1987 ජූලි මස 30 වැනිදා පෙරවරු 3.37 ට මෙරට අනන්‍යතාව යළිත් වරක් විදේශයකට භාර දෙමින් ගැටලු රැසක් දැයට උරුම කරදුන් ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් තැබිණ.


කොටි ත්‍රස්තවාදයට එරෙහිව ත්‍රිවිධ හමුදාව ගෙනගිය සටන තීරණාත්මක කඩඉමකට ළංව තිබියදී වඩමාරච්චි ප්‍රහාරය ඉහළින් නතර කෙරිණ. කොටි ත්‍රස්තවාදීන්ගේ දැඩි බලකිරීම් මත ඉන්දීය අගමැති රජිව් ගාන්ධිට ලංකාවට අතපෙවීමට සිදුවිය. ඒ ගැන ත්‍රිවිධ හමුදාව මෙන්ම දේශප්‍රේමි සංවිධාන බලවත් කලකිරීමට පත්වූහ.


1987 ජුනි මස 02 වැනිදා රාත්‍රී රොයිටර් පුවතක් අනුව ආරංචි වූයේ ශ්‍රී ලංකාවේ උතුරුකරයේ ජනතාවගේ ආරක්ෂාව සහ පෝෂණය උදෙසා සහල් සහ පරිප්පු ඇතුළු වියළි ආහාර රැගත් ඉන්දීය බෝට්ටු 25 කින් රතු කුරුස සංගමයේ හා ජාත්‍යන්තර නිරීක්ෂකයන්ගේ අනුදැනුම මත රාමේෂ්වරම් තොටුපොළේ සිට අපේ මුහුදු සීමාව දෙසට එන බවය. 


වහා ක්‍රියාත්මක වූ උතුරේ නාවික හමුදා ආඥාපති ජෙනරාල් මොහාන් සමරසේකරගේ උපදෙස් පරිදි එඩිතර නැවේ අණදෙන නිලධාරි සුරාජ් මුණසිංහ ප්‍රධාන නාවික භටයෝ එම ගමන නැවැත්වූහ. පැය ගණනක් මුහුදේ රස්තියාදු වූ ඉන්දීය බෝට්ටු පෙරළා සිය රටටම ගියහ.


ඊළඟට ඔවුන් උත්සාහ කළේ ගුවනින් විත් පැරෂුට් මගින් උතුරට ආහාර ද්‍රව්‍ය හෙළීමටය. මෙය සැලවුවද. ජනාධිපති ජේ. ආර්. ගේ රජය ඊට එරෙහි නොවූයෙන් ජුනි මස 04 වැනිදා බැංගලෝරයෙන් පියාසර කළ ඉන්දීය හෙළිකොප්ටර් යානා 05 ක් මගින් රජයේ ගුවන් සීමාව ආක්‍රමණය කර පරිප්පු ලූනු ඇතුළු ආහාර ද්‍රව්‍ය යාපනයට හෙළුහ.


පළාත් සභා ක්‍රමය ඇතිකළ ඉන්දු - ලංකා ගිවිසුමේ කොන්දේසිවලට මෙන්ම බලහත්කාරයෙන් ආහාර ද්‍රව්‍ය හෙළීමට එරෙහිව ඉන්දියානු විරෝධි ජනතා අරගල රටපුරා පැන නැංගේය. දිනාගනිමින් තිබූ යුද්ධය නැවැත්වීම නිසා ත්‍රිවිධ හමුදාවේ භටයන් තුළ කළකිරීම සංවේගය හා කෝපය ඉස්මතු වෙමින් තිබිණ.


දේශප්‍රේමී ව්‍යාපාරය 1987 ජුනි මස 07 වැනිදා කටුනායක ගුවන්හමුදා කඳවුරට හා රත්මලාන ආරක්ෂක පීඨයට කඩාවැදී යාන්ත්‍රික ගිනි අවි හා පතරොම් පැහැරගත්තේ ඉන්දියාව මෙරට ආක්‍රමණයකට සූදානම්වන බවත් ඊට සූදානම් විය යුතු බවත් කියමිනි.


කෙසේ වෙතත් ජේ. ආර්. ට ඉන්දියාව සමග ගිවිසුම අත්සන් නොකර සිටීමට බැරිතරමට බලපෑම් එල්ලවිය. අගමැති ආර්. ප්‍රේමදාස ඇතුළු බහුතරයකට නොදන්වාම කඩිමුඩියේ එය සැලසුම් කෙරිණ.


ජනපති ජේ. ආර්. සමග වූයේ දිවංගත ගාමිණි දිසානායක, රොනී ද මැල් වැනි ඇමතිවරුන් අතළොස්සකි. ඊට අප්‍රසාදය පළ කළ අගමැති ආර්. ප්‍රේමදාස, ලලිත් ඇතුළත් මුදලි, ගාමිණි ජයසූරිය වැනි බහුතරයක් වූහ. පාර්ලිමේන්තුව තුළ හයෙන් පහක බලයක් පැවතුණද විපක්ෂය ආණ්ඩුව සමඟ උණුසුම් වාදවලටද එළැඹිණ රට පුරා ආරක්ෂාව හා ඇඳිරි නීතිය දැඩි කෙරිණ.


මේ අතර කොටිනායක වේලුපිල්ලේ ප්‍රභාකරන්, එල්.ටී.ටී.ඊයේ න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් ආදීන්ගේ පවුල්පිටින් ඉන්දියාවට ගෙන්වාගෙන ඔවුන්ගෙන් අදහස් විමසන ලදි අන්තිමට තිරණය වූයේ කොටි සංවිධානයට අතුරු පාලනයේ වැඩිබලයක් ලබාදීමට හා ඔවුන් පරිපාලනයට අන්තර්ග්‍රහණය වනතුරු ඉන්දීය රුපියල් ලක්ෂ 30 ක මාසික දීමනාවක් ගෙවීමටත්ය.


මෙසේ පරිසරය සකස් කළ පසු ඉන්දීය නායක රජිව් ගාන්ධි තම බිරිඳ සෝනියා සමග 1987.07.29 වැනිදා පෙරවරු 10.30 කටුනායකින් රතුපලස මතින් මෙරටට සැපත් වූහ. රටපුරා විරෝධතා කෝලහාල ගිනි ජාලා ඇවිළෙද්දී ඊට පිදුරු දැම්මාක් මෙන් ඉන්දීය නායකයාගේ පැමිණීම දේශප්‍රේමින්ට දරාගත නොහැකි විය.


ජයග්‍රාහි වඩමාරච්චි සටන නතර කළ නිසා කෝපයට පත් දේශප්‍රේමි හමුදා භටයන්යටද එය අතුල් පහරක් බඳු විය.


රජිව් ගාන්ධි සමග අමාත්‍ය නරසිම්හ රාවෝ එන්. ඩී. තීවාරි, රාජ්‍ය ඇමැති නම්වාර් සිං, කේ. පී. එස්. මෙනන් සහ රොහාන් සෙන් වැනි රාජ්‍යත්‍රාන්ත්‍රිකයෝද පුහුණු ආරක්ෂක නිලධාරිහු පිරිසක්ද වූහ. මෙම ආරක්ෂක නිලධාරින්ගේ උකුසු ඇස් නිරතුරු සැකයෙන් හා කුතුහලයෙන් අවට සිදුවන දෑ කෙරෙහි එල්ලවිය. ඒ නිසා විරෝධතාකරුවෝ නිසි අවස්ථාවක් බලමින් පාරේ රැඳුණහ.


ජේ. ආර්. සමග නිල නොවන සාකච්ඡා වට තුනක් පැවැත් වූ රජිව් ගාන්ධි අන්තිම තීරණාත්මක නිල සාකච්ඡාව 30 වැනිදා උදෑසන පැවැත්විය, මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වූ ඒ. සී. එස් හමිඞ්, ගාමිණි දිසානායක, සෞම්‍ය මූර්ති තොණ්ඩමන්, කේ. ඩබ්ලිව්. දේවනායගම්, ඊ. එල්. බී හුරුල්ලේ සහ ජනපති ලේකම් මැණික්දිවෙල ද එක්වූහ. ගිවිසුමේ අඩංගු කොන්දේසි මොනවාදැයි ආණ්ඩුව, විපක්ෂය හෝ මාධ්‍යවේදීන් පවා හරිහැටි දැන සිටියේ නැත.


ජයග්‍රාහි මානසිකත්වයෙන් ආපසු සියරටට යාමට පෙර ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ඇතුළු පරිවාර පිරිසට ජුලි 03 වැනිදා පෙරවරු 9.30 සිට ජනාධිපති මන්දිරය අසලදී ආචාර පෙළපාළියක් පැවැත්විණ. දෙරටේ ජාතික ගී ගායනා කළ පසු. ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රධානියකු සමග හමුදා පෙළපාළිය නරඹමින් අගමැති රජිව් ඉදිරියට ගමන් ගත්තේය.


ඔහුගේ දකුණු පස පෙළ සීරුවෙන් සිටි නාවික හමුදා පෙරෙට්ටුවේ තුන්වැනි සෙබළා පසුකරත්ම නොසිතුවිරු ලෙසට තම හිසදෙසට බයිනෙත්තු කඳක් පාත්වන ලීලාවක් රජිව්ට ඉවෙන් මෙන් දැනෙන්නට ඇත. ඔහු වහා පසෙකට පැනගත් අතර බයිනෙත්තු කඳ ඔහුගේ උරහිසට ගිළිණ. පහරදුන් බවට සැකපිට එක් සෙබළෙකුට ඉන්දීය ආරක්ෂක නිලධාරියකු පහරක් දුන් අතර පළමුව බයිනෙත්තු කඳද දෙවැනිව සෙබළාද බිම පතිත විය. වහා ඔහු අත්අඩංගුවට ගැනිණ. 


“ඔබට තුවාලද?” ආරක්ෂකයෝ ඇසූහ. 


“මට හානියක් නෑ” රජිව් කීය


කෙසේ හෝ නිරුපද්‍රිතව ඉන්දිය නායකයා සහ බිරිඳ ඇතුළු පිරිස පෙරවරු 11.00 ට නවදිල්ලිය බලා කටුනායකින් පිටත් වූ අතර පැය කිහිපයක් යන්නටද පෙර ඉන්දීය භටයන් හත්දහසක් රැගත් හමුදා ඛණ්ඩයක් යාපනයට ආහ. ඉන්දු - ලංකා ගිවිසුම ප්‍රකාරව උතුරේ ආරක්ෂාවට යැයි මෙසේ පළාලි ගුවන් තොටුපොළට පැමිණි ඉන්දීය හමුදාවේ නායකත්වය දැරුවේ ජනරාල් දිපේන්ද්‍රසිංය. ඔවුන් සියල්ලෝම කොළඹට කැඳවාගනු ලැබිණ.
එදින දෙස් විදෙස් මාධ්‍ය කේෂත්‍රයෙහි පළවූ අතිදුර්ලභ මෙන්ම ආන්දෝලානාත්මක ඡායාරූපය වූයේ ඉන්දීය අගමැතිවරයාට නාවික සෙබළකු විසින් බයිනෙත්තු බඳෙන් හිසට පහරදෙන පින්තූරයයි. එම ගෞරවය ප්‍රවීණ කැමරා ශිල්පි සේන විදානගමයන්ට හිමිවෙයි.


මෙම පහරදීම පිළිබඳ වගකීම තමන් භාරගන්නා බව දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය මාධ්‍ය නිවේදන නිකුත් කළත් එම චූදිත නාවික සෙබළා වන බළනැවි ගුවන් විදුලි කාර්මික ශිල්පියකු වූ රත්ගම බූස්සේ උපත ලද එවකට 22 හැවිරිදි වූ විජිත රෝහණ විජේමුණි කියා සිටියේ එය සාවද්‍ය ප්‍රකාශයක් බවයි.


“මම කිසිම පක්ෂයක සාමාජිකයකු නොවෙයි. එම පියවර ගන්නට මගේ සිත බලකළා. මව්බිමට සැබෑ ලෙසම ආදරය කළ නිසා.

 

සිතට එකඟව ආවේගශිලීව ඔහුට පහර දුන්නා. අදත් මම එම තීරණය ගැන ආඩම්බර වෙනවා” යුද්ධාධිකරණය විසින් හය වසරක සිර දඬුවමක් පැනවූවත් බලයට පැමිණි ජනපති ආර්. ප්‍රේමදාස මහතා විසින් දෙවසරකින් පොදු සමාව යටතේ නිදහස ලබාදුන් විජිත රෝහණ විජේමුණි මාධ්‍යයට පවසා තිබිණ.


1987 ජුලි 28 වැනිදා සිට දින 12 ක් පුරා පැවති මෙම නඩු විභාගය යටත් විජිත යුගයෙන් පසු ශ්‍රි ලංකා යුධ අධිකරණයේ විභාග වූ සුවිශේෂී නඩුව ලෙස සැලකේ. 


1987 ජුලි මස 30 දින කොළඹ ජනාධිපති මාවතේදී ඉන්දීය අගමැති රජිව් ගාන්ධි මහතාට චේතනාවක් ඇතිව හෝ දැනුමක් ඇතිව රයිෆලයකින් පහරදී කරනු ලැබූ ක්‍රියාවෙන් ගාන්ධිගේ මරණය සිදුවූයේ නම් දණ්ඩනීති සංග්‍රහයේ 300 වැනි වගන්තිය සමග වූ නාවික හමුදා ආඥාපනතේ 119 වැනි වගන්තිය ප්‍රකාරව මිනී මැරීමට තැත් කිරීමේ වරද හා නාවික හමුදා විනය රෙගුලාසි උල්ලංඝනය කිරීම නිසා එම ආඥා පනතේ 104 වැනි වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරද චූදිතයාට එල්ල වූ චෝදනාව විය. 


නාවික හමුදා කොමදෝරු කේ. ආර්. එල්. පෙරේරා කපිතාන් බුද්ධි සිරිවර්ධන යුදහමුදා කර්නල් විජයවිමලරත්න යන අයගෙන් යුද්ධාධිකරණය සමන්විත වූ අතර නීති උපදේශක ලෙස කර්නල් ඩබ්ලිව්. එච්. නිරිඇල්ල කටයුතු කළේය.


රජයේ ජ්‍යෙෂ්ඨ නීති උපදේශක කපිතාන් රාජා ප්‍රනාන්දු මහතා සමඟ ලුතිනන් බාලා ප්‍රනාන්දු මහත්මිය පැමිණිල්ල වෙනුවෙන්ද හිටපු කතානායක වරයකු වූ නීතිඥ ස්ටැන්ලි තිලකරත්න බි්‍රගේඩියර් ඩොනල්ඞ් හේවාගම ජයන්ත වීරසිංහ ආදී නීතිඥ පිරිසක් චූදිතයා වෙනුවෙන් පෙනී සිටියහ.


මෙහිදී වීඩියෝපට, හඬපට හා නිෂ්චල ඡායාරූප මෙන්ම නව තාක්ෂණයෙන් සකස් කළ ශ්‍රව්‍ය දෘෂ්‍ය රූපමය සාක්‍ෂි රැසක් ඉදිරිපත් වූ අතර කිසිම චෝදනාවකින් චූදිතයා මරණීය චේතනාවෙන් රජිව් ගාන්ධිට පහරදුන් බවට ඔප්පු කිරීමට අසමත් වූ බව පෙනේ.


අවසානයේදී මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවෙන් නිදහස ලැබූ විජිත රෝහණ විජේමුණි අනියම් මිනීමැරුමට තැත් කිරීමේ චෝදනාව මත බරපතළ වැඩ ඇතිව සය වසරකට බන්ධනාගාරයට නියම විය. සිරගෙදරදි ඔහුට ලැබුණු උණුසුම් ප්‍රතිචාරයන්ය.


මගෙ දෙස බස රැස පහරන්නට ආ
සතුරන් පන්නා ජයදද නංවා
දිවි හිමියෙන් මව්බිම රැකලා
මා මියයනවා ආදර අම්මේ


සිරගෙදර සිට පොතපත කියවූ තම චරිත කතාව ලියූ ජ්‍යොතිෂය හැදෑරු විජිත රෝහණ විජේමුණි නම් ආන්දෝලනාත්මක චරිතය තම ආදරණීය මවට මෙසේ ලීවේය.


