ත්‍රස්තවාදී විපතින් උපන් දැය රැක ගැනීමට දිවි හිමියෙන් සටන් වැදුණු රණවිරුවන් අතරින් සුවිශේෂී ඇගැයීමකට ලක්වන පිරිසකි යුද හමුදාවේ බුද්ධි මෙහෙයුම් අංශය. ඉතා රහසිගතව සැලසුම් සකස් කර එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මර්මස්ථානවලට පහරදීම තුළින් මෙම බළකාය ලක්දෙරණේ අනන්‍යතාව රැක දීමට ක්‍රියා කළේය. 


වචන මාත්‍රයකින්වත් මෙම බුද්ධිමය නිලධාරීන් හෝ ඔවුන්ගේ සැළසුම් හෙළි නොකිරීමට රජය බැඳී සිටියේය. ඒ රජයේ මෙන් ජනතාවගේද ඉරණම පැවතියේ එම ක්‍රියාදාමයන් මත බැවිනි. 


එහෙත් යුද උණුසුම තීව්‍රවූ මොහොතක ඒ මහා පාවාදීම සිදුවිය. මෙතෙක් ලොවටම රහසක්ව තිබූ අතුරුගිරියේ පිහිටි මිලේනියම් සිටි නිවස්නය පිළිබඳ හා දිගදුර විහිදුම් බළකායේ බුද්ධි අංශය පිළිබඳව සියලු රහස් අවස්ථාවාදී දේශපාලන බලවේගයන් විසින් හෙළිදරව් කෙරිණ. 


2008 - 2009 වසරවල සිදුවූ ඝාතන රැල්ල පිළිබඳව රහස් පොලිස් පරීක්‍ෂණ වෙනතකට හැරවීම සඳහා අභිරහස් හමුදා කණ්ඩායමක් මෙහි සිටිතැයි එම පුද්ගලයන් එල්ල කළ චෝදනාවල අවසන් ප්‍රතිඵලය වූයේ මිලේනියම් සිටි නිවස්නයේ සියලු රහස් හා ඊට සම්බන්ධ රණවිරුවන් පිළිබඳ තොරතුරු හෙළිවීමය.


එම තොරතුරු එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙත යාම නිසා දැයේ සම්පතක් බඳුවූ දුර්ලභ ගණයේ විරුවන් රැසක් හුදෙකලා ඝාතනවලට ලක්වූහ. 2002 දී මිලේනියම් සිටි මහා පාවාදීම සිදුවීම එහි සිටි විරුවන් මෙහෙය වූයේ මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණය. දිවි ගලවා ගැනීමට හැකිවූ අතළොස්සගෙන් කෙනෙකු වන්නේද ඔහුය. ප්‍රභාකරන්ගේ ඝාතන ලැයිස්තුවේ හතරවැනියා වූයේද කපිල ය. 


ප්‍රභාගේ මරණයත් සමගම මුල්වරට හමුදා පිරිසක් මැලේසියාවට යවා ඊශ්‍රායලයෝ මොසාඞ් ක්‍රමය අනුව ලේ වැගිරීමකින් තොරව කුමරන් පද්මනාදන් හෙවත් කේ. පී. අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම කළේද කපිල හෙන්දාවිතාරණය. ඔහුගේ දෙවැනියා ලෙස කලක් සේවය කළේ හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ බි්‍රගේඩියර් සලේය. 


මිලේනියම් සිටි නිවහනේ රහස් හෙළිවීමත් සමගම බුද්ධි නිලධාරීන් ඝාතනයට ලක්වන්නට විය. මේ අතරින් කැපී පෙනෙන ආරෝහ පරිණාහ දේහයෙන් හා තීක්‍ෂණ ඥානයෙන් හෙබි දුටුවන් නෙත් සිත් ගත්තා වූ එක් මැලේ ජාතික තරුණ නිලධාරියෙක්ද විය. 


යුද හමුදාවේ දිගු දුර මෙහෙයුම් බළකායේ එනම් ඛඍඍඡ :ඛදබට ඍ්බටැ ඍැජදබබ්සි්බජැ ඡ්එරදක* අරඹා බුද්ධි අංශයේ අණදෙන්නා ලෙස උතුරු - නැගෙනහිර යුද බිමේ උසස් මෙහෙයක් කළ ඔහු කර්නල් තුවාන් නිසාම් මුතාලිෆ්ය. ඔහු එල්.ටී.ටී.ඊ. ය විසින් ඝාතනයට ලක් නොකළා නම් මෙම වසරේ ජුනි 12 වැනිදා වනවිට වසර 52 කි. 


1966 ජුනි 12 වැනිදා කළුබෝවිලදී මැලේ ජාතික පවුලක ඉපිද දෙහිවල හැදුණු වැඩුණු මුතාලිෆ් කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලයෙන් උසස් පෙළ හැදෑරුවේය. අධ්‍යාපනයට මෙන්ම රගර් හා මලල ක්‍රීඩාවන්ටද අතිදක්‍ෂයකු විය. වාද විවාදවලටද ගුටි කෙළිවලටද එක සේ නම් දැරූ ඔහු සාහිත්‍යකාමියකු හා ගායකයකු වූ බව පාසල් මිතුරෝ පවසති. 


මුදල් අයකැමියකු වශයෙන් අහුන්ගල්ලේ අවන්හලක සේවය කරද්දී යුද හමුදාවට බැඳීමේ ආශාවෙන් අයැදුම්පතක් යැවූ නමුත් ඔහු දේශපාලන ගැත්තකු නොවූ නිසා මන්ත්‍රී ලැයිස්තුවෙන් කැපුණ බව මිතුරෝ කියති. 


1986 දී කැඩෙට් නිලධාරියකු ලෙස යුද හමුදාවට එක්වුණු මුතාලිෆ් 1987 දී දෙවැනි ලුතිනන් තනතුරටද 1984 දී ලුතිනන් තනතුරටද 1992 දී කපිතාන් නිලයටද 1995 දී මේජර් නිලයටද එක්වූයේය. මියයෑමට කලින් 2005 මැයි 01 වැනිදා ලුතිනන් කර්නල් ධුරයට උසස් කෙරිණ. 


පාකිස්තානය, බංග්ලාදේශය, හවායි, ඉන්දියාව හා ඇමරිකාව වැනි රටවල හමුදා බුද්ධි මෙහෙයුම් පිළිබඳ ඉහළින් හැදෑරූ මුතාලිෆ් ජීවිතයෙන් වැඩි කාලයක් උතුරු - නැගෙනහිර රණ බිමෙහි ගත කළේය. 


ඔහු යුද සෙබළුන්ට පමණක් රාජකාරිය පවරා අහස් මාලිගාවල වැජඹුණු සේනාධිනායකයෙක් නොවිණ. මහ රෑ හමුදා කඳවුරෙන් රහසේ ගම්මානවලට ගොස් ජන ජීවිතය හා සතුරු උපක්‍රම පිළිබඳව සොයා බලා සටන් කළ හැකි හා සැඟවී සිටිය හැකි ස්ථාන පිළිබඳ ගවේෂණය කරමින් කාලය ගෙවීම සිරිතක් කරගෙන සිටියේය. 


අලුයම් යාමයේ මඩ හා ලේ තැවරුණු නිල ඇඳුම් හා පැලඳුම් සමග කඳවුරට පැමිණ කිසිවක් සිදු නොවුණා මෙන් කුඩා දරුවකු සේ කුකුල් නින්දට වැටෙන මේජර්වරයා සෙබළුන් අවදිකර යළි අතුරු මාර්ග ඔස්සේ ගොස් මරා දැමුණ ත්‍රස්තවාදීන්ගේ මළ සිරුරු තොගයක්ම කඳවුර වෙත ගෙන ආ බව වාර්තා විය. 


දිගින් දිගටම මැදියම් රෑ එල්ලවුණු අබිරහස් ගිනි අවි ප්‍රහාර නිසා කොටි සගයින්ගේ හා නායකයන්ගේ මළ සිරුරු ගොඩ ගැසෙත්ම ත්‍රස්තවාදීහු කලබල වූහ. මෙම අබිරහස් මරණ පිළිබඳව හමුදා තොරතුරු අංශයට මෙන්ම ජනමාධ්‍යවලට තොරතුරු ගලා එන්නට විය. 


කොටි නියෝජ්‍ය නායක තමිල් චෙල්වම්, කරුණා අම්මාන්, ජෙයම් බාලරාජ් මාරාන්තික ප්‍රහාරවලට මුහුණ පෑ අතර කර්නල් චාල්ස් හා චෙලියන් වැනි ප්‍රභාකරන්ගේ ඥාතීහු මරුමුවට පත්වූහ. අමරන්, ගුවන් කොටි බළකායේ නිර්මාතෘ වයිතිලිංගම් හෙවත් කර්නල් ශංකර් ඔඞ්ඩුසුඩාන්හිදී මුතාලිෆ්ට බිලිවූ විට කොටි නායකයන්ට මරණ බිය ඇතිවිය. 


“කවුද මේ මුතාලිෆ් කියන ඉලන්දාරියා? ඔහු මෙහෙයවූ මහසෝන් බළකාය කුමක්ද? ඔහු මෙහෙයවන්නේ කුමන බළකායෙන්ද? ඔවුන්ගේ සැලසුම කුමක්ද?” යනාදී ප්‍රශ්න වැලක් එල්.ටී.ටී.ඊ. යට ඇතිවූ නමුත් තොරතුරු නොලැබිණ. 


කොටින්ගේ මර්මස්ථානවලට පහරදී ඔවුන් සුනු විසුනු කරන අතරම අද්භූතජනක ලෙස හුදෙකලාවූ කොටින් ඝාතනය කරන මෙම අදෘෂ්‍යමාන බලවේගය ගැන සැකය මුතාලිෆ්ට එල්ල වුණද ඔහු මෙහෙයවූ මහසෝන් බළකාය ගැන තොරතුරු දැනගත් ප්‍රභාකරන් ඔහු රණබිමෙන් මෙන්ම දිවියෙන්ද තුරන් කිරීමට අවස්ථාව සෙවීය. 


2001 වසරෙදි බලයට පැමිණි අගමැති රනිල් වික්‍රමසිංහගේ සමයේදී පොලිස් නිලධාරියකු වූ කුලසිරි උඩුගම්පොළගේ අධීක්‍ෂණය යටතේ මිලේනියම් සිටි ආරක්‍ෂක නිවස්නය පිළිබඳ සියලු තොරතුරු ලොවට හෙළිදරවු කරනු ලැබිණ. මේ නිසා මෙතෙක් රහසේ කෙරුණු යුද උපක්‍රම හා ඊට සම්බන්ධ රණවිරුවන්ගේ තොරතුරු එල්.ටී.ටී.ඊ. ය අතට පත්විණ. 


ඉන්පසු සිදුවූයේ මිහිකත නුහුලන අපරාධ රාශියකි. රණවිරුවන් එකිනෙකා හුදෙකලාවන අවස්ථාවන්හි ඔවුන් ඝාතනය කෙරුණු අතර අණදෙන නිලධාරීන් හා දේශපාලන ප්‍රභූවරුන්ටද මරණයේ සෙවණැල්ල දකින්නට ලැබිණ. එහි නවතම ගොදුර වූයේ මුතාලිෆ්ය. 


2005 වසර එළැඹිණි. යුද මානසිකත්වයෙන් ඔද්දල්වුණ මුතාලිෆ්ගේ සිත සැනසුණේත් ගත තැන්පත් වුණේත් රට වෙනුවෙන් පුතු කරනු ලබන වීරක්‍රියා අසමින් ඔහුට දිරිය දුන් මව්පියන්ගේ ආශිර්වාදයෙනි. ඔවුහු අදත් ගල්කිස්ස මහගෙදර විශ්‍රාම සුවයෙන් පසුවෙති. 


එසේම තම ආදරණීය ස්වාමිපුරුෂයාට දිරිය සවිය හා පෝෂණය සලසමින් නව හැවිරිදි දියණියත්, සිව් හැවිරිදි පුත්‍රයාත් සමග ඔවුන්ගේ කැදැල්ල ආලෝකමත් කළේ මුතාලිෆ්ගේ දයාබර බිරිඳවන කුමුදිනීය. 


යුද හමුදා මේජර්වරියකව සිටියදී මුතාලිෆ් සමග විවාහ දිවියට පා තැබූ ඇය මෑතක යුද හමුදාවෙන් විශ්‍රාම ගියේ කර්නල්වරියක ලෙසිනි. මනෝ උපදේශනය පිළිබඳ උසස් ජාත්‍යන්තර පාඨමාලාවක් හැදෑරූ ඇය යුද්ධය හා සමාජ ගැටලු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට මනෝ උපදේශනය දෙමින් සැමියාගේ සත්කාර්යයට දායක වූවාය. 


මිතුරු සෙවණ මත් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ බාහිර මනෝ උපදේශිකාවක ලෙසද ඇය ස්වේච්ඡාවෙන් සේවයේ නියැළී සිටින්නීය.


කුමුදුනී මෙන්ම මුතාලිෆ්ද කොතරම් භාරධූර රාජකාරිවල නියැළී සිටියද දැනුම වර්ධනය කරගැනීමේ පිපාසය අත්හළේ නැත. මුතාලිෆ් රත්මලාන ආරක්ෂක පීඨයේ පැවැති පරිගණක පාඨමාලාවක් හැදෑරීමට නිතර ගියේය. මුතාලිෆ්ගේ දෛනික ක්‍රියාකාරකම් පිළිබඳව උතුරේ සිට දකුණට පැමිණි එල්.ටී.ටී.ඊ. ඝාතකයෝ මැනවින් හැදෑරූහ.


ලුතිනන් කර්නල් නිසාම් මුතාලිෆ් 2005 මැයි 31 වැනිදා පරිගණක පාඨමාලාවට සහභාගීවීම සඳහා නාරාහේන්පිට මාතා පාරේ පිහිටි තම නිල නිවසේ සිට පස්වරුවේ තම නිල රියෙන් ගමන් ගත්තේය. ඔහුගේ රියැදුරු ලෙස එදා සිටියේ සෙබළ හේරත්ය. 
“එදා අපේ වාහනය නාරාහේන්පිට සිට රත්මලානට ගමන් ගත්තා. පොල්හේන්ගොඩ දී අප හඹාගෙන වාහන පෙළක් එන බව දැනුණා. අප වේගයෙන් ධාවනයේ යෙදුණත් ඔවුන්ගෙන් බේරීමට නොහැකි බව තේරුණා.”


“සර්ගේ මුහුණේ කිසිම බයක් පෙනුණේ නෑ. වෙනද වගේම කඳ කෙළින් තියාගෙන ඉණේ තිබුණු පිස්තෝලය එළියට අරන් සටන් කරන්න සූදානම් වුණා. ඒත් උන්ගේ වෙඩි උණ්ඩ වර්ෂාව ඉක්මන්වෙලා සර්ව බිලි ගත්තා” සෙබළ හේරත් පවසයි.
මිනි ඌෂි වර්ගයේ ගිනි අවියෙන් සහ එම් 16 ගිනි අවියෙන් නිකුත්වූ උණ්ඩ මුතාලිෆ් වීරවරයාගේ සිරුර විනිවිද ගොස් තිබිණ. වෙස් වළාගෙන සතුරු කඳවුරු තරණය කර රට වනසන සතුරන් සමූල ඝාතනය කර ලක් මව රැකගත් දේශප්‍රේමී මුතාලිෆ් රණවිරුවා වියෝවී 13 වසරක් ගත වුවත් ඔහු ජන හදවත් තුළ ජීවමානය.

 

 

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි