හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ’ යැයි කීවා සේ අංකුර සමයේ සිටම ඵල ඇති මහරුකක ලක්ෂණ විදහාපාන පැළෑටියක් සේ පාසල් වියේ සිටම හඬ නගා නොනවත්වා කතා කිරීමෙහි අපූරු හැකියාව ඇති දරුවෙක් කළුතර මහා විද්‍යාලයේ විය. 


පසු කලෙක ඔහු දේශපාලනයට පිවිස මෙරට ජනතා නියෝජිතයන්ගේ හඬ පාලනය කරන කතානායකවරයා වනු ඇතැයි කිසිවෙකු සිතන්නට නැත. 1947 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත් වූ කතානායකවරයා ගේ සිට නවවන කතානායකවරයා වූයේ එතුමා ය. 


1929 අගෝස්තු මස 03 වැනිදා කළුතර, පයාගල විසූ මහාභාණ්ඩාගාරයේ ලිපිකරු මහතෙකුට සහ බිරිඳට දාව වන්නි ආරච්චිගේ දොන් ස්ටැන්ලි තිලකරත්න උපත ලැබීය. ඔහුගේ වැඩිමල් සොහොයුරා ඔස්වල්ඞ් වූ අතර බාල සොහොයුරා වර්නන් විය. 


කොටහේනේ ශාන්ත බෙනඩික් විදුහලට ඇතුළත් කරන ලද ස්ටැන්ලිගේ අනන්‍යතාව ලෙස ගුරුවරුන් හඳුනාගත්තේ ඔහු සතුව තිබූ මුඛරිකමයි. කිසිදා ටියුෂන් පන්ති නොගිය ඔහු ස්වොත්සාහයෙන් ඉගෙනීම ප්‍රිය කළේය. දෙවැනි ලෝක සංග්‍රාමය හේතුවෙන් කොළඹ හැරදා ගම රටට ගිය ස්ටැන්ලිගේ පවුලේ අය කළුතර විද්‍යාලයට දරුවා ඇතුළත් කළහ. 
ස්ටැන්ලි තිලකරත්නගේ ව්‍යක්ත කථිකත්වය අළු ගසා දමා පණ පෙවුණේ සිංහල සාහිත්‍ය සංගමයේ මෙන්ම ඉංග්‍රීසි සාහිත්‍ය සංගමයේ ප්‍රධාන කථිකයාවීමෙනි. නිදහස් අධ්‍යාපන ක්‍රමයට එරෙහිව බලවත් මිෂනාරිය හා අධිරාජ්‍ය ගැත්තන් කැරලි ගැසූ ඒ සමයේ කළුතර පාසල් මිතුරන් සමග කල්ලි සැදී කළුතර පළාතේ රැස්වීම් පවත්වා නිදහස් අධ්‍යාපනයේ වටිනාකම කියා දුන්නේය. 


අනතුරුව පානදුරේ සුමංගල විද්‍යාලයේ ආරම්භ කළ පන්ති වර්ජනයට සහයෝගය දක්වමින් රැඩිකල් නායකයකුගේ ලක්ෂණ විදහා පෑවේය. 1943 දී කළුතර විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්ස්වය නගර සභා ශාලාවේ පැවැත්වූයේ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලි ලැබූ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිඳුගේ ප්‍රධානත්වයෙනි. 
ස්ටැන්ලි තිලකරත්න සිසුවාගේ අපූරු වාග් විලාසය ගැන පැහැදුණු කන්නන්ගර සූරීහු ඔහුගේ පැහැදිලි අනාගතයට සුබපැතුවේ දීප්තිමත් අනාගතයකට නියත විවරණ දෙමිනි. එම වසරේදී ස්ටැන්ලිට සරසවියට පිවිසීමට වරම් ලැබිණ. 


අධිරාජ්‍යවාදයට එරෙහිව නිදහස වෙනුවෙන් පංච මහා බලවේගය වාමාංශික කඳවුර වටා රොක් වී සටන් වැදුණු එසමයෙහි ස්ටැන්ලිගේ වීරයන් වූයේ පිලිප් ගුණවර්ධන, රොබට් ගුණවර්ධන, ඇන්. ඇම්. පෙරේරා, එස්. ඒ. වික්‍රමසිංහ වැනි වමේ දේශපාලනඥයන්ය. 


‘මෙහෙම කෑ ගැහුවා මදි. අපි කෙළින්ම වමේ දේශපාලන කඳවුරට එකතු වෙන්න ඕනෑ. නිදහස් සටනට පණ දෙන්න පුළුවන් එතකොටයි’ 


මෙසේ නිගමනය කළ ස්ටැන්ලිගේ මිතුරු පිරිස ලංකා සම සමාජ පක්ෂයේ සාමාජිකත්වය ලබාගත්හ. විශ්වවිද්‍යාලයේ විවාද තරග වඩාත් සටන්කාමී අර්ථාත්විත ස්වරූපයක් ගත්තේය. ජාත්‍යන්තරයේ විවාද කණ්ඩායම් තත්ත්වයට එම කණ්ඩායම පන්නරය ලැබුවේ ස්ටැන්ලිගේ දූරදර්ශී බව නිසාය. 


1948 දී ඔහු විශ්වවිද්‍යාලයීය දේශපාලන සංගමයේ සභාපතිවරයා වූයේ නිතරගයෙනි. 1950 දී බී. ඒ. විභාගය සමත් වූ තරුණ ස්ටැන්ලි රජයේ රස්සා පෝලිමට කොටු නොවී 1952 දී නීති විද්‍යාලයට බැඳී ස්වශක්තියෙන් නැගී සිටින්නට උත්සාහ කළේය. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ගුරු තනතුරක් ද වැල්ලවත්තේ පොලිටෙක්නික් ආයතනයේ උපවිදුහල්පති තනතුරක් ද දරමින් තම දැනුම මුදල්වලට හැරවීය. 


තම පෞද්ගලික ජීවිතයම නීතිය ඉගෙනීමට කැප කළ මෙම තරුණයා දිවා රැ නොබලා අවිවේකීව මෙම කටයුතුවල නියැළුණ අතර ඔහුගේ එකම මිතුරා වූයේ පරණ මෝටර් රියක් පමණි. 


1953 අගෝස්තු හර්තාලයට සහය දැක්වීමේ වරදට කලබලකාරයකු ලෙස හංවඩු ගැසුණු ස්ටැන්ලි තිලකරත්න පොලිස් අත්අඩංගුවට පත් විය. වැලිකඩ සිරගෙදර කල්දේරම් බත් කමින් මාස එකහමාරක් ඔහු ඇතුළු සගයන්ට දඟගෙයි සිටින්නට සිදු විය. ඒ මහ රැජිනගේ ආණ්ඩුවට එරෙහිව කැරලි ගැසීමේ චෝදනාවටය. එහෙත් ගල්කිස්ස උසාවියෙන් ඔහු මුදාහරිනු ලැබිණි. 


‘මෙහෙම කෑ ගහලා ආණ්ඩුවට දන්වන්න බැ. අපි ප්‍රජාතාන්ත්‍රික විදියට සටනට බහිමු’ 


මිතුරන්ට යෝජනා කළ ස්ටැන්ලි ලංකා සම සමාජ පක්ෂයෙන් කෝට්ටේ නගර සභාවේ ගංගොඩවිල අසුනට 1956 දී තරග කර ජය ගත්තේය. 1959 දී අධිනීතිඥවරයෙකු ලෙස දිවුරුම් දුන් අතර ඒ වන විට ඔහු චන්ද්‍රා බටුගෙදර මෙනවිය සමග විවාපත්ව සිටියේය. 


1959 දී යෙදුණු සෝවියට් රුසියානු සංචාරයට එක්වීමට ඔහු මොස්කව් බලා පියාසර කළේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයකු ලෙසිනි. මොස්කව් හි ක්‍රෙම්ලින් මන්දිරයේ පැවැති ජාත්‍යන්තර සමාජවාදී රාජ්‍යයන් නියෝජනය කළ එම සමුළුවේ ඔවුන්ගේ නායකයා වූයේ පීටර් කෙනමන්ය. 


කෝට්ටේ නාමයත් ස්ටැන්ලි නාමයත් ගහට පොත්ත සේ එකට බැඳුණු යුගයක 1960 ජුලි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ අපේක්ෂකයා ලෙස කෝට්ටේ අසුනට ඔහු තරග වැදුණේ ශ්‍රීලනිප හා වමේ පක්ෂ අතර නිතරග ගිවිසුම තුළිනි. 


කොමියුනිස්ට් පක්ෂ මන්ත්‍රීවරයකු ලෙස ඔහු පාර්ලිමේන්තුවට මුල් වරට පිවිසි අතර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳී එහි ක්‍රියාකාරිකයකු විය. 1965 මාර්තු මැතිවරණයෙන් ශ්‍රීලනිපයේ කෝට්ටේ මන්ත්‍රීවරයා ලෙස ස්ටැන්ලිගේ නම ස්ථාපිත විය. 1965 - 1970 යුගයේ විපක්ෂයේ අසුන්ගෙන ශ්‍රීලනිපයේ ජයග්‍රහණයට කැප වු ස්ටැන්ලි 1970 මහමැතිවරණයේ දී එජාපයේ පතාක යෝධයකු බඳු වූ ජිනදාස නියතපාල වැඩි ඡන්ද 7849 කින් පරදවා ජය ගත්තේය. 


ස්ටැන්ලි තිලකරත්න තරම් විපක්ෂය මෙන්ම ආණ්ඩු පක්ෂය සමග ගැටුම් ඇති කර ගත් මන්ත්‍රීවරුන් සිටියේ අතළොස්සකි. තමන් සිටි ආණ්ඩුවෙන්ම ගෙනා ඇතැම් අවස්ථාවාදී පනත්වලට එරෙහිව විරෝධ්‍ය පා ඒවා අවලංගු කිරීමට ඔහු පසුබට නොවීය.


1970 දී බිහි වූ නව සමගි ආණ්ඩුවේ කතානායක ධුරයට එකම සුදුස්සා ස්ටැන්ලි තිලකරත්න බවට සභානායක මෛත්‍රීපාල සේනානායක යෝජනා කළ විට එය අනුමත කරනු ලැබුවේ පරම දේශපාලන සතුරෙකු ලෙස සැලකූ ජේ. ආර්. ජයවර්ධන විසිනි. විරුද්ධ නම් නොවීය. ඒ තරමට ස්ටැන්ලිගේ එඩිතර ප්‍රතිපත්ති ගැන පක්ෂ විපක්ෂ දෙපිරිස අතර විශ්වාසයක් පැවතුණි.  


මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ ළාබාලම කතානායකවරයා ලෙස ස්ටැන්ලි තිලකරත්නගේ නම ලියැවෙයි. එලෙසම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමෙහි ලා ව්‍යවස්ථා දායක මණ්ඩලයක් පත් කිරීමට යෙදුණු මොහොතේ එහි සභාපති තනතුරට ඒකමතිකව නම් කෙරුණේ කෝට්ටේ ස්ටැන්ලිය. 


එම යෝජනාව අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක ඉදිරිපත් කළ අතර ස්ථීර කළේ විපක්ෂනායක ජේ. ආර්. ජයවර්ධන විසිනි. 


අධිරාජ්‍යවාදී පාලන ක්‍රමයෙන් ශ්‍රී ලංකාව මුදවා ස්වෛරී ස්වාධීන ප්‍රජාතන්ත්‍රවාදි ජනරජයක් බවට පෙරලූ නව ජනරජ ව්‍යවස්ථාව හදාරණ මොහොතක් පාසා ස්ටැන්ලි තිලකරත්න නාමය ද සිහිගැන්වෙනු ඇත. 1972 මැයි මස 22 වැනිදා කොළඹ නව නගර ශාලාවේ දී ජනරජ පනත නීත්‍යානුකූල කරමින් අත්සන් යෙදුවේ ද කතානායක ස්ටැන්ලි තිලකරත්න විසිනි. 


1972 නව ජනරජ පනත යටතේ ද කතානායක ධුරයට පත් වූ ළාබාලතම කතානායකවරයා ලෙස ද එතුමා ඉතිහාසගත වෙයි. 1977 සිට 1989 දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෝට්ටේ සංවිධායක ධුරය දැරූ අතර එක්සත් ජාතික පක්ෂය රජ කළ 1989 භීෂණ සමයේ පැවැත්වූ මහ මැතිවරණයේදී පවා කෝට්ටේ අසුන රැක ගැනීමට ඔහු සමත් විය. 1995 දී මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරය ඔහුට පිරිනැමිණි. 


කතානායක ධුරය දරද්දී ඔහු ගත් ආන්දෝලානාත්මක තීන්දු තීරණ නිසා ප්‍රතිගාමීන්ගේ තාඩන පීඩන නින්දා අපහාසවලට ඔහුට ලක්වීමට සිදුවිය. ඇතැම් තීරණාත්මක අවස්ථාවල කථිකත්වය පසෙක ලා සහෝදර මන්ත්‍රීවරුන් සමග කල්ලි ගැසී ගුටි බැට හුවමාරුවීම්වලට පවා එක් ව ස්ටැන්ලි කිහිප වරක් නම් කළ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තු සභා ගැබින් ඔසවා ගෙන යන ලදි.


විපක්ෂ නායිකාව ලෙස කටයුතු කරමින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය දැවැන්ත ජනහමු අමතද්දී කථික ලැයිස්තුවේ අන්තිමයා වූයේ ස්ටැන්ලි තිලකරත්නය. ආණ්ඩුවේ නායකයන්ගේ කතාවලට වඩා ජනතාව පුල පුලා බලා සිටියේ ස්ටැන්ලි කරන මුඛරි මෙන්ම දෙපැත්ත කැපෙන හාස්‍යජනක කතා ඇසීමටය. 


ආණ්ඩුවේ නායකයන්ගේ ඒකකාරී ඇල්මැරුණු කතා අවසන් වූ වහාම ස්ටැන්ලි වැනි දක්ෂ කථිකයන්ගේ කතා අසා ලේ නහර පිනවා ගැනීමට ජනතාව ඇබ්බැහි වී සිටියෝය. සංගීත සංදර්ශන නොවූ එදා දේශපාලන වේදිකාවේ ජනතාව කුල්මත් කළේ ස්ටැන්ලි වැනි අපූරු කථිකයන්ය. 


දශක පහකට ආසන්න කාලයක් මෙරට දේශපාලනය ආලෝකවත් කරමින් මහත්මා දේශපාලනයේ නියැළුණු මෙතුමා 2005 ජුනි මස 22 වැනිදා සදාකාලිකවම නිහඬ විය. 
ජීවත්ව සිටියදීම නුගේගොඩ බෝගහ හන්දියේ සිට ජුබිලි කණුව දක්වා මාර්ගය ‘ස්ටැන්ලි තිලකරත්න මාවත’ නමින් නම් කළේ එතුමා සතුව තිබූ වීරත්වය නිසා ය.

 

 

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූපය : අන්තර්ජාලයෙනි