විද්‍යාලංකාර භික්‍ෂු සටන් ව්‍යාපාර

පනස්හයේ සමාජ පෙරළියට අරුණාලෝකය වැටුණේ 1946 දී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ප්‍රධාන වූ සංඝරත්නය ඉටුකළ දේශපාලන, සමාජ, අධ්‍යාපන හා සංස්කෘතික මෙහෙවර නිසාය. එතෙක් රටේ අනාගතය ගැන තීන්දු තීරණ ගත්තේ අධිරාජ්‍යවාදින්ගේ ගැත්තන් මෙන්ම පාරම්පරික ධනවාදීන් විසිනි. ‘හාමුදුරුවෝ” යැයි ඇමතුම් ලැබීමට තරම් ඔවුහු සමාජයේ වැජඹුණහ.


‘වලව්වේ හාමුදුරුවෝ’ ‘නඩුකාර හාමුදුරුවෝ’ ‘මන්ත්‍රී හාමුදුරුවන්’ යැයි ගිහියන් ඇමැතූ රට වැසියන් පන්සලටත් වඩා ගෞරවයක් වලව්වට දැක්වූ යුගයකි ඒ.


‘අද මහජනයා කන්නට අඳින්නට, බෙහෙතක් ගන්නට අධ්‍යාපනයක් ලබන්නට නොහැකිව දුකසේ දිවිගෙවන අතර ඒ නිසාම අපරාධකර ජීවත් වීමට පෙලඹෙති. මිනිසුන්ගෙන් කොටසක් ධනය බලය නිසා උසස් වෙන්න හදනවා මිස ආගම ධර්මය පිළි නොපදිති. 


‘මේ ජාතික විපතින් ජනතාව මුදා ගැනීමට රටේ භික්ෂූන් ඉදිරිපත් නොවන්නේ ඇයි? පරලොව දියුණුවට පමණක් නොව මෙලොව දියුණුවටත් ක්‍රියාකිරීම ධර්ම විනයටත් මහණකමටත් සම්පූර්ණයෙන් එකඟයි”
1946 මාර්තු 23 වැනිදා විද්‍යාලංකාර ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එසේ දැක්විණ.


භික්‍ෂු නායකත්වය අවදි කිරීමට විද්‍යාලංකාරය පියවර ගනිද්දී 1946 ජනවාරි මස 13 වැනිදා අමාත්‍ය ඩී. එස්. සේනානායක මාතලේ ධර්මරාජ පිරිවනේදී මෙසේ පැවසීය.


ඇතැම් භික්‍ෂූන් වහන්සේ විනය සීමාව උල්ලංඝනය කරනවා. කොතරම් උසස් ගිහියකු ළඟටවත් භික්‍ෂූන් කිසිදු කරුණකදීවත් නොවැඩිය යුතුයි”


මෙම කතාව විකෘති කොට එක්තරා ධනපති පුවත්පතක පළවූයේ ‘ඇමැතිවරයා භික්‍ෂූන්ට අවවාද කරයි’ යන සිරස්තලයෙනි. 1946 දී ඩී. ඇස්. ට ඊට පිළිතුරු ලැබිණ. ඒ ජනවාරි 26 වැනිදා කොටහේනේ කුමාර විද්‍යාලයේ පැවති රැස්වීමකදීය.


“නායකයන් භික්‍ෂූන් ගැන ගැඹුරු ලෙස සිතා නොබලා මෙවැනි ප්‍රකාශ කිරීම වැරදිය” විද්‍යාලංකාර පිරිවෙනේ මහාචාර්ය වල්පොල රාහුල හිමියෝ ඩී. ඇස්. ට දුරකථනයෙන්ද දොස් පැවරීය. පත්තරවල ඊළඟ ඉලක්කය වූයේ වල්පොළ හාමුදුරුවන්ය. යක්කඩුවේ ශ්‍රී පුඥාරාම හිමියෝ ඊට උණුසුම් ලෙස ප්‍රති උත්තර දුන්හ. රාජ්‍ය බලයෙන් වැජඹුණු ලේක්හවුස් ආයතනය හා විද්‍යාලංකාර පිරිවෙන අතර උණුසුම් වාද ඇවිළිණි. 


“දුශ්ශිලයෝ’ චීවර ධාරියෝ හා ‘කහකඩයෝ’ වැනි අපහාස නම්ද සිසුන්ට එල්ලවිණ ජනතාව විද්‍යාලංකාරය වටා රොද බැන්දහ. 1946 පෙබරවාරි 23 වැනිදා සිවුවන විද්‍යලංකාර පරිවේනාධි ධුරයට පත් කිරිවත්තුඩුවේ ශ්‍රී පුඥසාර නාහිමියන්ට මහනුවර මල්වතු විහාරීය උපෝෂථාගාරයේදී සන්නස්පත්‍රය පිරිනැමීමේ උත්සවයේදී උන්වහන්සේද මේ ගැන කතා කළහ.


‘මේ රටේ බොහෝදෙනා දේශපාලනය කරන්නේ කවුන්සලට යාම සඳහා පමණයි. විද්‍යාලංකාර භික්‍ෂූන් කරන්නේ එවැනි පටු දේශපාලනයක් නොවෙයි. මන්ත්‍රණ සභාවට නොගියාට රටේ දියුණුවටත් ආගමේ දියුණුවටත් කළහැකි වැඩ අපි දන්නවා.”


සටන එන්න එන්නම උග්‍ර විය. 1946 පෙබරවාරි 13 දින විද්‍යාලංකාර මගින් ලිඛිතව නිකුත් කළ ප්‍රකාශය මගින් කියැවුණේ භික්‍ෂූ ජීවිතයට කැළැල්නොවන පරිදි රටවැසියාගේ යහපතට හේතුවන යම් වැඩපිළිවෙළක් වේ නම් එහි තම ‘දේශපාලනය’ හෝ කුමක් හෝ වේවා එහි යෙදීම භික්‍ෂූවට කැප බවය.


මේ නිසා විද්‍යාලංකාර පිරිවන කෙරෙහි වෛර බැඳගත් ධනවාදීහු භික්‍ෂූන් මෙල්ලකර ගැනීම්වස් 1946 මාර්තු 31 වැනිදා ‘ශාසන ශෝධන’ ව්‍යාපාරය ඇරඹූහ.


‘දේශපාලන භික්‍ෂූන් සිවුරෙන් ඉවත්කර දඩයකට හෝ හිරගෙයි ලෑමට මහානායක හිමිවරුන්ට බලය දීමට ආඥාපනතක් ආණ්ඩුව මගින් සම්මත කිරීම එහි පරමාර්තය විය. එනපොට හොඳ නැති බව දැනගත් භික්‍ෂූන් වහන්සේලාගේ එකමුතුවෙන් 1946 මැයි අගදී ස්ථිර දේශපාලන ප්‍රතිපත්තියක භික්‍ෂුන්වහන්සේ පිහිටවීමේ අදිටනින් ‘ලංකා එක්සත් භික්‍ෂු මණ්ඩලය’ පිහිටුවන ලදී. මෙහි ප්‍රචාරක මාධ්‍යය වූයේ කාලය පුවත්පතයි. එහි සංස්කාරකවරයා වූයේ ත්‍රිපිටකාචාරය කොටහේනේ ප්‍රඤාකීර්ති හිමියෝය.


1946 ජුනි 29 වැනිදා කොළඹ නගර සභා ශාලාවේදී ඓතිහාසික මහා සංඝ සභාව රැස්වූහ.


මෙහි සිටින සැමගේම එකම අරමුණ මෙරටට නිදහස ලබාගැනීමයි. මෙරට සිටින අන්තිම ඉංග්‍රීසි නිලධාරියාත් මෙරටින් පිටකරන තුරුම අපේ භික්‍ෂු ව්‍යාපාරය නවත්වන්නෙ නෑ. කාලය සතිපතා පත්තරය උණුකැවුම්මෙන් විකිණී ගියේය” අපවන් වී වදාළ විද්‍යලංකාර නාහිමිවරුන්ට පින්සිඳුවන්නට නිවහල් අදහස් ඇති සෘජුගෝල පිරිසක් ලැබීමට අප පින්කර තිබෙනවා” පාඨකයෝ කාලයට ලිවූහ.


‘ලංකාවේ දේශපලනය යැයි අප දැන සිටියේ ඩොනමෝර් හෝ සෝල්බරි ව්‍යවස්ථාවලට වැඩ කිරීම පමණයි. බුදු දහම දේශපාලන සැලැස්මක් ලෙස පිළිගෙන වැඩකරනවා දකින්නට ලැබීමත් පිනක්” විද්වත්හු කීහ.
පිරිහී ඇති අර්ථක්‍රමය ගැන කාලය පුවත්පත ජනතාවගේ නෙත් සිත් විවර කළේය. මේ අනුව සෝල්බරි ව්‍යවස්ථාවක් එමගින් ලැබූ මහ ඇමැති හා ආණ්ඩුකාරකම දැඩිලෙස විවේචනය විය.


මෙම දර්ශනය රටට දීම සඳහා ආගමික සංවිධානවලට අමතරව ළමා තරුණ කාන්තා ගොවි, සාහිත්‍ය අන්‍යෝන්‍යාධාර සමිති අරඹා රටපුරා කියවීම් ශාලා ඇරඹිණ. නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීම සඳහා එක්සත් භික්‍ෂු මණ්ඩලය දීප ව්‍යාප්තව රැස්වීම් පැවැත් වූ අතර රාජ්‍ය මන්ත්‍රණ සභාවට දැවැන්ත පෙත්සමක් භාර දුන්හ.


‘නිදහස් අධ්‍යාපන පනක සම්මත වීම එහෙම්පිටින්ම භික්‍ෂූන් වහන්සේ ලත් ජයග්‍රහණයක්.’

 


හින්දු මන්ත්‍රීවරයකු වූ පී. නල්ලයියා කීය. මහාචාර්ය වල්පොල රාහුල හිමියන් අනුව භික්‍ෂු දේශපාලන ව්‍යාපාරයේ නොපෙනෙන බලවේගය යක්කඩුවේ හාමුදුරුවෝය උන්වහන්සේගේ සෙවණැල්ල වූයේ නාත්තණ්ඩියේ පක්‍ඳ්ඤාකර හාමුදුරුවෝය. විද්‍යාලංකාර භික්‍ෂූන්ගේ මෙම ක්‍රියාකලාපය පිළිබඳ තොරතුරු ආසියානු හා යුරෝපීය සඟරාවලද පළවිය. 


‘ලංකාවේ භික්‍ෂූන් යුරෝපයේ ක්‍රිස්තියානි පූජකවරුන්ටත් ආදර්ශයක්’ හංගේරියාවේ ජෙවොන්ඩෝ සඟරාවේ පළවිය. එකල විද්‍යාලංකාර සභාවේ ප්‍රධානි දොස්තර නිකුලස් ආටිගල වහා ආචාර්ය මණ්ඩලය හා විධායක සභාව කැඳවීය. යක්කඩුවේ හාමුදුරුවෝද ඇමැති ඩී. ඇස්. සේනානායකයෝද එහි වූහ.


‘ඩී. ඇස්. ඒ වන විට සිටියේ භික්‍ෂූන් පිළිබඳ වැරදි මතවාදයක බව ‘අපේ ගමන් මග’ කෘතිය කියයි. මේ ව්‍යාපාරෙ පටන් අරන් තියෙන්නෙ අපේ වරිගෙ නැති කරන්නයි. මං කොහොමහරි ඒක රැකගන්නවා. මට දුක මේකෙන් බුද්ධ ශාසනෙන් විද්‍යාලංකාර පිරිවෙනත් නැති වෙන එකටයි’ ඩී. ඇස්. කීය.


යක්කඩුවේ හාමුදුරුවෝ අසුනෙන් නැගිට ශාලාවෙන් පිටතට ගොස් බුලත් කෙළ ගසා අවුත් සන්සුන්ව අසුන්ගත්හ. ඇමැතිතුමා තමන්ගෙ වරිග රැකගන්න මහානායක හාමුදුරුවරු බුද්ධශාසනේ රැකගනිවි. විද්‍යාලංකාරෙ අපි රැකගන්නම් එතකොට ව්‍යාපාරෙන් කාටවත් ප්‍රශ්නයක් නෑනෙ’


යක්කඩුවේ හාමුදුරුවන් සමග කොටහේනේ ප්‍රක්‍ඳ්ක්‍ඳකීර්ති, කොස්ගොඩ ධම්මවංශ, කුඩිරිප්පුවේ පක්‍ඳ්ඤා සේඛර, කලල් ඇල්ලේ ආනන්ද සාගර, නාත්තණ්ඩියේ පක්‍ඳ්ඤාතර යන හිමිවරුද වූහ.


දේශපාලන භික්‍ෂූන්ගේ දැඩි තීරණ නිසා කෝපයට පත්වුණු ඇතැම් දේශපාලන බලවේග පිරිවෙනට ලැබෙන ආධාර, සම්මාදන් මෙන්ම දානය පවා වළකාලීමටත් විශේෂයෙන් කාලය පුවත්පත මුද්‍රණය කළ විද්‍යාලංකාර මුද්‍රණාලය, දුරකථනය හා මෝටර් රිය අහිමි කිරීමට උත්සහ කළහ.


විද්‍යාලංකාර තිබූ සම්බන්ධකම් ඇනහිටීමත් සමග යක්කඩුවේ හාමුදුරුවන්ගේ ළඟට ගිහිසඟයා වූද පිරිවෙන් බෞද්ධ ඉංග්‍රීසි විද්‍යාලයේ අධිපති වූ ඩී. බී. ධනපාල ඇතුළු 33 දෙනෙක් ඉල්ලා අස්වූහ. මේ ගැන විද්‍යාලංකාර පිරිවනේ විධායක සභාවට එරෙහිව යෝජනා සම්මත කර ගැනීමට ආදී ශිෂ්‍ය මව්පිය රැස්වීමක් 1946 නොවැම්බර 23 වැනිදා ශ්‍රී ධර්මාලෝක විදුහලේදී පැවති අතර එය නිමාවූයේ මහසඟරුවන ඇතුළුව කිහිප දෙනෙකුගේ ලේ වැගිරවීමෙනි.

 

 


මතු සම්බන්ධයි.

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූපය : අන්තර්ජාලයෙනි