ලකුණු කිහිපයක් අඩුවීමෙන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට නොහැකි වන තරුණ තරුණියන්ට වෘත්තීය අධ්‍යාපනයක් සලසා ඩිප්ලෝමා සහතිකයක් පිරිනැමෙන කනිෂ්ඨ විශ්වවිද්‍යාල හයක් අභිනවයෙන් පිහිටුවීමට ඊරියගොල්ල මහතා ප්‍රතිපාදන යෙදව්වේය. දෙහිවල, ගාල්ල, කෑගල්ල, කුලියාපිටිය, පොල්ගොල්ල හා පලාලි යන නගරවල මෙම නව කනිෂ්ඨ විශ්වවිද්‍යාල හය පිහිටුවා තිබිණ. තරුණ තරුණියන්ගේ වෘත්තීය අවශ්‍යතා පිරිමැසීමට සමත් වූ මෙම ආයතන පසුව බලයට පත් වූ ආණ්ඩුව විසින් වසා දමන ලද්දේ මන්දැයි නොදනිමු. 

ජාතික ආණ්ඩුවේ විශේෂ අවධානය යොමු වූ එක් කරුණක් වූයේ රට ආහාරයෙන් ස්වයංපෝෂණය කිරීමේ පරමාර්ථයෙන් ක්‍රියාත්මක වූ වගා ව්‍යාපාරයයි. මේ සඳහා ළමා පරපුර තුළ අභිමානවත් හැඟීම් ඇති කරනු පිණිස ඊරියගොල්ල මහතා නව ප්‍රතිපත්ති සම්පාදනය කළේය. පාසල් සිසුන් කෙතට බස්වා ගොයම් පැළ සිටුවීම ගොයමෙහි වල් පැළ නෙළීම ආදී කටයුතුවලින් සමන්විත වැඩ හුරු වීමේ ව්‍යාපාරය එයින් එකකි. වැඩ හුරුවීම මගින් ශිෂ්‍ය ප්‍රජාව ආහාර වගාව කෙරෙහි පෙලඹෙතැයි විශ්වාස කරන ලදි. පාසල් වතු අක්කර 10,000 ක් මේ නිසා වගා කැරිණ. මඤ්ඤොක්කා, අල, බතල හා ධාන්‍ය වගාව සඳහා මෙම බිම් යොදා ගන්නා ලදි. මෙම කෘෂිකාර්මික වැඩ සටහන විධිමත් කරනු පිණිස ගුරුවරුන්ට කෘෂි කර්මය පිළිබඳ පුහුණුවක් ලබා දීමට ද කෘෂිකාර්මික ගුරුවරුන් පත් කිරීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය අවකාශ සලසා දී තිබිණ. 


පාසල් වැඩ හුරුව සිසුන් අතර ප්‍රසන්න වැඩ සටහනක් බවට පත් කරනු පිණිසත් ඔවුන්ගේ හදවත් තුළ දේශාභිමානී හැඟීම් ජනිත කිරීම පිණිසත් ගීත යුග්මයක් ලියා ඒවාට සංගීතය මුසුකොට ගායනා කරවා තැටියට නංවා පාසල්වලට යැවිණ. වැඩ හුරුවීමේ දිනවලත් වෙනත් උත්සව අවස්ථාවන්හිත් පාසල් පරිශ්‍රයන්හි මෙම ගීත රැව්පිළිරැව් දෙනු බොහෝ විට අසන්නට ලැබිණ. 


දරුවන් අතර සම අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමේ අදිටනින් යුතුව සමස්ත ලංකාවම අධ්‍යාපන ප්‍රදේශ පහළොවකට බෙදා ඒ එක් ප්‍රදේශය පරිපාලනය කිරීමේ බලය පවරන ලද අධ්‍යාපන අධ්‍යක්ෂවරයකුට බාර දෙන ලද්දේය. අධ්‍යාපන අමාත්‍යංශය කොළඹට කේන්ද්‍ර කැර ගෙන තිබුණු බලය මේ නිසා ප්‍රථම වරට විකේන්ද්‍රණය විය. අමාත්‍යංශයේ සියලු ප්‍රතිපත්ති දිවයින පුරාම එක ලෙසින් ක්‍රියාත්මක කරවීම මෙසේ පරිපාලනය විකේන්ද්‍රණය කිරීමේ මූලික අරමුණය. මෙය එක්තරා ආකාරයක අධ්‍යාපන විප්ලවයකි. ගුරුවරුන් පත් කිරීමේ, මාරු කිරීමේ, උසස් කිරීමේ බලය ද ප්‍රාදේශීය අධ්‍යාන අධ්‍යක්ෂවරුන් සතු විය. මෙය සාධාරණව සිදුවීම අමාත්‍යංශයේ අධීක්ෂණයට භාජනය විය. 


ද්වීතියික භාෂාවක් ලෙස ඉංගිරිසිය උගැන්වීම ද ස්වභාෂා අධ්‍යාපනය සඳහා අත්‍යවශ්‍ය ඉංගිරිසි පොත් සිංහලයට පරිවර්තනය කිරීම ද කාලීන අධ්‍යාපන අවශ්‍යතාවක් විය. විශේෂයෙන්ම සිංහලයට පරිවර්තනය කිරීමේදී සමහර ඉංගිරිසි වචන සඳහා උචිතතම සිංහල වදන් සපයා ගත නොහැකි අවස්ථාවන්හිදී ඉංගිරිසි පදයම සිංහල ඌරුව ගන්වා භාවිත කරන්නැයි ඊරියගොල්ල මහතා උපදෙස් දුන්නේය. 


ලංකාව ථෙරවාද බුදු දහම ආරක්ෂා කැර ගත්තේ මහින්දාගමනය සිදු වූ අවස්ථාවේ සිටමය. නිර්මල බුද්ධ ධර්මය කිලිටි වන්නට වූයේ බුදුන් වහන්සේගේ පරිනිර්වාණයටත් පෙර සිටය. මේ නිසා වර්තමානයේ පවත්නා ත්‍රිපිටක ධර්මය හැදෑරීමේදී පර්යේෂණාත්මක ලෙස එය සිදු කළ යුතුව පවතී. ත්‍රිපිටකය ඉගැන්වීමේදීත් ධර්ම ප්‍රචාරණයේදීත් මෙවැනි පර්යේෂණ අත්‍යවශ්‍යය. පුද්ලයාගේ අධ්‍යාත්මික දියුණුවත් චෛතසික පාරිශුද්ධියත් සඳහා ද මෙය වැදගත් වෙයි. මෙවැනි අවශ්‍යතාවන් සාධනය කර ගැනීම අරභයා විශේෂ වූ බෞද්ධ ආයතනයක් පිහිටුවීම සඳහා බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨ පනත නමින් යුත් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඊරියගොල්ලයෝ එම ආයතනය අනුරාධපුර පූජා නගරයෙහි ඉදිකළහ. එහි මුල්ම පීඨාධිපතීන් වහන්සේ ඉඳුරුවේ උත්තරානන්ද හිමිපාණෝය. ස්වල්ප කාලයකදී මෙම බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයද විකෘති වී ගියේය. 


ලංකාවේ ගුරු පරපුර රජයේ සේවකයන් වශයෙන් පිළිගෙන ඔවුනට රාජ්‍ය සේවක වරප්‍රසාද භුක්ති විඳීමට අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රථම වරට සම්පාදනය කරන ලද්දේ ඊරියගොල්ලයන් විසිනි. ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම ද ශිෂ්‍යයන් විසින් ගෙවිය යුතු විභාග ගාස්තු අඩු කිරීම ද, ගුරු අභ්‍යාස විද්‍යාලයන්හි ඌනතා සපුරා ලීමද එතුමන්ගෙන් වූ තවත් සේවාවන්ය. යුනෙස්කෝවේ ආධාර ඇතිව පේරාදෙණියේ ගුරු අභ්‍යාස විද්‍යාලය සංවර්ධනය කැරිණි. මෙය මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ තත්ත්වයට උසස් කරන ලදි. 


ලංකාවේ අධ්‍යාපනයට ජාතික මුහුණුවරක් දී රටට දැයට වැඩදායක අභිමානවත් දරු පරපුරක් නිර්මාණය කිරීම සඳහා පස් වසරක් මුළුල්ලේ වෙහෙස වූ ඊරියගොල්ල මහතා ක්‍රියා කළේ දාර්ශනික ඥානයකිනි. අනගාරික ධර්මපාලතුමාගෙන් ලද අනුබලය, බෞද්ධ පරමවිඥානාර්ථ සංගමයේ කටයුතු කිරීම, මහා චින්තකයකු වූ ජීඞ්ඩු ක්‍රිෂ්ණ මූර්තිගෙන් ලද ආලෝකය යන කරුණු ඊට හේතු වූයේය. විශ්ව සාහිත්‍යය කියැවීමෙන් ලද ශික්ෂණය ද විශේෂයෙන් සඳහන් කළ යුත්තකි. ඊරියගොල්ලයන්ට දේශපාලනයෙන් සමුගන්නට සිදු වූයේ 1970 මැයි 27 වැනිදා පැවැත්වුණු මහා මැතිවරණයෙන් ජාතික රජය පරාජයට පත්වීමත් සමගය. “දේශපාලනය ජනතා සුවසෙත පිණිසම යොදවා කුලියාපිටිය ආසනය අඩුලුහුඬුවකින් තොරව සංවර්ධනය කැර තිබියදී මෙම මැතිවරණයෙන් ඊරියගොල්ලයන් කිසිසේත් පරාජය කළ නොහැකිය.” යන තද විශ්වාසයක් විරුද්ධ පාක්ෂිකයන් අතර පවා රැව්පිළිරැව් දෙමින් තිබිණ. එහෙත් ඡන්ද ප්‍රතිඵලය එය නොවීය. ප්‍රතිවාදී අපේක්ෂකයාට ඊරියගොල්ලයන්ට වඩා ඡන්ද 1908 ලැබී තිබිණ. ඊරියගොල්ල මහතා සිටියේ ද ‘තමන් කිසිවකුටත් පරාජය කළ නොහැකි’ය යන බලවත් විශ්වාසයෙනි. එම අපේක්ෂාව බිඳවැටීමට ප්‍රධානතම හේතුව වූයේ මැතිවරණය පැවැත්වුණු දවසේ පැවැති අයහපත් කාලගුණයයි. දවස පුරා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව නිසා බොහෝ ඡන්ද දායකයන්ට ස්වකීය ඡන්ද ස්ථාන කරා යෑම අසීරු විය. ඊරියගොල්ලයන්ට ඡන්දය දීම සඳහා සෑදී පැහැදී සිටි හාර දහස් ගණනක් වූ ඡන්ද දායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණිය නොහැකි විය. ඔවුනට ඡන්ද ස්ථාන කරා පැමිණීමට ඉඩ ලැබිණි නම් ඡන්ද තුන් දහසකින් පමණ ඊරියගොල්ල මහතාට ජයග්‍රහණය කිරීමට ඉඩ තිබිණ. දේශපාලන විචාරකයෝ කුලියාපිටිය ආසනය ගැන විස්මයෙන් ද කුතුහලයෙන් ද කතා කළහ. 


සිය සුමිතුරු ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහතාණන්ගේ නිවෙස අසලම වූ නිවෙසක කලක් වාසය කළ ඊරියගොල්ලයෝ කුලියාපිටියේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී ආපසු එමින් සිටියදී 1973 ජනවාරි 07 වැනිදා හදිසියේ ම අභාවප්‍රාප්ත වූහ. මේ වියෝගයෙන් ලංකා මාතාවට විශිෂ්ට ලංකා පුත්‍රයෙක් අහිමි විය. වර්මානයේ නම් නොදක්නා ලැබෙන අන්දමේ අවංක දේශපාලනඥයෙක් සමස්ත සමාජයටම අහිමි වූයේය. ඔහුගේ ඒ උදාර සාහිත්‍යමය හා දේශපාලනික ජීවිතය වත්මන් දේශපාලකයනට පූර්වාදර්ශයක් වේවා! යි ප්‍රාර්ථනා කරමු.

 

 

 

 

 

 

 


ආචාර්ය ඊ. ඇම්. රත්නපාල