බි්‍රතාන්‍යයේ යටත් විජිතයක්ව තිබී වසර 133 කට පසු ශ්‍රී ලංකාවට නාමමාත්‍රික නිදහස පිරිනැමිණ. එහෙත් 1948 පෙබරවාරි 04 වැනිදා සිට 1972 දී නව ජනරජයක් බවට පත්වන තුරුම රාජ්‍ය පාලනයට කෙළින්ම ඇඟිලි ගැසීමට තරම් බලයක් බි්‍රතාන්‍ය කිරීටයට විය. සැබෑ නිදහස් රාජ්‍යයක පළමු වෙඩිමුරය 1956දී සිදුවූ දේශපාලන පෙරළිය තුළින් තැබිණි. එහෙත් රටේ සංවර්ධනය උදෙසා භාණ්ඩ හා සේවා මෙන්ම ණය ආධාර ලබාගැනීම බටහිර රටවල පිහිට පැතීමට අපේ නායකයන්ට සිදුවිණ.


ධනේශ්වර දේශපාලන පක්ෂයක් ලෙසින් එක්සත් ජාතික පක්ෂය හංවඩු ගැසුණේ ඇමරිකාව, බි්‍රතාන්‍යය වැනි බටහිර රටවල්වලට ගැති ආර්ථික ප්‍රතිපත්තිය නිසාය. එම ලේබලයම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද වැදී තිබිණ. එම පක්ෂ දෙක මගින් පාලනය කළ ආණ්ඩුවලට සමාජවාදී රටවල් සමග සහසම්බන්ධකම් නොවීම ඊට හේතුවයි. එබැවින් අසල්වැසි ඉන්දියාවෙන් භාණ්ඩ සේවා හා ණය සහන ලබා ගැනීමට අපට සිදුවිණ.
1956දී බණ්ඩාරනායක අගමැතිවරයා සෝවියට් දේශය සමග තානාපති සබඳකම් ඇතිකර ගැනීමත් සමග දෙරට අතර වෙළෙඳ ආර්ථික හා සංස්කෘතික සබඳතා ඇතිවිය. ශ්‍රී ලංකා - සෝවියට් මිත්‍ර සංගමය ඇතුළු මිත්‍රත්ව සංගම්, වෙළෙඳ ගිවිසුම්, ආර්ථික සහයෝගිතා ගිවිසුම් හා සංස්කෘතික ගිවිසුම් අත්සන් කෙරිණ.


මව් රට තුළ යකඩ හා වානේ ගිනියම් වනතුරු කිසිම ජාතියක් පන්නරය ලබන්නේ නැතැ’යි කියමනක් වෙයි. එය සනාථ කරමින් සෝවියට් දේශය ශ්‍රී ලංකාවට යකඩ කම්හලක්. ටයර් හා ටියුබ් කම්හලක් මෙන්ම පිටි කම්හලක් ද තැනීමට උදව් කිරීමට පොරොන්දු වූ බව එරටෙහි ප්‍රථම වරට සංචාරය කළ අගමැතිනිය සිරිමාවෝ බණ්ඩරනායක මැතිනිය මහජනතාවට පැවසුවාය.


1963 ඔක්තෝබර් මස 22 වැනිදා නිල සංචාරයක් සඳහා ඇය සමාජවාදී රටවල් රැසක් බලා ගියාය. සෝවියට් දේශය, චෙකොස්ලෝවේකියාව, පෝලන්තය සහ අරාබි එක්සත් ජනරජය ඒ රටවල්ය.
සමාජවාදී රටවල් සමග දේශපාලන යුද්ධයක් ප්‍රකාශ කර තිබූ ධනවාදී රටවල් මේ ගමන ගැන බැලුවේ සතුරු ඇසකිනි.


“එයාට පුළුවන්ද ඔය කොමියුනිස්ට්කාරයන්ගෙන් ආධාර ගන්න. ඕකෙන් වෙන්නේ ඇමරිකාව තරහා වෙන එක  විතරයි. අපේ රටට ලැබෙන ආධාරය නතර කරාවි” ධනවාදී දේශපාලනඥයෝ කීහ.
එහෙත් අගමැතිනියට සමාජවාදී රටවලින් ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයකි.


එවකට අත්දැකීම් බහුල නොවූ කාන්තාවක ලෙස ඇතැමුන් සැලකූ ඇයට මොස්කව්හිදී අගමැති නිකිතා කෘෂෙප් විසින් ක්‍රෙම්ලින් මන්දිරයේදී මහත් ගෞරවයෙන් පිළිගන්නා ලදී. එතෙක් ඇය සිහින ලොවක් සේ සිතා සිටි රටේ වැදගත්ම ස්ථාන කරා සහපිරිවර සමගින් කැඳවාගෙන ගියේය.


ලෙනින් ග්‍රෑඩයේ ඓතිහාසික කෞතුකාගාරය ද, මොස්කව්හි පැට්රිස් ලුමුම්බා සරසවිය ද නැරඹූ ඇයට ශ්‍රී ලංකාවෙන් අධ්‍යාපනය පිණිස එහි ගිය සිසු සිසුවියන්ගෙන් ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයකි.


බොල්ෂොයි නෘත්‍ය ශාලාවේදී රාජ්‍ය ප්‍රධානීන් සමග “රෝමියෝ ජුලියට්” මුද්‍රා නාට්‍යය නැරඹීමට වාසනාව ලැබූ ඇය අගමැති නිකිතා කෘෂෙප් සමග දෙරට අතර ඒකාබද්ධ නිවේදනයට ක්‍රෙම්ලින් මැදුරේදී අත්සන් තැබුවාය. මෙම අවස්ථාවට අගමැතිනියගේ ලේකම් බ්‍රැඞ්මන් වීරකෝන් රාජ්‍යාරක්ෂක හා විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ඇන්. කිව්. දියෙස් සහ ලංකා තානාපති ටී. බී. සුබසිංහ යන මහත්වරු එක්වූහ.
අගමැතිනියගේ පැමිණීම සෝවියට් දේශයට ද නැවුම් අත්දැකීමක් විය. ඔවුන්ගේ මිතුරා වූ අගමැති බණ්ඩාරනායක මහතාගේ අකල් වියෝව නිසා කම්පාවී සිටි එරට ලොව පළමු අගමැතිනිය වූ බණ්ඩාරනායක මැතිනිය පැමිණීම පැරැණි මිත්‍රත්වයේ උණුසුම නැවුම් වූ අවස්ථාවක් විය. සරත් ඍතුවේ දැඩි සීතල මැද මොස්කව් නුවරට ආයුබෝවන් කීම සඳහා ශ්‍රී ලාංකික රාජ්‍ය අමුත්තන් සැඳී පැහැදී වුන්හ. චිනුකෝවා ගුවන් තොටුපොළේ පැවැති එම හමුවේදී අගමැති කෲෂප් මෙසේ පැවසීය.


“සරත් ඍතුවේ හිතුවක්කාර සීතලට ඔබතුමිය වැනි පෙරදිග අය පුරුදු නැහැ. ඒ ගැන මට කනගාටුයි” මැතිනිය සිනා සී ඊට පිළිතුරු දුන්නේ මෙසේ කියමිනි.


“ලංකා ජනතාවට ඔබේ ජනතාව දක්වන මිත්‍රත්වයේ උණුසුම නිසා ඒ සීතල දරාගන්න පුළුවන් වුණා”


දෙරටේ ජනමාධ්‍ය ඒ අවස්ථාව විස්තර කර තිබුණේ මෙසේය. “ක්‍රෙම්ලිනයේ සිට චිනුකෝවා ගුවන්තොට දක්වා මග දෙපස දෙරටේ කොඩිවලින් අලංකාරව තිබිණ. ලංකා අගමැතිනිය හා සෝවියට් අගමැති එකම මෝටර් රියෙන් එහි ආහ. ඇය වෙනුවෙන් වූ විශේෂ ආචාර පෙළපාළිය මැතිනිය පිළිගත්තාය.


අගමැති යුවළ, උප අගමැති යුවළ, රාජ්‍ය නිලධාරීන්, තානාපතිවරුන් හා ලංකා සිසුවෝ ද එහි වූහ. කුඩා ළමෝ ඇයට මල් පොකුරු පිරිනැමූහ.


“ඔබේ රටේ ජනතාව දැක්වූ මේ මිත්‍රත්වයට පෙරළා උදව් කිරීමට අපි මැළිවන්නේ නෑ. ඔබේ රටට හොඳ මිත්‍රයකු සිටින බව පමණක් මතක තබා ගන්න” කෘෂොප් කීය.


“ඔබේ ජනතාවගේ සිනාසෙන මුහුණු මට කිසිදා අමතක නොවෙ” මැතිනියගේ කතාවට අත්පොළසන් නැගුණි.


පොරොන්දු වූ ආකාරයටම ශ්‍රී ලංකාවේ ටයර් කම්හල සහ මෝදර තිරිඟු පිටි කම්හල සෝවියට් ආධාර හා උපදෙස් මත බිහිවූ අතර, දහස් ගණනක් ජනතාවට එහි රැකියා ලැබිණ. බටහිර ඒකාධිකාරය බිඳවැටිණ.
කලාකරුවන්, අධ්‍යාපනඥයන්, කම්කරුවන්, සංචාරකයන්, ගුරුවරුන් මෙන්ම සංස්කෘතික කණ්ඩායම් ද දෙරට අතර හුවමාරු කර ගැනිණ. ලංකා සිසුන් දහස් ගණනකට එරට විශ්වවිද්‍යාලවල දොරගුලු හැරුණු අතර, කුඩා දූපතක්ව ලෝක සිතියමේ අප්‍රකටව තිබූ අපේ දිවයිනට ලොවේම අවධානය දිනා ගැනීමට කරුණු සැලසිණි.


