පත් කොට ගත් තැන් පටන් උඩරට ස්වාධීනව පැවැති ප්‍රදේශය සිය ග්‍රහණයට නතු කර ගැනීම සඳහා නානා විධ ප්‍රයත්න දැරූහ. හමුදා බලයෙන් උඩරට යටත් කර ගැනීමේ උපාය මාර්ග වෙනස් කොට ගෙන චර පුරුෂ සේවා හා බුද්ධි පදනම් සටන් මාර්ග වලින් උඩරට ජය ගැනීමට පෙලඹුණහ. 1815 උඩරට ගිවිසුම එළඹෙන්නට වුයේ මෙවැනි පසුබිමකය. 1815 මාර්තු මස 02 වැනි දින මහනුවර මඟුල් මඩුවට රැස් වූ බි්‍රතාන්‍ය ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් සහ උඩරට ප්‍රධානීන් අතර ගිවිසුමේ අඩංගු වගන්ති පිළිබඳව සාකච්ඡාවක් පවත්වනු ලැබ ප්‍රකාශයට පත් කරන ලදි. 1815 මාර්තු 15 දින නිකුත් වූ රජයේ නිල ප්‍රකාශනයට අනුව උඩරට ගිවිසුම අත්සන් තබන ලද්දේ 1815 මාර්තු මස 10 වන දින බව පෙනේ. ඒ අනුව ෂෂෂ වන ජෝර්ජ් රජු නියෝජනය කරමින් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා හා උඩරට වැසියන් වෙනුවෙන් දිසාවේවරු ද, මෙම ගිවිසුම අත්සන් තැබු අතර ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය බලය සම්පූර්ණයෙන්ම බි්‍රතාන්‍යයන් සතු විය. 1815 උඩරට ගිවිසුමට වසර 204 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් මෙම ලිපිය ලියැවෙයි. 


1815 පෙබරවාරි මස 18 වැනි දින ශ්‍රී වික්‍රමරාජසිංහ රජු හා ඔහුගේ බිසෝවරුන් වූ වෙන්කත රංගම්මාල් සහ වෙන්කත ජම්මාල් යන දෙදෙනා බෝමුරේ පිහිටි උඩුපිටිය ආරච්චිගේ නිවසේ සැඟවී සිටිය දී, එක්නැලිගොඩ මොහොට්ටාල ඇතුළු පිරිස විසින් අල්ලා ගනු ලැබිණි. ඉන් අනතුරුව ඩයස් තෝල්ක මුදලි විසින් රජු හා බිසෝවරුන් තම භාරයට ගෙන තෙල්දෙණිය සිටි ජෝන් ඩොයිලි සහ කර්නල් හුක් වෙත බාර කළේය. සිංහල රාජාවලිය අවසානය සනිටුහන් කරමින් ශ්‍රී වික්‍රමරාජසිංහ රජු ඉංග්‍රීසීන්ගේ සිරකරුවකු බවට පත් වූයේය. 


රජු අල්ලා ගැනීමෙන් ඉක්බිතිව කන්ද උඩරට ප්‍රදේශයේ පාලනය පිළිබඳ සම්මතයක් ඇති කිරීමට කටයුතු සංවිධානය කෙරිණි. මෙම වගකීම භාර වූයේ උඩරට ආක්‍රමණය සාර්ථක කර ගැනීමට උපාය ඥානය මෙහෙය වු ජෝන් ජොයිලිටය. බි්‍රතාන්‍ය ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග්ගේ අධීක්ෂණය යටතේ ජෝන් ඩොයිලි විසින් වගන්ති දොළසකින් යුතු උඩරට ගිවිසුම ඉංග්‍රීසි හා සිංහල වගන්ති එකිනෙකට සමාන්තරව පිහිටන ආකාරයට කෙටුම් පත් කරන ලදි. 1815 මාර්තු මස දෙවැනි දින සතරේ හෝරාවට අතිශය උත්සවාකාරායෙන් රාජ මාළිගයේ මඟුල් මඩුවේදී උඩරට සම්මුතිය පැවැත්විණි. මඟුල් මඩුව වටා බි්‍රතාන්‍යය සේනාංක රඳවා තිබුණහ. ප්‍රථමයෙන් මඟුල් මඩුවට තනිවම ඇතුළු වු ඇහැලේපොළ බ්‍රවුන්රිග් විසින් පිළිගනු ලැබ, දකුණු පසින් හිඳ ගැනීමට සැලැස්වීය. මොල්ලිගොඩ ඊට අනතුරුව ඇතුළු විය. 


