ශ්‍රී ලංකාවෙත් එක්සත් රාජධානියේත් දේශපාලන ගමන් මඟ නිහඬව වෙනස් කළ යුග පුරුෂයෙක් පසුගියදා එකී සේවාව අවසන් කරමින් අප අතරින් සදහටම නිහඬ විය. ලොව බොහෝ රටවල සමාජ අසාධාරණයන්ට එරෙහිව රාජ්‍ය දූෂණ, වංචාවලට එරෙහිව නැගී සිටීමේ වරදට පාලකයන්ගේ මර්දනයට ගොදුරු වී සිය ජීවිතයෙන් වන්දි ගෙවූ අය මෙන්ම කාලාන්තරයක් තිස්සේ මෙම අරගලවලට ගොදුරුව සිරගත වූ, කුරිරු වධ බන්ධනවලට ගොදුරු වූ අය වෙනුවෙන් සිය ජීවිත කාලයෙන් වැඩි කලක් වෙන්කර ගනිමින් ඔවුන් ඒ ව්‍යසනවලින් බේරා ගැනීමටත් ඒ පිළිබඳ ලොව පුරාහඬක් නැගූ මේ නිහඬ මිනිසා ශ්‍රී ලංකාවේ දේශපාලන ගමන්මඟ වෙනස් කළා වාගේම ඔහු ජීවත්වූ එක්සත් රාජධානියේ ද දේශපාලන ගමන් මගෙහි පෙරළිකාර චරිතයක් වූ බව මෙහිලා සඳහන් කළ යුතුය. මොහුගේ නික්ම යෑම පිළිබඳ ලන්ඩනයේ පුවත්පත්වල සඳහන් වූයේ ලොව මිනිස් අයිතිවාසිකම් සඳහා හා ලන්ඩනයේ වෙසෙන සුළු ජාතීන්ගේ මානුෂික අයිතිවාසිකම් සඳහා සටන් වැදුනු ඔපින්ටන් මිනිසා නික්ම යයි යනුවෙන්. ඔහුව බොහෝ දෙනා හැඳින්වූයේ ලෝඞ් ඇව්බෙරි නැතහොත් ඇව්බෙරි සාමි යනුවෙනි.

ඔහුගේ පිය පරම්පරාව බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කළ අය වූ අතර පියාගේ පියා (සීයා) ශ්‍රීමත් ජෝන් ලුබ්බොක් (1870-1880) කාලයේ කෙන්ට් ප්‍රාන්තයේ මෙඞ්ස්ටොන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස සේවය කර තිබුණි. ඔහුගේ මව් පාර්ශ්වයේ පවුලේ අය ද පාර්ලිමේන්තුව නියෝජනය කළ අය බව ගාඩියන් පුවත්පත අනුව සඳහන් කර තිබුණි.


ඇව්බෙරි සාමිවරයා උපත ලැබුවේ 1928 පෙබරවාරි 14 වැනිදාය. ඔහුගේ පියා මොරිස් ෆොක්ස් ලුබ්බොක් ලොව ප්‍රචලිත බැංකුවක් වූ ලොයිඞ්ස් බැංකුවේ අධ්‍යක්‍ෂවරයකු විය.


