1961 මාර්තු 08 වැනිදා මුළු ලොවේම අවධානය ලන්ඩනය වෙත යොමු විය. දැවැන්ත සිරස්තලවලින් ජන මාධ්‍ය අලංකාර වී තිබිණ. ඒ ලොවම දැවෙනාසුලු ගැටලු රැසකට මැදිව උණුසුම් වී සිටි යුගයක පොදු රාජ්‍ය මණ්ඩලීය අගමැති සම්මේලනය ලන්ඩන් නුවර පැවැත්වීම නිසාය. 


පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් වන්නේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිත පාලනයෙන් නිදහස් වූ සාමුහිකව ක්‍රියා කිරීමේ පදනම යටතේ මහා බි්‍රතාන්‍ය ප්‍රධාන කොට ගොඩනගා ඇති දේශපාලනික සංවිධානයයි. බි්‍රතාන්‍ය මහ රැජිනට එහි නායකත්වය හිමි වෙයි. 


1948 දී මෙරටට නිදහස ලැබූ දා පටන් ශ්‍රී ලංකාව ද මෙහි නිත්‍ය සාමාජිකයෙක් විය. හැඩි දැඩි බලසම්පන්න ලෝක නායකයෝ වාර්ෂිකව මෙම සමුළුවට ගියහ. 1960 ජූලි මාසයේදී පැවති මහ මැතිවරණය දිනා මේ රටේ පමණක් නොව ලොවම ප්‍රථම අගමැතිනිය බවට පත් වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ප්‍රථම වරට එම සමුළුවට සහභාගී වීමට ලන්ඩන් නුවරට ගියේ 1961 මාර්තු 04 වැනිදාය. 


සැමියාගෙන් ලද රාජ්‍ය තාන්ත්‍රික දැනුමද ඇයට මෙහිදී මහත් සේ උපකාරී විය. බණ්ඩාරනායක අගමැතිඳුන්ගේ සමකාලීන නායකයෝ ඇයට රැකවරණය දුන්හ. ලන්ඩන් යන මැතිනිය රත්මලානේ ගුවන් තොටුපළේදී සුබ පැතුවේ ලංකාවේ එක්සත් රාජධානි මහ කොමසාරිස්ව සිටි සර් ඇලෙක්සැන්ඩර් මොර්ලි යුවළ විසිනි. 


මෙසමයෙහි ලොව මහත් ආන්දෝලනයකට ලක් වු කරුණක් වූයේ දකුණු අප්‍රිකාවේ පැවැති සුදු - කළු භේදයයි. සුදු පාලකයන් විසින් ස්වදේශීය කළු ජාතිකයන් හෙළා තළා දරුණු අන්දමින් මිනිස් අයිතිවාසිකම් කඩ කරමින් සැලකීම නිසා ලොවම පිළිකුලට ලක්ව සිටි සමයකි.  


දකුණු අප්‍රිකාව සාමුහික ආණ්ඩුවක් බවට පත්වීමෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලයට බඳවා ගැනීම පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ නමුත් අසාර්ථක විය. නමුත් සියලු රාජ්‍ය නායකයන් තම අදහස් පළ කළේ වටෙන් ගොඩෙන් වීම නිසා ස්ථිරසාර පියවරක් ගැනීමට විධායක සභාව අපොහොසත් විය. 


ඔස්ටේ්‍රලියා අගමැතිවරයා කියා සිටියේ තමන් ද වර්ණ භේද වාදය පිළිනොගන්නා නමුත් දකුණු අප්‍රිකාවට තම වරද පිළිගෙන සාමාජිකත්වය රැක ගැනීමට ඉඩක් දිය යුතු බවය. බි්‍රතාන්‍ය හා නවසීලන්තය ද එය අනුමත කළහ. 


ඉන්දියාව, පකිස්ථානය, ඝානාව, මලයාව, හා නයිජීරියාව යන රටවල් ඊට බලවත් විරෝධය පළ කළහ. 


මලයාවේ අගමැති අබ්දුල් රහමන් කුමරු දැඩි ලෙස දකුණු අප්‍රිකාව විවේචනය කළේ පිටු 15ක දිගු පිටපතක් බලාගෙනය. 


මීළඟට කාගේත් අවධානය යොමු වූයේ නුපුරුදු මුහුණක් හා ස්වරූපයක් වෙතය. ඒ ලොවම ප්‍රථම අගමැතිනිය වෙතය. 


චාම් ඔසරියකින් සැරසී සිංහල ක්‍රමයට සභාවට ආචාර කරමින් සබකෝලයෙන් තොරව රාජ්‍ය නායකයන් හමුවට පැමිණි ඇය ලියකියවිලිවලට වඩා කථිකත්වය තුළින් තම අදහස් කෙළින්ම පළ කළාය. 


මෙය මාගේ පෞද්ගලික අදහසක් නොවෙයි. වර්ණභේද වාදයට ලක්වැසි ජනතාව එකහෙළාම විරුද්ධයි. ඊට පක්ෂ රටකට පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය දීමට අප තදින්ම විරුද්ධයි. 


