බැඳුම්කර සිද්ධිය පිළිබඳ විමර්ශන කොමිසමේ වාර්තාව පසුගියදා නිකුත් විය. එය රටේ මහත් ආන්දෝලනයකට ලක් වූ බව දක්නට ලැබුණි. මෙරට පමණක් නොව විදේශයන්හි පවා මෙම වාර්තාව සාකච්ඡාවට ලක්වනු නිසැකය. මෙරටට ණය සහ ආධාර සපයන රටවල් මෙන්ම ශ්‍රී ලංකාවේ ආයෝජනය කර යම් යම් ව්‍යවසායන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපාරික ප්‍රජාව සහ අපේ රටේ මූල්‍ය කළමනාකරණය ගැන උනන්දුවක් දක්වන ආයතනද ආදී වශයෙන් ජාත්‍යන්තරයේ විවිධ මට්ටමින් අවධානයට මෙම බැඳුම්කර ගනුදෙනුව ලක් වී තිබේ.

මුද්‍රිත පිටු දහසකට ආසන්න වන බැඳුම්කර විමර්ශන වාර්තාව තවමත් පවතින්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් බව කියැවේ. තවමත් එයින් නිකුත් කර ඇත්තේ පිටපත් සීමිත සංඛ්‍යාවකි. එය අන්තර්ජාලයට මුදාහැර ඇති බව කියවෙතත් නව තාක්‍ෂණයෙන් මාධ්‍ය භාවිතය පිළිබඳව දැනුම ඇත්තේ මෙරට ජනගහනයෙන් ඉතා කුඩා ප්‍රතිශතයකටය යන සත්‍යය මෙහිදී අපට අමතක කළ නොහැකිය.


මෙම පසුබිම හමුවේ අප විසින් වටහා ගත යුතු වැදගත් කරුණ වන්නේ මෙරට බහුතර ජනතාව මෙම බැඳුම්කර වාර්තාව තේරුම් ගෙන ඇත්තේ තම තමන් ගරු කරන සහ පිළිගන්නා දේශපාලන නායකයන් විග්‍රහ කරන ආකාරයට සමගාමීව බවය. ඒකාබද්ධ විපක්‍ෂය මෙම සමස්ත ක්‍රියාදාමයම නිර්දය ලෙස විවේචනය කරන අතර බැඳුම්කර සිදුවීම මගඩියක් බව ප්‍රසිද්ධියේම කියා සිටී. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කියනුයේ ජනාධිපතිතුමාගේ අවංකභාවය නිසා මෙම මූල්‍ය වංචාව හෙළිදරව් කෙරුණු බවයි.


එක්සත් ජාතික පක්‍ෂය කියන්නේ තම රජයේ යහපාලන ප්‍රතිපත්තිය නිසාම එදා මෙදාතුර කිසිවිටෙක සිදු නොවූ අයුරින් රටේ අගමැතිවරයා සහ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් පවා කොමිසම ඉදිරියට ගොස් සහාය දුන් නිසා මෙම හෙළිදරව්ව සිදු කිරීමට හැකිවූ බවයි. ජනතා විමුක්ති පෙරමුණටද කතාවක් ඇත. තම පක්‍ෂයේ මන්ත්‍රීවරයකු වූ සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුව දැරූ මහත් පරිශ්‍රමය නොවන්නට මෙම මගඩිය පිළිබඳ පරීක්‍ෂණ උපන් ගෙයිම වැළලීයාමට ඉඩ තිබුණු බව ජ.වි.පෙ මතය වේ. මෙසේ විවිධ මත ප්‍රකාශ කරමින් දේශපාලන කරළියේ රඟ දෙන ප්‍රබල මාතෘකාවක් බවට පත්ව ඇති බැඳුම්කර වාර්තාව ගැන සිතා බැලීමේදී මහ බැංකුවට අදාළව මීට වසර හැට පහකට පෙර නිකුත් වූ තවත් ඉතා වැදගත් වාර්තාවක් සහ එයට සමගාමීව දියත් වූ ක්‍රියාවලිය මගේ සිහියට නැගුණි. මහ බැංකුවට උපත දුන්නේ එක්ස්ටර් වාර්තාව නම් වූ ලේඛනයෙන් පෙන්වා දුන් නිර්දේශයන් උපයෝගී කර ගනිමිනි.


යටත් විජිත සමයේ සිටම ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත රඳවා තිබුණේ රන් පවුම් වලින්, බි්‍රතාන්‍යයේ බෑන්ක් ඔෆ් ඉන්ග්ලන්ඞ් සංචිතයේය. දෙවැනි ලෝක යුද්ධය අවසාන වන විට ලංකාවේ රබර්වලට ලෝක වෙළඳපොළේ තිබුණු අධික ඉල්ලුම නිසා ලැබුණු මුදලක් එම සංචිතයේ තැන්පත්ව තිබුණු රන් පවුම් ධනය බි්‍රතාන්‍යය විසින් ණයට ගන්නා ලදී.


එක් දහස් නවසිය හතළිස් නවය වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය මුදල් අමාත්‍යවරුන්ගේ සම්මේලනයේදී ගත් තීරණයක් අනුව ආසන්නයේදීම මහ බැංකුවක් පිහිටුවීමටත් එහි රන් පවුම් ගිණුමක් ස්ථාපනය කිරීමටත් එකඟත්වය පළකරන ලදී. මේ වන විටත් අපේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී ශ්‍රී ලංකාව සඳහා මහ බැංකුවක් ඇතිකළ යුතුයැයි යෝජනාවක් සම්මතව තිබුණි. ඒ 1945 දීය. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්නාරම - මුලතිව් ආසනයේ එවකට මන්ත්‍රීවරයා වූ ජේ. ත්‍යාගරාජා මහතා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණි. තමන්ටම ස්වාධීන මූල්‍ය මෙහෙයවීමේ යාන්ත්‍රණයක් වශයෙන් මහ බැංකුවක් ස්ථාපිත කර ගැනීම යටත්විජිතවාදයෙන් මිදී නිදහස් රටක් බවට පත්වීමේ සංකේතයක් ලෙස එම යුගයේ අලුත නිදහස් වූ රාජ්‍යයන්හි ආකල්පයක් වශයෙන් පැවතුනි. මෙවැනි හැඟීමක් මෙරට ආණ්ඩුවටද පැවති බව කියනු ලැබේ.


නිදහස් ලංකාවේ ප්‍රථම මුදල් ඇමතිවරයා වූ ජේ. ආර්. ජයවර්ධන මහතා ද එම ආකල්පය දැරූ බව පැරණි මූලාශ්‍රවල දැක්වේ. 


පැවතිය යුතුවාටත් වඩා ඉදිරියට ගිය මුදල් ඇමති ජේ. ආර්. ජයවර්ධන මහතා බි්‍රතාන්‍ය ආකෘතියට අනුව නොව ඇමරිකානු සැලැස්මකට ලංකාවේ මහ බැංකුව පිහිටුවීමට අදහස් කළේය. මෙම බලාපොරොත්තුව සපුරා ගැනීම පිණිස ලංකාණ්ඩුව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය හරහා ඇමරිකානු ආණ්ඩුව වෙත ඉල්ලීමක් කරමින් මහ බැංකුවක් නිර්මාණය කර ගැනීම සඳහා උපකාර කරන ලෙස 1948 ජූලි මාසයේදී ඉල්ලීමක් කළේය. එය පිළිගත් ඇමරිකාව, එරට ෆෙඩරල් රිසව් බැංකුව එහි ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකු වූ ජෝන් ඓක්ස්ටර් මෙම කාර්ය සඳහා ලංකාවට එවීය. ඒ මහතා ඇමෙරිකා ෆෙඩරල් රිසව් බැංකුවේ පර්යේෂණ සහ සංඛ්‍යාලේඛන අංශයට අනුයුක්තව ඈත පෙරදිග කලාපය භාරව කටයුතු කළ නිලධාරියා වූවේය.


හාවඞ් විශ්වවිද්‍යාලයෙන් සහ තවත් ආයතන කීපයකින් සිප් සතර හදාරා ඉහළම ගණයේ වෘත්තීය සුදුසුකම් සහ උපාධි ලබා සිටි ජෝන් ඓක්ස්ටර් ලංකාණ්ඩුවේ ඉල්ලීම සපුරා ලීමට සමත් විද්වතෙක් වූවේය. ඔහුට භාර වූ කාර්ය කොටස අංශ දෙකකින් සමන්විත විය. එයින් පළමුවැන්න වූවේ මහ බැංකුවක් පිහිටුවීමේදී සිදු කළ යුතු සහ සංවිධාන කටයුතු ගැන වාර්තාවක් සැපයීමයි. දෙවැන්න ලෙස පෙන්වා දී තිබුණේ නව මහ බැංකුවට ව්‍යවස්ථා කෙටුම්පතක් පිළියෙල කිරීමයි. මොහු සකස් කළ වාර්තාව 1949 වර්ෂයේ ජූනි මාසයේදී මුදල් අමාත්‍ය ජේ. ආර්. ජයවර්ධන මහතා වෙත ඉදිරිපත් කරන ලද බව කියැවේ. එම වාර්තාවේ රටේ මූල්‍ය පද්ධතිය, මහ බැංකුවක් සංවිධානය කිරීම, මූල්‍ය පරිපාලනයේ ප්‍රතිපත්ති සහ මහ බැංකුවක ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය මෙවලම් පිළිබඳව විශේෂිත වූ නිර්දේශයන් අන්තර්ගත විය. මෙය අතුරු වාර්තාවක් වූ අතර ලංකාව සඳහා මහ බැංකුවක් පිහිටුවීම යන සිරස්තලය යටතේ මෙම වාර්තාව නිකුත් විය. 


ජනයා එක්ස්ටර් වාර්තාව යනුවෙන් හඳුන්වා දෙන ලද්දේ මෙම ලේඛනයයි. මෙම කටයුතු සඳහා ආර්ථික කටයුතු පිළිබඳ මෙරට බිහිවූ විශිෂ්ටතමයා ලෙස සැලකෙන ඇන්. යූ. ජයවර්ධන මහතාගේ නොමඳ සහාය ලැබුණු බවද කියවේ. මෙම එක්ස්ටර් වාර්තාවට අනුව එම නිර්දේශවලට පදනම්ව මහ බැංකු පනත සකස් කරන ලද්දේ එවකට නීති කෙටුම්පත් අංශයේ ප්‍රධානියා වූ එච්. ඇන්. ජී. ප්‍රනාන්දු මහතා විසිනි. පසුව ශ්‍රී ලංකා අග්‍රවිනිශ්චයකාර ධුරයට පත් නීති විශාරදයෙකු වූ එච්. ඇන්. ජී. ප්‍රනාන්දු මහතා ගැන අතිමහත් කෘතඥතාව ප්‍රකාශ කිරීමටද එක්ස්ටර් මහතා අමතක නොකළේය. 


මහ බැංකුව, පිහිටුවීමේ පනත 1949 ඔක්තෝබර් අවසානයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ මුදල් ඇමති ජේ. ආර්. ජයවර්ධන මහතාය. එම පනත අපේ නීති පද්ධතියට එක්ව ඇත්තේ 1949 අංක 58 දරන මුදල් පනත නමිනි. මේ විවාදය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් බව හැන්සාඞ් වාර්තා පරිශීලනය කිරීමේදී පෙනී යයි. එවකට වැල්ලවත්ත - ගල්කිස්ස මන්ත්‍රී අධිනීතිඥ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා රුවන්වැල්ල මන්ත්‍රී සහ විපක්‍ෂ නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, ආර්ථික කටයුතු පිළිබඳ මහාචාර්යවරයෙකු සහ වව්නියාව මන්ත්‍රී සී. සුන්දරලිංගම් යන මහත්වරු මෙන්ම එවකට පත් කළ මන්ත්‍රීවරයෙකු ලෙස සේවය කළ ලංකා විශ්වවිද්‍යායේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය ඇස්. ඒ. ෂොක්මන් යන මහත්වරුන් ඉතා වටිනා අදහස් ඉදිරිපත් කර ඇති ආකාරය දක්නට ලැබේ. එම විවාදයට සහභාගි වෙමින් ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා මෙසේ ප්‍රකාශ කර ඇත. මෙම වාර්තාව කියවන ඕනෑම කෙනෙකුට බැංකුකරණය ගැන පමණක් නොව මූල්‍ය යන ගැඹුරු විෂය පිළිබඳව අප රට තුළ පවත්නා නොමේරූකම සහ අත්දැකීම් මදිකම පිළිබඳ කිසියම් ආකාර වූ බියක්ද ගලා එනු ඇත.”
දශක හතකට එහා අතීතයේදී රට ගැන දැක්මක් ඇති, ආර්ථික කටයුතු ගැන විශාරද බුද්ධිමතෙකු වූ මුදල් ඇමති ජේ. ආර්. ජයවර්ධන මහතා අගනා අනාවැකියක් ප්‍රකාශ කර ඇත. “ලෝකයේ කිසිම රටක මහ බැංකුවක, ස්ව ජාතිකයෙකු නොවන මහ බැංකු අධිපතිවරයෙකු මෙතෙක් පත්කොට නැත. ශ්‍රී ලංකාව මෙම සම්ප්‍රදාය බිඳ දමන පළමු රට නොවනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.”


පනත සම්මතවීමෙන් පසු එම විධිවිධාන අනුව 1950 අගෝස්තු 28 වැනි දින ලංකා මහ බැංකුව පිහිටුවන ලදී. මෙහි ආරම්භක අධිපති ධුරය පිරිනමන ලද්දේ මේ කටයුතු පිළිබඳ මූලික කාර්යභාරය ඉටුකිරීමට මහත් දායකත්වයක් ලබා දුන් ජෝන් එක්ස්ටර් මහතාටය. නියෝජ්‍ය අධිපති ධුරයට පත් වූයේ ආර්ථික ක්‍ෂේත්‍රයේ නම දිනූ භූමි පුත්‍රයෙකු වූ ඇන්. යූ. ජයවර්ධන මහතාය.


අදට සාපේක්‍ෂව බලන විට මහ බැංකුව පිහිටුවීමේදී උපයෝගී කර ගත් එක්ස්ටර් වාර්තාවේ පහත සඳහන් වගන්ති දෙක පිළිබඳව අවධානය යොමුවීම උචිතය. 


45 (1) වගන්තිය.


ඕනෑම බැංකුවක හෝ ඕනෑම බැංකුවක ගනුදෙනුකාරයෙකුගේ කටයුතු පිළිබඳව රහස්‍යභාවය සුරැකීමට සහ එසේ සුරැකීම සඳහා ආධාර කිරීමට මහ බැංකුවේ ඕනෑම නිලධාරියෙකු විසින් කටයුතු කරනු ඇත. කිසියම් නිලධාරියෙකු මේ තොරතුරු කිසිවෙකුට ලබා දෙන්නේ නම් හෝ අවසර නොමැති පුද්ගලයෙකුට තොරතුරු ඇතුළත් වාර්තා කියවීමට අවස්ථාව ලබා දෙන්නේ නම් හෝ එම නිලධාරියා වරදක් කරන්නේය. 


ලංකාවට මහ බැංකුවක් නිර්මාණය කර ගැනීම සඳහා පුරෝගාමී කාර්යභාරය ඉටු කළ එහි ප්‍රථම අධිපතිවරයා වූ ජෝන් එක්ස්ටර් දීර්ඝකාලයක් එම තනතුරේ රැඳී සිටියේ නැත. 1953 ජූලි මාසයේ ඔහු මව්බිම වූ ඇමරිකා එක්සත් ජනපදය බලා ආපසු ගොස් ඇමරිකා ෆෙඩරල් රිසර්ව් බැංකුවට සම්බන්ධ වූවේය. පසුව එහි නියෝජ්‍ය අධිපතිවරයා ලෙස පත් වූ බවද කියවේ.


ජෝන් එක්ස්ටර්ගේ සමුගැනීමෙන් පසු මහ බැංකුවේ අධිපති තනතුරට පත් වූයේ එහි එවකට නියෝජ්‍ය අධිපති ධුරය දරමින් සිටි ඇන්. යූ. ජයවර්ධන මහතාය. ඉතා දක්‍ෂ හා අවංක රාජ්‍ය නිලධාරියෙකු වූ ඇන්. යූ. ජයවර්ධන මහතා ලංකා මහ බැංකුවේ අධිපති ධුරයට පත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසයට එක්ව සිටී. එවකට පැවති සමාජ පසු බිම අනුව සලකන කල්හි මේ සා ගෞරවනීය තනතුරකට පත්වීමට අවශ්‍ය ප්‍රභූත්වයක් සහ පවුල් බලයක් ඇන්. යූ. කෙරෙහි නොවූ බව මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි. සාමාන්‍ය මැද පන්තියේ දෙමාපිය යුවළකගේ දරුවෙකු ලෙස මෙලොව එළිය දුටු ඇන්. යූ. අධ්‍යාපනය, සහජයෙන් ලද බුද්ධි ප්‍රභාව, සේවය සඳහා වන ඇප කැපවීම සහ දැඩි විනයගරුක බව ආදී ශ්‍රේෂ්ඨ මානව ගුණාංග නිසා සිය වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වයට මහඟු පිටිවහලක් වූ බව ඔහුගේ සමකාලීනයන් ප්‍රකාශ කර ඇත. ඔහුගේ කීර්තිමත් සේවය නිසාම මහ බැංකුවේ පරමාදර්ශය බවට පත්වීමට ඇන්. යූ. ජයවර්ධන මහතාට හැකි වූ බව කියනු ලැබේ.


සියලු අංශ දේශපාලනීකරණය වී අනිසි පරිහානියක් කරා ශ්‍රී ලාංකික ජන සමාජය ක්‍රමානුකූලව දශක කීපයක් තිස්සේ ගමන් කරමින් තිබේ. එහෙත් මහ බැංකු අධිපතිවරයා වශයෙන් ඇන්. යූ. කිසිදු දේශපාලන බලධාරියෙකුගේ බලපෑමකට අවනත නොවූ බව කියනු ලැබේ. එම යුගයේ දේශපාලන බලකේන්ද්‍රයේ ඉහළම තැනක සිටි සභානායක සර් ජෝන් කොතලාවල මහතාට එංගලන්තයේ ගොවිපලක් මිළදී ගැනීම සඳහා මෙරට විශාල මුදලක් නිදහස් කර ගැනීමට අවශ්‍ය වූ බව කියනු ලැබේ. එහෙත් මෙම ඍජු නිලධාරියා පවසා ඇත්තේ පවතින මුදල් නීති අනුව මේ සා විශාල මුදලක් විදේශයකට මාරු කිරීමට නීතියෙන් ඉඩක් නොමැති බවයි. කොතලාවල මහතා දේශපාලන බලවතෙකු නිසා මුදල් නීතිය වෙනස් කරවා ගන්නේ නම් මෙයට ඉඩදිය හැකි බවත් ඇන්. යූ. පවසා ඇත.


රාජ්‍ය සේවයේදී ඍජු බව අවංක බව වුවද සර්ව ශුභවාදී නොවේ. විශේෂයෙන්ම දේශපාලන බලවතුන්ගේ ඉල්ලීම් ඉටු නොකර නීතියටම අනුගතව ක්‍රියාකිරීම බොහෝ විට අනර්ථකාරී ප්‍රතිවිපාක ගෙනදීමට හේතුවේ. සර් ජෝන්ගේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් මහ බැංකු අධිපති ඇන්. යූ. ජයවර්ධන මහතාට මුහුණ දීමට සිදුවූයේ ද එබඳු ඉරණමකටය. එය වෙනම ලිපියකින් සාකච්ඡා කළ යුතු තරම් දීර්ඝ සහ විචිත්‍රවත් කතා පුවතකි. එහෙත් පොදුවේ වටහාගත යුතු සත්‍යය වන්නේ එදත් අදත් කවදත් සියල්ලම දේශපාලනයට යටවන බවකි. පොදු ජනතාව එසේ කියනුයේ මෙවැනි අත්දැකීම් පදනම් කොටගෙන බවද කිව යුතුය.

 

 

 

 

 

 

 


සෝමසිරි වික්‍රමසිංහ