කතානායකවරයකු පාර්ලිමේන්තුවට පත්කෙරන්නේ එහි මහජන නියෝජිතයන්ගේ වැඩි ඡන්දයෙනි. තමන් කුමන දේශපාලන පක්ෂයක් නියෝජනය කළත් එම ධුරයට පත්වූ වහාම එම මන්ත්‍රීවරයා පොදු මිනිසකු බවට පත්වෙයි. ඉතිරි මන්ත්‍රීවරුන් 224 දෙනාගේම වරප්‍රසාද හා අයිතීන් රැකදීම ඔහුගේ වගකීමයි.


මෙම භාරධූර කාර්යය අකුරටම ඉටුකළ කතානායකවරු රැසක් මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කළහ. ඒ අතරින් කේ. බී. රත්නායක, වි. ජ. මු. ලොකුබණ්ඩාර, අනුර බණ්ඩාරනායක හා චමල් රාජපක්ෂ විශේෂිතය. ඔවුහූ මහත්මා ගුණය විදහාපාමින් කතානායක ධුරයේ පෞරුෂය මෙන්ම ව්‍යවස්ථාදායක සභාවේ අනන්‍යතාව රැකගත්හ.
ඔවුහු තමන් නියෝජනය කරන පක්ෂ නායකත්වය හෝ දේශපාලන ධාරාවේ බලපෑමට හෝ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් ඇතැම් තීන්දු තීරණවලට පවා නොසැලී සෘජුව පෙනී සිටියහ. තමන්ට පිරිනැමෙන මූල්‍යමය වරප්‍රසාද මත වුවද අනන්‍යතාව පාවා නොදුන් කථානායක පරපුරක් අප සතුව විය. ඒ අතරිනුත් සිංහල බෞද්ධ ගැමි හැදියාව ද්වීභාෂා ඥානය හා පරිපාලන නුවණින් අනූන වූ ජනප්‍රිය දේශපාලන චරිතයකි හිටපු කතානායක කේ. බී. රත්නායක.


අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැකිච්චාව ගම් පියසේ ගම්පති මුදලිහාමි රත්නායක යුවතිපතින්ගේ පුතණුවන් ලෙස 1924.02.23 ඉපදී රම්පත්විල කනිටු විදුහලින් මූලික අධ්‍යාපනය ලැබ පේදුරුතුඩුවේ හාට්ලි විදුහලෙන් උසස් අධ්‍යාපනය ලැබූ කිරිබණ්ඩා රත්නායක තරුණයා එහි දෙමළ සිසුන් ඇසුරින් විශාල දැනුම් සම්භාරයක් ලැබීය.


පාසල් සමයේ එතුමා දස්කම් පෑවේ ක්‍රිකට්, පාපන්දු හා මලල ක්‍රීඩා තුළිනි. කෘෂි නිලධාරියකු, මිනුම්දෝරුවකු මෙන්ම අනුරපුර සංරක්ෂණ මණ්ඩලයේ ඉඩම් නිලධාරියකු ලෙස රැකියා කළ කේ. බී. රත්නායකයන් දේශපාලන පන්නරය ලැබුවේ 1961 සමයේ කර්මාන්ත අමාත්‍යවරයා වූ මෛත්‍රීපාල සේනානායකයන්ගේ පෞද්ගලික ලේකම් ධුරයට පත්වීමෙනි. මෙම දක්ෂ ක්‍රියාශීලි තරුණයා ගැන පක්ෂයේ ද ප්‍රසාදය පළකෙරිණ.


ඩී. ඇස්. යුගයේ ප්‍රබල එජාප අමාත්‍යවරයකු වූ පී. බී. බුලන්කුලම පරදවා අනුරාධපුර අසුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දිනා දුන් සිරිමෙවන් ගොඩගේ එම ජයග්‍රහණය 1960 වසරේ මාර්තු හා ජූලි මහ මැතිවරණවල දී ද රැකගත්තේය.


1960 ජූලි මහ මැතිවරණයේ දී එජාපයේ අපේක්ෂක ඩී. පී. බී. මහදිවුල්වැව වැඩි ඡන්ද 2985 කින් පරාජය කළ සිරිමෙවන් ගොඩගේ පාර්ලිමේන්තුවට පිවිසීමට තරම් වාසනාවන්ත වුවද නොබෝ කලකින් අභාවයට පත් විය. එබැවින් එම අසුන සඳහා අතුරු මැතිවරණයක් පවත්වන බව ආණ්ඩුකාර කාර්යාලය නිවේදනය කළේය.


1962 ජූනි මස 28 වැනිදා අනුරාධපුර, මුතුර් සහ වැලිමඩ අසුන් සඳහා අතුරු මැතිවරණ පැවැත්විණ. ඒ සඳහා ශ්‍රීලනිපය ඉදිරිපත් කළේ කේ. බී. රත්නායක නම් කාර්යසූර දේශපාලනඥයාය.


අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ ඒජන්ත නිශ්ශංක විජයරත්නයන් ඉදිරියේ නාම යෝජනා භාරදෙනු ලැබිණ. එජාපයෙන් අශෝක මහදිවුල්වැව ද නාමයෝජනා දුන් අතර ශ්‍රීලනිප අපේක්ෂකයා තෝරා ගැනීමේ දී වූ ගැටලුවක් මත ශ්‍රීලනිපයේ ප්‍රබල බලකණුවක් වූ සුගතපාල දළුවත්ත අබිබවා කුසලතා පෙන්වූ කේ. බී. රත්නායකයන් අවසන් මොහොතේ දී තෝරාගනු ලැබිණ. එබැවින් නීතිවේදී සුගතපාල දළුවත්ත පුටුව ලකුණින් ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග වැදුණේය.


කේ. බී. රත්නායකයන්ගේ නාමයෝජනා පත්‍රයේ යෝජකයා ලෙස අත්සන් තැබුවේ මෛත්‍රීපාල සේනානායකයෝය. විපක්ෂනායක එජාප නායක ඩඞ්ලි සේනානායක මහතා එම පක්ෂයේ ජයග්‍රහණයේ බර කරට ගෙන සිටියේය. ලංකා සමසමාජ පක්ෂය මෙහිදී ප්‍රබල සාධකයක් වනු ඇතැයි සිතුව ද පොදු සතුරා වූ එජාපය පරාජය කිරීමේ අභිලාෂයෙන් ශ්‍රීලනිපයට සහාය දීමට තීරණය කරනු ලැබිණ.


එම ඡන්ද ප්‍රතිඵලය මෙසේ විය.


කේ. බී. රත්නායක (අත - ශ්‍රීලනිප) 7797, අශෝක මහදිවුල්වැව (අලියා - එජාප) 6372 සුගතදාස දළුවත්ත (ස්වාධීන - පුටුව) 2179 වැඩිඡන්ද සංඛයාව 1325 කි.
1956 සිට සිව් වතාවක් අනුරාධපුර අසුන ශ්‍රීලනිපයට හිමිකර දුන් රජරට ජනතාව ගැන මෛත්‍රිපාල සේනානායකයන් පවසා තිබුණේ මෙසේය.


“ප්‍රතිගාමි කඳවුර ජාතිභේද, ආගම් භේද, උඩරට - පහතරට භේද අවුස්සා අනුරාධපුර ජනතාවත් මුළා කිරීමට ගත් උත්සාහයන් පරාදය වුණා. ඒ ප්‍රතිගාමින්ගේ දුර්වලකම නිසා නොවෙයි. අනුරාධපුර ජනතාවගේ ප්‍රබලකම නිසයි.”


1962 ජූලි මස 11 වැනිදා කේ. බී. රත්නායක මන්ත්‍රීවරයා කතානායක ආර්. ඇස්. පැල්පොළ හමුවේ දිවුරුම් දුන්නේය. එදින ආණ්ඩුවේ රාජාසන කතාව පිළිබඳව ස්තූති යෝජනාව ද ඉදිරිපත් කළේ ඔහු විසිනි.


1970 සමගි පෙරමුණු ආණ්ඩුවේ පාර්ලිමේන්තු කටයුතු සහ ක්‍රීඩා ඇමැති ධුරය ද 1975 සිට ප්‍රවාහන ඇමැති ධුරය දැරූ මෙම නිහතමානී දේශපාලනඥයා 1994.08.05 දින පාර්ලිමේන්තුවේ කතානායකවරයා වශයෙන් දිවුරුම් දුන්නේ කාගේත් ප්‍රසාදය දිනා ගනිමිනි.


1970 මහ මැතිවරණයෙන් අනුරාධපුර ආසනය විශාල ඡන්ද සංඛ්‍යාවකින් ජයගෙන ප්‍රබල ස්ථාවරයක සිටි එතුමාට ද 1977 ප්‍රතිගාමී බලවේග මෙහෙය වූ මහා ඡන්ද කුණාටුවෙන් ගැලවීමට නොහැකි විය. එදා අඩුම වැඩි ඡන්ද සංඛ්‍යාවකින් පරාජය වූ ශ්‍රීලනිප අපේක්ෂකයා වූයේ කේ. බී. ය. 


එම පරාජය වැඩිකල් නොතිබිණි. 1989 දී පැවැති මහ මැතිවරණයේ පූර්ණ බලය හා වාසිය එජාපය සතු වුවද එම බලවේගය පරදවා අනුරාධපුරය යළි ශ්‍රීලනිපයට ග්‍රහණය කර ගැනීමට කේ. බී. රත්නායක මහතා සමත් විය. 1994 දී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට එතුමාට රාජ්‍ය අනුග්‍රහය ලැබුණේ එම ඇපකැපවීම නිසාය.
1976 මුල් කාර්තුවේදී පුත්තලමේ ඇතිවූ සිංහල - මුස්ලිම් අරගලය සමථයකට පත් කරලීමට යැවූ රජයේ නියෝජිත පිරිසේ නායකත්වය දැරුවේ කේ.බී.ය. අනුරාධපුරයේ සිට හම්බන්තොටට පැමිණි එතුමා ව්‍යක්ත දෙමළ බසින් මුස්ලිම් ජනතාවට කරුණු පහදා දුන්නේය.


1970 දී උතුරු - නැගෙනහිර සිංහල මුස්ලිම් හා දෙමළ ජනතාව අතර අදට වඩා සහසම්බන්ධය ඉතා දැඩි විය. පසුකාලයේ දී සිංහල දේශපාලනඥයන්ගේ කතාවලට පොරොන්දුවලට ඇහුම්කන් නොදුන් සුළු ජාතිකයෝ එදා කේ. බී. රත්නායක වැනි ක්‍රියාශූර, කෘතහස්ත එමෙන්ම අත්වල ලේ තැවරී නොමැති සිංහල නායකයන් කෙරේ විශ්වාසය පළ කළහ. කේ. බී. සතුව තුබූ ව්‍යක්ත සිංහල හා දෙමළ කතා ශෛලිය ඔවුනට කරුණු කාරණා වටහා දීමට සමත් විය.


වියත් ලේඛක සුගතපාල වේරදූව ලියූ ලිපියක එවන් අත්දැකීමක් විස්තර වී තිබිණ.


“1970 දී මා සේවය කළ අලිමංකඩ ලේවාය ඉදිරිපිට ශ්‍රීලනිපයේ රැස්වීමක් තිබුණා. එහි මුලසුන දැරුවේ රජයේ තැපැල් හා විදුලි සංදේශ ඇමැති ධුරය දැරූ සී. කුමාර සූරියර් මහත්තයයි. එතුමාගේ ආරාධනයෙන් නැගී සිටියේ රජරට යෝධයන්ට නෑකම් කියන ආරිය ඇඳුමින් සැරසුණු පාංශු දේහධාරි සිංහලයෙක්. මෙතෙක් පැවැති සියලු කථා අබිබවා එතුමාගේ ව්‍යක්ත දෙමළ දේශනය සියල්ලන් පුදුමයට හා වශීයට පත් කළා. දිගින් දිගටම සිංහල, මුස්ලිම්, දෙමළ ජනතාව අත්පොළසන් දුන් අයුරු මට අද වගේ මතකයි.
60 - 70 දශකයේ උතුර - නැගෙනහිර ජනතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා රොද බැඳගන්නට ප්‍රධාන කරුණක් වූයේ මෙවැනි භාෂා හා පරිපාලන දැනුම ඇති සෘජු දේශපාලන චරිත පක්ෂය තුළ සිටි නිසාය.


කේ. බී. කිසි දිනක ඉහළ තනතුරු හෝ වරප්‍රසාද සොයා ගිය කෙනෙකු නොවීය. වයෝවෘද්ධ භාවයට පත්වන තුරුත් ඔහු තමන්ගෙන් ජනතාව හා පක්ෂය බලාපොරොත්තු වූ සේවය උපරිමයෙන් ඉටු කිරීමට ඇපකැප විය. ඔහු සතු වූ සුවිශේෂම ගුණාංගය වූයේ 80 වසරක් වූ ජීවිත කාලය පුරා කෙදිනක හෝ තමා ඇසූ දුටු පුද්ගලයන් අමතක නොවීමේ ගුණයයි.


එතුමා ජාතික දේශපාලනයට හා උතුරුමැද පළාතට කළ මහඟු සේවය සලකා ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරය පිරිනමන ලදී. දේශපාලනයෙන් සමුගෙන එතුමා අනුරාධපුර පළමු පියවරේ පිහිටි තම නිවසේ විවේක සුවයෙන් පසු විය.


කිරිබණ්ඩා රත්නායක නම් නිර්ව්‍යාජ ගැමි දේශපාලනඥයාගේ තෙවන පරපුරද අද දේශපාලන ක්ෂේත්‍රය නියෝජනය කරයි. එතුමාගේ බෑනණුවන් වූ අමාත්‍ය එච්. බී. සේමසිංහයන්ගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරයි.


ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 13 වැනි කතානායක ධුරය දැරූ කිරිබණ්ඩා රත්නායකයන් ව්‍යවස්ථාදායකය තුළ විනය හැසිරීම, දැඩි කැපවීම, සමානාත්මතා ගුණය ප්‍රකට කළ නිර්ව්‍යාජ චරිතයකි. 2004 අප්‍රේල් 30 දින තමන්ට ආදරය කළ තමන් ආදරය කළ රජරට ජනතාව ඇතුළු ප්‍රගතිශීලින්ගෙන් සදහටම සමුගත්තේ ව්‍යවස්ථාදායකයේ පිරිමැසිය නොහැකි හිඩැසක් ඉතිරි කරමිනි.

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූපය : අන්තර්ජාලයෙනි