සිංහල සහ ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන් සකස් කරන ලද ගිවිසුමේ වගන්ති රැස් වී සිටි උඩරට අධිකාරම් හා දිසාවේවරුන් සහ අනිකුත් සිංහල ප්‍රධානීන්ට ද, මඟුල් මඩුවෙහි වැඩහුන් මල්වත්තේ මහා නායක ධුරය දැරූ කොබ්බෑකඩුවේ නායක හිමි ප්‍රමුඛ මල් වතු අස්ගිරි උභය පාර්ශ්වයේ මහා සංඝයා වහන්සේට ද මොහොට්ටාලවරු ඇතුළු සුළු මුලාදෑනීන්ට ද කියවා පැහැදිලි කර දෙන ලදි. ගිවිසුමේ වගන්ති පහදා දීමෙන් අනතුරුව ප්‍රථම වරට ඉංග්‍රීසි කොඩිය උඩරට රජ මාළිගයේ භූමියේ ඔසවන ලදි. උඩරට ගිවිසුම අත්සන් කිරීමට ප්‍රථම ඉංග්‍රීසි කොඩිය එස වූ අවස්ථාවේ දී වාරියපොළ ශ්‍රී සුමංගල හිමිපාණෝ එම ධජය බිම හෙළා පාගා ගිවිසුම අත්සන් කරන තුරු කොඩිය එසවීමට ඉඩ නොතබා. “උඹලට තවම මේ රට යටත් වී නොමැත.” යන්න අභීතව පවසා ජාතියේ නිදහස වෙනුවෙන් පෙරමුණ ගෙන ක්‍රියා කළහ.


වගන්ති දොළසකින් සමන්විත වූ උඩරට ගිවිසුම ප්‍රකාශනයක් මගින් ප්‍රසිද්ධියට පත් කිරීම ව්‍යවස්ථා පැනවීමේ ක්‍රමය වූ නිසා මෙයින් උඩරට ගිවිසුම නීතිගත වු බවද පෙනේ. ගිවිසුමට ඇතුළත් වූ වගන්ති දෙපක්ෂය විසින් පිළිගන්නා ලද වගන්ති සමූහයක් පමණක් නොව ඉංග්‍රීසින් විසින් නිකුත් කරන ලද නීති සමුදායක් බවට ද පෙරළිණි. 


ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කෲර දුර්දාන්ත පාලනය ගැන මුල් වගන්තියෙන් විස්තර විය. ඔහු රජ පදවියෙන් පහ කරන ලද බවත්, ඔහුගේ පවුලේ අය හා සතරවරිගේ නෑයන් හට සදහටම සිහසුනේ අයිතිය අහිමි කළ බවත්, උඩරට ප්‍රදේශවල ආධිපත්‍යය ගැන මලබාර් වංශයට තිබු අයිතිවාසිකම් අවලංගු කර අහෝසි කර දැමු බවත් 2 වැනි වගන්තියේ සඳහන් විය. රජුට ඥාති සම්බන්ධකම් ඇති පුරුෂයන්ට අවසර පත්‍ර නොමැතිව උඩරට පළාත්වලට ඇතුළත් විය නොහැකි බවට 3 වන වගන්තියේ සඳහන් විය.

 

1815 මාර්තු 19 වැනිදා මහනුවර මගුල් මඩුවේදී, ජෝන් ඩොයිලි, ඇහැලේපොළ මහ නිලමේ, කපුවත්ත දෙවැනි අධිකාරම සහ මොල්ලිගොඩ මහ නිලමේ අතර පැවැති සාකච්ඡාව සිටගෙන සිටින්නේ ලියන රාල වන අතර මෙය පැරණි සිතුවමකි.