මෙතෙක් වහෙන් ඔරෝ බසින් කතා පැවැත් වූ රාජ්‍ය නායකයන් තිගස්සවමින් ඇය පැවසුවාය. සභාව විනාඩි කිහිපයක් ගල් ගැසී සිටි බව ජනමාධ්‍ය වාර්තා කළේය. වැදගත්ම කරුණ නම් ඇය දකුණු අප්‍රිකාව විවේචනය කළේ එහි අගමැති දෙස එක එල්ලේ බලා ගෙනම බැවිනි. ඔහු හිස පහත් කර ගෙන ඇගේ විවේචන අසා සිටියේය. ඔහුගේ නිදහසට කරුණු කීමේ වෑයම ඇගේ හඬ හමුවේ අසාර්ථක විය. 

 

 

බි්‍රතාන්‍යයේ ඬේලි මිරර් පත්‍රය විශේෂ ලිපියක් පළ කරමින් අගමැති පදවිය ඇයට බරපතළ වැඩි යැයි අප සිතා සිටියා. නමුත් ඇගේ අවංකභාවයෙත් චාම්බවින් හා තීක්ෂණ නුවණින් ජනතා ආදරය දිනාගත් මාතාවක් බව ඇය ඔප්පු කළා. ඇගේ විචක්ෂණ ඥානයට කදිම නිදසුන පොදු රාජ්‍ය මණ්ඩලයේදී ඇගේ හැසිරීමයි. 


‘පෙර අපර දෙදිග සබඳතා සඳහා ඇය ප්‍රාණවත් ඉල්ලීමක් කළා’ ඬේලි මේල් පුවත්පත කීය. 


අගමැතිනිය රාජ්‍ය නායකයන්ට දැක්වූ තවත් අදහස් කිහිපයක් ගැන ද ජනමාධ්‍ය ප්‍රසාදය හිමි විය. 


ඇමරිකාව විසින් චීන මහජන සමූහාණ්ඩුව නොපිළිගැනීමත් බටහිර රටවල් චීනය එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට ඇතුළු කර ගැනීම වැළැක්වීමත් ජාතීන් අතර සාමකාමී සහජීවනයට විශාල බාධාවක්.


ලෝකයේ විශාලම ජනගහනය ඇති මහජන චීනය පිළිනොගෙන ලෝක ප්‍රශ්න විසඳීමට නොහැකි බව අගමැතිනිය අවධාරණය කළාය. 


නිරායුධකරණය හා අප්‍රිකානු වර්ණ භේදය ලොවටම බලපාන සාධක බව පෙන්වා දුන් ඇය කොන්ගෝව පිළිබඳව එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේදී සම්මත වූ ලංකා යෝජනා වහා ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුන්නාය.
ලොවම නිරායුධ කළ යුතුයි. අවි නිෂ්පාදනය නතර කළ යුතුයි. ඒ සමගම ජාතීන් අතර පාලනික වශයෙන් සාමය ඇති විය යුතුයි. ජාතීන් වෙන් කිරීම ඊට විසඳුමක් නොවෙයි. 


මෙවැනි අභීත ප්‍රකාශ නිසාම ලන්ඩනයේ වුසෝ කෞතුකාගාරයේ නිර්මාණය වී ඇති මෙරට රාජ්‍ය නායකයන්ගේ පිළිරූ අතරට සිරිමාවෝගේ පිළිරුවද එක් විණ. 


 

ටූසෝ ප්‍රදර්ශනාගාරය හිමි ප්‍රසිද්ධ මූර්ති ශිල්පිනියක වූ ටූසෝ මහත්මිය පැවසුවේ මැතිනියගේ රුව ඉටියෙන් නිම වන බවකි. ඒ සඳහා ඇය පෞද්ගලිකව මැතිනිය මුණ ගැසුණාය. 


ලන්ඩනයට පැමිණි වහාම අගමැතිනිය කළේ ලන්ඩන් විහාරයට ගොස් පුත් අනුරත් සමඟ බුදුන් වැඳීමය. අනතුරුව අමුත්තන්ගේ සමරු පොතේ අත්සන් තැබුවාය. බි්‍රතාන්‍ය අගමැති හැරල්ඞ් මැක්මිලන්ගේ බිරිඳ විසින් තේ පැන් සංග්‍රහයක් පිරිනමනු ලැබිණ. 


එකල බි්‍රතාන්‍යයේ ලංකා මහ කොමසාරිස් පදවිය දැරුවේ ගුණසේන ද සොයිසාය. පොදු රාජ්‍ය මණ්ඩලීය සම්බන්ධීකරණ ලේකම් වූයේ ඩන්කන් සැන්ඞ්ස්ය. 


ලන්ඩනයේ පවත්වන ලද පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සම්මේලනයට සහභගි වූ අමුත්තන් වෙනුවෙන් එළිසබෙත් මහ රුජින හා එඩින්බරෝ ආදිපාදවරයා විසින් බකිංහැම් මාලිගයේදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලදී. 