“මම කාන්තාවක නිසාත්, අත්දැකීම් බහුල නොවූ නිසාත් සැලුණේ නැහැ. කාන්තාවට ගෞරවයක් වීරත්වයත් දීමට සෝවියට් දේශය පැකිළුණේ නැහැ. අභ්‍යවකාශ කටයුතු පිළිබඳව කාන්තාවට ඇති දැනුම බලන්න. වැලැන්ටිනා තෙරොෂ්කෝවා වැනි එරටේ කාන්තාවන් මුළු ලොවටම ආඩම්බරයක්.


අගමැතිනිය දින 22ක ලෝක සංචාරයෙන් පසු මවු රටට පැමිණ එසේ පැවසුවාය.


එක්සත් අරාබි ජනරජයෙන් මෙරටට තව තවත් අඩු මිලට පැට්‍රෝල් ලබාදීමට එහි ජනාධිපති ගමාල් අබ්දුල් නසාර් පොරොන්දු විය. සෝවියට් රුසියාව රුපියල් විසිකෝටියක ආර්ථික ආධාර පිරිනැමීය. පෝලන්තය හා චෙකොස්ලොවෙකියාව සංස්කෘතික ආධාර දීමට පොරොන්දු විය.


රාජ්‍ය තාන්ත්‍රික ප්‍රදානයන්ට අමතරව අගමැතිනිය වෙත සාමාන්‍ය ජනතාවගේ ප්‍රසාදය හිමිවිය. ඇය ලෙනින් ග්‍රෑඩයට පැමිණි දා උපන් තම දියණියට “සිරිමාවෝ” යැයි නම් තබන බව එක් නගර වැසි යුවළක් දන්වා සිටියෝය. ඒ ව්ලැඞ්මිර් සහ නදේශ්දා ප්‍රශ්කෝ යුවළ විසිනි.

“ඔබේ දියණිය යුද්ධ විරහිත ලෝකයක හැදී වැඩී රටට සේවයක් කරාවි” යැයි මැතිනිය ද පැවසුවාය.


බටහිර රටවල් අබිබවා විශාල ආධාර ප්‍රමාණයක් මෙන්ම සමාජවාදීන්ගේ හොඳ හිත දිනාගෙන මැතිනිය පෙරළා මව් රටට පැමිණියේ සෝවියට් ඉලියුෂන් වර්ගයේ ගුවන් යානාවකිනි.


ලා කහ පැහැති සාරියකින් සැරසුණු ඇය පියගැට පෙළ බසිද්දී පෙරට පැමිණි ලකිසුරු විලියම් ගොපල්ලව යුවළ ඇයට ආචාර කර පිළිගත් අතර, කතානායක ආර්. ඇස්. පැල්පොල, සභානායක සී. පී. ද සිල්වා, ගමනාගමන ඇමැති මහානාම සමරවීර, ස්වදේශ ඇමැති ඒ. පී. ජයසූරිය, කර්මාන්ත ඇමැති මෛත්‍රීපාල සේනානායක යන පිරිස ඇය පිළිගත්තේ ඉන් අනතුරුවය.


අනතුරුව මව හමුවට දිව ආ අනුර පුතාත්, සුනේත්‍රා හා චන්ද්‍රිකා දූවරුත් වැලඳගත් ඇය, “ඔයගොල්ලො දැක්කද මං ආපු සෝවියට් යානාව” හරි ලස්සනයි. ගිහින් බලන්න. ආසන 84ක් තියෙනවා” යැයි පැවසුවාය. සියල්ලෝ වහා ගොස් එය නැරඹූහ. ලංකාවේ සෝවියට් තානාපති නිකොලොයි තරකනොවි සහ ඉන්දියාවේ ලංකා තානාපති ෂර්ලි අමරසිංහ ද ඇය සමග වූහ.


ආසියා - අප්‍රිකා රටවල ඇති වැදගත් ප්‍රතිපත්තිය නිසා ලෝකය අනතුරුදායක බවින් මිදුණු බවත්, අධිරාජ්‍යයන් යටතේ ඇති යටත් විජිත නිදහස් කළ යුතු බවට බැංඩුන් සමුළුවේ ප්‍රතිපත්ති දිගටම ක්‍රියාත්මක කළ යුතු බවත් මැතිනිය එදා ජනමාධ්‍යයට පැවසුවාය.


ලෝක සාමය වෙනුවෙන් සෝවියට් දේශය විසින් සිදු කරන කටයුතු ගැන ප්‍රශංසා කළ ඇය යුද අවි තහනම ක්‍රියාත්මක කිරීම තුළින් සාමය ඇති කර සහජීවනය ලොවට ළඟා කළ යුතු බව අවධාරණය කළාය.
ලෝකය නිරායුධ කිරීමට මහජන චීනය දරන ප්‍රයත්නයන්ට සහාය දක්වන අතර, බිහිසුණු අවි තහනම ගැන ලෝක නායකයන් සමග සාකච්ඡා පැවැත්වීමට චීන අගමැති චෞ-එන්-ලායිට ද අගමැතිනිය ඇරයුම් කළාය.

 

 

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි