ගලබොඩ අත්තේ ඥනසාර ස්වාමීන් වහන්සේට සිර දඬුවම් පැමිණවීම මෙරට මාධ්‍ය වාර්තා කළේ ඉමහත් වැදගත්කමක් ලබා දෙමිනි. එයට හේතුව මෙරට බහුතරයක් දෙනා බෞද්ධයන් වීමයි. මෙරට බෞද්ධයෝ බුද්ධ චීවරය දරාගත් සංඝයා වහන්සේලාට මහත්සේ ගෞරව කරති. සංඝරත්නය යන හැඳින්වීමෙන්ම ඒ බව මනාව පසක් කර ගත හැකිය. බෞද්ධයාට සංඝයා වහන්සේ යනු රත්නයකි. මැණිකකි. ඒ නිසාම ඥනසාර හාමුදුරුවන් වහන්සේට සිරදඩුවම් නියම කිරීම මෙරට බහුතරයක් වූ බෞද්ධයනට විශේෂ ප්‍රවෘත්තියකි.


එසේද වුවත් එම ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් රටේ ඇත්තේ මිශ්‍ර ප්‍රතිවාරයකි. එම නිසාත් අධිකරණ තීන්දුවක් නිසාත් ඒ පිළිබඳව කිසිම අදහසක් ඉදිරිපත් කිරීම යෝග්‍ය නොවේ. මෙම ලිපියේ අරමුණ වන්නේ චීවරය දැරූ බුද්ධ පුත්‍රයන් වහන්සේලා අනාදිමත් කාලයක් මුළුල්ලේ මේ රටේ ස්වාධීනත්වය, ස්වෛරී භාවය සහ ජාතික නිදහස වෙනුවෙන් යුගයෙන් යුගය ඉටු කරන ලද කාර්යභාරය පිළිබඳව සිහිපත් කරවීමකි. 
“මාගේ මේ ව්‍යායාමය රජ සැප පිණිස නොව සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසම යැයි දුටුගැමුණු රජතුමා ප්‍රකාශ කළේය. දකුණු ඉන්දියාවේ සිට හමුදා ගෙන මෙරටට පැමිණ ආක්‍රමණය කළ එළාර නමැත්තා රට යටත් කොටගෙන පාලනය කළේය. සිංහල බෞද්ධ පාලනයකට හුරුවී සිටි ලංකාවාසීහු එම විදේශික පාලනයට අකමැති වූහ. ඈත රුහුණේ මාගම රජකම් කළ කාවන්තිස්ස රජුගේ පුත් කුමරෙකු වූ ගැමුණු කුමාරයා තම පියාගේ ඇවෑමෙන් සිහසුනට පත් වූ අතර ද්‍රවිඩ ආක්‍රමණිකයාගෙන් රට බේරා ගැනීමට යුද්ධයට සූදානම් වූ බව ප්‍රකට ප්‍රවෘත්තියකි. එම රජුට මෙම කාර්ය සඳහා විශාල ලෙස ධෛර්ය දුන්නේ සිය මෑණියන් වූ විහාර මහා දේවිය සහ මහා සංඝයා වහන්සේලා බව අපේ වංශ කථාවේ සඳහන් වේ.


යුද බිමට යාමට පෙර ගැමුණු, තිස්ස සොහොයුරන් අතර ඇති වුණ අර්බුදයේදී, එය සමථයකට පත් කිරීමට ඉදිරිපත් වූවේද සංඝයා වහන්සේලාය. රට, ජාතිය බේරා ගැනීමේ මහා කාර්යභාරය සපුරා ගැනීමේ මොහොත අත ළඟට පැමිණ තිබියදී මෙම දෙසොහොයුරන්ගේ භේදය එයට බාධාවක් වන බව වටහාගත් ගෝධගත්ත තිස්ස තෙරණුවෝ ගැමුණු - තිස්ස කුමාරවරුන් කැඳවා සමගි කරවූහ. මහා සංග්‍රාමය සඳහා සේනාව අනුරාධපුරය බලා ගමන් කරද්දී දහස් ගණන් භික්ෂූන් වහන්සේලාද ඒ සමග වැඩම කළ බව ඉතිහාසයේ කියවේ. එසේ කළේ සේනාව සමග එක්ව යුද්ධ කිරීමට නොව හමුදාව ධෛර්ය ගැන්වීමට සහ අතර මගදී තමන් පසු කර යන සිංහල ගම්මානවලදී තව තවත් පිරිස් එක්කර ගැනීමට බවත් ඉතිහාසයේ දැක්වේ.

 


පස්වැනි සියවසේ මැද භාගය වන විට නැවතත් මේ රට දකුණු ඉන්දියානු ආක්‍රමණයකට ගොදුරු වූ බව කියවේ. එහෙත් මෙම සතුරු බලය මැඩපැවැත්විය හැකි බලවත් සිංහලයකු එකල නොවූ බව වංශ කතාවේ දැක්වේ. රජ පවුලෙන් මහණ වී සිටි එක්තරා මහ තෙර නමක් තම ඥතියෙකුද වූ රාජ කුමාරයෙක් මහණකොට ගෙන එම සාමණේර හිමියන්ට රජ කෙනෙකු විසින් දැනගතයුතු ශිල්ප ශාස්ත්‍ර උගන්වා රජකමට පුහුණු කළ බව ඉතිහාසයේ සඳහන් වේ. නිසි වයසට පත් මෙම හිමියෝ සිව්රු හැර ධාතුසේන නමින් කිරුළ පැලදුවෝය. කලා වැව වැනි මහා වාරිකර්මාන්තය ඇති කොට පර සතුරු බිය මැඩපවත්වා රාජ්‍ය බතින් බුලතින් සරුකොට දහ අට වසරක් (ක්‍රි.ව. 460 - 478) දක්වා රාජ්‍යය කළේය. එම යුගය උදා කිරීමට මූලිකත්වය ගත්තේ පෙර සඳහන් කළ දූරදර්ශී මහ තෙරපාණන් වහන්සේ බව සඳහන් කිරීම කාලෝචිතය. ධාතුසේන රජු විසින් තනන ලද කලා වැවෙන් පෝෂණය වන කුඹුරු වගාකර ජීවත් වන දස දහස් ගණන් ගොවීහු මෙම නාමයන්ට වර්තමානයේදීත් උපහාර දක්වති. ඉතිහාසය වර්තමානයට සම්බන්ධ වන්නේ ඒ ආකාරයෙනි.   


මෙසේ දක්වන ලද්දේ ඉතිහාසයේ අවස්ථා කීපයක් පමණි. ශ්‍රී ලංකා රාජ්‍යයේ පැවැත්ම සහ ජාතික නිදහස උදෙසා සංඝයා වහන්සේලා විසින් ඉටු කරන ලද කාර්යභාරය අතිමහත්ය. මේ රටේ බි්‍රතාන්‍ය පාලනය තහවුරු වීමෙන් පසුව උඩරට ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවේදී ජීවිතය ගැන පවා නොතකා වාරියපොල ශ්‍රී සුමංගල අනුනායක ස්වාමීන් වහන්සේ බි්‍රතාන්‍ය යුනියන් ජැක් ජාතික ධජය බිම ඇද දමා පාගා කටයුතු කළ ආකාරය මේ රටේ නිතර කතාබහට ලක්වෙන ප්‍රසිද්ධ කාරණයකි. ඒ නිසා එය මෙහි සඳහන් කිරීම අවශ්‍ය නොවේ. එමෙන්ම බි්‍රතාන්‍ය පාලනය ආරම්භයේදීම ඇතිකරගත් උඩරට ගිවිසුම කඩවෙන බවත් සිංහල ජනයාට නොයෙකුත් තාඩන පීඩන සිදුවන බවත් දුටු මහා සංඝයා වහන්සේ එම යටත්විජිත පාලනයට එරෙහි වන ලෙස තම දායකයන් පෙලඹ වූ බවට ලිඛිත සාක්ෂි තිබේ.


1818 මහ කැරැල්ල එහි ප්‍රතිඵලයකි. එම සටනට සේනාව සොයා දීමේ මුල් තැනක් ගෙන ඇත්තේ භික්‍ෂූන් වහන්සේලා බව නොයෙක් ලිපි ලේඛනවල සඳහන් වේ. වරක් මේට්ලන්ඞ් ආණ්ඩුකාරයා බි්‍රතාන්‍යයේ තම ප්‍රධානියෙකු වූ විලියම් විම්හැන්ඞ් මහතා වෙත යවන ලද ලිපියක මෙසේ සඳහන් කර තිබේ ‘දැන් මම ව්‍යවස්ථාවක් සකස්කර ගෙන යන්නෙමි. එම අදහස් මම බෞද්ධ භික්‍ෂූන් වෙත යවා ඇත්තෙමි. ඔව්න් එය අනුමත කරනවා ඇත. එසේ නොවුනහොත් වෙනත් පියවරක් ගැනීමට සිදුවෙනවා ඇත. භික්‍ෂූහු එතරම්ම බලවත්ය. ඔවුන්ගේ සහාය නොමැතිව මේ රට පාලනය කිරීම ඉතාමත්ම අසීරුය. මෙම බලය බිඳ දැමීම සඳහා බි්‍රතාන්‍යයෝ නොයෙකුත් උපක්‍රම යෙදූහ.


1848 මාතලේ කැරැල්ලට මූලිකත්වය ගත්තේ පුරන්අප්පු සහ ගොංගාලේගොඩ බණ්ඩා යන පහතරැටියන් දෙදෙනා වුවත් උඩරට විහාරස්ථානවල (විශේෂයෙන්ම ගම්බද) ස්වාමීන් වහන්සේලාගේ මග පෙන්වීම ඔවුන්ට විශාල ශක්තියක් වූ බව කියවේ. එවකට දඹුල්ල රාජ මහා විහාරවාසීව සිටි ගිරානේගම චන්ද්‍රජෝති හිමි එවැනි ප්‍රබලයෙකි. අවාසනාවකට මෙන් මෙම කැරැල්ල පරාජයවීමෙන් පසු මෙම ස්වාමීන් වහන්සේ සහ තවත් අට නමක් සිවුරු පිටින්ම වෙඩි තබා මරා දැමූ බව වාර්තාවල සඳහන් වේ. ඒ වෛකවුන්ට් ටොරින්ටන් සාමිවරයාගේ නියෝග මතය.

 


සිංහල රාජ්‍යය පැවති කාලයේ ලක්දිව අධ්‍යාපනය පිළිබඳ වගකීම මුළුමනින්ම පැවතුණේ බෞද්ධ භික්‍ෂූන්වහන්සේලා අතෙහිය. රාජ්‍යයේ ඊළඟ උරුමක්කාරයා වන රාජකුමාරයාගේ සිට ගැමි ගෙදරක දිළිඳු දරුවා දක්වා සියලු දෙනාටම අධ්‍යාපනය ලැබුණේ පන්සලෙනි. මේ නිසා ගිහි - පැවිදි දෙපක්ෂය අතර මනා සමගියක් පැවති බවත් ඉංග්‍රීසිහු වටහා ගත්හ. මෙම සමගිය බිඳ දැමීමට හැකි හැම දෙයක්ම කිරීමට ඔව්හු පසුබට වූයේ නැත. බටහිර අධ්‍යාපන ක්‍රමවේදය ආරම්භ කිරීම එයින් එක් පියවරක් පමණි. 


කලකට පසු යම් ශක්තියක් ලැබූ බෞද්ධයෝ මෙම තත්ත්වය වටහාගෙන මිෂනාරි අධ්‍යාපනය පිටු දැකීමට ක්‍රියාමාර්ගයක් ඇරඹූහ. හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් ඇරඹූ විදෝධය පිරිවෙනත් පූජ්‍යපාද රත්මලානේ ධම්මාලෝක හිමියන් ආරම්භ කළ කැලණියේ විද්‍යාලංකාර පිරිවෙනත් එහි මුල් තැනක් ගනී. විශේෂයෙන්ම විද්‍යාලංකාර පිරිවෙන මෙරට බෞද්ධ ප්‍රබෝධයේ සහ දේහමාමකත්වයේ පහන්ටැඹ බවට පත්විය. රත්මලානේ ධම්මාලෝක හිමියන්ගෙන් පසු එම පිරිවෙනේ අධිපතිත්වයට පත් රත්මලානේ ධම්මාරාම හිමි කිරිවත්තුඩුවේ පක්‍ඳ්ඤාසාර හිමි ආදී නායක හිමිවරුන් එම ශාස්ත්‍ර නිකේතනයෙන් බිහි වූ වල්පොල රාහුල හිමි, කලල් ඇල්ලේ ආනන්ද සාගර හිමි, මහාචාර්ය බඹරැන්දේ සිරි සීවලී හිමි මහාචාර්ය කොටහේනේ පක්‍ඳ්ඤාකිත්ති හිමි සහ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥරාම හිමි ආදී ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයන් වහන්සේලා එවකට නිදාගෙන සිටි බෞද්ධ ජනතාවට කරුණු පහදා දී තම දේශය, ජාතික නිදහස, දේශීය සංස්කෘතිය, සභ්‍යත්වය සහ ජාතියේ උරුමය පැහැදිලි කර දුන්හ. හාමුදුරුවරුන්ට අයිති කාර්ය වන්නේ ජනතාවට බණ දහම් කියා දෙමින් සිටීම මිස රට ජාතිය ගැන සටනට පිවිසීම නොවන බව එකල සම්ප්‍රදායික බෞද්ධයෝ ප්‍රකාශ කළහ. එම තත්ත්වයට පිළිතුරු දුන් රාහුල හිමියන්ට ප්‍රහාරයකට ලක්වීමට ද සිදුවිය. එපමණක් නොව ජනතාවගේ ප්‍රශ්නවලට මැදිහත්වීමේ වරදට පිලිප් ගුණවර්ධන මහතාද සමග බන්ධනාගාර ගතවීමට රාහුල හිමියන්ට සිදුවිය.


මෙම සටන්වල උච්චතම අවස්ථාව වූවේ මහජනයාට (තම දායකයන්ට) සේවය කිරීමටත්, ඔවුන්ට නිසි මග පෙන්වා දීමටත් බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාට අයිතියක් ඇති බව ප්‍රකාශ කරමින් “විද්‍යාලංකාර ප්‍රකාශනය” නමින් සුවිශේෂී නිවේදනයක් නිකුත් කිරීමයි.

 


රටේ ජාතික නිදහස සඳහා කටයුතු කෙරෙන ආකාරය ගැන බොහෝ හිමිවරුන් තුළ තිබුණේ ප්‍රසාදයක් නොවේ. බි්‍රතාන්‍යයේ රජයට ඉල්ලීම් ඉදිරිපත් කරමින්, ආයාචනා කරමින් යම් යම් ප්‍රතිසංස්කරණ ලබා ගැනීම එදා පැවති, ලංකා ජාතික සංගමයේ ප්‍රතිපත්තිය වූවේය. ඉන්දියා නිදහස් සටන වේගවත්ව ඇවිළෙද්දී, ආසියාවේ සහ අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ බොහෝ යටත්විජිතවාසීහු අධිරාජ්‍යවාදයට එරෙහිව වීදි සටන්වල යෙදෙද්දී සහ මුහුණට මුහුණලා විමුක්ති සටනේ නියැළෙද්දී අපේ රටේ සිදුවන දේ උන්වහන්සේලා අනුමත නොකළහ. ඒ නිසා අධිරාජ්‍යවාදීන්ට අභියෝග කරමින් අපේ රටේ ජාතික නිදහස ඒකපාර්ශ්විකව සිදු කිරීමට උන්වහන්සේලා තීරණය කළහ. එම තීරණය ගත්තේ එහි බරපතළකම නොදැන නොවේ. එය විශාල මර්දනයකට මග පාදන්නක් වීමට හොඳටම ඉඩ තිබෙන බව මෙම හිමිවරු දැන සිටියහ. ලබාදීම දිනෙන් දින කල් යද්දී එයට ප්‍රතිචාර දැක්වීම සඳහා දේශප්‍රේමී හිමිවරු මෙම තීරණය ගත්හ. ඒ අනුව 1946 ජනවාරි මාසයේ කැලණි විහරයට රැස් වූ ගරුතර මහා සංඝයා වහන්සේලා විශාල පිරිසක් පහත සඳහන් ප්‍රකාශය නිකුත් කළහ.


