ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ආරම්භ කර හැත්තෑ පස් වසරක් සපිරෙන සංවත්සරය මෙම ජූලි තුන්වැනි දිනට යෙදුණි. ඒ වෙනුවෙන් උත්සව මාලාවක් පැවැත්වීමට එම පක්ෂය කටයුතු කරගෙන යන බව මාධ්‍යවල පළ විය.


හැත්තෑ පස් වසරක් යනු ඕනෑම ආයතනයක් සතුටින් සමරනු ලබන කඩඉමකි. මෙම අවස්ථාව කොමියුනිස්ට් පක්ෂයට තමන් පැමිණි දීර්ඝ ගමන් මග ගැන නැවත වරක් සිතා බැලීමට හොඳම අවස්ථාවක් බව නිසැකය. කලක් එම පක්ෂයේ පූර්ණ සාමාජිකත්වය දැරූ පුද්ගලයෙකු වශයෙන් මගේ අත්දැකීම් ද කැප කරමින් මෙම ලිපිය සම්පාදනය කිරීමට අදහස් කරනුයේ එහි හැත්තෑ පස් වසරක අතීතය තුළ සිදුකරගත් ඓතිහාසික වැරදි සහ ලැබූ ජයග්‍රහණ ගැන සටහන් කරමිනි.


එක්දහස් නමසිය හැටතුනේ අගෝස්තු 13 වැනිදා කොළඹ ගෝල්ෆේස් පිටිය පිරී ඉතිරී යන තරමට ඒකරාශී වූ මහා ජන සයුරකින් වැසී ගියේය. එය 1953 පැවති සමස්ත මහා හර්තාලයේ දසවැනි සංවත්සරය සිහිපත් කිරීමේ ජනතා රැලිය පැවැත්වීම එහි අරමුණ වූ අතර එදිනට විශේෂ කාර්යභාරයක්ද යොදාගෙන තිබුණි. කලක සිට නොයෙක් මත ගැටුම් නිසා පක්ෂ තුනක් වශයෙන් බෙදී වෙන වෙනම කටයුතු කළ ශ්‍රී ලංකාවේ වාමාංශික පක්ෂ නැවත එක් පෙරමුණක් ලෙස සන්ධාන ගතවීම පිණිස ගිවිසුමක් අත්සන් තබා සමගියට ගිවිස ගැනීමද එදිනට නියමිතව තිබුණි. පසු කාලීනව මෙසේ පක්ෂ තුනක් බවට පත්ව තිබුණත් මේ සියලු දෙනාම රතු කොඩිය සෙවණේ, සන්නද්ධ විප්ලවය මගින් ශ්‍රී ලංකාවේ සමාජවාදී විප්ලවය සාර්ථක කර ගැනීම අරමුණු කරගෙන පිහිටුවා තිබුණු එකම පක්ෂය වූ ලංකා සමසමාජ පක්ෂයේ සාමාජිකයෝ වූහ. බලවත් පක්ෂයක් වශයෙන් රටේ තැනක් සහ ජන ප්‍රසාදයක් දිනාගෙන තිබුණු සමසමාජය මෙසේ තුනට බෙදී යාම එකල විසූ ප්‍රගතිශීලී ජනතාවගේ මහත් නොමනාපයට හා අධෛර්යවීමට හේතුවූ බව අපට මතකය.


රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම වැඩ කරන ජනතාව අතර ප්‍රබල සංවිධානාත්මක වෘත්තීය සමිති බලයක්ද එකල මොවුන් සතුව තිබුණි. ධනවාදී පක්ෂ ලෙස ඔවුන් විසින් හඳුන්වන ලද එක්සත් ජාතික පක්ෂයේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ කුමන රජයක් බලයේ සිටියද එම රජයන්ට එරෙහිව පැය විසිහතරක පමණ කෙටි කාලයක් තුළ රටම අඩපණ කළ හැකි සංවිධානාත්මක කම්කරු සමිති බලයක් එම පක්ෂවලට තිබුණි. එමගින් කරන ලද කම්කරු සටන් නිසා යටත් විජිත සමයේත් පෙර සඳහන් කළ පක්ෂ දෙකේ රජයන් වෙතින්ද කම්කරු පංතිය වෙත දිනා දෙන ලද අයිතිවාසිකම් ප්‍රමාණය අතිමහත්ය. එහෙත් බෙදී වෙන්වී එකිනෙකාට පරිභව කරගන්නා මට්ටමේ සිටි මෙම පක්ෂ තුන සන්ධානයක් ලෙස හෝ එක්ව කටයුතු කිරීමට සූදානම්වීම වමේ ප්‍රගතිශීලී ජනතාවගේ මෙන්ම කම්කරු පංතියේද අතිශය ප්‍රීති ප්‍රමෝදයට හේතුවූ කරුණක් විය. පෙර සඳහන් කළ මහා ජන සයුර මැද වේදිකාවේ සමසමාජ නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, කොමියුනිස්ට් පක්ෂයේ නායක දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ මහජන එක්සත් පෙරමුණු නායක පිලිප් ගුණවර්ධන යන මහත්වරු එකඟවිය හැකි අවම කරුණු සංඛ්‍යාවක් යටතේ ප්‍රතිපත්ති මාලාවක් මත සමගියෙන් කටයුතු කරන බවත් එමගින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය තුළින් ඉදිරි මැතිවරණයේදී මෙරට බලය අල්ලාගෙන සමාජවාදී සමාජයක් ගොඩනගන බවටත් ප්‍රතිඥා දුන්හ.


ඇත්තෙන්ම එය අපහසු දෙයක්ද නොවූවේය. 1960 මාර්තු මැතිවරණයේදී වමේ සියලු පක්ෂ එකිනෙකට විරුද්ධව තරග කර වුවත් ආසන විසිතුනක් දිනාගෙන තිබුණි. ඒ පාර්ලිමේන්තුවේ මුළු ආසන ගණන වූ ආසන 145 ට මුළු මන්ත්‍රීන් 151 ට සාපේක්ෂව විශාල බලයක් විය. මේ ගැන කල්පනා කළ යුතු වූවේ 1960 ජූලි මැතිවරණයේදී එ.ජා.ප.ය දිනාගත්තේ ආසන 30 ක්ය යන සත්‍යයද සිහියේ තබා ගනිමිනි.

 

 ඉල්ලීම් 21 නොදී කල් මැරීමට ඉඩක් නැති බවත් එසේම එය ලබාදීමට හැකියාවක් නැති බවත් මුදල් ඇමති ටී. බී. ඉලංගරත්න මහතාට වැටහුණි. ඔහු ගැසූ ගැටය පුදුමාකාර විය. ඉල්ලීම් 21 ලබාගැනීම සඳහා කැඳවන ලද වෘත්තීය සමිති බල මණ්ඩලයේ සභාපතිවරයා වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා රජයට බඳවාගෙන ඔහුට මුදල් ඇමති ධුරය පිරිනැමිය යුතුයැයි ඉලංගරත්න මහතා සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියව එකඟ කරවාගෙන තිබුණි.


ජනතාවෝ ප්‍රීතියෙන් ඉපිල ගියහ. විශේෂයෙන් කම්කරු පන්තිය ලැබූ ප්‍රමෝදය වර්ණනා කළ නොහැක. වාමාංශික සමගිය තුළින් ලද ශක්තිය හේතුකොටගෙන මෙරට ක්‍රියාත්මක වූ සියලු වෘත්තීය සමිති සම්මේලන ඒකරාශිවී එක්සත් බල මණ්ඩලයක් නිර්මාණය කර ගැනීමට ගතවූවේ මාස කීපයකි. එහි සෙවණේ මෙරට සමස්ත වැඩ කරන ජනතාව නියෝජනය වන ආකාරයක් පෙනී ගියේය. එදා එජාපයට හෝ ශ්‍රීලනිපයට හෝ බලවත් වෘත්තීය සමිති බලයක් තිබුණේ නැත. මෙම ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්ඩලය තම ප්‍රමුඛතම අවශ්‍යතා ඇතුළත් ඉල්ලීම් 21 ක් සකස් කර නොපමාව ඒවා ලබාදෙන ලෙසත්, නොදෙන්නේ නම් සටන් ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වන බවටත් රජය වෙත දන්වා යැවීය. වමේ හැටි දන්නා එක්සත් ජාතික පක්ෂය මෙම වමේ සමගිය එතරම් බරපතළ ලෙස ගණන් ගත්තේ නැත. එයින් ඔවුන්ට වන පාඩුවක්ද පෙනුණේ නැත.


කෙසේ වුවත් ශ්‍රීලනිප රජය මෙයින් කම්පාවට පත්විය. ඉල්ලීම් 21 නොදී කල් මැරීමට ඉඩක් නැති බවත් එසේම එය ලබාදීමට හැකියාවක් නැති බවත් මුදල් ඇමති ටී. බී. ඉලංගරත්න මහතාට වැටහුණි. ඔහු ගැසූ ගැටය පුදුමාකාර විය. ඉල්ලීම් 21 ලබාගැනීම සඳහා කැඳවන ලද වෘත්තීය සමිති බල මණ්ඩලයේ සභාපතිවරයා වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා රජයට බඳවාගෙන ඔහුට මුදල් ඇමති ධුරය පිරිනැමිය යුතුයැයි ඉලංගරත්න මහතා සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියව එකඟ කරවාගෙන තිබුණි. රහසිගතව සාකච්ඡා ද ආරම්භ විය. 1964 වසරේ මැයි දින රැලිය ජන සහභාගිත්වය අතින් වාර්තා ගත වූවකි. වාමාංශික එක්සත් පෙරමුණේ ධජය යටතේ පක්ෂ තුනේ සාමාජිකයෝ මහත් උද්දාමයෙන් යුතුව සටන් පාඨ කීවේ නුදුරු අනාගතයේදී රතු රජයක් පිහිටුවන බවටත් ධනපති බලවේග සුන්කර දමන බවටත් සපථ කරමිනි. ඉල්ලීම් 21 නොපමාව ලබාගන්නා බවටද ඔව්හු කෑ මොර දුන්හ. වමේ අදහස් වලින් කුල්මත්ව සිටි ශිෂ්‍ය ක්‍රියාකාරීන්වූ අපි එම ළමා වයසේදීම මෙම රැලියට සහභාගි වීමු. ඉල්ලීම් 21 සටනේ නායක ආචාර්ය ඇන්. ඇම්. ගේ කතාව අසද්දී යෞවන අපේ හදවත් කඩා වැටෙන්නාක් මෙන් වූ බව මට දැනුණි. ඔහු කීවේ ආරාධනාවක් ලැබුණොත් ශ්‍රීලනිප රජයට එකතුවීම ගැන තම පක්ෂය සලකා බලන බවකි. මේ කියන්නේ කුමක්දැයි බොහෝ දෙනා අන්ද මන්ද වූහ. දිය යට කැවුම් දෙයියො දනී කීවාක් මෙන් පක්ෂ බදාගෙන සිටි අසරණයෝ කම්පාවට පත්වූහ. මේ වන විටත් යම් යම් එකඟතාවන්ට රජය හා සමසමාජය පැමිණ තිබුණු බව මාධ්‍ය වාර්තා කළේය.


මෙම තත්ත්වය වාමාංශික සමගිය දෙදරා යාමට හේතු විය. තනිවම රජයට සම්බන්ධවී ඇමති ධුර භාරගැනීම ඇන්. ඇම්. ගේ අදහස බව රටටම පෙනී ගියේය. පිලිප් රජයට එක්වීම ප්‍රතික්ෂේප කළේ 1956 දී රජයට සම්බන්ධ වී ලද කටුක අත්දැකීම් මතක තිබුණු නිසා විය හැකිය. ඔහු කීවේ සී. පී. ද සිල්වා සහ මෛත්‍රීපාල සේනානායක යන ඇමතිවරුන් රජයෙන් ඉවත් කරන තුරු තමා රජයට එකතු නොවන බවය. 1956 රජයේදී තමා ඉවත් කිරීමට නායකත්වය දුන්නේ මෙම දෙදෙනා බව එකල ප්‍රකට පුවතක් විය. සමසමාජය තුළ මත තුනක් පැවතියේය. මධ්‍යම කාරක සභාව කණ්ඩායම් තුනකට බෙදී පක්ෂ මහ සමුළුවට යෝජනා තුනක් ඉදිරිපත් කරනු දක්නට ලැබුණි. ඇන්. ඇම්. අනිල්, විවියන් ඇතුළු සාමාජිකයෝ සමසමාජය පමණක් රජයට එක්විය යුතුයැයි යෝජනා කළහ. කොල්වින්, ලෙස්ලි, බර්නාඞ් ඇතුළු නායකයෝ රජය සමග එක්වන්නේ නම් වාමාංශික එක්සත් පෙරමුණ වශයෙන් සම්බන්ධ විය යුතුයැයි අදහස් කළහ. එවකට බුලත්සිංහල මන්ත්‍රී එඞ්මන්ඞ් සමරක්කොඩි, මොරටුව මන්ත්‍රී මෙරිල් ප්‍රනාන්දු, වෘත්තීය සමිති නායක බාලාතම්පෝ, වී. කරාලසිංහම් ආදී බලගතු නායකයෝ කුමන පදනමක් මත හෝ රජයට එක්වීම නොකළ යුතුයැයි යෝජනා කළහ. ඇන්. ඇම්. ගේ තනිව එක්විය යුතු බව කියන යෝජනාව සම්මත විය. නොපමාව සාකච්ඡා ඉදිරියට ගිය අතර 1964 ජුනි 11 වැනිදා හවුල් ආණ්ඩුවේ මුදල් ඇමති වශයෙන් ඇන්. ඇම්. දිවුරුම් දුන්නේය. වාමාංශික එක්සත් පෙරමුණේ ඉතිරි පක්ෂය වූ ලංකා කොමියුනිස්ට් පක්ෂය මුහුණ දුන්නේ මහත් අසීරුවකටය. හැත්තෑ පස් වසරක් ගෙවෙන මෙම මොහොතේ එම පක්ෂය ස්වයං විවේචනයක් මගින් නිවැරදි කර ගත යුතු මෙම ඓතිහාසික වැරදි භාවිතය නොවන්නට අද මුහුණ පා සිටින අසීරුව ඇති නොවන බව මට සහතිකය.


ශ්‍රීලනිප රජයට සම්බන්ධ වන ලෙස කොමියුනිස්ට් පක්ෂයට ආරාධනාවක් නොතිබුණි. එහෙත් කොමියුනිස්ට් නායකත්වය රට පුරා විසිරී ඇති තම පක්ෂ ශාඛාවලට නිවේදනයක් යවමින් රජයට එකතුවීමට තමන්ට අනුමැතිය දෙන ලෙස ඉල්ලා සිටින ලදී. මෙහිදී මගේ පෞද්ගලික අත්දැකීමක් සිහියට නැගේ. මා සම්බන්ධව සිටි පක්ෂ ශාඛාව වූයේ ගම්පහ පූර්ණ සාමාජිකත්වය අනුමතවූ අය සිටියේ දහතුන් දෙනෙකි. මමද ඒ එක් සාමාජිකයෙකු වූවෙමි. ඒ ලාබාල වයසේදී පූර්ණ සාමාජිකත්වය ලැබීම අතිශය විරල සිදුවීමක් වුවද තරුණ සමිති හා ශිෂ්‍ය අංශයේ ක්‍රියාකාරී වීමේදී සෑහීමට පත්විය හැකි ආකාරයෙන් “වැඩ හා හැසිරීම්” හොඳ මට්ටමක පැවති නිසා මට ඒ වරප්‍රසාදය ලැබී තිබුණි. ශාඛා රැස්වීමට මූලස්ථානය වෙනුවෙන් ලේකම් පීටර් කෙනමන් සහ ජාතික සංවිධායක වී. ඒ. සමරවික්‍රම යන මහත්වරු පැමිණ සිටියහ. මේ දෙදෙනා දේශන පවත්වා රජයට එකතුවීමේ වටිනාකම පෙන්වා දුන්හ. ගම්පහ පක්ෂ ශාඛාවේ හයදෙනෙක් එළිපිටම රජයට එකතුවීමට පක්ෂව සිටියහ. මාද ඇතුළු හත්දෙනෙක් එයට අකැමති වීමු. අපි සංවිධානය වී ප්‍රශ්න ඇසීමට සූදානමින් සිටියෙමු. කෙනමන් මහතාගේ දේශනයෙන් පසු අයෙකු ඇසුවේ කොමියුනිස්ට් පක්ෂයට රජයට සම්බන්ධවීමට ආරාධනාවක් තිබේද කියාය. නැති බව කෙනමන් කීවේය. වෙනත් අයෙකු කියා දුන් ප්‍රශ්නයක් මම විමසීමි. රට පුරා ජන බලයක් ඇති ශ්‍රීලනිප රජයට කුඩා පක්ෂයක් වූ අප එකතුවීමෙන් අපට ලැබෙන ප්‍රතිලාභයක් නැත. අප ශ්‍රීලනිප තුළ ගිලීයන්නේ නැද්ද? මම ඇසුවෙමි. පීටර් කෙනමන් වැනි ප්‍රතාපවත් පෞරුෂයක් හමුවේ මා වැනි පුංචි කොල්ලෙකු මෙවැනි ප්‍රශ්නයක් විමසීම එම යුගයේ අරුමයකි. එහෙත් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය එයයි. මෙවැනි බැරෑරුම් ප්‍රශ්න ගැන අවබෝධ කර ගැනීමට මේ සහෝදරයා තවම පුංචි වැඩියි. හොඳට කියවලා මාක්ස් ලෙනින් වාදය සහ ලෝක සමාජවාදී ව්‍යාපාරයේ ඉතිහාසය අවබෝධ කරගන්න. බල්ගේරියාව කොමියුනිස්ට් රටක්. එහි බලය ඇල්ලුවේ පුංචි කොමියුනිස්ට් පක්ෂය, බලවත් ගොවි කම්කරු පක්ෂයට එකතුවෙලා හවුල් ආණ්ඩුවකට ගිය නිසා අදටත් ඒ රටේ ජනාධිපති අපේ ව්ලැඩිමීර් ඩිමිට්‍රොව් සහෝදරයායි. සමාජවාදය කරා යන ගමනේදී නොයෙකුත් උපාය උපක්‍රම භාවිත කළ යුතු බව ලෙනින් සහෝදරයා කියා තිබෙනවා. අපි මේ කරන්නේ එවැනි උපක්‍රමයක් භාවිත කිරීමයි. මේ වචනවලින්ම නොවූවත් පීටර් කීවේ මෙම අර්ථය දෙන විස්තරයක් බව මට මතකය. යෝජනාව ගැන ඡන්දය විමසීම එළඹුණි. මුලසුනේ සිටි උඩකැන්දවල සරණංකර හිමියන් කණ්ණාඩිය ගලවා මේසය මත තබා මා දෙස රවා බැලුවේ මා දැවී පිලිස්සී යන ආකාරයෙනි. එතුමෝ මා පසෙකට කැඳවූහ. යම් උපදෙසක් දුන්හ. හවුල් ආණ්ඩුවකට එකතුවීමට මම පක්ෂ වූවෙමි. 7:6 වශයෙන් යෝජනාව සම්මත විය. ශාඛා මතය කුමක් වුවත් නායකත්වයට අවශ්‍ය දේ සිදුවීම සාමාන්‍ය ස්වභාවයකි. එය සිදුවිය. බල්ගේරියාවේ ඩිමිට්‍රොව් කළ දේ කරන්නට අපේ රටේ වික්‍රමසිංහ, පීටර් කෙනමන්, ඇම්. ජී. මැන්දිස් යන අයට හැකිවූවේ නැත. 1964 සිට අඩසියවසකටත් වැඩි කාලයක් ගතව ඇත. හරියටම කීවොත් වසර 54 කි. හවුලකට යාම නිසා කොමියුනිස්ට් පක්ෂයට අත්වූ ප්‍රතිලාභයක් නැත. දේශපාලන ක්‍රියාකාරකම්වලදී කොමියුනිස්ට්වාදීහු අතිදක්ෂයෝය. සභාග දේශපාලනය හරහා ඔවුහු ශ්‍රීලනිප ඇමතිවරු හඳුනාගත්හ. ඔවුහු එම ඇමතිවරුන්ගේ ප්‍රබල ක්‍රියාකාරීහු වූහ. ශ්‍රීලනිපයේ ගිලී ගියහ. 1976 දී සභාග දේශපාලනයෙන් ඉවත්ව කොමියුනිස්ට් පක්ෂය රජයෙන් පිටමංවෙද්දී මෙම සාමාජිකයෝ ආපසු නොපැමිණියහ. ඔවුහු ඒ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය නායකයන් බවට පත්ව සිටියහ. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ මහ පුටු හොබවන සමහරු ද මෙවැන්නෝය.
කාල් මාක්ස් ප්‍රකාශ කර ඇති පරිදි කොමියුනිස්ට්වාදීහු නිසර්ගයෙන්ම ජාත්‍යන්තරවාදීහුය. එසේද වුවත් අපේ පක්ෂ එම මතයට අනුගතවූවා වැඩි යයි මම සිතමි. මොස්කව්වලට හෙම්බිරිස්සාව හැදුනොත් ලංකාවේ කොමියුනිස්ට්වාදීන්ට උණසන්නිපාතය වැළඳෙනවා සිකුරු යැයි එකල කතාවක් තිබුණි.

ජනතා විමුක්ති පෙරමුණේ 1971 අරගලය මැඩපැවැත්වූ ආකාරය ගැන එකල වාමාංශික පක්ෂවල සාමාජිකයන් තුළ ඇතිවූවේ කනස්සල්ලකි. එයට එක් හේතුවක්වූවේ ජවිපෙට එක්වූ වැඩි පිරිසක් සාම්ප්‍රදායික වාමාංශික පක්ෂවල අනුගාමිකයන්ගේ දූ දරුවන් වීමය. එම අරගලයේදී මියගිය බහුතරයක් එවැන්නෝ වූහ. මෙම නිසා පක්ෂයට බිම්මට්ටමින් සිදු කෙරුණු බලපෑම සුවිශාලය.


1967 වකවානුවේදී පමණ චෙකොස්ලෝවෙකියානු රාජ්‍යයේ නායකයා වශයෙන් ඇලෙක්සැන්ඩර් ඩුබ්ෂෙක් බලයට පත්විය. පවතින තද කොමියුනිස්ට් පාලනය වෙනුවට යම් යම් ප්‍රතිසංස්කරණ ඇති විය යුතු යැයි ඔහු අදහස් කළේය. ඒ සෝවියට් දේශය ඉතා බලවත්ව සිටි යුගයයි. බලගතු සෝවියට් හමුදාව චෙකොස්ලෝවැකියාව ආක්‍රමණය කර ඇලෙක්සැන්ඩර් ඩුබ්ෂෙක් බලයෙන් පහකර ගස්ටාව් හුසාක් නමැත්තෙකු බලයේ පිහිටවූවේය. මෙය ලෝකය පුරා මහත් ආන්දෝලනයකට හේතුවූවේය. ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර පමණක් නොව යුගෝස්ලෝවියාවේ නායක ටිටෝ පවා එය විවේචනය කළේය. ලංකාවේ දේශපාලනයේදී එක් සමගි සන්ධානයක් ලෙස කටයුතු කළා වුවද සමසමාජ පක්ෂය ගත්තේ ඇලෙක්සැන්ඩර් ඩුබ්ෂෙක් නිවැරදිය කියන මතයයි. කොමියුනිස්ට් පක්ෂය සුපුරුදු පරිදි සෝවියට් දේශයේ පිළිවෙත අනුමත කළේය. චෙකොස්ලෝවෙකියාවේ සිදුවන්නේ කුමක්දැයි සාමාජිකයන් දැනුම්වත් කිරීමේ රැස්වීමක් කොමියුනිස්ට්වාදීහු කොළඹ නව නගර ශාලාවේ (මගේ මතකය නිවැරදි නම්) රැස්වීමක් පැවැත් වූහ. කුමන හෝ අවශ්‍යතාවකට කොළඹ පැමිණ සිටි මමද එය බැලීමට ගියෙමි. ගතවූවේ ටික වේලාවකි. හතර වටින් පැමිණි සමසමාජවාදීහු පොලු මුගුරු රැගෙනවිත් රැස්වීම ආක්‍රමණය කළහ. පහර දුන්හ. ඔළු පැලූහ. පණ බේරාගැනීම සඳහා බොහෝ දෙනා පැන දිවූහ. මමද එසේ කළෙමි. රතු සහෝදරවරුන්ගෙන් ජීවිතය බේරා ගැනීම සඳහා පැන දිවූ මම විහාර මහා දේවි උයනේ විශාල ගසකට මුවා වී සැඟවුනෙමි. අප සටන් කරන පන්ති සටනේ සහෝදරත්වය මෙය දැයි බියෙන් යුතුව කල්පනා කළෙමි.
ජනතා විමුක්ති පෙරමුණේ 1971 අරගලය මැඩපැවැත්වූ ආකාරය ගැන එකල වාමාංශික පක්ෂවල සාමාජිකයන් තුළ ඇතිවූවේ කනස්සල්ලකි. එයට එක් හේතුවක්වූවේ ජවිපෙට එක්වූ වැඩි පිරිසක් සාම්ප්‍රදායික වාමාංශික පක්ෂවල අනුගාමිකයන්ගේ දූ දරුවන් වීමය. එම අරගලයේදී මියගිය බහුතරයක් එවැන්නෝ වූහ. මෙම නිසා පක්ෂයට බිම්මට්ටමින් සිදු කෙරුණු බලපෑම සුවිශාලය. කොමියුනිස්ට් පක්ෂයද රජයේ පාර්ශ්වකරුවකු වූ නිසා එහි කිසියම් වගකීමක් එම පක්ෂය පිටද පැටවුණි. මෙම අතිමහත් තෙරපුම හමුවේ කොමියුනිස්ට් පක්ෂයේ එවකට සිටි මන්ත්‍රීවරු හයදෙනා ද දෙපිලකට බෙදුනෝය. නිවාස ඇමති පීටර් කෙනමන්, (මැද කොළඹ මන්ත්‍රී) අධ්‍යාපන උප ඇමති බී. වයි. තුඩාව (මාතර මන්ත්‍රී) සහ රත්ගම මන්ත්‍රී ඇම්. ජී. මැන්දිස් රජය ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටියහ. ඉතිරි මන්ත්‍රීන් තිදෙනා වූ නායක දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ, කලවාන මන්ත්‍රී සරත් මුත්තෙට්ටුවගම, කඹුරුපිටිය මන්ත්‍රී ඊලියන් නානායක්කාර යන මහත්වරු රජය විවේචනය කළහ. මෙම අර්බුදය කොතරම් දුර දිග ගියාද කියතොත් පක්ෂය දෙකඩවන ලකුණු පහළ විය. මේ වකවානුවේ සිදුවූ තවත් කරුණක් විය. 1972 ජනරජ ව්‍යවස්ථාව ක්‍රියාත්මක වී අපේ රටේ නම ශ්‍රී ලංකා යනුවෙන් භාවිතයට පැමිණියේය. එයට අනුගතව ලංකා යනුවෙන් නම් කර තිබුණු බොහෝ ආයතන ශ්‍රී ලංකා යනුවෙන් වෙනස් වෙමින් තිබුණි. එය ලංකා කොමියුනිස්ට් පක්ෂයට ද නිසැකවම බලපෑවේය. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය යනුවෙන් හැඳින්වුවහොත් එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතයට කටයුතු කෙරෙන බවක් ප්‍රදර්ශනය වෙන බැවින් එසේ නොකළ යුතු යැයි සරත් මුත්තෙට්ටුවගම වැන්නෝ දැඩි ලෙස කියා සිටියහ. එනිසා එයට අමතර වේ අකුරක් එකතු කිරීමට නායකයෝ කටයුතු කළහ. වර්තමානයේදීත් එම නාමය භාවිත වන්නේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය යනුවෙනි.


විශාල පිට්ටනි පුරවමින් මැයි දින රැලි පැවැත්වූ කොමියුනිස්ට් පක්ෂය අද එම රැලි පවත්වන්නේ කුඩා ශාලාවල් තුළය. එහිදී අපට දක්නට ලැබෙන ඛේදජනක සිදුවීම වන්නේ කෙස් සුදු වූ හෝ තට්ටය පෑදුණු අය විනා තරුණ පුළුටක් මෙම සභාවල දක්නට නොලැබෙන බවය. සාම්ප්‍රදායික වමේ පක්ෂ දෙවැනි පෙළක් තැනුවේ නැත. ඉතාම නුදුරේදී මෙම පක්ෂ එහි අනිටු ප්‍රතිඵලවලට මුහුණදීමට සිදුවෙනවා නොඅනුමානය.


එක් දහස් නවසිය හැට හයේ ජනවාරි අටවැනි දින එජාප රජය දෙමළ භාෂා විධිවිධාන රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ තුන් හවුල වශයෙන් එකල විපක්ෂය දැඩි විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කළේය. ලංකා කොමියුනිස්ට් පක්ෂයද එයට එක හිතින් සහයෝගය දුන් බව අපට මතකය. එයද ඓතිහාසික වරදක් වූ බව කියවේ. මාක්ස්වාදය හා නිර්ධන පන්ති අරගලය පිළිගන්නා පක්ෂයක් වශයෙන් එම පියවර නොසුදුසු බව ද්‍රවිඩ ජනතාව වටහා ගැනීම පුදුමයක් නොවේ. සිංහල සහ දෙමළ භාෂාවන්ට සමතැන දිය යුතුය යන ප්‍රතිපත්තිය පිළිගෙන සිටි ලංකා කොමියුනිස්ට් පක්ෂය 1956 මහා මැතිවරණයේදී උතුරේ පේදුරුතුඩුව ආසනය දිනාගත් බව අමතක නොකළ යුතුය. එම පක්ෂයේ සිටි බුද්ධිමතෙකු වූ පී. කන්දයියා එදා මෙදා තුර උතුරේ පාර්ලිමේන්තු අසුනක් දිනාගත් එකම මාක්ස්වාදියාය.


වසර හැත්තෑ පහක් යනු අති දීර්ඝ කාල පරිච්ඡේදයකි. එපමණ කලක් පක්ෂයක් පවත්වාගෙන යාම වුවද වීර ක්‍රියාවක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. වැටීම් නැගිටීම් පසුබෑම් කාටත් පොදුය. ඒවා දරාගෙන ඉදිරියට යාම මාක්ස්වාදී දර්ශනයෙන් පන්නරය ලැබූ පක්ෂයකට අපහසු වන්නේ නැත. සාම්ප්‍රදායිකව ලියන ආකාරයට කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාසය නොලියා එහි මතභේදාත්මක ක්‍රියාකාරකම් කීපයක් අවධානයට ගනු ලැබුවේ විවේචනය සහ ස්වයං විවේචනය මගින් නිවැරදි කොටගෙන පෙරමෙන් ශක්තිමත් පදනමක් මත ඉදිරියට යාමට ශක්තිය ධෛර්ය ලැබීම සඳහාය.

 

 

 


සෝමසිරි වික්‍රමසිංහ