චීනයටත්, වඩා ඉපැරැණි ඉතිහාසයක් ඇති ඉරානයට පමණක් දෙවැනි වූ පෞරුෂයක් ඇති මිසරය හෙවත් ඊජිප්තුව ක්‍රිස්තු පූර්ව 525 වසරකට පසුව පළමු වරට මිසර සම්භවයක් ඇති පාලකයකු අතට පත්විණ.


1952.07.23 දින දක්වා එරට පාලනය වූයේ විදෙස් රජවරුන් හා දේශීය ආඥාපතින් අතිනි. ඔවුන් වැසියන්ගේ අවශ්‍යතාවට වඩා තම යසස හා විනෝදය උදෙසාම ඇප කැප වීම නිසා ජනතා පීඩනය උග්‍ර විය.


ඉතියෝපියානු පර්සියානු, ග්‍රීක, රෝම, අරාබි, තුර්කි හා ඉංග්‍රීසි ජාතීන් විසූ ඊජිප්තුව ස්වාධීන රාජ්‍යයක් බවට පත්කිරීමේ ගෞරවය හිමිවන්නේ ගමාල් අබ්දුල් නසාර්ටය. දීප්තිමත් ඇස් හා රතු නාසයක් හිමි නසාර් ආරෝහ පරිනාහ දේහයෙන් යුතු සුහදශීලී අයකු බව ආසියාවේ අපේ මුතුන් මිත්තෝද වර්ණනාභිමුඛව පවසති. මෙරට කල්‍යාණ මිත්‍රයකු සේ ඊජිප්තුව අදද සැලකෙන්නේ නසාර් දැමූ ඒ විශ්වාසනීයත්වයේ අත්තිවාරම නිසාය.


නසාර් උපන්නේ මිසරයේ දෙවැනි අගනුවර වන ඇලෙක්සැන්ඩි්‍රයාවේ තැපැල් මහත්තයකු වූ පියාගේ මෙන් සුළු වෙළෙඳ දියණියක වූ මවකගේ පුතකු ලෙසිනි. පාසල් වියේ සිටම කයිරෝ අගනුවර නිදහස් ශිෂ්‍ය අරගලවලට එක්වීම නිසා සිරභාරයට පත් නසාර් නීතිය ඉගෙන ගැනීම පසෙකට තබා අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් යුද හමුදා පුහුණුව ලබාගැනීමට හමුදාවට එක්විය.


“අවනීතිය පලවාහැරීමට නීතිය විතරක් මදි තවත් කලාවන් ඉගෙන ගත යුතුයි”.


නසාර්ගේ කීම සමකාලීන මිතුරෝද පිළිගත්හ. ව්‍යක්ත කථිකයකු වූ නසාර්ගේ දෙසුම් ඇසීමට එදාත් බලය ලද පසුත් ජනතාව ඒකරාශි වූහ.


“බලන්න මිත්‍රවරුනි, අප උපන් දේශයට අවුරුදු දහස් ගණනක් ඈත සංස්කෘතික රටාවක්, ඖෂධ පිළිබඳ අද්විතීය පර්යේෂණාත්මක දැනුමක් පිරමීඩ නම් මහා සුසානාගාර ඉදිකර රාජකීය මෘත ශරීර දිගු කලක් රැකගත් උත්කෘෂ්ඨ සභ්‍යත්වයක්, සටන්කාමී අද්විතීය බළකඳවුරක් පැවතුණා.


“පර්සියානු ආක්‍රමණයත් නවසිය තිස් හයේ අධිරාජ්‍යවාදී බලපෑම් නිසා ඒ උතුම් දේශ වාත්සල්‍යය අපෙන් ගිලිහුණා. අප තවදුරටත් දුබල ජාතියක්ව සිටිය යුතු නැහැ. නිදහස අර්ථවත් කිරීමට කාලය ඇවිත්. නිදහසින් පසු රාජශ්‍රීය වළදමමින් වැජඹුණු ෆාරුක් රජ පෙළපත පලවා හැර සැබෑ ජන රජයක් බිහිකිරීම නසාර්ගේ අරමුණ විය.


එතෙක් ඉඩම් හා දේපොළ අයිතිය භුක්ති විඳ ඉඩම් හිමි ධනපතින් සන්තර්පණය කළ ෆාරුක් පලවාහැර ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ සටන නසාර් ඇරඹීය.


ෆාරුක් රජු සුප්‍රසිද්ධ සුදු ඇත්තු වෙති. එසේම ස්ත්‍රී ලෝලියෙකි. සූදු කෙළීමේ දී රජය සතු කෞතුක හා සමාජ වස්තූන් එක වරකට රන් පවුම් 5000 බැගින් ඔට්ටු තැබීය.

 

 

ගණ රනින් නිම කළ දියමන්ති එබ්බ වූ කබා, ආයිත්තම් හා බොත්තම් කාස නළඟනන්ට පිදීය. හොලිවුඞ් නළු නිළියන් සඳහා පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයක දී රන් පවුම් දස දහස් ගණන් වැය කළේය. මේවා මිසරය සතු දේපොළය.


ඊළඟට ෆාරුක් කළේ තම දුවා දරුවන්ට යහගුණ, සදාචාරය කියා දුන් තම බිසව පලවාහැර කාමධේනුවක වූ නාරිමන් නම් නළඟන සරණපාවා ගැනීමය. මෙවන් චරිතයක් හිමි ෆාරුක් කුමන්ත්‍රණකාරී හමුදා කුමන්ත්‍රණයක් මගින් සිහසුනෙන් නෙරපා හැරිණ.


ෆාරුක් තම වටිනා ධන සම්පත් කෙසේ හෝ රටින් පන්නාගෙන තිබිණ. රාජ්‍ය බලය පිරිනැමුණේ ජනප්‍රිය සෙනවියකු වූ මොහොමඞ් නජීබ් වෙතය. ඔහු ෆාරුක් ඇතුළු පිරිස නැව් නැග සිටි කුටියට පිවිස පෙර පුරුදු සුහද බවින්ම “කොහොමද ෆාරුක්” යැයි උරහිසට අතගසා සමුදුන්නේය. නාරිමත් බිසව කඳුළු සැලුවාය.


එහෙත් ඔවුන් පිටුවහල් කළේ හැඳ  සිටි සළු අභරණ පමණක් හිමි කරමිනි.


“ලේ වැගිරීමකින් තොරව අපි රාජ්‍ය විප්ලවය කළා.”


නජීබ් එසේ උදම් ඇනීය. රටට පේන්නට ෆාරුක්ගේ ළඳරු කුමාරයාට මිසර රජු ලෙස ඔටුනු පැලඳවිය. කුමරුගේ මෙන්ම රටේ පාලකයා වූයේ ද ජමාල්ය. එහෙත් හය මසක් ගතවන්නට පෙර නසාර්ගේ හිතෛෂයෝ ජමාල් ඉවත්කොට නසාර්ට පාලනය ලබා දුන්හ. ඒ 1952.07.23 දිනය. අනතුරුව නසාර් මිසර ඉතිහාසය කණපිට පෙරළීමේ දැවැන්ත සංග්‍රාමය ඇරඹීය. මහා ඇලෙක්සැන්ඩර් රජු ඉදිකළ ඇලෙක්සැන්ඩි්‍රයා නුවර 96%ක්ම නිසරු කාන්තාරය විය. නයිල් ගංගාවේ ජල පහස ලද ධනපති පාෂාවරුන් දෙදහසක් සතුව තිබූ ඉඩම් අක්කර දොළොස් දහසක් පමණක් සශ්‍රීකව වැඩෙමින් තිබිණ.

 

 

බලයලත් වහාම නසාර් කළේ අස්වාන් වේල්ල මගින් නයිල් නදිය හරස් කර මහදිය අමුණක් බැඳීමයි. නිසරු බිම් සරු කර ආර්ථික උද්දීපනය ඇති කිරීමයි. “සාඞ් මල් අලි” නමින් මෙම අමුණ එකල හැඳින්විණ. තවත් අක්කර අසූලක්ෂයකට ජල පහසුව සලසා ලීමට රන් පවුම් දහ අට කෝටියක් නසාර් වැය කළේය.


නැගී එන මිසරය සඳහා ආධාර දෙන බවට ධනවාදී ඇමරිකාව හා බි්‍රතාන්‍ය කීවත් ඔවුහු පොරොන්දු කඩ කළහ. ඊට වන්දියක් ලෙස නසාර් කළේ ප්‍රංශ ආධිපත්‍යය යටතේ පැවති සූවස් ඇළ නෞකා මාර්ගය රාජසන්තක කිරීමයි.


මෙයින් කිපුණු බි්‍රතාන්‍ය හා ප්‍රංශය මිසරයට එරෙහිව යුද ප්‍රකාශ කළ නමුත් නසාර්ට පක්ෂව ජාත්‍යන්තරය සිටගත් බැවින් අදිරදවාදී උපක්‍රමය මෙවරත් පැරදිණ. එපමණක් නොව එකල බි්‍රතාන්‍ය අගමැති වූ සර් ඇන්තනි ඊඞ්න්ට තනතුරත් අහිමි විය.


ප්‍රවීණ ගත්කරු හේමපාල මුනිදාසයන් රසවාහිසියට ලියූ කරුණක් අවසානයට සඳහන් කරමි.


“පාරාවෝ රාජවංශයත්, මහ ඇලෙක්සැන්ඩර් රාජ්‍යත්වයත්, ටොලමිගේ බල පරාක්‍රමයත්. ක්ලියෝ පැට්රාගේ ආධිපත්‍යයත් අරාබි නිසොල්ලාසයේ පුරාවෘත්තියන් අභිභවා ගමාල් අබ්දුල් නසාර් මවු රටට නව යුගයක් උදා කළේය.”

 

 

 

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි