1971 අප්‍රේල් අරගලයට පසුගිය අප්‍රේල් 5 වැනිදාට වසර 47 කි. මෙරට දේශපාලනයට 71 අප්‍රේල් අරගලය තරම් ගුණාත්මක බලපෑමක් ඇති කළ වෙනත් සිදුවීමක් නොමැති තරම්ය. එහෙත් 71 අප්‍රේල් අරගලය සම්බන්ධයෙන් විවිධ මතවාද පවතී. එය එසේ වුවද වඩාත් වැදගත් වන්නේ 71 අරගලයේ සැබෑ හිමිකරුවා වන ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් දරණ මතය වේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් 2012 වසරේදී ප්‍රකාශයට පත් කළ පක්ෂයේ ඉතිහාසය 1965 - 1994 කෘතියෙහි. අප්‍රේල් අරගලයට සම්බන්ධ මෙම උපුටනය ඒ නිලමතය අවධාරණය කරනු පිණිසය.

ධනේශ්වර මැතිවරණ කිසිවිටෙක සාධාරණ හා නිදහස් මැතිවරණ වන්නේ නැත. ධන බලය, මැර බලය, රාජ්‍ය බලය මෙන්ම පොදු ජනතාව තුළ ඇති සියලු දුර්වලතා ධනේශ්වර පංතිය සිය ජයග්‍රහණය සඳහා යොදා ගනී. බොරු පොරොන්දු දීම්වල සිට හොර ඡන්ද දැමීම්, විරුද්ධ ඡන්ද දායකයින් බිය වැද්දීම් ආදී සියලු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග පාලකයන් විසින් ඡන්දවලදී අනුගමනය කරනු ලැබේ. ඔවුන්ගේ ජයග්‍රහණ තහවුරු වන්නේ එසේය.


ඒ නිසාම නිර්ධන පංති ව්‍යාපාර ධනේශ්වර මැතිවරණවල දී මෙම යථාර්ථය තේරුම් ගෙන සටන් වැදිය යුතුය. එසේම මැතිවරණ ප්‍රතිඵල විග්‍රහ කරගත යුත්තේ ද ධනපති මැතිවරණ සාධාරණ පොදු තත්ත්වයක් යටතේ නොපවත්වන බව හා ඉහත කරුණුවලට යටත්වය. එහෙත් මැතිවරණවල දී නිර්ධන පංති ව්‍යාපාරයේ සමහර ශ්‍රේණින් අන්ධ ලෙස මැතිවරණවාදයට වැටීමේ ප්‍රවණතා මතුවන අතර එය ව්‍යාපාරයට හානි ගෙන දේ. 82 ජනාධිපතිවරණ ප්‍රතිඵලයත් සමග මතුවූයේ මෙම තත්ත්වයයි.


ජනාධිපතිවරණයේ නිමාවෙන් පසු ජ.වි.පෙ ට සිදුවූයේ, ජනමත විචාරණයට හා අතුරු මැතිවරණ කිහිපයකට මුහුණ දීමටය.


1982 ජනාධිපතිවරණය දිනාගත් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරණ වේදිකාවල දී පැවැසූ පරිදිම මැතිවරණ සිතියම හකුළා තැබීමට පියවර ගත්තේය. ඒ 1983 ට නියමිත මහ මැතිවරණය නොපවත්වා ජනමත විචාරණයක් පවත්වා ඒ වන විටත් තිබූ පාර්ලිමේන්තුවේ කාලය තවත් වසර 06 කින් දික්කර ගැනීමට තීරණය කිරීම මගිනි. ‘රටක නීතිය වූ කලී එම යුගයේ පාලක පන්තියේ කැමැත්ත වන්නේය’ යන කියමන නැවතත් සත්‍ය කරමින් හා පාලකයන් සිය බලය වෙනුවෙන් හදන නීති ඔවුනටම පාරා වළල්ලක් වනවිට එම නීති ඔවුන් බිඳ දමන බව ඔප්පු කරමින් ජයවර්ධන ජනාධිපතිවරයා කටයුතු කළේය.


83 මහ මැතිවරණය පවත්වන්නේ නම් එය පැවැත්විය යුතුව තිබුණේ ජයවර්ධන තමන්ගේ වාසිය වෙනුවෙන් හඳුන්වා දුන් සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේය. එහෙත් ඒ අනුව ඡන්ද පැවැත් වූයේ නම් 82 ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව පවා එ.ජා.ප.යට ලැබෙනුයේ, පාර්ලිමේන්තුවේ බහුතර බලය පමණක් බව ජයවර්ධනට වැටහී ගියේය. ඒ වන විට පැවැති පාර්ලිමේන්තුවේ 5/6 බලය ඉන් අහෝසි වී යන බවත් එසේම සමානුපාතික ක්‍රමය තුළ ජ.වි.පෙ නියෝජිතයන් කිහිප දෙනෙක් පාර්ලිමේන්තුවට පැමිණෙන බවත් ජයවර්ධනට පෙනිණි. එය නතර කළ යුතුම විය. 83 මහ මැතිවරණය නොපවත්වා පවතින 5/6 පාර්ලිමේන්තුව තවත් වසර 06 කට දික්කර ගැනීමට ජයවර්ධන කල්පනා කළේ ඒ අනුවය.


1982 නොවැම්බර් 04 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තුනෙන් දෙකේ ඡන්දයෙන් සම්මත කරගත් 4 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තුවේ කාලය දික් කිරීමට යෝජනා කරන ලදී. එහි මෙසේ සඳහන් විය. “කලින් විසුරුවා හරිනු ලැබුවහොත් මිස ප්‍රථම පාර්ලිමේන්තුව 1989 අගෝස්තු මස 04 වැනිදා තෙක් පවතින්නේය. ඊට වඩා දීර්ඝ කාලයක් නොපවතින්නේය. එයින් පසු පාර්ලිමේන්තුව විසිරෙනවා ඇත යනුවෙනි. එහෙත් මෙම සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන් පමණක් ක්‍රියාවට නැගිය නොහැකි විය. එය ජනමත විචාරණයකින් ද අනුමත කළ යුතුම විය. 1982 ජනමත විචාරණය ආවේ ඒ ලෙසය. මේ තත්ත්වය මත 78 ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලැබී ඇති ජනමත විචාරණ පැවැත්වීමේ බලතල මත පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 06 කින් දීර්ඝ කිරීම සඳහා වන ජනමත විචාරණයට ජයවර්ධන මහතා දින නියම කළේය. ඒ 1982 දෙසැම්බර් 22 දිනටය.


මෙය ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීමේ දිසාවට තබන ඉතා බරපතළ පියවරක් ලෙස දුටු ජ.වි.පෙ වහාම මෙම තත්ත්වය පරදා ජනතාවගේ ඡන්ද අයිතිය රැකගත යුතු බව තීරණය කළේය. ධනේශ්වර ක්‍රමය තුළ ධනවාදයට එරෙහිව ජනතාව සංවිධානය කිරීමේ දී හා ඔවුන් මතවාදීව දැනුවත් කිරීමේදී ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති සීමිත ඉඩකඩ පවා වටිනා බව තේරුම් ගත් ජ.වි.පෙ විශාල බලයක් අත තබාගෙන සිටින ප්‍රජාතන්ත්‍ර විරෝධි ගමන ඉතාම හානිකර බව අවබෝධ කරගෙන එය පැරදවීමට තීරණය කළේය. ජනමත විචාරණය පිළිබඳ සිය ස්ථාවරය ප්‍රකාශ කළ ජ.වි.පෙ ‘ජයවර්ධන පාලනය පැරදවීම සඳහා අපි සොයමින් සිටි පොදු අපේක්ෂකයා අපට ලැබී ඇති බවත් විපක්ෂයේ පක්ෂ සියල්ල විසින් එම පොදු ලකුණ දිනවා ජයවර්ධන පරාජයට පත්කළ යුතු බවත් පැවැසීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනමත විචාරණයේ දී ආණ්ඩුවේ යෝජනාවට පක්ෂ අයට ලාම්පුව ලකුණත් විපක්ෂ අයට කළය ලකුණත් හිමි විය. ඒ අනුව ආණ්ඩු විරෝධීන්ගේ පොදු ලකුණ ‘කළය’ විය.


