මැතිවරණය දිනෙන් දින ආසන්න බැවින් මාධ්‍ය හා සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ සිදුකරන මෙහෙයුම් පමණක් ප්‍රමාණවත්ද යන්න, කුකුසක් අපේ කණ්ඩායම තුළ ඇතිවන්නේ මේ අතරය. මන්ද, මාධ්‍ය ප්‍රචාරක යාන්ත්‍රණයකින් ජනතාව වෙත සමීප වී ඔවුන්ට සියයට සීයක් දැනුම්වත්භාවය ලබාදිය නොහැක. 


රටේ සෑම ආසනයකටම යෑම තාත්තාගේ අරමුණ වුවද පැවැති සීමිත කාලය හා ඔහුගේ කාර්යබහුලත්වය හේතුවෙන් එහි යම් යම් අඩුපාඩු ඇතිවීම නොවැළැක්විය හැකිය. එබැවින් අප කණ්ඩායම හරහා රට පුරා, ගමින් ගමට ගොස් ජනතාව දැනුම්වත් කරන්නට ව්‍යාපාරයක් දියත් කරන්නට හැකිවන්නේ නම් එය ඉතාම කාලෝචිත ක්‍රියාවලියක් බව මා වටා සිටි තරුණ පිරිස යෝජනා කරන්නාහ. සැබැවින්ම එදින ඇති වූ ඒ අදහස, තාත්තා ජයග්‍රහණය කරා රැගෙන යන්නට සිදු කළේ සුළු පටු මෙහෙවරක් නොවේ. යෝජනාව ඉදිරිපත් වූ මොහොතේම මම ඊට ඉතා කැමැත්තෙන් එකඟ වුවද පැවැති බියජනක වටපිටාව තුළ ආරක්ෂාව ප්‍රමුඛ අවශ්‍යතාවක් වූයෙන් ඒ සඳහා අවශ්‍ය වාහන, ඉඳුම් හිටුම් ඇතුළු සියලු දේ කඩිනමින් පිළියෙල කිරීමට උත්සුක වුණෙමි.


ඔවුන්ගේ උත්සාහය හා අධිෂ්ඨානය සැබැවින්ම විස්මයජනකය. මිනිසුන් අතට අවිආයුධ දී එය ‘රජය’ යැයි කියා ගන්නා අරුම පුදුම යාන්ත්‍රණයක කුරිරු හස්තයන් ගම් නියම් ගම් පුරා නොපෙනෙන බලවේග ලෙසින් නිරන්තරයෙන් ක්‍රියාත්මක වන බව දන්නා ඔවුන්, තාත්තාගේ ජය පතා එවන් දුෂ්කර ව්‍යාපාරයක් ගෙන යන්නට ඉදිරිපත් වූයේ ඇතැම් විට හෙට දින මරණයද තමාට උරුම වේ යැයි නොදැන නොවේ. එහෙත් ඔවුන් කිසිවිටෙක පසුබැස්සේ නැත. අධෛර්යයට පත්වූයේ නැත. බිය වූයේ නැත. එවන් කණ්ඩායමක් තනා ඊට නායකත්වය දෙන්නට හැකි වීම පිළිබඳ මට අදටත් ඇත්තේ ස්වයං ආඩම්බරයකි.


කෙසේවුවත් මේ රට වටා යන ගමන පිළිබඳ අදහස කණ්ඩායම තුළින් මතු වූ වහාම මම ඊට කැමැත්ත පළ කොට සියලු දෙනා සමග ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් සිදු කළෙමි. අප මේ කණ්ඩායමේ ව්‍යාපාරය නම් කළේ ‘මිත්‍රත්ව යාත්‍රාව’ ලෙසයි. ආරම්භයේදී, කණ්ඩායමේ මූලිකත්වය ගෙන සිටි මාගේ ඥාති සොහොයුරෙකු වූ ගයාන් ඇතුළුව රසික, භාතිය, භාරත වැනි කිහිප දෙනෙකුගේ අදහස වූයේ කාණ්ඩ දෙකක් වෙන් වෙන් වශයෙන් රට පුරා ගමන් කිරීමයි. එය වඩා ඵලදායි ක්‍රියාමාර්ගය වුවත් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලු පැවතියෙන් මම ඊට දැඩිව අකැමැති විමි. ජය පරාජය කුමක් වුවත් ඉන්පසු අපගේ ජීවිතවල ඉරණම කෙසේ විසඳුනත් ඒ වෙනුවෙන් කිසිවකුගේ ජීවිතයක් අවදානමට ලක් කළ නොහැක. එබැවින් මා එසේ නොකොට තනි කණ්ඩායමක් ලෙස එකට ගමන් කළ යුතු යැයි ඔවුන්ට උපදෙස් ලබාදුන්නෙමි. එලෙස විවිධ අදහස්, යෝජනා, මතවාද ඉදිරිපත් වුවද අපි සුපුරුදු සෙනෙහසින් ‘මිත්‍රත්ව යාත්‍රාව’ නම් නවමු ව්‍යාපාරයේ මූලික කටයුතු ඉතා සාර්ථක අන්දමින් සැලසුම් කළෙමු.


ඒ අනුව තාත්තාගේ ජය පතා “මිත්‍රත්ව යාත්‍රාව” දේශය පුරා යාත්‍රා කිරීම ආරම්භ කළේ 2014 වර්ෂයේ දෙසැම්බර් 26 වැනි දිනයි. ඒ පොළොන්නරුවේ පිහිටි මාගේ කුඩා සංචාරක නිකේතනය වූ බැඳි වැව “තිදස් අරණ” භූමියේ සිටයි. පැවැති කාර්ය බහුලත්වය නිසා මට එදින ඊට සහභාගී වන්නට නොහැකි වුවත් දුරකථන මාර්ගයෙන් හෝ සියල්ල මෙහෙය වීමට මම හැකි උපරිමයෙන් කටයුතු කළෙමි. 


මේ අතර පොළොන්නරුවට අධික වර්ෂාවක් පැවැතුණු අතර බොහෝ ප්‍රදේශ ගංවතුරට ද යටවී තිබුණි. නමුත් කිසිවෙක් කිසිවිටෙක තම අරමුණ අතහැර දැමුවේ නැත. ඒ පිළිබඳ වචනෙකින් හෝ මැසිවිලි නැඟුවේ ද නැත. සැලැසුම් කළ වේලාවන්, කාලගුණ විපර්යාසයන් නිසා එහෙ මෙහෙ වුවද ඔවුහූ එදින සිය සටන ආරම්භ කළහ. මේ අතර මා ද පුදුමයට ලක් කරමින් මේ මෙහෙයුමට සම්බන්ධ වීමට සුවිශේෂී පුද්ගලයක් එම ස්ථානයට පැමිණියේය. ඒ, කලෙක මා පාසල් නාට්‍යයකට සම්බන්ධ කරගැනීම සඳහා අවසර ලබාගැනීමට තාත්තා අසල පැය ගණනාවක් බලා සිට, අවසානයේ වචනයකදු නොලබා පිටව ගිය මාගේ ආදරණීය නාට්‍ය හා රංග කලා ගුරුවරයා වූ සුසන්ත කරුණාරත්න මහතායි. ඔහු වසර ගණනාවකට පසු අත්‍යාවශ්‍යම මොහොතේ මාගේ සහයට පැමිණියේ පුදුම සහගත ලෙසයි. 


තිදස් අරණෙන් ආරම්භ වූ මිත්‍රත්ව යාත්‍රාව පළමුව ගමන් ඇරඹුයේ දඹුල්ලටයි. අධික වැසි සහිත කාලගුණයක පවා ඔවුන් වටා එක්රොක් වූ ප්‍රදේශවාසීන් ප්‍රීතිඝෝෂා නඟමින් එවන් ව්‍යාපාරයක් දියත් කිරීම වෙනුවෙන් සිය ප්‍රසාදය ද තාත්තාගේ ජයග්‍රහණය වෙනුවෙන් ආශිර්වාදය ද පළ කර තිබුණි. මේ අතර ගංවතුර හේතුවෙන් නියමිත වේලාවට ඊට සහභාගීවන්නට නොහැකි වූ මනම්පිටිය ප්‍රදේශයේ තරුණ කණ්ඩායමක් ද විවිධ අතුරු මාර්ග ඔස්සේ දඹුල්ලට පැමිණෙමින් සිටි බැවින් දඹුලු නගරයම තාත්තා වෙනුවෙන් සැදුම්ලත් පිරිසෙන් ඉතිරී යන්නට පටන් ගත්තේය. 


ඒ සාර්ථක ආරම්භයේ ජවයෙන් ඔවුන් ඊළඟට ගමන් ඇරැඹුවේ කුරුණෑගල නගරය වෙතයි. නමුත් එදින ප්‍රචාරක කටයුතු කිරීමට තරම් කාලයක් ඉතුරු නොවූ හෙයින් නීතීඥ මහතෙකුගේ උපකාරයෙන් සැලැසුම් කරගත් පන්සලක ඔවුහූ නවාතැන් ගත්හ. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ කාංචනා වේවැල්පනාව නම් මාගේ සැමියාගේ වැඩිමල් සොයුරිය වෙනත් කාන්තා පාර්ශවයේ කිසිවෙකුත් නොමැතිව තනිව මේ ක්‍රියාවලියට එක්වී සිටි බවයි. තාත්තා පොදු අපේක්‍ෂක ලෙස ආණ්ඩුවෙන් ඉවත් වූ දින සිට මාගේ සහයට පැමිණි ඇය, විටෙක මාගේ ආරක්‍ෂකවරිය ද තවත් විටෙක මවක මෙන් මා පිළිබඳ සොයා බලන්නියක් ද වූවාය. ප්‍රදේශයෙන් ප්‍රදේශයට යමින් රැස්වීම් සංවිධානය කරනවිට කෑමක් බීමක් පිළිබඳ සිහියක් නොවූ බැවින් ඇතැම් දිනවල මම උදෑසන සිට රාත්‍රිය වනතෙක් නිරාහාරව සිටියෙමි. නමුත් ඇය මා හා පැමිණි දිනෙක, ගමන්ගන්නා වාහනයේ දී හෝ ගන්නට ආහාරය පිණිස යමක් පිළියෙල කරගෙන ආවාය. බොහෝ දිනවලදී මා සුළුවෙන් හෝ යමක් කෑමට ගතයුතු යැයි සිහි කැඳවූයේ ඇයයි. මට මෙන්ම ඇය මිත්‍රත්ව යාත්‍රාවේ තරුණ කැලට ද මවක මෙන් සහයෝගය පළ කළේ ඔවුන් සමඟ ඒ දුෂ්කර ගමනට දිනක් පාසා එක්වෙමිණි. එවන් ධෛර්යයකින් කටයුතු කළේ ඇය පමණක් නොවේ, නම් වශයෙන් සඳහන් කළ නොහැකි රටේ තවත් බොහෝ දෙනකු අප වටා රොක්වී සිටි අතර ඔවුන් සියලු දෙනා මගේ ලෝකයේ සදා නොමැකෙන නිර්භීත පුද්ගලයින්ය. 


දෙවැනි දවසේ කුරුණෑගල නගරයෙන් ගමන් ආරම්භ කළ තරුණ පිරිස නිකවැරටිය, වාරියපොළ, ගල්ගමුව මෙන්ම මාවතගම, දුන්නදුණුවිල, මල්කඩුවාව, පොතුහැර තම ප්‍රචාරක යාන්ත්‍රණය ක්‍රියාත්මක කළහ. නමුත් එදින ඔවුන්ට පෙර දිනයේ මෙන් සාමකාමී අයුරෙන් ක්‍රියා කරන්නට හැකියාවක් ලැබුණේ නැත. ආණ්ඩු පක්‍ෂයට අයත් කුරුණෑගල ප්‍රබල ඇමැතිවරයකුගේ සහචරයින් පැමිණ පහර දුන්නේ මිත්‍රත්ව යාත්‍රාව ගමන්ගත් බසයටම ගොඩවීගෙනය. නමුත් මාගේ කණ්ඩායමේ කිසිවෙක් ඔවුන්ට එකදු ඇඟිල්ලක් හෝ එසවූයේ නැත. මන්ද, ඒ වන විට නීතියේ පක්‍ෂපාතීත්වය ද රැඳුණේ ඔවුන් අතය. පැවැතුණේ, කුඩා අතපසුවීමකින් හෝ මහා පරිමාණ දඬුවමකට ගොදුරු වීමේ ප්‍රවණතාවකි. එය ඇතැම්විට මරණය ද විය හැක. එවන් අසාධාරණ ක්‍රමයක් තුළ ආත්මාරක්‍ෂාව වෙනුවෙන් හෝ පහරදීමකට සම්බන්ධ නොවන මෙන් මම ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ මේ ගමන පිටත් වීමට ද පෙර සිටය. 

ඔවුන් එය සම්පූර්ණ යාන්ත්‍රණය පුරාම රැකගත්හ. එතරම්ම ඉවසීමේ හා දරාගැනීමේ ශක්තියකින් යුතු තරුණ පිරිසකි, මා වටා සිටියේ. නමුත් තැනෙක මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශ්වයේ සහයකයන් ද සිනාමුසුව අප පාර්ශ්වය පිළිගත් අවස්ථා ද නැතුවා නොවේ. කුලියාපිටියේ මහින්ද මහතාගේ ආසන කාර්යාලයකටම ගොඩවී මිත්‍රත්ව යාත්‍රාවෙ පිරිස අත්පත්‍රිකා බෙදූ අවස්ථාවක ඔවුන් සිනාමුසු මුහුණින් ඒවා පිළිගෙන තිබුණේ ගතානුගතික ලාංකේය දේශපාලනයේ ගෝත්‍රික හා වෛරී ක්‍රමවේද අවඥාවෙන් බැහැර කරමිණි. පාලන බලය ඇත්තන් වපුරන වෛරය බිඳ දැමීමට සාමාන්‍ය ජනතාව හෝ පෙලැඹෙන්නේ නම් එය ජාතියේම වාසනාවකි. විය යුත්තේ ද එයයි. නමුත් සෑම තැනකම එය එසවූයේ නැත. දිගින් දිගටම මැර තර්ජන, ප්‍රහාර මිත්‍රත්ව යාත්‍රාව සොයා ආවේය. හෙට්ටිපොළ ප්‍රදේශයේ එක් තැනෙකදී අපේ බසයට කුළු ගෙඩියකින් ප්‍රහාරයක් එල්ලවී තිබුණු අතර ඉන් බසයේ ජනෙල්වලට ද බරපතළ හානි සිදුවී තිබුණි. 


මේ සියල්ල උපේක්‍ෂාවෙන් දරාගත් මිත්‍රත්ව යාත්‍රාව තෙවැනි දිනයේ නැංගුරම්ලෑවේ මහනුවර නගරයේ යි. දිනය ආරම්භයේදී ඉතා සාර්ථක ලෙස ව්‍යාපාරය ගෙන යාමට අපේ පිරිසට හැකි වූ අතර මහනුවර ජනතාවගෙන් ඊට ලැබී තිබුණේ ද උණුසුම් පිළිගැනීමකි. නමුත් අපේ පිරිස එවන් ව්‍යාපාරයක් ගෙන යනවා යැයි තොරතුරු ලැබුණු සැණින් ආණ්ඩු පක්‍ෂයේ ප්‍රබල අමාත්‍යවරයෙක් ද එවැනිම ව්‍යාපාරයක් ක්ෂණිකව සංවිධානය කරන්නට කටයුතු කර තිබුණි. ම්ලේච්ඡ ප්‍රහාරයන්ට වඩා එවන් ප්‍රතිරෝධයක් දැක්වීමට පෙලැඹීම වුව සාධනීයය. නමුත් මහනුවරින් ගම්පොළට පැමිණෙන විට නාවලපිටියේදී ත්‍රීරෝද දෙකකින් පැමිණි පිරිසක් අප පිරිස ගමන්ගත් බසය නවත්වා පහර දී තර්ජනය කර ගොස් තිබුණි. ඒ ද නාවලපිටියේ ආණ්ඩු පක්‍ෂයේ ප්‍රබලයකුගේ පෙලැඹවීම හේතුවෙන්ය. 


මේ සියල්ල සිදුවන මොහොතේම මට දුරකථන මාර්ග ඔස්සේ දැනගන්නට ලැබුණු අතර ඒ හැම මොහොතකම කණ්ඩායමේ ආරක්‍ෂාව වෙනුවෙන් කළ යුතු සෑම දෙයක්ම නොපිරිහෙළා කරන්නට මම හැකි පමණින් උත්සාහ කළෙමි. එහෙත් ඒ නීතිය පවා අප අතැර දමා තිබූ අවස්ථාවකි. එබැවින් කෙතරම් උත්සාහ ගත්තත් මට කළ හැකිව තිබුණේ අදාළ ප්‍රදේශයේ දන්නා හඳුනන පුද්ගලයෙකුට පවසා ඔවුන්ව ආරක්‍ෂිත ස්ථානයකට රැගෙන යාම හා කණ්ඩායමේ ධෛර්යය බිඳ වැටීමට නොදී ඔවුන් අස්වසාලීම පමණයි.