ජනාධිපති දියණිය චතුරිකා සිරිසේන ලියූ “ජනාධිපති තාත්තා”කෘතියෙනි. 3

 

පොදු අපේක්ෂකයා

2013 වන විට සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරය, පුරවැසි බලය ආදී විවිධ නම්වලින් නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, ලිබරල්වාදය යන සංකල්ප මුල් කරගෙන මහජන බලවේග ගොඩනැගෙන පරිසරයක් රටේ ඇති විය. ඒ අතර ‘පොදු අපේක්ෂක’ නමැති සංකල්පය ද වැඩි ජනප්‍රියතාවක්  හිමිකරගෙන මේ සියලු බලවේග සමග සමාන්තර ගමනක නිරත විය. එය තරමක ඉතිහාසයක් ද සහිතව 2010 වසරේ පමණ සිට රට තුළ ක්‍රියාත්මක වූ ආන්දෝලනාත්මක අදහසකි. නමුත් එය 2010 වසරේ ජනාධිපති අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට උරුම කරදුන් ඉරණමත් සමග තරමක ව්‍යාකූල හා දෝෂ සහිත සංකල්පයක් ලෙස සමාජය තුළ පරිපාකයට යමින් තිබුණේය. එසේම එවර ‘පොදු අපේක්ෂක’ නම් වචනයේ අර්ථය සැබෑ ලෙසම නිරූපණය නොවුණේ පක්ෂ කිහිපයක ආධාරය මිස ආණ්ඩු පක්ෂය ඇතුළු රටේ සෑම පක්ෂයකම පාහේ සහයෝගය සරත් ෆොන්සේකා මහතාට නොලැබුණු නිසයි.

සැබැවින්ම රටේ පොදුමතය සකස් වී තිබුණේ රාජපක්‍ෂ පාලන සමයේ දී ‘පොදු අපේක්ෂක’ යනු පරාජය නියත විනාශයේ සංකල්පයක් ලෙසයි. ඒ 2010 වසරේ සරත් ෆොන්සේකා මහතා මුහුණ දුන් ඛේදනීය අත්දැකීම් සම්භාරය හේතුකොටගෙනයි.


ඔහු ජනාධිපතිවරණය අවසන්වීමත් සමග ජනාධිපති අපේක්‍ෂකයෙකුවීමේ පාපයෙන් රාජපක්‍ෂ මහතාගේ දේශපාලන පළිගැනීම්වල ගොදුරක් ලෙස විවිධ චෝදනා යටතේ සිර භාරයට ගැනුණි. එමගින් ඔහුගේ ජීවිතය පමණක් නොව පවුලේ අයගේ ජීවිත ද විනාශ මුඛයට ඇද වැටිණි.


අවසානයේ සිදු වූයේ රටක්ම ඔහු හා ඔහුගේ පවුල කොන් කොට අමතක කර දැමීමයි. පොදු අපේක්‍ෂකයාගේ ඉතිහාසය එයාකාර විය. එහෙයින් 2010 ට පසු ඒ සංකල්පයම අසාර්ථක හා  බිහිසුණු අදහසක් ලෙස බිඳ වැටී ආගාධයට ගොස් තිබුණි.


නමුත් මා මින් පෙර සඳහන් කළාක් මෙන් 2014 වර්ෂය වන විට කෝට්ටේ නාග විහාරාධිපති අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මූලිකත්වයෙන් රටේ උගත් හා බුද්ධිමත් වෘත්තිකයෝ, ලේඛකයෝ, මාධ්‍යවේදීහූ හා කලාකරුවෝ මේ පාලන ක්‍රමය බිඳ දැමීමේ අරමුණෙන් එක් රොක් වී සිටියහ. එසේම ආණ්ඩු පක්‍ෂය වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැති ඇමැතිවරුන් ද තිරයේ බොහෝ දිනවල තාත්තා සොයා අපගේ නිවසට විත් මේ මුග්ධ පාලන ක්‍රමය වෙනස් කරමු යැයි කඳුළු සලමින් හඬා වැලපුණු ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු ද තමාට සිදුවන අසාධාරණකම් ඉවසාගත නොහැකිව වේදනාවෙන් දුක් ගැනවිලි කී ජ්‍යෙෂ්ඨයෝ ද බොහෝ වූහ. ඒ ඔවුන්ගේ විශ්වාසවන්තම මෙන්ම දුක් අඳෝනාවලට සංවේදී වන එකම පුද්ගලයා ද තාත්තා වූ නිසයි. නමුත් තාත්තා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මොහොතේ ඒ කිසිවෙකුත් ඔහුගේ සහයට පැමිණියේ නැත. ඒ හුදෙක් රාජපක්‍ෂවරුන්ට තිබූ බය හේතුකොට ගෙනයි.


කෙසේ වුවත් 2013 මුල සිට එතරම් ජනතා අවධානයක් දිනා නොගන්නා සෝභිත හාමුදුරුවෝ ප්‍රමුඛ සාධාරණ සමාජයක් උදෙසා ජනතා ව්‍යාපාර 2014 වසර වන විට යම් අවධානයකට ලක් වෙමින් සක්‍රීය තලයට පැමිණීමට සමත් වූහ. නමුත් ඒ තුළ හුවමාරු වූ මතවාදයන්ගේ යම් යම් වෙනස්කම් පැවැතුණු අතර එක් පිරිසකගේ දැඩි මතය වූයේ සෝභිත හිමියන් පොදු අපේක්‍ෂක ලෙස එළැඹෙන ජනාධිපතිවරණයට තරග කළ යුතු බවයි.


මන්ද, උන්වහන්සේ පැවිදි භික්‍ෂුවක් වූ නිසාම වෙනත් කිසිදු අපේක්‍ෂාවකින් තොරව ජනපති ධුරය හොබවන්නට ඉඩ ඇති බව මෙන්ම නොබියව සටන් කළ හැකි හිමිනමක් ද වේ යැයි විශ්වාස කරමිනි. එහෙත් තවත් පිරිසක් මේ මතයට විරුද්ධ වූහ. ඔවුන් පැවැසුවේ පැවිදි හිමිනමක් ඒ සඳහා නුසුදුසු බවත් මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කිරීමට නම් ඒ සඳහා ආණ්ඩු පක්‍ෂයේම ප්‍රබලයෙකු තරගයට ඉදිරිපත් කළ යුතු බවත්ය.


සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරය තුළ මේ එකිනෙකට පරස්පර විරෝධී මතවාදයන් දෝලනයවෙමින් පැවැතිණි.


ඒ සමගම සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරය තම ක්‍රියාකාරිත්වය තව තවත් සක්‍රීය තලයට රැගෙන එන අතර ඔවුහු නැවත පොදු අපේක්‍ෂක අදහස ප්‍රධාන තලයකට රැගෙන ඒමට ද කටයුතු කළහ. එවර ඔවුන් වැඩි අවධානයක් යොමු කරන්නේ එජාපයේ රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට එම පක්‍ෂයෙන්ම වෙනත් නායකයෙකු පොදු අපේක්‍ෂකත්වයට ඉදිරිපත් කිරීමටයි.
කරු ජයසූරිය, රවි කරුණානායක, සජිත් ප්‍රේමදාස වැනි බලවතුන් ඒ සඳහා යෝජනා වන නමුත් රනිල් වික්‍රමසිංහ මහතා ඒ කිසිවකට එකඟ වන්නේ නැත. මේ හේතුව නිසා රනිල් වික්‍රමසිංහ මහතාට සෝභිත හිමි නිර්මාණය කළ සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරය අභියෝගයක් වන තත්ත්වයක් ගොඩනැඟෙන්නේය. සැබැවින්ම එතැන් සිට එකී ව්‍යාපාරය මහින්ද විරෝධී ව්‍යාපාරයකට වඩා රනිල් විරෝධී ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වීම ඇරැඹෙන්නේය.


මේ අතරවාරයේ 2014 අගෝස්තු මස දිනෙක සැන්දෑ වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකු වූ ඩලස් අලහප්පෙරුම මහතාගේ කොල්ලුපිටියේ පිහිටි අමාත්‍යාංශයේ කාලීන දේශපාලන පසුබිම පිළිබඳ විශ්ලේෂණයක් ලෙස සංවාදයක් සංවිධානය වන්නේය. එම වැඩසටහනේ දී ඉතා හරවත් ලෙස පවතින දේශපාලන තත්ත්වය විශ්ලේෂණය කළ දත්ත සහිත පරිගණක ඉදිරිපත් කිරීමක් සිදුකිරීමට එවකට ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයාගේ අමාත්‍යාංශයේ සේවය කළ මලිත් ජයතිලක මහතා සමත් වන්නේය.

ඔහු විසින් ඉතා දීර්ඝ ලෙස සිදු කළ විශ්ලේෂණයේ අවසන් හැඟවුම වූයේ පොදු අපේක්‍ෂක ලෙස ආණ්ඩුවේ ප්‍රබලයකු යොදා ගතහොත් ඉදිරි මැතිවරණයේදී ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා නියත වශයෙන්ම පරාජය කළ හැකි බවයි. සැබැවින්ම එම විශ්ලේෂණය රාජපක්‍ෂ පාලනය බිඳ දැමීමට ගෙන ගිය ක්‍රියාවලියේ පදනම සකස් කිරීමට සුවිශේෂී මෙහෙයක් ඉටු කළ බව කිව යුතුය. එම අවස්ථාවට සහභාගී වී සිටි රාජිත සේනාරත්න, රෙජිනෝල්ඞ් කුරේ, ජනක බණ්ඩාර තෙන්නකෝන් වැනි ප්‍රබලයින් නිසා ද ඒ ක්‍රියාන්විතයට පක්ෂ විපක්‍ෂ භේදයකින් තොරව සහයෝගය ලැබෙන බව නිරූපණය විය.


2014 වසරේ සැප්තැම්බර් මස විසිවැනි දින පැවැති ඌව පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල මේ සියලු රහසිගත සැලැසුම්වලට නැවත වරක් මහා ආලෝකයක් සපයන්නේය. මහින්ද රාජපක්‍ෂ මහතාගේ පරාජය වැඩි ඈතක නොවන බව බොහෝ දෙනෙකුට පසක් වන්නට පටන් ගන්නේ ඒ මොහොතේයි. එම මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය මුළු ඡන්ද 349,906 ක් ලබා ආසන 19 ක් ලබා ගන්නා විට එක්සත් ජාතික පක්‍ෂය මුළු ඡන්ද 274,773 ක් ලබා ආසන 13 ක් ක් දිනා ගැනීමට සමත් වන්නේය. එහි ප්‍රතිශතයක් ලෙස 51,246% ක් හා 40.242% ක් විය මේ මැතිවරණ ප්‍රතිඵලයත් සමග විපක්‍ෂය ඇතුළු මහින්ද විරෝධීහුද මහින්ද ඇතුළු රාජපක්‍ෂවරු ද මහත් කලබලයට පත්වූහ.


කෙසේ නමුත් රට පුරා ඉතා ශීඝ්‍රයෙන් සක්‍රීය වන මේ දේශපාලන ප්‍රවාහයන් තුළ තවදුරටත් නිහඬව සිටීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව ලැබෙන්නේ නැත. එසේම මහින්ද විරෝධී කණ්ඩායම් තුළ ද නැවත වතාවක් සෝභිත හිමියන් පොදු අපේක්‍ෂක තනතුරට සුදුසු යැයි පවසන විවේචනයට වැඩි අවධානයක් යොමු වන්නේය. එබැවින් වික්‍රමසිංහ මහතා තුළ තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා යැයි පැවැසූ දැඩි අදහස ක්‍රමයෙන් වෙනස් වීම ඇරැඹෙන්නේය.


මේ සියල්ල අතරතුර හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය රනිල් වික්‍රමසිංහ මහතා සමග දේශපාලනික වශයෙන් සම්බන්ධ වීමට පටන් ගැනීම මේ සියලු සැලැසුම්වලට නව මුහුණුවරක් එක් කිරීමට සමත් වන්නේය. එය සැබැවින්ම රාජපක්ෂ පාලන සමයේ අඩපණ කරනු ලැබූ පුද්ගල චරිත කිහිපයක් එකට එක්වීමක් හා සමානය. ඒ අනුව සිදුවූයේ රනිල් වික්‍රමසිංහ මහතා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පමණක් නොව දේශපාලනික වශයෙන් අපේක්‍ෂාභංග වූ සෝභිත හිමි ඇතුළු රාජපක්‍ෂ විරෝධී පිරිස් ද කාලයාගේ ඇවෑමෙන් එක් ඉලක්කයක් වෙනුවෙන් කණ්ඩායමක් සේ එකට එකතුවීමයි.


2015 ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීමේ කාර්යය සඳහා 2013 වසරේ ආරම්භයේ සිට පසුබිම් සකස් වන්නේ මෙයාකාරයෙනි.


නමුත් ඊට තාත්තා මැදිහත්වීම සිදු වන්නේ 2014 වසරේ අග භාගයේ පමණ වන අතර ඒ ද මෙවන් දීර්ඝකාලීන සැලැසුමක ප්‍රතිඵලයක් ලෙස නොවේ.