රජිව්ට මං පහරදුන්නේ ඇයි කියලා මෙම ගීයෙන් මනාව පිළිඹිබු වෙනවා. අම්මේ ඔබ මා මෙලොවට බිහිකළේ කුමක් හිතාගෙනද? රට ජාතියට වැඩදායක පුතෙක් වේවා කියා පැතුවා නේද? අම්මාගෙන් එදා බිව් කිරිවල ගුණය රැකගැනීමට රට වෙනුවෙන් මගේ යුතුකම මං කළා ඊට කාගෙන්වත් සමාවක් ඕන නෑ.


නාවික හමුදාවේ විනය උල්ලංඝනය කිරීමේ වරදට ඔහුට තමන් සටන් කළ නාවික හමුදා රැකියාවද අහිමි කෙරිණ. චුදිතයාගේ වෑයම වූයේ රජිව් ගාන්ධිට ජාත්‍යන්තර වශයෙන් අපහාස කිරීම මිස ඔහු මරා දැමීම නොවන බව විත්තියේ නීතිඥ ස්ටැන්ලි තිලකරත්න තර්ක කළ අතර ඒ සඳහා කෙළ ගැසීම බැණීම වැනි පහසුකම තිබියදී චුදිතයා තෝරාගත්තේ තම අතරැදි අවිය බවද පැවසීය. එහි පතරොම් තිබුණේද නැත.


එසේම සම්මාන මුරයේ පෙරෙට්ටුව සඳහා විජිත රෝහණ විජේමුණිගේ නම කලින් යෝජනා වී තිබුණේ නැත. එම ස්ථානයට යෝජිතව තිබුණේ ද්‍රවිඩ නිළධාරියෙක් ඔහු ඉවත්කර විජිත රෝහණ එතැනට යොමු කිරීම අහම්බයක් වූ අතර උද්වේගකර සිතුවිලිවලින් පීඩිතව සිටි සිංහල සෙබළා රජිව්ට එරෙහිව අවිය එසවීම සැකයේ වාසිය විත්තියට හිමිවීමක් බවට තර්ක කෙරිණ. 


මෙම නඩුවේ තවත් සුවිශේෂී සිද්ධියක් වූයේ විත්තියේ බලවත් තර්ක විතර්ක මැද අවසානයේදී මෙයට සම්බන්ධ වීඩියෝ පටය ප්‍රදර්ශනය කිරීමය. විඩියෝ පටය සංස්කරණයෙහි සිදුවිය හැකි වෙනස් වීම්ද සැලකිල්ලට ගැනිණ. එහෙත් එහිදීද ඔප්පු වූයේ මරණීය තුවාල කිරීමේ චේතනාවෙන් පහරදීමක් වූ බව නොපෙනීමයි.


රජිව් ගාන්ධිට පහර වැදුණු බව පැවසුවේ ලුතිනන් බුත්පිටිය පමණි. එය ප්‍රදර්ශණය නොවිණ. නොවැදුණු පහරකට මිනීමැරීමට තැත් කළායයි කීම සාවද්‍ය බව විත්තියේ තර්කයයි.


“මට අනතුරක් නෑ” රජිව් පවසනු ඇසිණ. මෙවෙලේ ජනපති ජේ. ආර්. ගේ හඬද හඬ පටියෙන් ඇසිණ. එය ඔහු කළේ නෑ එය සිදු කළේ සූර්යයායි” ජේ. ආර්. කියනු ඇසිණ. සාමාන්‍යයෙන් හිරු රැසින් පීඩාවිඳි හමුදා සෙබළුන්ට දරාගත නොහැකිව ඇද වැටෙන අවස්ථා බහුලය. මෙයද එවැන්නකැයි ජේ. ආර්. සිතන්නට ඇත නැතහොත් භයානක ප්‍රතිඵල ඇතිවේ යැයි සිතා කියුවා විය හැකිය.


කෙසේ වෙතත් කලකට පසු නිදහස් රට වැසියකු ලෙස විජිත රෝහණ විජේමුණි මාධ්‍යයට පැවසුවේ තමා එම ක්‍රියාව කළේ මරණීය චේතනාවෙන්ම බවයි.

 

 

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.