කුමන්ත්‍රණ, කැරලි, කෝලාහල, ත්‍රස්තවාදය සහ යුද්ධය නිසා අපේ කුඩා දිවයිනේ විසූ දහස් ගණන් ජීවිත අකාලයේ මරුවසඟයට පත්විණ. දහස් ගණන් සදාකල්හි ආබාධිතයෝ වී සමාජයෙන් වියැකී ගියෝය. සිරගෙවල් පිරිණ. ඉතිරි වූවෝ විදෙස්ගත වූහ. 


ජනතාව ඔහු හඳුනන්නේ අමාත්‍යවරයකු මෙන්ම දකුණේ ප්‍රබල දේශපාලනඥයකු වශයෙනි. එහෙත් 1971 දී සිදුවූ තරුණ නැගීසිටීම හෙවත් අප්‍රේල් කැරැල්ල මහ නඩු විභාගයේ 25 වන විත්තිකරු ලෙස ප්‍රබල භූමිකාවක් මහින්ද විජේසේකරයන් නිරූපණය කළ බව අමතක කළ නොහැකිය. 


දෙවුන්දර තම ජයභූමිය කරගනිමින් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයෙන් දේශපාලනයට පිවිසි මහින්දගේ සමකාලිකයන් වූයේ දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ, සරත් මුත්තෙට්ටුවේගම වැනි ක්‍රියාශීලීන්ය. 
ගමේ පසුගාමී බව, දුප්පත්කම, කුල භේදය, සූරාකෑම් හා දේශපාලනඥයන්ගේ සාවද්‍ය තීරණ ගැන ඔවුන් නිතර කතා බහ වුණි. මෙම සමාජ ක්‍රමය වෙනස් කිරීමට ගත හැකි පියවර ගැන වාමාංශික දේශපාලකයන් සමග ඔහු සංවාද කළේය. 


මහින්ද විජේසේකරගේ මෙම රැඩිකල් මතවලට පන්නරය ලැබුණේ ගංගොඩවිල විද්‍යෝදය විශ්වවිද්‍යාලයට කලා විෂයයන් හැදෑරීම පිණිස ඇතුළුවුණු පසුවය. ඔහුගේ නායකත්ව ලක්ෂණ පහළවීම ඇරඹුණේ එහිදීය. අන්තර් විශ්වවිද්‍යාලයීය බලමණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්වූ මහින්දගේ ළඟම සගයා වූයේ රෝහණ විජේවීරය. 


“පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමයෙන් උඹ ඔය කියන පන්ති ක්‍රමය වෙනස් කරන්න බෑ සහෝදරයා.” 


විජේවීර ඔහුට පෙන්වා දුන්නේය. එදා විජේවීර වටා සිටියේ ඉඩම් සංවර්ධන මණ්ඩලයේ හිතවතුන් පිරිසක් පමණකි. විශ්වවිද්‍යාල සිසුන් හමුවීමට විජේවීරට අවස්ථාව සැලසුණේ මහින්ද විජේසේකර හරහාය. 
මහින්ද තම මිතුරු ජී. අයි. ඩී. ධර්මසේකර සමග විජේවීරගේ සංවිධානයට බැඳුණු අතර 1970 ජූලි 14 දා විජේවීරට විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ලෙනින් ශාලාවේ විශේෂ දෙසුමකට ඇරයුම් ලැබිණ. සිසුන් 5000 ක් පමණ රැස්වූ එම දෙසුම් මාතෘකාව වූයේ ‘අපි සී.අයි.ඒ. කාරයෝ නොවෙයි’ යනුවෙනි. 


විජේවීරගේ දේශනවල ආයුධ සන්නද්ධ විප්ලවය යන කොටසට මහින්ද හා ජීඅයිඩී ලා එතරම් මනාපයක් නොදැක්වූයේ ඊට කලින් නව පරපුර බොහෝ දැනුම්වත් විය යුතු අතර නොමේරූ විප්ලවය අසාර්ථක වන බව පෙන්වමිනි. එහෙත් විජේවීර එම අදහසට එකඟ නොවූ අතර විප්ලවයෙන් පසු වරද පටවා තමන් වැනි මධ්‍යස්ථ අයටද දඬුවම් දීමට රහසේ කටයුතු කරන බව මහින්දට ආරංචි විය. 


කෙතරම් මතභේද තිබුණද ව්‍යාපාරයේ රැඳීසිටීමට මහින්ද තීරණය කළේ ඔහුගේ සගයා වූ ධර්මසේකර පවා ජවිපෙන් ඉවත් වූ වකවානුවකය. 


සහෝදරයා එදා අපි හිතපු දේවල් නොවෙයි අද සිද්ධ වෙන්නෙ. ඔයත් ව්‍යාපාරයෙන් අයින් වෙන්න. 


ධර්මසේකර මිතුරාට අනතුරු ඇඟවීය. 1971 මාර්තු 19 වැනිදා මහින්ද හා ජයදේවඋයන්ගොඩ රක්වානේ පැවැත්වූ ජවිපෙ පන්තියට පොලිසිය කඩා වැදුණ අතර මහින්ද ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැණින.

 
“අපි නීති විරෝධී දෙයක් කළේ නැහැ. සැබෑ දේශපාලනය කතා කළා විතරයි. මහින්දගේ කීම ගණනකට නොගත් පොලිසිය හදිසි නීතිය යටතේ සිව්වසරක් ඔහු රැඳවුම් බාරයේ තැබුවේය. 


මහින්ද පොත පත කියවීමෙහි රුසියෙකි. ඔහු රඳවා සිටි කාලය ගෙවුණේ පොතපත කියවීම හා වොලිබෝල් ක්‍රීඩාවෙනි. විජේවීරගේ ඉක්මන්කම ඔහුගේ පිරිහීමට හේතු වූ අතර ඔහුට එල්ල වූයේ පාක්ෂිකයන්ගේම ගල්මුගුරුය. 


මහින්ද රඳවා සිටි එම් වාට්ටුවේ වොලිබෝල් කණ්ඩායමේ දෙපස නියෝජනය කළේ මහින්ද හා  එස්. ඩී. බණ්ඩාරනායකය. 


කෙසේ වෙතත් 1971 කැරැල්ල මහ නඩුවට අනිකුත් සගයන් නීතිඥයන්ගේ පිහිට පතද්දී මහින්ද තමා ගැනවූ ආත්ම විශ්වාසය හා ඊට සරිලන මුඛරිකම ප්‍රදර්ශනය කරමින් තමා වෙනුවෙන් තමාම පෙනීසිට කතා කළේය. ඔහුට විරුද්ධව චෝදනා ගොනු නොවීමෙන් නිදහස් විය. 


මහින්ද ගෙදර යන විට දෙවුන්දර මහගෙදරට ගිනි තබා තිබිණ. ඔහුගේ බාලසොහොයුරු ගිල්බට්ගේ ඉරණමද ශෝචනීය විය. තම සොහොයුරා මාතර කොටුවේ රඳවා සිටින බවට වැරදි ඔත්තුවක් ගිල්බට්ට ලැබී තිබිණ. එබැවින් ඔහු සහෝදරවරු පිරිසක් සමග මාතර කොටුව බන්ධනාගාරය වටලා පහරදීමට තීරණය කළේය. 


නමුත් එම උත්සාහය ව්‍යර්ථ වූ අතර 1971 අප්‍රේල් 08 වැනිදා පස් දෙනෙකු සමග අත්අඩංගුවට ගත් ගිල්බට් විජේසේකරට දස වධදී මරා දමනු ලැබිණ. ඒ ඔවුන් අතින්ම ඔවුන්ගේ මිනී වළවල් හාරවා වෙඩි තැබීමෙනි. 
2017 පෙබරවාරි 21 වැනිදා තම ජීවන තොරතුරු හෙළිකරමින් මහින්ද විජේසේකර මාධ්‍යයට මෙසේ පවසා තිබිණ. “71 කැරැල්ල සාර්ථක වුණා නම් රටම ලේ විලක් වේවි. ආයුධ අරන් සටන් කරන තරමට අපේ සමාජ රටාව තාම පිරිහිලා නෑ.” 


71 කැරැල්ල විජේවීරගේ හිතුවක්කාරී තීරණයක් ලෙසත් එය සාර්ථක වූවා නම් පොල්පොට්ගේ කම්පුචියාව වැනි ලේ වගුරක් වන බව තවමත් මහින්දගේ මතයයි. 71 වන විට මෙරට සමාජ ආර්ථික වටපිටාව කියුබාවේ හෝ රුසියාවේ තරම් පිරිහී නොතිබුණු බවත් ඔහු කියයි. 


මෙම සිද්ධිවලින් පසු තම දේශපාලන ගමන වෙනස් කළ මහින්ද විජේසේකරයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග දිගු ගමනකට අවතීරණ වූවේය.

 

චන්ද්‍රිකා කුමාරතුංග යුගයේද මහින්ද රාජපක්ෂ සමයේදී ද කැබිනට් අමාත්‍ය ධුරවලින් පිදුම්ලත් ඔහු ක්‍රියාශීලීත්වයෙන්ද මුඛරිකමින්ද ඉතා ඉක්මනින් ජනතාව අතර ජනප්‍රියත්වය දිනා ගත්තේය. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට අනුගතවී ජනතා ගැටලු ප්‍රජාතාන්ත්‍රීය ක්‍රමයට විසඳාලීමට මහින්ද විජේසේකර ඇපකැප විය. 


71 කැරැල්ලට දායක වූ හිටපු අමාත්‍ය නිමලසිරි ජයසිංහ (ලොකු අතුල) එස්. ඩී. බණ්ඩාරනායක, උතුරේ ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ ඇතුළු දේශපාලනඥයෝද ඒ අතර වූහ. 


2009 දී ධීවර අමාත්‍ය මහින්ද විජේසේකරයන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්භාවනීය පිරිස අකුරැස්සේ ගොඩපිටිය මුස්ලිම් දේවස්ථානයේ උත්සවයකට ගියහ. උත්සවයේ පිළිගැනීමේ පෙරහර සංවිධානය කළේ ප්‍රදේශයේ බෞද්ධ හා මුස්ලිම් ජනතාවගේ එකමුතුවෙනි. 


අමාත්‍ය ඒ. එච්. එම්. පවුසි, ගම්පහ මන්ත්‍රී පණ්ඩු බණ්ඩාරනායක, මහින්ද යාපා අබේවර්ධන ආදී මැති ඇමැතීන් පිරිසක් මුස්ලිම් සංස්කෘතිකාංග රැසක් සමග පෙරහැරේ ගමන් ගත්හ. අමාත්‍ය මහින්ද විජේසේකර ඇතුළු පිරිස මදකට නතර වූයේ තමන්ගේ නිල වාහන පැමිණෙන තුරුය. එකවරම පෙරහර පසුපසින් මහහඬින් ගිගුම් දෙමින් යමක් පුපුරා ගියේ ප්‍රදේශයම රක්ත වර්ණ ජාලාවකින් වසා ගනිමිනි. කවුරුත් මුලින් හිතුවේ එය පෙරහරේ අංගයක් ලෙසිනි. 


ගිනි කඳ සමග දුම් කඳ නැගෙන්නට විය. ඊළඟ මොහොතේ මරලතෝනි හඬත් කෙදිරියත් ඇසෙන්නට වූ විට මරණ බියෙන් හැමෝම හිස් ලූ ලූ අත දිවයන්නට වූහ. අතපය ඇතුළු ශරීරාංග තැන තැන විසිරී තිබිණි. රැඟුම් හා ගැයුම් පාමින් එතෙක් පෙරහරේ ගිය ශිල්පීන්ගේ පාවහන්, රබන් හා පැළඳුම්ද සීසීකඩව තිබුණේය. සාමාන්‍ය ජනතාව මෙන්ම රාජ්‍ය නිලධාරි රැසක් තුවාලකරුවන් අතර වූහ. 


වඩාත්ම සංවේගජනක දර්ශනය වූයේ මහින්ද විජේසේකරයන් සිදුවූ බරපතළ තුවාල සහිතව ලේ විලක් මැද සිටි ආකාරයයි. වහා ක්‍රියාත්මක වූ ආරක්ෂක හා ගිලන් රථ සමූහය විසින් තුවාලකරුවන් රෝහල්ගත කළද බොහෝ දෙනෙක් මළවුන් අතරට එක්වූහ. මහින්ද විජේසේකරගේ හිසට හා සිරුරට සිදුවූ බරපතළ තත්ත්වය නිසා ඔහුගේ ජීවිතය පිළිබඳ අවිනිස්චිත තත්ත්වයෙන් යුතුව දෙස් විදෙස් ප්‍රතිකාර කරමින් දිගු කලක් මරුවා සමග පොර බැදුවේය. 


ජනපති මහින්ද තම සගයාගේ දිවි බේරා ගැනීමට හැකි සෑම වෛද්‍ය ප්‍රතිකාරයක්ම සිදුකිරීමට නොපැකිළ ඉදිරිපත් විය.  පසු කාලීනව දේශපාලන ප්‍රවාහය දිගටම ගලාගෙන ගිය අතර කැබිනට් මණ්ඩලය අලුත් ඇමැතිවරුන්ගෙන් පරිපූර්ණ විය. එහෙත් කළ ගුණ දන්නා දේශපාලනඥයෝද ජනතාවද මහින්ද අමතක නොකළහ. 


71 මහ කැරැල්ල අසාර්ථකව අවසන් වී මේ වන විට වසර 37 කි. එහි පතාක යෝධයකුවූ මහින්ද රුදුරු කොටි බෝම්බයේ ගොදුරක් බවට පත්වී වසර 08 කි. ගතින් සිතින් අඩපණ වුණ නමුත් පෙර කළ පිනකින්දෝ නූතන දේශපාලන පරිවර්තනය ගැන මනා අවබෝධයකින් යුතුව ප්‍රගතිශීලී ව්‍යාපාරයට දිරි දෙමින් ඔහු සුවපත් වෙමින් සිටී. සටන් සගයින් එකිනෙකා මෙලොවින් නික්මෙද්දී සැබෑ ලොවට පිවිසෙන්නට තරම් ඔහු පුණ්‍යවන්තය.

 

 

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි