ඌව මැතිවරණය අතරෙම අපි ජනාධිපතිවරණයට අදාළව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කරලා තිබුණේ. නියමුවෝ අපි ව්‍යාපෘතිය හරහා අලුත් ඡන්ද සැලසුමක් ක්‍රියාත්මක කරන්න සූදානමක් තිබුණා අපිට. පක්ෂ සංවිධාන ජාලයට අමතරව ජනාධිපතිවරණයට යද්දි අපිට අවශ්‍ය වුණා අපේ පක්ෂයට පිටින් තිබුණු සිවිල් සංවිධාන වෘත්තීය සංවිධාන, පුරවැසි සංවිධාන එකතු කරගන්න. මේක නම් දෙකකින් අපි පටන් ගත්තා. එකක් සමගි බලවේගය කියලා නම් කළේ. අනිත් එක නිදහසේ වේදිකාව. විශේෂයෙන්ම නිදහසේ වේදිකාවේ හිටියේ සිවිල් සංවිධානවල පිරිස්. සමගි බලවේගය ගොඩනැගුවේ වෘත්තිය සමිති ඇතුළු පිරිස එකතු කරගෙන.


නිදහසේ වේදිකාවේ මූලික රැස්වීම් අපි පටන් ගත්තේ මාකස් ප්‍රනාන්දු මාවතේ තිබුණු අපේ කාර්යාලයේ. රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඒක පැවැත්වුණේ. ඒකට මුල් වෙලා හිටියේ නීතිඥ සුදර්ශන ගුණවර්ධන, නිමල්කා ප්‍රනාන්දු වගේ උදවිය. සුදර්ශන ගුණවර්ධන නිදහසේ වේදිකාව ඉදිරියට අරගෙන යන්න ප්‍රමුඛ භූමිකාවක් කළා. මේ සංවිධානයේ මූලික අරමුණ වුණේ ආණ්ඩුවේ වැරදි ක්‍රියා පිළිවෙත පිළිබඳව රටේ ජනතාව දැනුම්වත් කිරීම. ඒ සඳහා වැඩමුළු ආකාරයේ ක්‍රියාකාරකම් ඔවුන් සැලසුම් කරලා තිබුණා. පස්සේ පස්සේ වෙනකොට විවිධ සිවිල් සංවිධාන නිදහසේ වේදිකාව වටා එකතු වුණා. ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයට සමගාමීව එහෙත් සෘජු ලෙස පක්ෂයට සම්බන්ධ නොවී ස්වාධීන ව්‍යාපාරයක් විදියට නිදහසේ වේදිකාව ක්‍රියාත්මක වුණා. 


එක්සත් ජාතික පක්ෂයේ නොවන වෘත්තිය සමිති ඇතුළු විවිධ පුරවැසි සංවිධානවලට එකට එකතුවෙන්න තැනක් අවශ්‍ය නිසා තමයි සමගි බලවේගය ආරම්භ වුණේ. සමගි බලවේගයේ මුල්ම රැස්වීම පැවැත්වුවේ නුගේගොඩ නාලන්දාරාමයේදී. මේක නාලන්දාරාමේ විහාරාධිපති තිනියාවල පාලිත හාමුදුරුවෝ ලොකු අනුග්‍රහයක් දැක්වුවා. මුල් රැස්වීමට සියයකට වැඩි පිරිසක් සහභාගී වුණා. ඒකෙදී තීරණය වුණා පවතින ආණ්ඩුවට විරුද්ධව පෙළ ගැහෙන ජනතා ව්‍යාපාරයක් විදියට ක්‍රියාත්මක වෙන්න. 


මේ සියලු සංවිධාන ඒ විදියට ක්‍රියාත්මක වෙද්දි අපිට ඕන වුණා ඒ සියල්ල එකතු කරගෙන මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් ආරම්භ වෙලා තිබුණු සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයට එකතුවෙන්න. මාදුළුවාවේ හාමුදුරුවෝ මුල ඉඳලම කිව්වේ මේ සංවිධාන මුලින් වෙන් වෙන් වශයෙන් ගිහින් අවසාන තීරණාත්මක මොහොතක එකට එකතුවෙමු කියලා. රනිල් වික්‍රමසිංහටත් විශාල වශයෙන් ඕන වුණා. 


සාධාරණ සමාජයක් ව්‍යාපාරයත් එක්ක එකඟතාවයකට එන්න රනිල් වික්‍රමසිංහ අපිව උනන්දු කළා. දෙගොල්ලා අතරේ අවබෝධතා ගිවිසුමක් වුණත් අත්සන් කරන්න පුළුවන් නම් කරමු කියලා රනිල් වික්‍රමසිංහගේ ඒ පණිවිඬේ අරගෙන සෝභිත හාමුදුරුවෝ මුණගැහෙන්න මමයි ගියේ. හාමුදුරුවෝ ඒකට ටිකක් අදිමදි කළා. උන් වහන්සේ කිව්වා ඕනෑ නම් අපි ඒකාබද්ධ රැස්වීමක් පවත්වමු කියලා. අපි කවුරුත් ඒකට එකඟ වෙලා අපි හැම දෙනාගෙම සහභාගීත්වයෙන් පළමු රැස්වීම කොළඹ පුස්තකාල ශාලාවේදී පැවැත්වුවා. එතනදි සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය හැර වෙනත් සිවිල් සංවිධාන සීයක් එක්ක අපි අවබෝධතා ගිවිසුමක් අත්සන් කළා. ඒ ගිවිසුමට අත්සන් කළේ විවිධ මත නියෝජනය කරපු කණ්ඩායම්. සෝභිත හාමුදුරුවෝ ඒ සඳහා සහභාගීවෙලා අපිට ආශිර්වාද කළා. 


විශේෂයෙන්ම පැවති රජයේ ක්‍රියාමාර්ගවලට එරෙහිව විවිධ සංවිධාන රාශියක් එළියට බහින්න ගත්තේ අපේ මේ සමගි බලවේගය හා නිදහසේ වේදිකාව ආරම්භ කළාට පස්සේ. මේ සඳහා එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් රනිල් වික්‍රමසිංහට අමතරව ලොකුම සහයෝගය සහ මැදිහත්වීම කළේ මංගල සමරවීර. ජනාධිපතිවරණය ඉලක්ක කරගත් විශාලම සිවිල් පුරවැසි ජාලය මේ විදියට අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණා. 


තවත් කොටසක් ලබන සතියට.

 


ප්‍රියන්ත කොඩිප්පිලි
ඡායාරූපය : අන්තර්ජාලයෙනි