ජූලියා අල්වාරෙස් :න්‍මකස් ්කර්රු‘* නම් ස්පාක්‍ද්ක්‍ද ජාතික ලේඛිකාව විසින් රචනා කරන ලද ෂබ එයැ එසපැ දf ඉමඑඑැරසෙැි කෘතියේ අනුවාදයකි. 1930 සිට පුරා වසර තිහක් ඩොමිනිකානු ජනරජය පාලනය කරන ලද රෆායෙල් ටෘජිලෝ නම් ඒකාධිපති හමුදා පාලකයාගේ කාලය පසුබිම් කොට මෙම කෘතිය ලියැවී තිබේ.


මෙම කෲර පාලකයාගේ සමයේ එරට ප්‍රජාතන්ත්‍රවාදය බිංදුවටම ඇද වැටී තිබූ අතර එවකට එහි සිදුවූ මරණ රාශියකටම ඔහු වගකිව යුතු බව කියැවේ. එකම ස්ථානයේ සිදුවූ දස දහසක (10,000) ජන සංහාරයක්ද මෙයට අයත්ය. එරටින් පලාගොස් දිවි ගලවාගත් මිරැබල් සොයුරියන් ඇසුරින් ෂබ එසපැ දf ඊමඑඑැරසෙැි කතාව දිගහැරේ. ඬේඬේ, මිනර්වා හා පැටි්‍රයා යනු මෙම තෙසොහොයුරියෝය. මොවුන් ළමා වියේ පටන් ටෘජිලෝ පිළිබඳව ඇසූ දුටු කතා ඇසුරින් මෙම කෘතිය ඇරඹේ. 


විසිපස් වැනි කොටස


 

තාත්තාගේ සාක්කුවේ තිබී මට හමුවූ ඇරයුම්පත තවත් කලබැගෑනියක් ඇති කළේය. මේ වතාවේ කලබල ඇති කෙරුවේ අම්මාය. එය එවා තිබුණේ රටේ පාලකයා වූ ටෘජිලෝය. අපට පැය තුනක් පුරා යා යුතු දුරකින් පිහිටි ඔහුගේ පුද්ගලික මාලිගයක පැවැත්වෙන සාදයක් සඳහා තාත්තාට ඉන් ඇරයුම් ලැබී තිබිණි. එහි පහළ කෙළවරේ අත් අකුරින් ලියන ලද සටහනකින් මිනර්වා මිරුබලා මෙනවියට පැමිණීම අමතක නොකරන්නැයි දැනුම් දී තිබිණ.


තාත්තා මේ වන විට ධනවතෙකු වී සිටි බැවින් ඔහුට බොහෝ රාජකාරී උත්සව හා සාද සඳහා ඇරයුම් ලැබිණ. අම්මා ඒවාට අකැමැති වූ බැවින් මට නිතරම තාත්තා සමඟින් යාමට සිදුවිය. නාකි ගෑනියෙකු දකින්න කාටද උවමනා ද”යි ඈ නිදහසට කරුණු වශයෙන් කීවාය.


“මොකක්ද අම්මා?” මම ඈ හා වාද කළෙමි. 


“ඔයා තවම ඉන්නෙ හොඳ කාලෙ, ඔයාට තවම පනස් එකයි.” මම ඇඟිලි තුඩුවලින් අසුරුසන් කරමින් ඇගේ සිත සතුටු කරන්නට වෑයම් කළද අම්මා වියපත් පෙනුමින් යුතු වූවාය. අඩි උස කළු සපත්තු අඳින, හුරුබුහුටි හිස්වැසුම් හා කබා අඳින කඩවසම් තාත්තාට වඩා අම්මා වියපත් පෙනුමැති වූවාය. ඇගේ හිසකේ අළු පැහැයට හැරී තිබූ අතර ඈ කොණ්ඩය පිටුපසට තද කර ගැටයක් ගැසූ බැවින් ඇගේ මුහුණෙහි දිගුකාලීන පීඩාවට පත් පෙනුමක් දක්නට ලැබිණ.