එසේම මේ වන විට අභ්‍යන්තර අර්බුද නිසා බෙදී දුර්වලව තිබූ ශ්‍රී.ල.නි.ප.ය ජනමත විචාරණය අභියෝගයක් සේ බාර ගත්තේ නැත. එවැනි හැකියාවක් ද ඔවුනට නොවීය. මේ වන විට ‘නක්සලයිට්’ කුමන්ත්‍රණ චෝදනා මත විජය කුමාරතුංග අත්අඩංගුවට ගෙන තිබිණි. ජයවර්ධන ප්‍රකාශ කර තිබුණේ ‘නක්සලයිට්’ වාදීන් පාර්ලිමේන්තු ඒම වැළැක්වීම සඳහා මැතිවරණය කල් දමන බවය. එහෙත් ඔහුගේ සැබෑ වුවමනාව වූයේ ජ.වි.පෙ පාර්ලිමේන්තුවට පැමිණීම වැළැක්වීමය.


ජනමත විචාරණ ඡන්ද සටනේ දී ශ්‍රී.ල.නි.ප.ය දුර්වල දියාරු මැදිහත්වීමක් කළ අතර රූපවාහිනිය හා ගුවන් විදුලිය ඔස්සේ ජනතාව ඇමතීමට ලැබුණු මුළු කාලයෙන් වැඩි කොටසක් ශ්‍රී.ල.නි.ප.ය අත්හැර දමා තිබිණි. කළුගල්ල වැනි ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයෝ ජනමත විචාරණයේ දී එ.ජා.ප ආණ්ඩුවේ වේදිකාවට ද නැග්ගාහ. මේ සියලු තත්ත්වය තුළ ජනමත විචාරණයෙන් ආණ්ඩුව පැරදීමට ජ.වි.පෙ සිය මුළු බර යොදා සටන් කළේය. තම ඡන්ද අයිතිය නැතිකර ගැනීම සඳහා තම ඡන්දය පාවිච්චි නොකරන මෙන් ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටි රෝහණ විජේවීර සහෝදරයා ඊට උපමාවක් ද එක් කරමින් ‘ඇස්දෙක විකුණා පිංතූර පොතක් මිලදී ගැනීම’ නොකරන ලෙස ඉල්ලීය.


කෙසේ වුවත් මැර ක්‍රියා හා උපරිම ඡන්ද දූෂණ මැද ‘ලාම්පු කළගෙඩි සෙල්ලම’ නොහොත් ජනමත විචාරණයෙන් ආණ්ඩුව ජය ගත්තේය. යෝජනාවට පක්ෂව (ආණ්ඩුවට) ඡන්ද 3,141,223 ක් ලැබී තිබූ අතර විපක්ෂයට (කළගෙඩියට) ලැබී තිබුණේ ඡන්ද 2,605,983 ක් පමණි. ආණ්ඩුව වැඩි ඡන්ද 532,240 කින් ජනමත විචාරණය ජයගෙන තිබිණි.


ජනමත විචාරණයෙන් පසු ඉතා වැදගත් දේශපාලන සිදුවීම් දෙකක් ඇතිවිය. එකක් නම් ජනමත විචාරණයේ දී ලාම්පුව (ආණ්ඩුව) පරාජයට පත් වූ සමහර ආසනවල අතුරු මැතිවරණ පැවැත්වීමට ජේ. ආර්. ජයවර්ධන ගත් තීරණයයි. අනෙක ජනමත විචාරණයේ ප්‍රතිඵල අභියෝගයට ලක්කරමින් අධිකරණයට යාමට ජ.වි.පෙ ගත් තීරණයයි.

 

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්