 


සිංහලේ පරමාධිපත්‍ය බලය බි්‍රතාන්‍ය කිරීටය යටතට ගත් බව ප්‍රකාශ කිරීම හා සිංහල නීතික්‍රමය දිගටම පවත්වාගෙන යාම සඳහා උඩරට අධිකාරම්වරුන්ට දිසාවේවරුන්ට, මොහොට්ටාලවරුන්ට කෝරාලේවරුන්ට සහ විදානේලාට බලය පැවරීම 4 වැනි වගන්තියේ සඳහන් වේ. උඩරට මුලාදෑනි හා වැසියන් අදහන බුද්ධ ශාසනයත් දේවාගමත් කඩ නොකර පවත්වමින් සංඝයා හා විහාරාදිය රැකීමට 5 වැනි වගන්තියෙන් පොරොන්දු දෙන ලදි. සෑම ආකාරයේම ශාරීරික වධ හිංසාවන් සහ අවයව කැපීමේ දඬුවම් තහනම් කරන ලද බව 6 වැනි වගන්තියෙන් ප්‍රකාශ විය. ඉංග්‍රීසි ආණ්ඩුකාරයාගේ බලයලත් ඔප්පුවක් නොමැතිව මරණ දඬුවම නොපැනවිය හැකි බවට 7 වැනි වගන්තියෙන් පොරොන්දු දෙන ලදි. 
උඩරට ගිවිසුමෙන් නියම කරනු ලැබු ඇතැම් ප්‍රතිසංස්කරණවලට පටහැනි නොවන සේ පිළිගත් ක්‍රම පුද්ගලයන් මාර්ගයෙන් සිවිල් සහ අපරාධ නඩු විනිශ්චය කරනු ලබන බව 8 වන වගන්තියෙන් ප්‍රකාශ විය. 


