1956-1970 කාලපරිච්ඡෙදය තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට “සිංහල පත්තරකාරයින්” හතර දෙනකු තේරීපත්වූ ආකාරය මැතිවරණ ප්‍රතිඵල විග්‍රහයේ දී හෙළි කර ගත හැක. මෙම සිව් දෙනාම බමුණු කුලය බිඳ හෙළා ශ්‍රී ලංකාවේ නව දේශපාලන සංස්කෘතියක් බිහිකිරීමට සිංහල පත්තර කලාව හරහා පුරෝගාමී සේවයක් සැලසූ “පත්‍ර කලාවේ විශ්වකර්මයා” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ ඩී. බී. ධනපාල ශූරීන්ගේ “ලංකංදීප”යේ ඇත්තන්වීම ද සුවිශේෂී කාරණයකි.


1956 මහා මැතිවරණයේදී සිදුවූ දේශපාලන පෙරැළියත් සමග “ලංකාදීප” පත්‍රකලාවේදීන් දෙදෙනකුම මැති සබයට පිවිසි ආකාරය දැක ගත හැකි විය. මේ දෙදෙනා අතරින් පළමු ස්ථානය හිමි වන්නේ (මැතිවරණ ප්‍රතිඵල නිකුත් කළ අනුපිළිවෙළ ප්‍රකාරව) අංක 20 මාතලේ ආසනය ජයග්‍රහණය කළ නිමල් කරුණාතිලක මහතාටය. ඔහු වෙතින් පරාජයට පත්වූයේ 1936 දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේ දී (මුළු ඡන්ද 15,924 සහ වැඩි ඡන්ද 10,900) සහ 1952 පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී  (ශ්‍රීලනිප “මල” මුළු ඡන්ද 12,314 වැඩි ඡන්ද 3416) මාතලේ ආසනයට තේරී පත්වූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වූ බර්නාඞ් අළුවිහාරේ (එජාප) මහතාය. නිමල් කරුණාතිලක මහතා දේශපාලනයට අවතීර්ණ වීමට හේතු වූයේ ශ්‍රීලනිපයේ ආරම්භක සාමාජිකයකු ද පක්ෂ මහලේකම්වරයා වූ ද බර්නාඞ් අළුවිහාරේ මහතා 1956 මැතිවරණය ආසන්නව තිබිය දී නොසිතූ මොහොතක එජාපයට මාරුවීමය. මෙම සිදුවීමෙන් කැලඹීමට පත් නොවූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා අළුවිහාරේ මහතාගේ ඉල්ලා අස්වීම ප්‍රසිද්ධියේ පිළිගැනීමට මහජන රැලියක් සංවිධානය කර නිමල් කරුණාතිලක මහතා කැඳවාගෙන ගොස් මාතලේ අපේ කථිකයා ලෙස ජනතාවට හඳුන්වා දුන්නේය. ඔහුගේ ඇප මුදල එම මංගල රැස්වීමේදීම එකතු කෙරිණ.


1956 මැතිවරණයේදී ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය නිකුත් වූයේ මාතලේ ආසනය වෙනුවෙනි. නිමල් කරුණාතිලක මහතා මුළු ඡන්ද 12,968 ක් ලබාගෙන වැඩි ඡන්ද 2596 කින් ජයග්‍රහණය කර තිබුණේය. හිටපු මන්ත්‍රී බර්නාඞ් අළුවිහාරේ මහතාට ලැබී තිබුණේ ඡන්ද 10,372ක් පමණි. මේ අවස්ථාවේදී තම ගෝලයාගේ ජයග්‍රහණය ගැන අතිශය ප්‍රමෝදයට පත් ඩී. බී. ධනපාල මහතා එදින රාත්‍රී කර්තෘ මණ්ඩල සාමාජිකයන්ට බිත්තර ආප්ප සමග කිරි කෝපි සංග්‍රහයක් ද පැවැත්වූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගුණදාස ලියනගේ මහතා සඳහන් කර ඇත. (ඩී. බී. ධනපාලගේ විප්ලවය - 89 පිටුව) පසුව මුදල් උප ඇමැති ධුරයට මෙන්ම පක්ෂයේ සමලේකම් ධුරයට ද පත්වූයේ නිමල් කරුණාතිලක මහතාය. බණ්ඩාරනායක මහතාගේ සමීපතමයකු වූ නිසාම මාතලේ ආසනයේ ඡන්ද කටයුතු සම්බන්ධිකරණය කළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ මැදිහත්වීමෙන් “කේතලෙන් මල්ලක්” ද සොයාදී කොළඹ රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලයේදී විවාහයේ සාක්ෂිකාරියක් ලෙස ඇය අත්සන් කළ බව ප්‍රවීණ මාධ්‍යවේදී අභාවප්‍රාප්ත ඩී. ඇෆ්. කාරියකරවන ශූරීන් ‘දසක සතක මතක’ ග්‍රන්ථයේ ලියා තිබේ.


එහෙත් මේ කිසිවක් නිසා තම හෘදය සාක්ෂිය උගසට තබන්නට ඔහු කැමැති වූයේ නැත. 1959 වර්ෂයේ අගභාගය වන විට ශ්‍රීලනිපයේ දක්ෂිණාංශික කණ්ඩායම දියත් කළ යටිකූට්ටු ව්‍යාපාරයට එරෙහිව උප ඇමැති ධුරයෙන් ද පක්ෂයෙන් ද ඉල්ලා අස් වූ හෙතෙම පිලිප් ගුණවර්ධන කණ්ඩායමට එකතු විය. 1960 මාර්තු මැතිවරණයේදී සහ 1960 ජූලි මැතිවරණයේ දී පිළිවෙලින් : රත්තොට (ඡන්ද 1587 - තෙවන ස්ථානය) රත්නපුරය (ඡන්ද 332 - තෙවන ස්ථානය) ආසනවලට ම.එ.පෙ. (කරත්ත රෝදය) යටතේ තරග කළ නමුත් පරාජයට පත්විය. එහෙත් 1965 මැතිවරණයේදී 132 කෑගල්ල ආසනයට එජාපයෙන් ඉදිරිපත් වී ඡන්ද 13,283ක් ලබාගෙන අමාත්‍ය පී. බී. ජී. කළුගල්ල මහතාගේ වැඩි ඡන්ද සංඛ්‍යාව 1363 දක්වා පහත දැමීමට සමත් වූයේය. පසුව තමන්ට හුරුපුරුදු “මාධ්‍යවේදී” රැකියාවම තෝරාගත් නිමල් කරුණාතිලක මහතා ඩඞ්ලි සේනානායක අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රවෘත්ති නිලධාරියා වශයෙන් සේවයට එක්විය.


කොළඹ යුගයේ කීර්තිමත් කවියෙකු වශයෙන් පාඨක හදවත් දිනාගෙන සිටි සාගර පලන්සූරිය (කේයස්) මහතාද 1956 මැතිවරණයෙන් මැති සබයට ගිය පත්තරකාරයෙකි. ප්‍රථම වතාවට දේශපාලනයට පිවිසි ඔහු ම.එ.පෙ. අපේක්ෂකයා ලෙස අංක 13 හොරණ ආසනයට තරග කළේ එජාප ප්‍රබලයෙකු වූ ඇම්. ඩී. එච්. ජයවර්ධන මහතාට එරෙහිවය. සාගර පලන්සූරිය මහතාගේ ප්‍රථම සහ එකම ඡන්ද සටනේදී ඔහු ඡන්ද 29,780ක් ලබාගත්තේය. හිටපු මන්ත්‍රී (එජාප) ඇම්. ඩී. එච්. ජයවර්ධන මහතාට හිමි වූයේ ඡන්ද 19,125ක් පමණි. ඒ අනුව වැඩි ඡන්ද 10,655ක දැවැන්ත පරාජයක් සිය ප්‍රතිවාදියාට හිමිකර දෙමින් “කේයස්” හොරණ මන්ත්‍රී ධුරයට පත්වූයේය. 1956 මැතිවරණය පවත්වන විට එම්. ඩී. එච්. ජයවර්ධන මහතා 1952 මැතිවරණයේදී ඡන්ද 21,746ක් ලබාගෙන ආරියදාස ජයවර්ධන (අත 8249) විල්ෆ්‍රඞ් සේනානායක (කුරුල්ලා 7367) එස්මි පෙරේරා (කූඩය 5745) පරාජයට පත් කර වැඩි ඡන්ද 13,497ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගෙන සිටියේය. සාගර පලන්සූරිය මහතා පත්‍රකලාවේ මෙන්ම දේශපාලනයේද වැඩි කාලයක් රැඳී නොසිටිය නමුත් මැති සබය ඔප කළ “පත්තර කාරයෙකු” ලෙස ඔහුට හිමි තැන ඉතිහාසයේ සටහන්ව තිබේ.


මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීම සඳහා 1959 වර්ෂයේ පත් කළ වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසමේ නිර්දේශ පරිදි ස්ථාපනය කළ අංක 63 - හබරාදුව ආසනයට (1959 ඞඪ වැනි සැසි වාර්තාව පරිදි 1960 මාර්තු මැතිවරණයේ පටන් ලංකාව ඡන්ද කොට්ඨාස 145ට බෙදා වෙන් කෙරිණ) ම.එ.පෙ. (කරත්ත රෝදය) යටතේ ප්‍රථම වරට තරග කර මැති සබයට පිවිසි අධිනීතිඥ ප්‍රින්ස් ගුණසේකර මහතා ද මුල් යුගයේදීම ලංකාදීපයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු ලෙස සේවයට එක්වී සිටියේය. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අභාවප්‍රාප්ත ගුණදාස ලියනගේ ශූරීන් ලියා තිබෙන්නේ පත්තරකාරයකු වීමේ අදහසින් මුලින්ම ‘ලංකාදීප’ කත්තෝරුවට ගිය දිනයේ (1953) සවස් වරුවේ ප්‍රධාන උපකර්තෘ ප්‍රින්ස් ගුණසේකර මහතා ඉදිරියේ පරීක්ෂණයකට පෙනී සිටි බවයි. පළමු ඡන්ද සටනේදීම අපේක්ෂකයන් හත්දෙනකු පරාජය කළ ඔහු මුළු ඡන්ද 7217ද, වැඩි ඡන්ද 117 ද ලබාගෙන මැති සබයට පිවිසියේය. පරාජයට පත්වූවන් අතර ප්‍රධාන පක්ෂ හතරක අපේක්ෂකයෝ වූහ. ඩී. ඒ. බී. ගුණසේකර (එජාප 7100) ඩී. ඇස්. ගුණසේකර (ශ්‍රීලනිප 4801), එඩී ගුණසේකර (ලංප්‍රප 2141) ඇම්. කේ. පියසේන (ල.ස.ස.ප. 1165) එම සිව් දෙනා විය. මොවුනතරෙන් ඩී. ඇස්. ගුණසේකර මහතා 1947 සහ 1956 මැතිවරණවලදී අංක 35 - උඩුගම ආසනය ජයග්‍රහණය කළ ඩී. ඇස්. ගුණසේකර මහතා ද විය.


1960 ජූලි මැතිවරණයේදී පරාජයට පත්වුවද, නැවත 1965 මැතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී තවත් ඉතිහාස ගත වන ජයග්‍රහණයක් වාර්තා කළේ ජී. වී. ඇස්. ද සිල්වා (එජාප 13,745) ඩී. ඇස්. ගුණසේකර (ශ්‍රීලනිප 4178) යන ප්‍රධාන පක්ෂ දෙකේම අපේක්ෂකයන් අබිබවා යමිනි. “ලාම්පුව” ලකුණ යටතේ තරග කළ ප්‍රින්ස් ගුණසේකර මහතා එවර වැඩි ඡන්ද 93ක ඉතා තියුණු ජයක් ලබා දෙවැනි වරටත් හබරාදුව මන්ත්‍රීවරයා වශයෙන් දිවුරුම් දුන්නේය. 1970 මැතිවරණයේදී ඔහු ශ්‍රීලනිපයට එකතු වී තරග කළේය. එවර මුළු ඡන්ද 22,932ද, වැඩි ඡන්ද 9672ද ලබා ගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත්තේය. ප්‍රින්ස් ගුණසේකර මහතා ලේඛකයකු වශයෙන්ද නමක් දිනාගෙන සිටියේය. “ලෝක ප්‍රසිද්ධ නඩු තීන්දු” සහ “ඡන්ද නීතිය” ඔහු ලියූ ග්‍රන්ථ දෙකකි.


ලංකාදීපයේ තවත් ජ්‍යෙෂ්ඨ පත්‍රකලාවේදියකු වූ රත්න දේශප්‍රිය සේනානායක මහතාගේ නම විශේෂයෙන් සටහන් වනුයේ 1960 ජූලි මහා මැතිවරණයේදී ශ්‍රීලනිප අපේක්ෂකයා වශයෙන් අංක 130 - දැදිගම ආසනයේදී ඩඞ්ලි සේනානායක මහතාට එරෙහිව තරග වැදීමේ හේතුවෙනි. එදා මුළු ඡන්ද 11,683ක් ලබාගත් රත්න දේශප්‍රිය, රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ (1936) පටන්ම දැදිගම ආසනය නියෝජනය කළ ඩඞ්ලි සේනානායක මහතාගේ වැඩි ඡන්ද සංඛ්‍යාව 1657 දක්වා පහත දැමීමට සමත් විය. ඉන්පසු 1970 මැතිවරණයේදී අංක 129 - මින්නේරිය ආසනයට තරග කර කීර්තිමත් සිවිල් සේවකයෙකු ලෙස උතුරුමැද පළාතේ ගොවිජනපද ව්‍යාපාර බිහි කිරීමට පුරෝගාමීව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තනතුරු ද තුන් වතාවක් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සභානායක ධුරය ද ඉසිලූ සී. පී. ද සිල්වා මහතා ප්‍රථම වරට වැඩි ඡන්ද 2508 කින් පරාජයට පත් කළේය. රත්න දේශප්‍රිය ඡන්ද 15,705ක් ලබා ගන්නා විට සී. පී. ද සිල්වා මහතාට හිමිවූයේ ඡන්ද 13,197කි. 1970 සමගි පෙරමුණු රජයේ ක්‍රමසම්පාදන හා රැකීරක්ෂා උප ඇමැති ධුරය ද ඔහුට හිමි විය. එහෙත් 1977 මැතිවරණයේදී ශ්‍රීලනිපය මුහුණ දුන් බිහිසුණු ඉරණම හමුවේ රත්න දේශප්‍රියට ද පරාජය වැලඳ ගැනීමට සිදුවිය. ඔහු එජාපයේ මෙරිල් සිල්වා (14,512) මහතා වෙතින්ද, 1984.10.25 දින පැවැත් වූ අතුරු මැතිවරණයේ දී එජාපයේ එස්. බී. විජේකෝන් මහතා වෙතින් ද පරාජයට පත්විය.


වෘත්තීය පත්‍රකලාවේදියකු නොවුණ ද කුඩුකේඩුකම් නොකොට ඩොනල්ඞ් ජේ. රණවීර මහතා පිළිබඳව ද සටහනක් තැබිය යුතුය. කලක් ඔහු පත්‍රකලාවේදීන් පාලනය කරමින් “ටයිම්ස් ඔෆ් සිලෝන් සමාගමේ” මුල් පුටුවට පත්ව සභාපති ධුරය දැරීය. ඩී. ජේ. රණවීර මහතා ජාතික දේශපාලනයට පිවිසෙන්නේ 1960 මාර්තු මැතිවරණයේදී අංක 54 මස්කෙළිය ආසනයට එජාප අපේක්ෂකයා හැටියට තරග කරමිනි. අපේක්ෂකයන් සිව් දෙනෙකු පැරද වූ ඔහු පළවු වරට මස්කෙළිය අසුනට තේරී පත්විය.


1960 ජූලි මැතිවරණයේදී එඞ්මන් විජේසූරිය (ශ්‍රීලනිප) මහතාට පරාජය වූ අතර, 1965දී නුවරඑළිය ආසනයට ඉදිරිපත් වී එහි බලය තහවුරු කර ගෙන සිටි ටී. විලියම් ප්‍රනාන්දු පරාජය කර වැඩි ඡන්ද 4838ක පහසු ජයග්‍රහණයක් ලැබුවේය. 1970 මැතිවරණයේ දී බලවත් අසාධාරණයකට මුහුණ දීමට ඩොනල්ඞ් ජේ. රණවීර මහතාට සිදුවිය. ගාමිණී දිසානායක මහතාගේ ආගමනය නිසා නුවරඑළිය ආසනයට ද ශ්‍රීලනිපයේ එඞ්මන්ඞ් විජේසූරියට නැවත වරක් එජාපයට කරණමක් ගැසීම හේතුවෙන් මස්කෙළිය ආසනයටද නාමයෝජනා ලැබුණේ නැත. නිදහස් අපේක්ෂකයකු වශයෙන් මස්කෙළිය ආසනයට තරග කළ නමුත් (සමනළයා - 1289) පරාජයට පත්විය.

 

 

 

ජී. ආර්. ඩී. බණ්ඩාර