ස්වස්ති


ශ්‍රී ලංකාවාසී මහජනයාගේ ප්‍රකාශයයි.


මෙයින් පස් විසි ශත වර්ෂයකට පූර්වයෙහි අපගේ මුතුන් මිත්තන් විසින් මේ ශ්‍රී ලංකා ද්වීපවාසී මහජනයාගේ ජීවිතය හා නිදහස සුරක්ෂිත කරනු පිණිසද සෞභාග්‍යමත් සංවර්ධනයකට අවශ්‍ය අයිතිය හා අවස්ථාව තහවුරු කර ගැනීම පිණිසද, ස්වාධීන ස්වෛරී ස්වතන්ත්‍ර ජන සමාජයක් ස්ථාපිත කරන ලද්දේය. අපගේ සම්මා සම්බුදු පියාණන් විසින් සූදේහිත සදාකාලික ආර්ය ධනයට භාණ්ඩාගාරික වූ අප මහා සංඝයා වහන්සේ ඉන් සියවස් කීපයකට මෑතදී පූර්වෝක්ත නිදහස් ජීවිතය හා සෞභ්‍යය පිළිබඳ ආරක්ෂක කුල දේවතාවෝ වූහ. එසේම ඒ සමාජය පිළිබඳව සුඛ විහරණය හා නිදහස් සැපත සාදා දීමෙහි නේතෘවරුද වූහ.


මනුෂ්‍ය ජාතීන් මෙන්ම ශිෂ්ටාචාරයෙන්ද සදාකාලික නොවෙති. ඔව්හු ඇති වී දියුණු වී පිරිහී නැති වී යන සුලුය. මෙලොව කිසිවක් සදාකාලික නොවන්නේය. නගරයන්ට හා ජාතීන්ට වඩා ශ්‍රේෂ්ඨ වූ අගනා දේ ඇත්තේය. අපගේ මේ මාතෘභූමිය සියලු කල්හිම ඒ උතුම් දෙය ආරක්ෂා කළාය. හුදු ලෞකික වස්තු සම්භාරය පමණක්ම සැපතට හා සැනසීමට අසහාය හේතුව නොවේ. මනුෂ්‍ය වර්ගයාගේ උදාරත්වය ගෙන දෙන නියම සෞභාග්‍යයේ ලක්ෂණ ඇති කිරීමට පූර්වෝක්ත ලෞකික සම්පත් සමුදාය පමණක් සමර්ථ නොවේ.


‘ලෝකයාගේ සාමයට බාධා කරන්නෝ’ සාර්ම ශතවර්ෂ හතරකට පෙර මෙහි පැමිණ මෙම ද්වීපවාසී ජනයාගේ ස්වතන්ත්‍ර ජීවිතය ස්වෛරීභාවය පිළිබඳ උරුමයට විරුද්ධව අභියෝග කොට සියලු කල්හිම මේ ශ්‍රී ලංකාවාසීන් මහඟුකොට සැලකූ දෙස නොව අනිකත්ම මෙහි පතුරුවන්නට තැත් කළෝය. ශ්‍රී ලංකාවට ආවේණික වූ ආත්ම ධෛර්යෙන් යුත් වීර පුරුෂයන්ගේ ඌනත්වයක් කිසි කලෙකත් මේ ධම්ද්වීපයෙහි විද්‍යාමාන නොවීම අපගේ කීර්ති ප්‍රභාවය අපේ ඒ ජාතික වීරයන් පූර්වෝක්ත අභියෝගයට අභීතව අභිමුඛව ගමන් කළ හෙයින් විදේශිකයන්ට විරුද්ධ භීෂණ මහා සංග්‍රාම ශත සංවත්සරය තැනක් මුළුල්ලේ අඛණ්ඩව පැවතින.

 

 

 


මතු සම්බන්ධයි.

 

එස්. වික්‍රමසිංහ
ඡායාරූප : අන්තර්ජාලයෙනි.