කෙසේ වෙතත් මේ වතාවේ මා එහි යාම අම්මා අනුමත නොකළාය. අත් අකුරින් ලියන ලද විශේෂ සටහන ඈ බියපත් කොට තිබිණ. එය රාජකාරීමය සටහනක් නොව පුද්ගලිකව යොදන ලද්දකි. ඇරත් අන්තිම වතාවට සහභාගි වූ සාදයෙන් පසුව ජැම්ටෝගේ නිවස සොයා පැමිණි මිතුරු කර්නල්වරයෙකු ඩොක් එක්රිකේ මිරුබලා සමග පැමිණි සිත් ගන්නාසුලු උස් තරුණිය කවුදැයි විපරම් කර තිබුණි. ඈ ටෘජිලෝ එල් ජෙෆේගේ නෙතට හසු වී තිබුණාය.


අම්මාට මා වෙනුවෙන් වෛද්‍ය ලැවෙන්ඩියර් ලවා වෛද්‍යමය නිදහසට කාරණාවක් ලබා ගැනීමට උවමනා විය. සියල්ලටම පසුව ඇදුම රෝගය හා ඉරුවාරදය නීතියට පටහැනි දේවල් නොවීය.


“ටෘජිලෝ තමයි නීතිය” තාත්තා කෙඳිරුවේය. මේ දිනවල එම භයානක නම කියද්දී ඕනෑම කෙනෙකු හෙමිහිට කෙඳිරීම කළේය. 


අවසානයේ අම්මාට මගේ යාම සඳහා එකඟවීමට සිදුවූවත් මගේ ආරක්‍ෂාව උදෙසා මගේ වැඩිමහල් සොයුරිය පැටි්‍රයා හා ඇගේ පුරුෂයා පෙඩි්‍රයෝට මා හා යන ලෙස කියමින් ඈ බල කළාය. මගේ නැගණිය මාරියා තෙරේසා ද එහි යාමට අවසර ඉල්ලා බැගෑපත් වූ නමුත් එයට කන් නුදුන්නාය. තවත් තරුණ අවිවාහක දියණියක් අනතුරට නිරාවරණය කිරීම නොවිය යුතුය. ඇරත් ඊළඟ වසරේ පාසැලෙන් සමුගන්නා තුරු මාරියා තෙරේසාට රාත්‍රී සාද සඳහා අවසර නොවීය.


අසරණ මේට් (මාරියා) බොහෝ සේ වැලපුණාය. ඈ සනසනු පිණිස මම තවත් සිහිවටනයක් රැගෙන ඒමට පොරොන්දු වීමි. ගිය වතාවේ මොන්ටානා හෝටලයේ පැවති සාදයේදී අප සැම දෙනාටම කඩදාසි අවන්පත් තෑගි ලැබුණි. එහි එක් පසෙක කන්‍යා මරියතුමියගේ රුවක්ද, අනෙක් පස නායකයාගේ රූපයද තිබිණ. මාරියා තෙරේසා මා ඉදිරිපිට වාඩි වී පවන් සලා ගන්නා විට මම ඇයට අවාන දෙපැත්තට කරකවන්නට කීවෙමි. එවිට විටෙක නායකයාගේ සෝදිසි බැල්මද, තවත් විටෙක කන්‍යාමරිය තුමියගෙ ඉවසා දරාගත හැකි බැල්ම සහිත සොඳුරු රුවද දැකගත හැකිවුණි.


සාදයට සතියක් තිබියදී මා හප්පා දමා තිබූ ෆෝඞ් රිය නිසි ලෙස අලුත්වැඩියා කර ගැනීමට තාත්තාට සිදුවිය. ටෘජිලෝ ටිලර්ස් ග්‍රාමීය ශාඛාවේ සභාපතිවරයා නායකයාගේ මන්දිරයට ජීප් රියකින් යාම නුසුදුසු වුණි.
ෆෝඞ් රිය අලුත්වැඩියා කරමින් තිබියදී මට සැන්ප්‍රැන්සිස්කෝ හි වෛද්‍යවරයෙකු හමුවීම සඳහා තාත්තා රැගෙනයාමට සිදුවිය. තාත්තා වැඩි වැඩියෙන් ධනවත් වන විට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය වඩාත් අයහපත් අතට හැරීම කනගාටුවට කරුණකි. ඔහු පමණට වැඩියෙන් බීමතට යොමුව සිටි බව මගේ නෙතට පවා හසුවිය. ඔහුගේ හෘදය දුබල වී තිබූ අතර විටෙක ඔහුගේ පා ඇඟිලි ඉදිමී වේදනා දුන් බැවින් ඔහුට එහා මෙහා යාම පවා අසීරු විය. වෛද්‍ය ලැවෙන්ඞ්යර් ඔහුට සතියකට දෙවතාවක් ප්‍රතිකාර ලබා දුන්නේය. මා ඔහු රැගෙන ගොස් එහි දමා නැවත ගන්නා වෙලාව එනතුරු ඬේ ඬේ හා ජැමිටෝ බැලීම සඳහා ඔවුනගේ නව හිම කිරම වෙත ගියෙමි.
එක් උදයක තාත්තා මට ආපසු ගෙදර යන ලෙස කීවේය. වෛද්‍යවරයා හමුවීමෙන් පසුව ඔහුට තවත් වැඩ වගයක් තිබුණි. ජැමිටෝ පසුවට ඔහු කැදවාගෙන එනු ඇත. 


“අපි දෙන්නාට එකටම යන්න පුළුවනි. මම ඔහුට කීවෙමි. ඔහු ඉවත බලාගත් විට ඔහු සැරසෙන්නේ කුමකට දැයි මට අවබෝධ විය. දින කිහිපයකට පෙරාතුව මම කහපාට නිවස ළඟින් රිය පදවාගෙන යන විට එම නිවස වසා දමා තිබෙනු දුටුවෙමි. සැබැවින්ම තාත්තා එම ගැහැණිය අත්හැර දමා නොතිබුණි. ඔහු අද නගරයේ පදිංචිකරවූවා පමණි.


මම කිසිවක් නොකියා ඉදිරිපස බලාගෙන රිය ධාවනය කළෙමි.


අවසානයේ ඔහු එයට එකඟ විය. “ඔබට මා විශ්වාස කරන්න වෙනවා. මට මගෙ දරුවො බලන්න උවමානයි. නමුත් මම තව දුරටත් ඒ ගෑනි එක්ක සම්බන්ධකම් පවත්වන්නෙ නැහැ.” 
මම මගේ අභ්‍යන්තරය මදක් සංසුන් වන තුරු සිටියෙමි.


“මමත් කැමතියි එයාලා මුණගැහෙන්න. මොනවා වුණත් එයාලා මගෙ සහෝදරියො..”


මා ඔවුන් ගැන සඳහන් කළ අන්දම තාත්තාගේ සිත්ගත් බව පෙනුණි. “දොස්තර මහත්තයා බලල ඉවර වෙද්දී මං ඔයාව ගන්න එන්නම්..”යි මම තාත්තාට කීවෙමි.


පසුව අපි පටු පාරවල් දිගේ ඉදිරියට ගියේ වැදගත් පෙනුමැති කුඩා නිවාස පේළි පේළි පසුකරමිනි. අවසානයේ අප නතර වූයේ ඉස්තෝප්පුවක්ද සහිත සුදුපාට, ලස්සන නිවසක් ඉදිරිපිටය. ඔවුහූ එහි තාත්තා එනතුරු බලා සිටියහ. ලා කහ පාට කොටු වැටුණු ගවුම් හැඳගත් ගැහැනු ළමුන් සිව් දෙනෙක් වූහ. වැඩිමහල් දැරියන් දෙදෙනා මා හඳුනා ගන්නට ඇත. මා රියෙන් බසිත්ම ඔවුනගේ මුහුණු අඳුරු විය.


තාත්තා මිදුලට යත්ම ඔවුහූ ඔහු වෙත කඩා පැන සාක්කුවල තිබූ මින්ට් සෙවූහ. මා සහ මගේ සහෝදරියන් තාත්තා වටා රොක්වන අන්දමට ඔවුන් ද එසේ කිරීම ගැන මා තුළ ඊර්ෂ්‍යාවක් ඇතිවුණි.


“මේ මගෙ ලොකු ගෑනු ළමයා මිනර්වා-”යි ඔහු ඔවුනට මා හඳුන්වා දුන්නේය. අනතුරුව එකිනෙකාගේ හිස මත අත තබමින් ඔහු ඔවුන් මට හඳුන්වා දුන්නේය. වැඩිමහල් දැරිය මාගරිටා දහ හැවිරිදි වියේ පමණ වන්නට ඇත. කිළිටි රිබන් පටියක් ගෙල වටා ඔතා සිටි ළදැරිය තෙක් ඉතිරි තිදෙනා අතර වයස් පරතරය අවුරුදු තුන බැගින් වන්නට ඇත. තාත්තා ලියුම් කවරයක්ද ගෙන නිවස තුළට ගිය පසුව මම ඉස්තෝප්පුවට වී ඔවුන් පිළිතුරු දීමට ලැජ්ජාශීලී වූ ප්‍රශ්න අසමින් සිටියෙමි.


අප පිටත්ව යාමට සැරසෙන විට මව දොර පිටුපස සිට එබී බලනු දුටුවෙමි. මම ඇයට පිටතට එන්නැයි සංඥා කළෙමි. “මම මිනර්වා මිරුබල්” කියමින් ඇයට අත දිගු කළෙමි.


ගැහැනිය බිම බලාගෙන කාමන් වැනි නමක් මිමිනුවාය. ඇය ලාභ මුදුවක් පැලඳ සිටි බව මට පෙනුණි. එය රසකැවිලි වෙළඳුන් ළඟ තිබෙන අන්දමේ ඇඟිල්ලේ ප්‍රමාණය අනුව වෙනස් කළ හැකි මුදුවකි. ඈ සැන්ෆ්‍රැන්සිස්කෝ හි පිහිටි මෙම වැදගත් නිවාස පෙදෙසෙහි ගරු කටයුතු විවාහක කාන්තාවක් මෙන් පෙනී සිටීමට වෑයම් කළේ දැයි මට සිතුණි.


අප ගම බලා ආපසු යන අතරතුරදී මා කල්පනා කෙරුවේ දස වසරකට පමණ ඉහතදී මගේ පියාට වෙනත් ගැහැනියක වෙත යාමට අදාළ වූ කරුණ ගැනය. ඒ පැටි්‍රයා, ඬේ ඬේ හා මා කන්‍යාරාමයට ගිය කාලයයි. මාරියා තෙරේසා සිව් හැවිරිදි වූවාය. සමහර විට අපි නොමැති පාළුව තදින් දැනුණ බැවින් තාත්තා අප වෙනුවට තවත් ළාබාල තරුණියක සොයා ගියේද? මා තාත්තා දෙස බලන විට ඔහුද පෙරළා මා වෙත බලනු හසුවිය.
“ඔයා හොඳ දරුවෙක්” ඔහු පැවසුවේ අසීරුවෙන් සිනාසෙමිනි. මම දන්නවා වලාකුළු දැනටම වැහැලා බව..”යි මම කීවෙමි, “නමුත් තාත්තා ඇයි ඔයා ඒ දේ කෙරුවෙ?”


ඔහු වේවැල් සැරයටිය තදින් මිරිකා ගත් බැවින් ඇඟිලි ඇට සුදු පාටට දිස්වුණි.“කොසාස් ඩි ලොස් හොම්බ්‍රෙස්” ඔහු කීය. “පිරිමියෙකු කරන දෙයක්” එය ඔහුගේ නිදහසට කරුණ විය. මා තවත් යමක් විමසීමට පෙරාතුව තාත්තා මා කළ දෙයට නිදහසට කරුණු විමසුවේය. තාත්තා ඔවුන් සිටි ගොවිපොලේ නිවස තුළ සිටියදී මා ජීප් රියෙන් ෆෝඞ් රිය හප්පා දමා වගා විනාශ කර පැමිණීම ඔහු අදහස් කරන්නට ඇත. එක එල්ලේ පිළිතුරක් දීමට නොහැකි වූ මම මඳක් කල්පනා කර බලන විට ඔහුගේම වදන් මට සිහිවිය. “එය ගැහැනියක් කරන දෙයක්”යි මම කීවෙමි.


මේ වචනත් සමඟින් මගේ ගැහැනු ඇස විවර විය.


නිවස බලා එන අතරතුර මා දුටුවේ කුඹුරට නැවී සිටි පිරිමින්ය. අසුපිටින් යන පිරිමින්ය. පාර අද්දර සිටි මිනිසුන්ය. 


මා දකිමින් සිටියේ මට අන්තිමේදී උවමනා වූ දෙය බව මම දැන සිටියෙමි.

 

 

 

 

පරිවර්තනය : මානෙල් ජයන්ති ගුණසේකර