ඇව්බෙරි සාමිවරයා ලෙස හැඳින්වුවත් ඔහුගේ මුල් නම එරික් රෙජිනෝල්ඞ් ලුබ්බොක් විය. ඔහු එංගලන්තයේ ලන්ඩන් නුවර සුප්‍රකට හැරො (Harrow) විදුහලින් මූලික අධ්‍යාපනය හදාරා අනතුරුව ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයෙන් ඉන්ජිනේරු උපාධිය ලැබගෙන යුද හමුදාවට බැඳී ලුතිනන් වරයෙකු ලෙස කලක් කටයුතු කළේය. පසුව ලොව සුපතළ රොල්ස් රොයිස් සමාගමට එක් වූ ඔහු (1951-1960) ඉන්ජිනේරුවෙකු ලෙස ද අනතුරුව නිෂ්පාදන කළමනාකාර තනතුරක් ද දැරුවේය. අනතුරුව 1960 ලිබරල් පක්‍ෂයට බැඳුනු ඔහු ඕපින්ටන් ප්‍රදේශයේ පළාත් පාලන සභාවට තේරී පත් වූ අතර ඇව්බෙරි 1962 දී පැවැති අතුරු මැතිවරණයෙන් එතෙක් පැවති ප්‍රධාන පක්‍ෂ වූ කොන්සෙවේටිව් හා කම්කරු යන පක්‍ෂ දෙකම පරාජය කරමින් විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස තේරී පත්විය. ඔපින්ටන් මිනිහා යන අන්වර්ථ නාමයෙන් එංගලන්ත පුවත්පත් හඳුන්වා දෙනු ලැබුවේ ඔහු බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තුළත් අනෙකුත් සමාජීය හා ජාත්‍යන්තර කටයුතුවලදී කැපීපෙනෙනා චරිතයක් බවට පත් වූ බැවිනි.


ඇව්බේරි සාමිවරයා දෙවරක් විවාහ වී තිබූ අතර 1953 කීනා මරියා ඔකෙලි ද ගලහ පළමු බිරිඳවූ අතර ඇයගෙන් ඔහුගේ මුල් පාර්ලිමේන්තු මැතිවරණවලදී සිදුවූ සේවාව බොහෝ පුවත් සඳහන් කර තිබුණි. මෙම විවාහයෙන් ඔවුන්ට පුතුන් දෙදෙනෙකු හා දුවෙක් සිටිති. දෙවැනි විවාහය 1985 දී සිදු වූ අතර ලොව සුපතළ නවකතා කර්තෘවරියක වන පැමෙලා හැන්ස්ෆොර්ඞ්ගේ දියණියක වූ ඇය ලින්ඞ්සේ ස්ටුවර්ට් නම් විය. මේ විවාහයෙන් ද ඔවුනට පුතෙක් සිටියි.


තරුණ කාලයේදී එරික් දක්ෂ බොක්සින් ක්‍රීඩකයෙකි. ඔහු පුණ්‍ය කටයුතුවලට ආධාර පිණිස මුදල් එක්රැස් කර ගැනීමට මෙම ක්‍රීඩාව යොදාගත් බව බොහෝ පුවත්පත්වල සඳහන්ව තිබුණි.


පාර්ලිමේන්තු දිවියේදී හෙතෙම බි්‍රතාන්‍යයේ වෙසෙන සුළු ජාතීන්ගේ විවිධ ප්‍රශ්න පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් විසඳා දීමට ගත් විශිෂ්ට මෙහෙවර උදෙසා සම්මාන රැසක්ම හිමිකරගෙන තිබුණි. 1970 සිට බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ මානුෂික අයිතිවාසිකම් පිළිබඳ කමිටුවේ සාමාජිකයකු ලෙස කටයුතු කළ ඔහු 1970 සිට එහි සභාපති තනතුර අඛණ්ඩව විසිඑක් වතාවක්ම හෙබවීම තුළින් ඔහුගේ කැපවීම අපට මැනවින් පැහැදිලිවේ. ඔහුගේ සීයා වූ ජෝන් ලුබ්බොක් සාමිවරයාගෙන් අනතුරුව ඒ සාමි ධුරයට පත් කරනු ලැබ සිය සේවාව එම සාමි මන්ත්‍රී මණ්ඩලයේදී ද නොනැවතී ඉටු කරමින් සිය ජීවිතය සමාජයේ අයුක්තියට අසාධාරණයන්ට ලක් වූ ලොව විවිධ රටවල ජනතාවගේ මානුෂික අයිතිවාසිකම් සඳහාම කැපකරමින් කටයුතු කළේය.


ලොව බොහෝ රටවල මානුෂික අයිතිවාසිකම් පිළිබඳ සටන් ගෙනයෑමේ පෙරගමන්කරුවන් බිහි වුණේ එක්සත් රාජධානියේ බව එහි ඉතිහාසය පිරික්සන ඕනෑම අයෙකුට අමුතුවෙන් කිවයුතු කරුණක් නොවේ. දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලාගේ හෝ කොංගෝවේ පැට්රිස් ලූමූම්බාගේ හා ආසියාවේ පටන් ලොව පුරා දශක ගණනාවක් තිස්සේ මේ සටන්කරුවන්ගේ හා ඒවාට දායක වූ විවිධ මට්ටම්වල වෘතිකයන්ගේ අප්‍රතිහත ක්‍රියාමාර්ගයන් නොතිබෙන්නට ඒ රටවල ඉතිහාසය මීට වෙනස් අයුරකින් ලියවෙන්නට ඉඩ තිබුණි. ලන්ඩනයේ ඉන්ඩිපෙන්ඩන් පුවත්පත සඳහන් කර තිබුණේ ලොව පුරා මානුෂික අයිතිවාසිකම් සඳහා මෑත අවධියේ ඇව්බෙරි සාමිවරයා තරම් මෙහෙයක් කළ අයෙකු මෙතෙක් පහළ වී නැති බවය. ඔහු කළ මෙහෙය සඳහන් කරන ඒ පුවත්පත වැඩිදුරටත් දක්වා තිබුණේ සුදු පාලකයන්ගෙන් නෙල්සන් මැන්ඩෙලා බේරා ගැනීමේ මෙහෙයදී දකුණු අප්‍රිකාවට බි්‍රතාන්‍ය සංචාරකයන් යැවීම තහනම් කිරීම හා ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනම ක්‍රියාත්මක කිරීමේ පුරෝගාමියා ඔහු වූ බවයි. ඇව්බෙරි සාමිවරයා ජාත්‍යන්තර ඉම්මාන් සංගමයේ මුස්ලිම් අනුශාසකවරයකු මෙන්ම එහි භාරකාර තනතුර ද හෙබවීය.


ඇව්බෙරි සාමිවරයා පිළිබඳව පසුගියදා බි්‍රතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලයේ පැවති අනුස්මරණ රැස්වීමේදී ඔහුගෙන් සිදු වූ සුවිශේෂී සේවය පිළිබඳ මෙතෙක් හෙළි නොවූ කරුණු රැසක්ම ඔහුගේ සමීපතම මිතුරන් විසින් හෙළිකර තිබුණි. මෙය ලිබරල් පක්‍ෂයේ හඬ යන ප්‍රකාශනයේ සවිස්තරව සඳහන් කර තිබුණි. එහිදී වසර 15ක් පමණ කලක් ඔහු විසින් ලොව පුරා සිදු කළ සේවාවට ජාතික නොබැඳුන ආගමික සංගමය මගින් ගෞරව සම්මානයකින් පුදනු ලැබීය. එදින ඔහුගේ ඥාතීන්, පාර්ලිමේන්තු මිතුරන්, සමීප හිතවතුන් සහ ඔහු අගැයූ බොහෝ පිරිසක් එම උළෙලට පැමිණ සිටි අතර මෙම රැස්වීම හුසෙන් ඊස් සාමිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.


ඇව්බෙරි සාමිවරයාගේ ඇවෑමෙන් පසුව ඔහුගේ වැඩිමහල් පුතු වූ ලයියුල්ප් පස්වැනි ඇව්බෙරි සාමිවරයා වශයෙන් සාමි මන්ත්‍රී මණ්ඩලයට පත් කරනු ලැබූ අතර සිය පියා පිළිබඳව සඳහන් කරමින් ඔහු පවසා තිබුණේ ඔහුගේ පවුලේ අට දෙනෙකු පමණ එංගලන්තයේ ලිබරල් හා ලේබර් පක්‍ෂයන්ගෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ අය වූ අතර සිය පියා මොවුන් අතර විශේෂිත කැපීපෙනෙන අයෙකු බව සඳහන් කර තිබිණි. ඔහුගේ බාල පුතා වූ ජෝන් විලියම් සිය පියාගේ සේවාව ලොව පුරා රටවල මානව අරගලවලට සහය දෙමින් ගෙනගිය මෙහෙවර පිළිබඳව දීර්ඝ විස්තරයක් සඳහන් කරනු ලැබූ බව වාර්තාවල සඳහන් විය. මෙම රැස්වීමේ හෙළි වූ කරුණු අනුව ප්‍රතිපත්තිගරුක, නිහතමානී පුද්ගලයෙකු සේම ඕනෑම ප්‍රශ්නයකට නොබියව නොසැලී මුහුණ දුන් දැඩි ධෛර්යයකින් හෙබි ලොව පුරා ජනතාවගේ මානව හිමිකම් රැකගැනීමට ඉදිරිපත් වූ ක්‍රියාධරයකු බවයි. ඔහුගේ දුරකථන මැදියම් රැය හෝ දහවල කියා වෙනසක් නොතිබුණි. ඔහුගේ සේවය පැය 24 පුරාම, සතියේ දින 7 දීම එකලෙස ලබාදුන් අයෙකු විය.


ඇව්බෙරි සාමිවරයා පාර්ලිමේන්තුව තුළ කැපී පෙනෙන චරිතයක් වූ අතර ඔහු ඕනෑම විවාදයකදී ඇතැම් විට විෂයභාර ඇමැතිවරයාට වඩා එම විෂය පිළිබඳව කරුණු ගැන හදාරා විවාදයකට සහභාගි වූ පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරයෙකු බව මෙහිදී කතාකළ බොහෝ දෙනෙකු පැවසීම කිරීම විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි. ඔහු තරම් පාර්ලිමේන්තුව තුළ සිටි ලොව මිනිස් අයිතිවාසිකම් සඳහා සිය ජිවිතය කැප කරනු ලැබූ තවත් කෙනෙක් මෙතෙක් පහළවී නොමැති බව මෙහිදී සාමිවරුන් හා මෙම අනුස්මරණ රැස්වීම්වලට පැමිණි මානව හිමිකම් ක්‍රියාධරයන් බොහෝ දෙනෙකු විසින් සඳහන් කර තිබුණි.


දශක ගණනාවක් තිස්සේ සිදුවෙමින් පවතින දේශපාලනික මර්දනයන්ට මුහුණ දෙමින් ලොව විවිධ රටවල මිනිස් අයිතිවාසිකම් දිනාගැනීමේ සටන්කරුවන් බොහෝ දෙනෙකු දේශීය හෝ විදේශිකයන් බව ඒ රටවල ඉතිහාසය පිරික්සන විට පැහැදිලි වේ. ශ්‍රී ලංකාවේ නිදහසින් පසු ඇති වූ ඉතිහාසය පිරික්සන විට. 1971, 1987 - 89 යන කාලවල දී කැරැලි අප රටේ දේශපාලනය වෙනත් මඟක ගමන් කිරීමට හේතු වූවායයි කීම නිවැරදියයි මට සිතේ. මානුෂික අයිතිවාසිකම් පිළිබඳ අප රටේ ඉතිහාසය ලියා තබන දිනෙක ඔහුගේ ඒ ගමන් මග සනිටුහන් කළ යුතු යැයි මා තරයේ සිතමි. එම ක්‍රියාවලියට මුල් වූ ඔහු දහසකුත් එකක් කරදර මැද්දේ තමාට එවකට පැවති රජයන්ගෙන් එල්ල කළ චෝදනා හා නෙරපා හැරීමේ නියෝග තුට්ටුවකටවත් නොතකමින් සිය කාර්යභාරය නොපිරිහෙළා ඉටුකළ උතුම් ගුණයන්ගෙන් හෙබි උතුම් මිනිසෙකු විය. මොහුගෙන් කෙරුණු සියලු දෑ මෙවැනි ලිපියකින් ලිවීම අපහසු බව නොකිවමනාය. ඔහු සිදුකළ මෙහෙය වැල්ලේ සිඳීගිය දිය පහරක් සේ සිඳී යා නොදිය යුතුය යයි මම තරයේ සිතමි. තවද වත්මන් දේශපාලනඥයින් මෙන්ම අප රටේ තරුණ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින හා විශේෂයෙන් තමන් මානව හිමිකම් සුරකින්නන් යැයි හඳුන්වා ගන්නා අයට අප රටේ මානව අයිතිවාසිකම් ලියා තබන්නන්ට මෙම ඉතිහාසය ඇරඹූ හැටි සටහන් කිරීමේ අදහසින් මෙම ලිපිය ලියා තබන්නට හේතු සාධක වූ බව කියනු කැමැත්තෙමි.


1948 ලංකාවට නිදහස ලැබීමෙන් පසුව බලයට පත් රජයන් ගෙනගිය පාලනය පිළිබඳව අසහනයට පත් විශේෂයෙන්ම උගත් තරුණ කොටස් විසින් සිදු කළ ආයුධ සන්නද්ධ අරගලයක ප්‍රතිඵලයක් වශයෙන් 1971 කැරැල්ල පැන නැගුණි. ජනතා විමුක්ති පෙරමුණ රෝහණ විජේවීරයන්ගේ නායකත්වයෙන් පැන නැගුණු මේ කැරැල්ලට හිටි හැටියේ අනපේක්‍ෂිතව කිසිදු සූදානමකින් තොරව එවැනි කටයුත්තකට මුහුණ දීමට තරම් ප්‍රමාණවත් හමුදා හෝ පොලිස් බළකායක් ශ්‍රී ලංකා රජය සතුව නොතිබුණි. 1971 අප්‍රේල් මස 5 වන දින ආරම්භ වූ කැරැල්ල නිදහසින් පසු මෙරට විසූ රැකියා විරහිතභාවයෙන් හා විවිධ අන්දමේ දහසකුත් එකක් ප්‍රශ්න නිසා අසහනයට පත් එමෙන්ම අසාධාරණයට ලක් වූ මෙරට තරුණ කොටස්වල සහභාගීත්වය කැරැල්ලට මූලික හේතු වූ බව සඳහන් කළ හැකිය.


කලක් තිස්සේ තැන තැන රැස් වූ තරුණ කොටස් එවකට බලයේ සිටි සිරිමාවෝ බණ්ඩාරනායක රජයට එරෙහිව සටන් වැදුණි. සිංහල රාජ්‍ය භාෂාව කිරීම සමග ඉන් අනතුරුව උසස් අධ්‍යාපනයට විශ්වවිද්‍යාලවලට ගිය ගම් හා නගරවල තරුණ කොටස්වලට ඉංගිරිසි බස නොමැතිව උසස් රැකියාවක් ලබා ගැනීම සිහිනයක්ව පැවතිණි. තවද දේශපාලකයන්ගේ ගැත්තනට රැකියා හිමි වූ අතර සිය නැදෑ ඥාති සම්බන්ධතා කූල අනුව රැකියා බෙදාදීම යනාදී කරුණු මෙම තරුණ පෙලේ අසහනයට උත්පාදක වූ කරුණු කිහිපයකි. උගත් තරුණ කොටස් පවුල් කිහිපයක් අතර රැඳී ඇති බලය කිසියම් අයුරකින් හෝ වෙනස් විය යුතුයයි යන මතයේ රැඳී සිටි අතර මෙම කැරැල්ල පැන නැගුණේ බොලිවියාවේ චේගුවෙරා කල්ලියේ අයුරින් පොලිස් ස්ථානවලට පහර දී පවතින රජය පෙරළා දැමිය යුතුයයි යන මතයේ සිට ගෙනය. ජනතා විමුක්ති පෙරමුණේ චේගුවේරා කල්ලියේ සාමාජිකයන් තැනින් තැන පන්ති පැවැත්වීම හා සටන් පුහුණුවන කඳවුරු කිහිපයක තොරතුරු හෙළිවීමත්, අනපේක්‍ෂිත ලෙස විශ්වවිද්‍යාලවල බෝම්බ පුපුරා යෑම නිසාත් මෙම පහර දීම ඉක්මනින් සිදු කිරීමට ඔවුනට සිදු වූ බව කියවේ. මේ අනුව ඔවුන් දකුණු පළාතෙන් මොණරාගල පොලිස් ස්ථානයට පහර දීමෙන් සිය කැරැල්ල ඇරඹූ අතර බලාපොරොත්තු නොවූ ප්‍රහාර හමුවේ රටේ පළාත් කිහිපයකම බලය ඔවුනට නතු කර ගැනීමට හැකිවිය. මේ අනුව තිස්සමහාරාමය, ඇල්පිටිය, අක්මීමන, කුරුණෑගල, කෑගල්ල, අනුරාධපුරය යන නගර හා ඒ අවට පළාත්වල පාලන බලය රජයේ අණසකින් තම අණසකට නතුකර ගැනීමට විජේවීරට හැකිව තිබිණි. අප්‍රේල් මස සිට ජුනි මස දක්වා ඔවුන්ගේ මෙම පාලන සමය අතරතුර මෙරට යුද හමුදාව සහ පොලිසිය අතර සිදුවූ ගැටුම්වලින් 10,000 ආසන්න පිරිසක් මියගිය අතර 22,000 පමණ පිරිසක් පුනරුත්ථාපනය සඳහා යොමු කරණු ලැබිණ.


1971 කැරැල්ල පිළිබඳ අපේ රටේ ලියවුනු ලිපි හා පොත්පත්වල මා මෙහි සඳහන් කළ සුදු මහතා පිළිබඳ සඳහන් වූවා නම් මගේ මතකයත් අනුව ඒ 1990 පමණ 60, 70 සහ 80 දශකයන්හි පෙරළිකාර දේශපාලනඥයෙකු වූ ප්‍රින්ස් ගුණසේකර මහතා විසින් ලියවුනු ලොස්ට් ජෙනරේෂන් (Lost Generation)  නැතහොත් අහිමි පරපුර යන ඉංගිරිසි බසින් ලියවුනු පොතේ පමණි. එහි ඇව්බෙරි සාමිවරයා පිළිබඳ තොරතුරු රැසක්ම සඳහන් කර තිබුණි. කලක් ටයිම්ස් මන්දිරයේ ලංකාදීප පුවත්පතෙහි ජ්‍යෙෂ්ඨ උපකතුවරයකු ලෙස කටයුතු කළ ඔහු අධිනීතිඥවරයෙකු ලෙස ද එවකට සිටි ප්‍රවීණ නීති විශාරදයෙකු වූ එස්. නඬේසන් මහතා යටතේ කටයුතු කළ අතර පසුව නැසීගිය අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ මහජන එක්සත් පෙරමුණේ සම ලේකම් තනතුර හෙබවූවේය. පසුව 1970 දී හබරාදුව ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් ද කටයුතු කර තිබිණි. මා මෙහිදී ප්‍රින්ස් ගුණසේකර පිළිබඳ කරුණු රැසක් සඳහන් කළේ ඔහු නොසිටින්නට ඇව්බෙරි සාමි කෙනෙකු ගැන මෙහි සිටිනා අයට අසන්නට පවා නොලැබෙන්නට තිබූ බැවිණි.


ඇව්බෙරි සාමිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය ඇතුළු තවත් වැදගත් තොරතුරු රාශියක් ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.

 

නීතිඥ ශාන්ත සේනාධීර
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී / හිටපු ලේකම් - කොළඹ නීති සංගමය.