නයිජීරියාවේ අගමැති සර් අබුබකර් තපාවා බලේවා, ඝානාවේ ජනපති ආචාර්ය ක්වාමි නිකෲමා, කැනඩා අගමැති ජෝන් ඩීපන් බේකර්, ඉන්දීය අගමැති ශ්‍රී ජවහර්ලාර් නේරු, පාකිස්ථානයේ ජනපති අයුබ්ඛාන්, මධ්‍යම අප්‍රිකානු පෙඩරල් රාජ්‍යයේ අගමැති සර් රෝයි වෙලෙන්ස්කි, බි්‍රතාන්‍ය අගමැති හැරල්ඞ් මැක්මිලන්, ඕස්ටේ්‍රලියාවේ අගමැති රොබට් මෙන්සීස්, සයිප්‍රසයේ ජනපති මකාරියෝ ආච්බිෂොප්තුමා, නවසීලන්ත අගමැති කේ. හෝලිම්ක් හා මලයා අගමැති තුන්කු අබ්දුල් රහමන් මෙන්ම කාගේත් විවේචනයට ලක් වූ දකුණු අප්‍රිකාවේ අගමැති ආචාර්ය හෙන්ද්‍රිරික් වර්වුඞ් යන මහත්වරු ඊට එක් වූහ. 


මෙම නායකයන් අතර වූ එකම කාන්තාව ශ්‍රී ලංකාවේ සිරිමාවෝය. මේ වන විට පාකිස්ථානය, ඉන්දියාව හා නේපාලය සංචාරය කළ මහ රුජින සිය රටට පැමිණීම නිමිත්තෙන් ලන්ඩන් සංයුක්ත මණ්ඩලය ගිල්ඞ් ශාලාවේදී සංවිධානය කළ භෝජන සංග්‍රහයේද ප්‍රධාන ආරධිතයා වූයේ සිරිමාවෝය. 


රතු චීනය එ.ජා. මණ්ඩලයට ඇතුළත් කර ගත යුතු යැයි එකහෙළාම කියා සිටි බණ්ඩාරනායක අගමැතිවරියට මැදහත් රටවල ප්‍රසංශාව හිමි විණි. ඉන්දීය අගමැති ශ්‍රී ජවහර්ලාර් නේරු ඇතුළු පිරිසක් ඇය වටකරගෙන සුබ පැතූහ. 


ඬේලි ටෙලිග්‍රාෆ්, ලන්ඩන් ටයිම්ස්, ඬේලි මිරර් පුවත්පත සහ රූපවාහිනිය ඇය ගැන පැහැදුණු තවත් කරුණක් නම් ඇය කිසිදු කටුසටහනක් නොබලා තම දැනුමෙන් කාටත් තේරෙන ලෙස අදහස් ප්‍රකාශ කිරීමය. එය පිරිමි නායකයන් අතර නොවූ විරූ ලක්ෂණයක් විය. 


සමාජවාදය කළු සුදු වර්ණ භේදය බි්‍රතාන්‍ය හා යුරෝපීය වෙළෙඳපොළ, චීනය යන මාතෘකාවලට අදාළ කරුණු දැක් වූ ඇය ඇමෙරිකාවේ අලුත් පාලනය නිසා ලෝක සාමය හා සහජීවනයට සුබ අනාගතයක් ඇති වනු ඇතැයි ඇය ප්‍රාර්ථනා කළාය. ජනපති කෙනෙඩිට ඇය පැසසුම් කළාය. 


ලෝක නිරායුධකරණ සාකච්ඡා වහා ආරම්භ කළ යුතුයි. නිරායුධකරණ ගිවිසුම අත්සන් කිරීමට ලෝක බලවතුන්ට බල කළ යුතුයි. ඒ සඳහා මධ්‍යස්ථ ජාතීන් ප්‍රමුඛත්වය ගත යුතුයි. 


නීති ප්‍රශ්න ගැනම වාද කරමින් සිටියොත් ජර්මන් ප්‍රශ්නය විසඳීම කල් යනවා. ලෝක යුද්ධ දෙකකින්ම බැට කෑ ලෝකයට තුන් වන ලෝක යුද්ධයකට ඉඩ නොසලසා වහාම සාමකාමී විසඳුම් සෙවිය යුතුයි. තම සන්නද්ධ හමුදා ඉවත් කරගෙන ජර්මනිය නිරායුධ රටක් බවට පත් කරන මෙන් බල කරමු. 


අගමැතිනි සිරිමාවෝ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ගෙන් හා බලගතු රටවලින් ඉල්ලා සිටියාය. ශ්‍රී ලංකා මෙම විදේශ ප්‍රතිපත්තිය නිසා සමාජවාදී මෙන්ම බටහිර රටවල්වල සුහද හස්තය අප වෙත දිගු විය.

 

 

 

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි