ශ්‍රීලනිපයේ නොපළ කතා 6

බොහෝදෙනාගේ නොයෙකුත් කැප කිරීම් මගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් වෙමින් ඉදිරියටම ගමන් කළාය. රාජ්‍ය බලය හිමිව පැවති එක්සත් ජාතික පක්ෂය දක්ෂිණාංශික ප්‍රතිපත්ති මත කටයුතු කරන්නේ යැයිද එය නියෝජනය කරනු ලබන්නේ ඉහළ ධනපති පංතිය යැයිද විදේශ ප්‍රතිපත්තිය වශයෙන් බටහිර කඳවුර සමඟ සමීප බවටද බරපතළ චෝදනාවක් නැගෙමින් තිබුණි. රටට නිදහස ලබාගැනීම පිළිබඳව වූ අරගලය සාර්ථක කර ගත්තේත්, රජරට ගොවි ජනපද ඇති කිරීමේ හරිත විප්ලවයට නායකත්වය දුන්නේත් එක්සත් ජාතික පක්ෂයත් එහි රජයත් වුවද ඉහත කී මතය බොහෝදුරට ජනතාව අතර මුල් බැසගෙන තිබුණ බව නම් සත්‍යයකි. එයට බොහෝදුරට හේතුවූවේ විපක්ෂයේ විවේචන සහ පහරදීම්ය.

එමෙන්ම එම පක්ෂයේ නායකයන්ගේ බටහිරට බර ඇඳුම් පැලඳුම්, දැරූ නම්බුනාම, භාවිත කළ ඉංග්‍රීසි කතා බහ ප්‍රාදේශීය නායකයන්ගේ ප්‍රභූ තත්ත්වය ආදිය එම ලේබලය වැදීමට හේතුවූවා යැයි සිතිය හැක. මෙම පසුබිම හමුවේ සංඝයා වහන්සේලා, දේශීය වෛද්‍ය ප්‍රජාව ස්වභාෂා ගුරු සංහතිය ග්‍රාමීය ගොවි ප්‍රජාව සංවිධානය නොවූ ගැමි කම්කරු පන්තිය ආදී සමාජ බලවේගයන්ට මෙම පසුබිම දැනුණේ තමන් නොසලකා හැර ඇති බවකිනි.


රජයේ මතවාදය පෙර කී අයුරින් විග්‍රහ කළ විරුද්ධ පක්ෂයේ ප්‍රධාන බලවේගය වූවේ මාක්ස්වාදී දේශපාලන න්‍යාය පිළිගත් සමසමාජ, කොමියුනිස්ට් සහ ඉන්දීය බෝල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂය ආදී පක්ෂ කීපයකි. ආයුධ සන්නද්ධ අරගලයකින් හෙවත් සමාජවාදී විප්ලවයක් මගින් පවතින රාජ්‍යය පෙරළා දමා ගොවි කම්කරු පාලනයක් ඇති කළ යුතු යැයි කියා සිටි ඔව්හු ලේ හලන අරගලයකින් තොරව සමාජ සාධාරණත්වය ඇති කළ නොහැකි බව තරයේ විශ්වාස කළහ.


එහෙත් බෞද්ධ දර්ශනයේ ආභාසය මත හැඩගැසුණු බහුතර ජනතාවෝ මෙම බලවේග දෙක සමගම එක් නොවී මාවතක් සොයමින් සිටියහ. එනිසා මධ්‍යම ප්‍රතිපදාවට අනුගත වූ නව දේශපාලන ගමන් මගක් බිහිවීමේ දිනය තෙක් ඇඟිලි ගනිමින් සිටියහ. දේශීයත්වය ගරුකළ සිංහල ජන සමාජය තුළ නව දේශපාලන බලවේගයකට ඉඩකඩක් නිර්මාණය වී තිබුණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමැති බීජය රෝපණය කෙරී වැඩී ආවේ ඉතා හොඳින් සකස් වී සරු පොහොරින් යුතුව පැවති මෙම පරිසරය තුළය.


මෙම නව පක්ෂයට මහනුවර ආදී කන්ද උඩරටින් ලැබුණේ සුවිශේෂී සහයෝගයකි. එච්. ශ්‍රී නිශ්ශංක, ටී. බී. ඉලංගරත්න, ටී. බී. තෙන්නකෝන් ආදී ප්‍රබලයෝ ඒ අතරින් ඉදිරියේම සිටියෝය. එම ආභාසය ජයසේන සොහොයුරන්ටද ඉතා තදින් දැනී තිබුණි. එයට හේතු බොහෝ විය. 1947 මහා මැතිවරණයේදී ස්වාධීන සමාජවාදී අපේක්ෂකයකු වශයෙන් ප්‍රගතිශීලී පිල වෙනුවෙන් මහනුවර ආසනයට තරග කළේ ටී. බී. ඉලංගරත්න නමැති හිටපු වෘත්තීය සමිති නායකයෙකි. කඩුගන්නාව ප්‍රදේශයේ හතරලියද්ද ගමේ ධනවත් නොවූ පවුලක උපත ලැබූ ඔහු අධ්‍යාපනය නිමා කිරීමෙන් පසු ලිපිකරුවකු ලෙස රාජ්‍ය සේවයට එක්වූවේය. බි්‍රතාන්‍ය යටත් විජිත පාලනය යටතේ නොසලකා හැර තිබුණු මෙරට රාජ්‍ය සේවය දෙවැනි ලෝක මහා සංග්‍රාමය නිසා පනවන ලද නව නීති රීති නිසා තවදුරටත් නරක අතට ගියේය. යුද්ධයෙන් පසු ඇතිවූ ආර්ථික අර්බුදයට විසඳුමක් පෞද්ගලික අංශයේත් රජයේ සේවයේත් සේවකයන් නෙරපා දැමීමේත් පහසුකම් අඩු කිරීමේත් වැඩපිළිවෙළක් ඇරඹී තිබුණු අතර එයට එරෙහිව 1946 දී මහා වැඩවර්ජන රැල්ලක් ඇරඹී තිබුණි.


ඒ වන විට සමස්ත ලංකා රජයේ ලිපිකරු සේවා සංගමයේ සභාපති ධුරයේ කටයුතු කළ ඉලංගරත්න මහතා මෙම සටනේ නායකයා බවට පත්වූවේ නිරායාසයෙනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් වැඩවර්ජනය අවසානයේදී ඔහු සේවයෙන් නෙරපන ලදී. ආසන්නයේ පැවති ප්‍රථම පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී මෙම ප්‍රතිපත්තිමය කරුණ මුල්කරගෙන මහනුවර ආසනයට තරග වදින ලෙස වාමාංශික දේශපාලන පක්ෂ වෙතින් ඉලංගරත්න මහතාට ආරාධනය කරනු ලැබීය.


ආර්ථික වශයෙන් දරුණු ආගාධයකට වැටී රැකියා විරහිතයෙක් ලෙසින් එදිනෙදා ජීවිතයවත් ගෙවා ගැනීමට නොහැකි තැනට පත්ව සිටි ඒ මහතා මැතිවරණයක් තරග කිරීමට අවශ්‍ය අතිවිශාල මුදල් සම්භාරයක් වැය කරන්නේ කෙසේද යන උභතෝකෝටිකයට මුහුණ දුන්නේය. ලංකා ජාතික සංගමයේ හිටපු සභාපතිවරයා මෙන්ම ඩොනමෝර් ක්‍රමය යටතේ පැවති රජයේ සෞඛ්‍ය ඇමතිවරයා මෙන්ම දක්ෂ නීතීඥයෙකුද වූ ජෝර්ජ් ඊ. ද සිල්වා මහතා මහනුවර ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අපේක්ෂකයා විය. ඒ මහතාට තරගයක් දීමට අවශ්‍ය දේශපාලන පන්නරය ඉලංගරත්න මහතා සතුව තිබෙන බව සත්‍යයකි. එහෙත් වැය බර දරන්නේ කව්ද? වමේ කඳවුරේ ලොකු සල්ලිකාරයෝද නොසිටියහ. මේ තීරණාත්මක අවස්ථාවේදී ජයසේන සොහොයුරෝ පෙරට පැමිණියහ. විශාල වතුයායක්, තේ බීජ අලෙවි කිරීමේ ව්‍යාපාරයක් සහ තවත් ධනෝපායන මාර්ග රැසක හිමිකාර ඔව්හු තම සහාය ඉලංගරත්න මහතාට ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කළහ. එය ඉලංගරත්න මහතාට ඉහේ මලක් පිපුණාක් මෙන් සතුට දනවන හේතුවක් විය. මැතිවරණයට අවශ්‍ය ආර්ථික පහසුකම් සලසනවා පමණක් නොව මහනුවර ආසනය පුරා සිටින විශාල සංඛ්‍යාවක් වූ තම ඥාති වර්ගයාගේ ඡන්දය ලබාදීමට මැදිහත් වීමටද කැමැත්ත පළ කළහ. සටන එන්න එන්නම තියුණු විය. ජයසේන සොහොයුරෝ ආසනයේ ඥාති සබඳතා ඇති ගම්මාන සෑම එකකම සංචාරය කරමින් රැස්වීම් අමතමින් පොරොන්දු වූවාටත් වඩා උපරිමයෙන් සහාය ලබාදුන්හ. නියමිත දිනයේ පැවති මැතිවරණයේ ප්‍රතිඵල අනුව ඉලංගරත්න මහතා ජය ලැබුවේ නැත. එහෙත් ප්‍රබල ඇමතිවරයා ජයගෙන තිබුණේ 205 ක්වූ සුළු වැඩි ඡන්දයකිනි. ඒ අතර ඉලංගරත්න මහතාගේ චරිතයට හානි වන ආකාරයේ අසත්‍ය ප්‍රකාශ කිරීම් ඡන්ද ප්‍රචාරයේදී සිදුවී ඇතැයිද වාර්තා විය. පරාජය වුවත් ධෛර්යයෙන් කුළුගැන්වී සිටි ඉලංගරත්න මහතා පෙර කී හේතු මත ජෝර්ජ් ඊ. ද සිල්වා මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය. 


ඡන්ද නඩුවක් ඉදිරියට ගෙන යාමටද විශාල මුදලක් අවශ්‍යය. ඔහු කාගේත් සහායෙන් එම අභියෝගය ජයගත්තේය. ජෝර්ජ් ඊ. ද සිල්වා මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන ලද අතර නැවත අතුරු මැතිවරණයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. එම තරගයේදී ජය අත්වූවේ නිර්ධනයාගේ හිතවතා වූ වෘත්තීය සමිති නායකයාටය. එහෙත් බලවත් ප්‍රතිවාදීහු එපමණකින් නිහඬ නොවූහ.


ඉලංගරත්න මහතාට එරෙහිවද ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කළහ. කොරේ පිටට මරේ කීවාක් වැනි සිදුවීමකි. එක් නඩුවක් ඉවර වී මැතිවරණයක්ද අවසන්වූවා පමණි. අල්ලාගත් කොටි වලිගය අතහැරීමටද බැරිය. අත හැරියහොත් කොටියා පැමිණ තමා ආහාරයට ගනු ඇත. වෙනස් විධියකට කියනුයේ නම් දේශපාලනය උදෙසා මෙතෙක් තමා කළ කී සෑම දෙයක්ම විනාශවී යනු ඇත. අභියෝගයට මුහුණ දිය යුතුය. එහෙත් නඩුවේ තීන්දුව වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ ඉලංගරත්න මහතාට ආසනය අහිමි කරන බවයි. ඒ අනුව තවත් අතුරු මැතිවරණයකි. මහනුවර වැසි නිර්ධන පාංතික ජනතාව සහ වාමාංශික පක්ෂ එක හෙළාම කියා සිටියේ දේශපාලනය අතනොහැර තමාට අහිමි කළ ආසනය වෙනුවෙන් ඉලංගරත්න බිරිඳ වූ තමරා ඉදිරිපත් කරන ලෙසය.


මේ වන විට ඉලංගරත්න මහතාගේ ප්‍රජා අයිතියද අහිමි කර ඇත. තමරාට ප්‍රසිද්ධියේ උදව් කිරීමට ඔහුට නීතියෙන් ඉඩක් නැත. ඉතින් මේ සටන කරන්නේ කෙසේද? තමරා දිනුවත් තමා උදව් කළ නිසා ජයගත්තා යැයි කියමින් තවත් ඡන්ද පෙත්සමක් එන්නටද බැරිකමක් නැත. මේසා අරගලයක් ඉදිරියට ගෙන යන්නේ කෙසේද? රැකියාවෙන් නෙරපා සිටින තමාට කිසිදු ආදායමක් නැත. ගෙවල් කුලිය ගෙවිය යුතුය. පවුල් ජීවිතය ගෙනයා යුතුය. එදිනෙදා වියදමටවත් මුදල් නොමැතිව මැතිවරණයකුත් කිරීමේ අභියෝගය දැන් අත ළඟටම පැමිණ ඇත. තමරා කුමාරි ඉලංගරත්න මහත්මිය දහසක් ගැටලු මැද්දේ මහනුවර ආසනය දිනාගත්තාය. මේ වන විට එම පාර්ලිමේන්තු ධුර කාලයෙන් සෑහෙන කොටසක් ගෙවී ගොසිනි. මේ සටන් මාලාව සඳහා වැඩිම ආර්ථික ශක්තිය දුන්නේ ජයසේන සොහොයුරන් දෙදෙනාය. වැඩි කලක් ගත නොවීය.


1951 වසරේ අයවැය සම්බන්ධයෙන් ඇතිවූ මත ගැටුමක් සහ තමාගේ සිංහල මහා සභාව පක්ෂයෙන් රජය වෙත ඉදිරිපත් කළ යෝජනා ගැන රජයේ අවධානය යොමු වූවේ නැත යන චෝදනාවද හේතු කොටගෙන 1951 ජූලි 12 වැනිදා පාර්ලිමේන්තුවේ සභානායක ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා තමා දැරූ සෞඛ්‍ය හා පළාත් පාලන ඇමති ධුරයෙන්ද ඉවත්ව විරුද්ධ පක්ෂයට එක් වූවේය. තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කීපදෙනෙකුගේ සහාය ඔහුට ලැබුණි. නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීම ඔවුන්ගේ අපේක්ෂාව විය.


ඒ සඳහා නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් කර තිබුණි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය


මේ පක්ෂය පිහිටුවීම සඳහා අනුකූලතාව දක්වන්නන්ගේ මහා සභා රැස්වීමක් 1951 සැප්තැම්බර් දෙවැනි ඉරිදා සවස 2.00 ට පාර්ලිමේන්තු මන්ත්‍රී ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නගර ශාලාවේදී පවත්වනු ලැබේ. මීට සහයෝගය දක්වන හැමටම මේ රැස්වීමට පැමිණෙන මෙන් ආරාධනය කරනු ලැබේ.


මීට කැඳවන්නෝ


1. බර්නාඞ් එච්. අළුවිහාරේ
2. බද්යුද්දීන් මහමුද්
3. සී. ආර්. බෙලිගම්මන
4. හජ්ජි ඒ. ටී. කරීම්
5. පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝර්ජ් ආර්. ද සිල්වා
6. සී. පී. ද සිල්වා
7. ඇන්තනී ජේ. ඇම්. ද සිල්වා
8. පී. ද ඇස්. කුලරත්න
9. ස්ටැන්ලි ද සොයිසා
10. පී. බී. දිසානායක
11. පී. දොළපිහිල්ල
12. පී. ඇම්. ප්‍රනාන්දු
13. ඩී. එච්. පණ්ඩිත ගුණවර්ධන
14. ටී. බී. එස්. ගොඩමුන්නේ
15. ආර්. ඇස්. ඇස්. ගුණවර්ධන
16. වර්නන් ගුණසේකර
17. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. ඇස්. ගුණසේකර
18. දයා හේවාවිතාරණ
19. පාර්ලිමේන්තු මන්ත්‍රී තමරා කුමාරි ඉලංගරත්න
20. ජේ. ඇම්. ජයසේන
21. පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. පී. ජයසූරිය
22. ඇෆ්. ආර්. ජයසූරිය
23. ඇල්. බී. කොලුගල
24. පාර්ලිමේන්තු මන්ත්‍රී ජයවීර කුරුප්පු
25. ඒ. එච්. මාකන් මාකර්
26. සී. ඒ. ඇස්. මරික්කාර්
27. සී. ඒ. සී. මරික්කාර්
28. ජේ. සී. ඩබ්ලිව්. මුණසිංහ
29. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ නීතීඥ එච්. ශ්‍රී නිශ්ශංක
30. ඒ. සී. නඩරාජා
31. ඇල්බට් පෙරේරා
32. ඩබ්ලිව්. ඇෆ්. බී. පෙරේරා
33. වෝල්ටර් පෙරේරා
34. ඩැරල් පෙරේරා
35. සෙනෙට් මන්ත්‍රී බාන්ස් රත්වත්තේ
36. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. ඒ. රාජපක්ෂ
37. එච්. බී. ඩබ්ලිව්. රඹුක්වැල්ල
38. සී. වී. රණවක
39. ඩබ්ලිව්. ඒ. ඩී. රාමනායක
40. සී. ඒ. සමරසිංහ
41. ඇම්. ස්වාමිනාදන්
42. කේ. සෙනෙවිරත්න
43. ඇස්. තංගරාජා
44. ටී. බී. තෙන්නකෝන්


පුවත්පත් නිවේදනයට අත්සන් තබා තිබුණේ මෙහි නම් සඳහන් හතළිස් දෙදෙනාය. මෙහි අත්සන් තබන ලද මහනුවර ප්‍රදේශයේ අය ඒකරාශීව පිහිටුවාගෙන තිබුණු මහනුවර සමාජවාදී සංගමය කෙළින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ විය. එහි ප්‍රබලයන් වූ එච්. ශ්‍රී නිශ්ශංක, ටී. බී. ඉලංගරත්න, ටී. බී. තෙන්නකෝන්, පී. ඇම්. ජයසේන, ජේ. පී. ජයසේන ආදී සැමදෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුරෝගාමී නායකයෝ බවට පත්වූහ. රැස්වීම කැඳවීමේ නිවේදනයට අත්සන් තැබූ සැමදෙනාම ප්‍රථම විධායක කාරක සභාවේ සාමාජිකයෝ බවට පත්වූහ. මේ අනුව ජයසේන මහතා එම පක්ෂයේ ආරම්භක විධායක සභිකයෙකු වීමේ භාග්‍ය අත්කර ගත්තේය. ඒ 1951 සැප්තැම්බර් දෙවැනිදාය.


ගතවූයේ මාස හතක් පමණි. එවකට අගමැතිවරයාව සිටි ඩී. ඇස්. සේනානායක මහතා හදිසියේම අභාවප්‍රාප්ත විය. ඒ හදිසි අනතුරත් හේතුවෙනි.

 

මතු සම්බන්ධයි.

සෝමසිරි වික්‍රමසිංහ