සෑම ජීවියෙකුම මරණයට බිය වෙති. ජීවිතයට ආදරය කරති. උසස් මනසක් ඇත්තේ යැයි සලකන මිනිස් සමාජයේ තම ජීවිතය ආරක්ෂා කරගෙන පවත්වාගෙන යාමට තිබෙන අයිතිය මානව නිදහසක් ලෙස පිළිගෙන ඇත. එහෙත් බරපතළ අපරාධ සිදු කරන පුද්ගලයන්ට මරණීය දඬුවම නියම කිරීමට දණ්ඩ නීති සංග්‍රහයෙන්ම ඉඩ සලසා දී තිබේ. සාපරාධී මනුෂ්‍ය ඝාතනය සහ රාජ ද්‍රෝහිවීම යන චෝදනාවන්ට දඬුවම මරණය බවට නීති ප්‍රතිපාදන පවතී. 


රටක අපරාධ වැඩිවෙද්දී මරණීය දඬුවම ක්‍රියාත්මක කළ යුතුයැයි කතා බහක් රටේ ඇතිවුවත් එය නොකළ යුතුයැයි දේශීය හා ජාත්‍යන්තර මානව සංවිධානවලින් බලපෑම් එල්ලවීම් කලක සිට සිරිතක්ව පවතී. මෙම හඬ නැගීම යළිත් කරළියට ආවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නොබෝදා සිදු කරන ලද ප්‍රකාශයක් මුල්කොට ගෙනය. ඔහු කීවේ මරණ දඬුවම නියම වී සිරගතව සිටින අය මත් කුඩු ජාවාරම සිදුකරන්නේ නම් ඔවුන්ට නියමවී ඇති මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා තම අත්සන යොදන බවයි. එයින් ගම්‍ය වන අර්ථය වන්නේ අධිකරණය මගින් යමෙකුට මරණීය දණ්ඩනය පැනවුවද සිරිතක් වශයෙන්ම ජනාධිපතිවරයා එයට අත්සන් නොතබන බවයි. ඒ මානුෂික හේතු මතය. මේ බව දන්නා අපරාධකරුවෝ තම කටයුතු බියකින් තොරව පවත්වාගෙන යති. මුදල් ඇත්නම් කළ නොහැක්කක් නැතැයි සම්මතව ඇති සමාජයක මත් ජාවාරම මැඬීම අතිශය දුෂ්කර කාර්යක් බව සත්‍යයකි. 


එහෙත් මරණයට බිය වන මිනිස්සු යම් පමණකට හෝ එයට බිය වෙති. එසේ උපකල්පනය කළද මෙවරද දේශීය හා ජාත්‍යන්තර මානව සංවිධානවල බලපෑම් ජනාධිපතිවරයාගේ තීරණයට විරුද්ධව එල්ලවෙමින් පවතී. රුපියල් කෝටි එකසිය විසිපහක් වටිනා මත් කුඩු තොගයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පසුගියදා ප්‍රකාශයට පත් විය. ජාවාරම්කරුවන්ගේ ශක්තිය මෙමගින් මනාව පෙන්නුම් කෙරේ. ජනාධිපතිතුමාගේ අවධානය යොමුව ඇත්තේ මේ කෙරෙහිය. ජාතියේ තරුණ පරපුර මෙම විනාශකාරී ව්‍යසනයෙන් මුදවා ගැනීම ජාතික අවශ්‍යතාවක් බවට පත්ව ඇත. මරණ දඬුවම යන අමිහිරි මාතෘකාවට අප ප්‍රවේශ වන්නේ මෙම පසුබිම් කතාවට සමගාමීවය. 


මුල් යුගයේදී රාජ්‍යයේ යුක්තිය පසිඳලීමේ බලය හිමිව තිබුණේ රජුටය. ඔහු නඩු විභාග කර දඬුවම් නියම කළේය. මෙයට හොඳම නිදසුනක් සපයන අවස්ථාවක් වංශ කතාවේ දැක්වෙන්නේ එළාර යුගයේදීය. එහි ප්‍රායෝගික බව ගැන මතභේද පැවතියා වුවත් එවැනි ජනප්‍රවාදයක් ද පවතී. පුරවැසියෙකුට යම් අසාධාරණයක් සිදුවුවහොත් රජුට දැන්වීමට රජුගේ වාසභවනයේ එල්ලූ ඝණ්ඨාරයක් විය. එය අදින කඹය මාලිගයේ බිත්තියෙන් එළියට දමා තිබුණි. දිනක් ඝණ්ඨාව හඬ නැගුණු බැවින් රජු පිටතට පැමිණ බැලීය. පැමිණ සිටියේ එළදෙනකි. රජුට කුමන හෝ ක්‍රමයකින් දැන ගන්නට ලැබුණේ රජුගේ පුත්‍රයා පැදවූ රියට යටවුණු එළදෙනගේ පැටියා මියගොස් ඇති බවයි. මෙම කාරණය ගැන විභාග කළ රජු තම පුත්‍රයාගේ ගෙල සිඳ මරණයට පත් කළ බව ජනප්‍රවාදයේ කියැවේ. එළාර යනු දකුණු ඉන්දියාවෙන් පැමිණ මේ රට අල්ලාගෙන පාලනය කළ ආක්‍රමණිකයෙකි. එවැන්නෙකුගෙන් මෙවැනි සාධාරණයක් අපේක්ෂා කිරීම කිසිසේත් ප්‍රායෝගික නොවේ. කෙසේ වුවත් මෙවැනි කතාවක් පවතී. 

 

අගමැති බණ්ඩාරනායක ඝාතන නඩුවේ බුද්ධරක්ඛිත උසාවියෙන් පිටතට ගෙන ගිය අයුරු.

 


මරණීය දණ්ඩනය පැමිණවීම ගැන පුවත් ඉතිහාසයේ කොතෙකුත් පවතී. එයින් අතිශය සෝචනීය සිදුවීම ලෙස හැඟී යන්නේ ඇහැළේපොළ නිලමේගේ දරු පවුලට අත්වූ ඉරණම පිළිබඳ ඛේදවාචකයයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සහ ඇහැළේපොළ නිලමේ අතර පැවති විශ්වාසවන්ත හා රාජ පාක්ෂික මිත්‍ර සම්බන්ධය නොරිස්සූ රාජ වාසල තවත් ප්‍රබලයෝ පිරිසක් බොරු කේලාම් කියා රජු බිඳවූහ. ඔවුන් කියා සිටියේ සබරගමුවේ දිසාව වශයෙන් කටයුතු කරන නිලමේ එම ප්‍රදේශයේ රජවීමට කටයුතු කරමින් සිටින බවයි. රජුගේ උදහසට ලක්වූ බව දැනගත් නිලමේ පැන ගොස් සැඟවුණේය. දරු පවුලට රාජ උදහස එල්ලවූවේ මේ අනුවය. කාන්තාවන්ට දෙන ඉහළම දඬුවම වූයේ දියේ ගිල්වා මරා දැමීම හෝ සමාජයෙන් පිටමංකර රොඩී රැහැට එක්කිරීමයි. තම වංශවත් පවුලේ අභිමානය ආරක්ෂා කර ගනිමින් මරණයට පත්වීම යෝග්‍යයයි ඇහැළේපොළ කුමාරිහාමි තීරණය කළාය. ඉන් පසු සිදුවූ දේ ප්‍රකටය. රජුගේ අනිසි යෝජනාවකට ඇය එකඟ නොවීම නිසා පළිගැනීමක් වශයෙන් මෙම අපරාධය සිදු කළේ යයි මතයක්ද පවතී. කෙසේ වුවත් ශ්‍රී ලංකා රාජධානිය බිඳවැටී පාලනය බි්‍රතාන්‍යයන් අතට පත්වීමට මෙම සිදුවීම් ප්‍රබල ලෙස බලපෑ බව කියනු ලැබේ.

 
ඇහැළේපොළ කුමාරිහාමිගේ සොහොයුරා කැප්පෙටිපොළ නිලමේය. බි්‍රතාන්‍ය ආධිපත්‍යයට විරුද්ධව ජාතික නිදහස පතා 1818 ඌව වෙල්ලස්ස මහ කැරැල්ල මෙහෙයවීම නිසා රාජද්‍රෝහී චෝදනා යටතේ යුද්ධාධිකරණයට ඉදිරිපත් කරන ලදුව එතුමාට මරණ දණ්ඩනය නියම කෙරුණි. එකල මරණය සිදු කළේ හිස ගසා දැමීමෙනි. මෙම වීරයා මරණයට මුහුණ දුන් ආකාරය එය දුටු විදේශිකයන්ගේ පවා මවිතයට හේතු වූ බව කියනු ලැබේ. එකකට එකක් වෙනස් කරුණු දෙකක් මත මෙම සොහොයුරු සොහොයුරියන් දෙආකාරයට මරු වැළඳ ගත්හ. 


මාවනැල්ල උතුවන්කන්දේ පදිංචිකරුවකු වූ සරදියෙල් නමැත්තා බි්‍රතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව හුදකලා සටනක නියුක්තවූ තරුණයෙකුයැයි මතයක් පවතී. ධනවතුන්ගේ ප්‍රභූවරුන්ගේ වතුකාර සුද්දන්ගේ ධනය පැහැරගෙන දුප්පත් ජනයා අතර බෙදා දුන් ඔහු බි්‍රතාන්‍ය ආණ්ඩුව මගින් මංකොල්ලකරුවෙකු ලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කළ බව කියැවේ. සරදියෙල් අල්ලා ගැනීම දුෂ්කර කටයුත්තක් වූ අතර එම අවස්ථාවේදී ඇතිවූ ගැටුමේදී සබාන් නමැති පොලිස් නිලධාරියා මිය ගියේය. රාජකාරියේ යෙදී සිටියදී මෙරටදී මිය ගිය ප්‍රථම පොලිස් නිලධාරියා මෙම සබාන් නමැත්තා වූ අතර ශ්‍රී ලංකා පොලිස් දිනය ලෙස ප්‍රකාශයට පත් කර අදටත් අනුස්මරණය කරන්නේ මෙම සිදුවීම ලෙස සඳහන් වේ. මෙසේ අපහසුවෙන් අල්ලාගත් සරදියෙල් සහ මම්මලේ මරික්කාර් නම් වූ ඔහුගේ සගයාද එල්ලා මරා දමනු ලැබූහ. 


ජනතා අවධානය ඉහළින්ම යොමුවූ තවත් නඩුවක් අපේ අධිකරණ ඉතිහාසයේ දැක්වේ. එය එරික් බචෝ මිනීමැරුම් නඩුවය. ඔහු අවුරුදු 23 ක් වයසැති බර්ගර් ජාතික තරුණයෙකි. ඔහුගේ පෙම්වතිය මාලින් ලුඩොවයික් නම් වූවාය. වසර කීපයක් පැවති මෙම ආදර සම්බන්ධයට කණ කොකා හැඬුවේ වරායේ කරමින් සිටි රැකියාව බචෝට අහිමි වීම නිසාය. ඉන් පසු මාලින් බචෝ සමග ප්‍රේම සම්බන්ධය අත හැර අයිවර් මාටිනස් නම් වෙනත් තරුණයෙකු සමඟ අලුත් සම්බන්ධයක් ඇතිකර ගත්තාය. මෙයින් කෝපයටපත් එරික් බචෝ මාලින් නැවතී සිටි ස්ථානයට ගොස් ඇයට පිහි පහර දී මරා දැමුවේය. මේ පිළිබඳව පැවති ඉහළ උසාවි නඩු විභාගයේදී එච්. ඇන්. ජී. ප්‍රනාන්දු විනිසුරුතුමා ජූරි සභාවේ 6.1 අනුමැතිය මත මරණ දණ්ඩණය නියම කරන ලද අතර විත්තිකරුගේ තරුණ වයස සලකා යම්කිසි අනුකම්පාවක් ලබා දෙන ලෙස අග්‍රාණ්ඩුකාරවරයාට නිර්දේශ කළේය. බචෝ එල්ලා මැරීමට නියමිත දිනය වූවේ 1955 සැප්තැම්බර් 14 වැනිදාය. එහෙත් ඔහුට අග්‍රාණ්ඩුකාරවරයාගේ අනුකම්පාව හිමිවීම නිසා එල්ලා මැරීම වෙනුවට ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමකට යටත් කළ බව ලංකා නීති වාර්තාවල සඳහන් වේ. 


ඉංග්‍රීසි යටත් විජිත පාලන සමයේ මෙන්ම නිදහසෙන් පසුවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාගවලින් වැරදිකරුවන් වන අපරාධ වැරදිකරුවන්ට මරණ දඬුවම පැමිණවීම දිගටම සිදුවිය. එහෙත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවක් මගින් ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ රජය මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවන ලදී. මේ අතර 1959 සැප්තැම්බර් 26 වැනිදා කුමන්ත්‍රණකාරී පිරිසකගේ සැලැස්මක් අනුව අගමැතිවරයා ඝාතනය කරන ලදී. මෙම අපරාධය කළ අයට මරණ දඬුවම ලබාදිය යුතුය යන අදහසින් යුක්තව ඔහුගේ අනුප්‍රාප්තිකයෝ කටයුතු කළහ. 1958 මැයි මස 09 වැනිදා සිට මරණ දණ්ඩනය අත්හිටුවා තිබුණු නිසා නව පනතක් සම්මත කිරීම මගින් එය ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කළේය. 1959 දෙසැම්බර් 02 වැනිදා සිට මරණීය දණ්ඩනය යළි සක්‍රීය කෙරුණේ ඒ අනුවය. බණ්ඩාරනායක ඝාතන නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග කිරීමෙන් පසු ටී. ඇස්. ප්‍රනාන්දු විනිසුරුතුමා සිය තීන්දුව දෙමින් පළමු විත්තිකාර මාපිටිගම බුද්ධරක්ඛිත, දෙවැනි විත්තිකාර එච්. පී. ජයවර්ධන, සිව්වැනි විත්තිකරු වූ තල්දූවේ සෝමාරාම යන තිදෙනාට මරණීය දණ්ඩනය නියම කරණ ලදී. එහෙත් විත්තිකරුවෝ සහ විත්ති පක්ෂයේ නීතිඥයෝ පෙර කී තීන්දුවට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කළහ. එයින් කියවුණේ අපරාධය සිදුවෙද්දී පැවති නීතිය වෙනස් කර නඩු ඇසීමෙන් සහ තීන්දුව දීමෙන් සාධාරණ යුක්තියේ මූලධර්මය කඩවෙන බවයි. මෙම නඩුව පස් පුද්ගල අභියාචන විනිශ්චය මණ්ඩලයක් ඉදිරිපිට විභාගයට ගනු ලැබූ අතර එහි විනිසුරුවරුන් වූයේ අගවිනිසුරු හේම බස්නායක, එච්. ඇන්. ජී. ප්‍රනාන්දු, එල්. බී. ද සිල්වා, ඇම්. සී. සන්සෝනි හා ඇන්. සින්නතම්බි යන මහත්වරුය. පෙර කී තීන්දුව වෙනස් කළ ඔවුහු මිනීමැරීමේ චෝදනාවට වරදකරු වූ සෝමාරාමට මරණ දඬුවම අනුමත කර කුමන්ත්‍රණ චෝදනාවට වරදකරුවන් වූ මාපිටිගම බුද්ධරක්ඛිත සහ එච්. පී. ජයවර්ධන යන දෙදෙනාගේ මරණ දඬුවම ඉවත් කර ජීවිතාන්තය දක්වා සිර දඬුවම නියම කළහ. රටේ මහත් ආන්දෝලනයකට ලක්වූ අධිකරණ ක්‍රියාවලියක් එසේ නිමාවට පත්විය. 


සතාසිවම් නඩුව එවැනිම ආන්දෝලනාත්මක තවත් නඩුවක් විය. එය දේශපාලන ක්‍ෂේත්‍රයටද බල පෑ බව සඳහන් වේ. මහා දේව සතාසිවම් යනු ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙකි. බටහිර ඉන්දියා කොදෙව් නායක ගාෆිල්ඞ්ගේ සමකාලීනයෙකු සහ සමීප මිතුරකුද වූ සතාසිවම්ට මෙරට ඉහළ ජනසමාජයේ විශාල පිළිගැනීමක් තිබුණි. මෙම කුමන වරප්‍රසාදයක් හිමිව තිබුණත් ඔහුගේ පවුල් ජීවිතය පැවතියේ මහා අවුලකය. ඔහු ඉවෝන් ස්ටීවන්සන් නමැති තරුණ කාන්තාවක සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යාම නිසා මෙම ගැටුම පැවතියේය. එනිසා සතාසිවම් මහත්මිය සැමියාට විරුද්ධව දික්කසාද නඩුවක් පවරා තිබුණාය. 


මෙම ගැටුම් පවතින අතරේ 1950 ඔක්තෝබර් මාසයේ දිනක සතාසිවම් මහත්මිය මරා දමා තිබිණ. ඇයගේ සිරුර නිවසේ ගරාජයේ වැටී තිබුණු අතර වංගෙඩියක් ගෙල මත තබා තිබුණි. මේ වන විට නිවසේ සිටියේ විලියම් නමැති මෙහෙකරුවකු පමණි. මෙම අභිරහස් ඝාතනය ගැන සැකය ඔහු වෙතට යොමුවුවද සැමියා සහ බිරිඳ අතර පැවති නොමනාපය නිසා මෙය සතාසිවම්ගේ ක්‍රියාවක් බව රටම දැන සිටි බවක්ද කියැවේ. පසුව අත්අඩංගුවට ගනු ලැබූ සතාසිවම් අධිකරණය හමුවට පමුණුවන ලදී. සිද්ධිය ඇසින් දුටු සාක්‍ෂි කිසිවක් නොවූ නිසාත් යම් කිසි හේතුවක් නිසා පොලිසිය විත්තිකරුට පක්ෂග්‍රාහීව කටයුතු කරන්නේයැයි රටේ මතයක් ගොඩනැගීම නිසාත් නඩුකටයුත්ත දැඩිසේ මහජන අවධානය යොමු වූවාක් මෙන්ම පැමිණිල්ලේ අසීරු බවද පෙනී ගියේය. විත්තියේ ජ්‍යෙෂ්ඨ නීතිඥයා වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා විවිධ ආකාරයේ තර්ක ගොඩ නගමින් සාධාරණ සැකයෙන් ඔබ්බට නොගොස් තීරණයක් ගත නොහැකි ආකාරයට ජූරි සභාව අන්දමන්ද කරවීය. අවසානයේ මෙම මිනීමැරුම සිදුවූ වෙලාව පිළිබඳ තීරණයක් ගැනීම දක්වා සැකසංකා ඇති කරවීමට ඔහු සමත් විය. වේලාව තීන්දු කරවීම් සිදු කළ යුතු වූවේ සතාසිවම් මහත්මිය අවසන් වරට ආහාරයට ගෙන ඇගේ ආමාශයේ තිබුණු ඉඳි ආප්ප කොටස් ජීර්ණය වී ඇති ආකාරය අනුවය. මෙම කරුණු පිළිබඳ එවකට ලෝකයේ සිටි අංක එකේ විශේෂඥ වෛද්‍යවරයා සාක්‍ෂියට කැඳවීමට විත්තිකරුගේ මුදල් බලයට හැකි විය. බි්‍රතාන්‍ය ජාතික සර් සිඞ්නි ස්මිත් ලොව පුරා පතළ කීර්තියක් ඇති අධිකරණ වෛද්‍යවරයෙකි. ඔහුගේ සාක්ෂිය මෙරට වෛද්‍යවරුන්ගේ සාක්ෂි අභියෝගයට ලක්කරන්නක් වූවා විය හැකිය. 


ඉතා කුඩා දියණියන් කීප දෙනෙකුගේ මවක් වූ ආනන්දන් සතාසිවම් මහත්මිය මරා දැමීම රටේ ජනතාව අතර ඇතිකර තිබුණේ මහත් කම්පනයකි. නඩුවේදී හෙළිවුණු කරුණු පුවත්පත්වල පළවීම නිසා ඇය කෙරෙහි බලවත් අනුකම්පාවක් යොමුවූ බවද කියැවේ. එනිසා මෙම ඝාතනය සිදු කළා යැයි කියන සතාසිවම් මහතා වරදකරුවී මරණීය දණ්ඩනය ලබනු දැකීම සමස්ත සමාජයේම අපේක්ෂාව වූ බවද කියැවේ. ඉවෝන් ස්ටීවන්සන් සමග පැවති අනියම් ඇසුරද එයට හේතු විය. කෙසේ වුවත් ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා නම් වූ නීති විශාරදයාගේ විශිෂ්ට තර්ක බුද්ධිය හේතුවෙන් සැකයේ වාසිය විත්තියට ලබාදී සතාසිවම් මහතා නිදහස් කිරීමට විනිසුරු ඊ. ඇෆ්. ඇන්. ග්‍රේෂන් මහතා නියෝග කළේය. මෙම සිදුවීම මහජන අප්‍රසාදයට හේතු වූ අතර මිනීමැරුම සිදු කර ඇත්තේ වංගෙඩිය විසිනැයි ප්‍රවාදයක් ද ගොඩ නැගුණි. විත්තිකරු නිදහස් කර ගැනීමේ චෝදනාව මුළුමනින්ම පැටවුණේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා අතටය. එය මැතිවරණ අවදියක් විය. කලින් වාරයේ ඉතා පහසුවෙන් විශාල වැඩි ඡන්දයකින් වැල්ලවත්ත - ගල්කිස්ස ආසනය දිනා පාර්ලිමේන්තුව නියෝජනය කළ කොල්වින් එම මැතිවරණයේදී පරාජය විය. එයට බොහෝ සෙයින්ම බලපෑවේ මෙම නඩු තීන්දුව නිසා කෝපයට පත් කාන්තා ඡන්ද දායකයන් ඔහුට විරුද්ධව ඡන්දය දීමයයි කොල්වින් චරිතාපදානය ලියූ මලල්ගොඩ බන්දුතිලක සූරීහු සඳහන් කරති. මේ මරණීය දණ්ඩනයෙන් මිදීම පිළිබඳ පුවතකි.

 

 

 

 

 

සෝමසිරි වික්‍රමසිංහ