සිංහල නොවන අය පිළිබඳ නඩු විසඳීමේ බලය ඒජන්තවරයාට දෙන බව ද මිනිමැරුම්වල දී ආණ්ඩුකාරවරයා විසින් නියම කරන ලද කොමසාරිස්වරුන් ඒවා විභාග කරන බව ද හේවායන් විත්තිකරුවන් වූ නඩු යුද්ධ නඩු මාර්ගයෙන් විසඳිය යුතු බව ද 9 වන වගන්තියනේ ප්‍රකාශිත විය. යුද්ධ ගමන්වල දී සුළු කාලයකට ප්‍රකාශ කළ ආඥා පරදා ගිවිසුම් වගන්ති වලංගුව පවතින බව 10 වන වගන්තියෙන් ප්‍රකාශ වූ අතර සිංහලේ රාජකීය ආදායම් බි්‍රතාන්‍ය රාජ්‍යයේ ඒජන්තවරුන් යටතේ එකතු කරන බවත් 11 වන වගන්තියෙන් ප්‍රකාශ විය. වෙළඳාම් කටයුතු සහ අනෙකුත් වාණිජ ගනු දෙනු සඳහා පහසුකම් සැලසීමට බි්‍රතාන්‍ය ආණ්ඩුකාරයාට බලය ලබා දීම පිළිබඳව 12 වන වගන්තියෙන් ප්‍රකාශ විය.
ගිවිසුම උඩරට ප්‍රදේශවල නීතියේ කොටසක් බවට පත් වූයේ ආණ්ඩුකරුගේ ප්‍රකාශනයකින් පසුවය. උඩරට ප්‍රදේශ ඉංග්‍රීසීන්ට අයත් වූයේ කොන්දේසි උඩ යටත් කර ගැනීමකින් නොව කොන්දේසි උඩ පවරා දෙනු ලැබීමකිනි. බි්‍රතාන්‍ය යටත් විජිත ව්‍යවස්ථා නීතිය අනුව සෛන්ධාන්තික වශයෙන් නම් පවරා ගනු හෝ පවරා දෙනු ලැබු හෝ යටත් විජිතයක සාම ගිවිසුමේ කොන්දේසි නොකැඩිය යුතුය. ග්රැන්ඩා ගිවිසුමේ යටත්වීමේ කොන්දේසි පිළිබඳව විභාග වුණු කැම්බල් එරෙහිව හෝල් නඩුවේ තීන්දුව දීමේ දී යටත් වීමේ ගිවිසුමක කොන්දේසි වෙනස් කළ නොහැකි බව මැන්ස්ෆීල්ඞ් විනිශ්චයකාර තුමා පැවසීය. එසේ නම් පවරා දීමේ ගිවිසුමක කොන්දේසි එපමණටත් වෙනස් කළ නොහැකි විය යුතුය. 
ඒ අනුව මහා බි්‍රතාන්‍යයේ පාලකයා වෙනුවෙන් ගිවිසුමකට බැඳීමේ බලය සහිත ආණ්ඩුකාර තැන සුදුසු සාක්ෂිකරුවන් ඉදිරියේ උඩරට ගිවිසුමට අත්සන් තැබීම නිසා එය සහතික ලියවිල්ලක් බවට පත් වූ අතර එය බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ ද සාකච්ඡා වී කිරීටය විසින් පිළි ගන්නා ලද නිසා එහි නෛතික වලංගු බව නොසෙල්වෙන තත්ත්වයට පැමිණියේය. 
උඩරට යටත් කිරීමත් සමග මෙවැනි ගිවසුමක් අවශ්‍ය වූයේ එවකට බලවත්ව සිටි උඩරට සිංහල ප්‍රධානීන් අවනතව තබා ගැනීමට අවශ්‍ය වූ හෙයිනි. සිංහල ප්‍රධානීන් වටා ජනතාව ද ආගම ද සිංහල සිරිත් විරිත් ද සම්ප්‍රදායන් ද ඇදී බැඳී තිබුණ හෙයින් දෙපාර්ශ්වීය ගිවිසුමක අවශ්‍යතාව ඉංග්‍රීසිහු වටහා ගෙන සිටියහ. උඩරට ගිවිසුමට ඇතුළත් ඇතැම් වගන්ති පරීක්ෂා කර බැලීමේදී මීට පෙර ඉංග්‍රීසීන් විසින් නිකුත් කළ ප්‍රකාශන මගින් ඔවුන් කියා පෑ අදහස් මෙහි ගැබ් වී ඇති බව පෙනී ගියේය. එබැවින් කලින් සිටම පැවති අදහස් සමූහයක් සහ අරමුණු මුල් කරගෙන ගිවිසුමට මොවුන් එකඟ වූ බව පෙනේ මේ අනුව උඩරට ගිවිසුමේ බලය ස්ථාවර කර ගැනීමට ඉංග්‍රිීසින් යෙදු උපක්‍රමයක් ලෙස ද සැලකිය හැකිය. 

 

 


බි්‍රතාන්‍ය ආණ්ඩුකරු විසින් උඩරට ප්‍රධානීන්ට ඔවුන්ගේ අහෝසි කළ නිලතල විධිමත්ව පවරනු ලැබුවේ මාර්තු මස 03 වැනි දින දීය. 1815 මාර්තු මස 15 වැනි දින රජයේ නිල නිවේදනය ප්‍රකාර උඩරට ගිවිසුම අත්සන සඳහා ඉදිරිපත් කරන ලද්දේ මාර්තු මස 10 වන දිනදීය. ජෝන් ඩොයිලි තම දින පොතෙහි සඳහන් කරන්නේ මාර්තු 03 වන දින සිට 09 වන දින තෙක් පාචනයෙන් පෙළුණු නිසා ගිවිසුමේ කටයුතු සඳහා සහභාගී වීමට නොහැකි වූ බවය. ඩොයිලිට සුවය ලැබුණේ මාර්තු 10 වන දිනය. මේ අනුව උඩරට ගිවිසුමට අත්සන් තබනු ලැබුවේ මාර්තු මස 10 දින දීය.

 


මතු සම්බන්ධයි.

 

විශේෂ ස්තූතිය : ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, මහනුවර ශාඛාව සහකාර ලේඛනාරක්ෂක සෞමණ සෙනරත් මහත්මිය.

 

 

එම්. තාරික්
ඡායාරූප : අන්තර්ජාලයෙනි