අතුරු මැතිවරණ පුරාණයෙන්

 

සෝල්බරි ආණ්ඩු ක්‍රමය යටතේ ප්‍රතිෂ්ඨාපනය කළ පාර්ලිමේන්තුව ඡන්ද කොට්ඨාස 89 කින් සමන්විත විය. ඡන්ද කොට්ඨාස නාමාවලියේ සඳහන් වන බළංගොඩ, සබරගමුව පළාතට වෙන්වූ එකම බහු මන්ත්‍රී කොට්ඨාසය ද විය. 


1947 සිට 1960 මාර්තු මැතිවරණය දක්වා බහු මන්ත්‍රී ආසනයක් ලෙස පැවති බළංගොඩ ඡන්ද කොට්ඨාසයට සුවිශේෂී ස්ථානයක් හිමි වූයේ කාරණා දෙකක් මුල් කරගෙනය. 


පළමුවැන්න 1947 මහා මැතිවරණයේදී එජාපයෙන් තරග කළ සර් ප්‍රැන්සිස් මොලමුරේ මහතා (ගෙය 23,076) වැඩි ඡන්ද 9309 න් පළමුවැනි මන්ත්‍රී වශයෙන් තේරී පත්වී ප්‍රථම පාර්ලිමේන්තුවේ ප්‍රථම කතානායක පදවිය ද හිමිකර ගැනීමයි. දෙවැන්න ශ්‍රී ලාංකේය දේශපාලන ගමන් මග වර්ණවත් කරමින් ලෝකයේ ප්‍රථම අගමැතිනිය වී ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නිජ භූමිය ද බළංගොඩ වීමයි. ශ්‍රී ලංකාවේ අතුරු මැතිවරණ ඉතිහාසය විමර්ශනය කරන විට බළංගොඩ ආසනය සඳහා පළමු අතුරු මැතිවරණය බහු මන්ත්‍රී ආසනයක් හැටියට පවතිද්දී 1951-04-28 දින පවත්වා ඇති බව හෙළි වෙයි. ඊට හේතුව වූයේ මැතිසබය පවත්වාගෙන යමින් සිටිය දී නිල අසුන මත දීම සිහිවිසඥ වූ ප්‍රථම කතානායක සර් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා 1951-01-25 දින හදිසියේ අභාවප්‍රාප්ත වීමය. පළමු අතුරු මැතිවරණයට ජයවීර කුරුප්පු (එජාප) ඇම්. පී. ජෝතිපාල (ලසසප) සහ ඇස්. ශ්‍රී කාන්දම් (ස්වාධීන) යන තිදෙනා තරඟ කළ අතර ජයවීර කුරුප්පු මහතා (22,165) වැඩි ඡන්ද 8725 න් ජයග්‍රහණය කළේය.


මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීම සඳහා 1959 දී රජය මගින් පත්කළ වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසමේ නිර්දේශ පරිදි 1960 මාර්තු මැතිවරණයේ සිට බළංගොඩ තනි ආසනයක් බවට පත් කෙරිණි. ඊට අමතරව රක්වාන යනුවෙන් නව ඡන්ද කොට්ඨාසයක්ද පිහිටුවීය. දෙවැනි අතුරු මැතිවරණය පවත්වන්නට සිදුවූයේ තනි ආසනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු 1965 මහා මැතිවරණයේදී තෙවැනි වරටත් බළංගොඩ ආසනයට තේරී පත්වූ ක්ලිෆර්ඞ් සේනක රත්වත්ත මහතාට (ශ්‍රීලනිප) ඡන්ද පෙත්සම් විභාගයකින් පසු ආසනය අහිමිවීමේ හේතුවෙනි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සහෝදරයා වූ සී. ඇස්. රත්වත්ත මහතා ජාතික දේශපාලනයට පිවිසියේ ප්‍රාදේශීය දේශපාලනයේ නිරත වී අත්දැකීම් සමුදායක් ලබා සිටියදීය. ප්‍රථම වරට 1960 මාර්තු මැතිවරණයේදී ශ්‍රීලනිප අපේක්ෂකයා වශයෙන් බළංගොඩ ආසනයට ඉදිරිපත් වී අපේක්ෂකයන් හය දෙනෙකු පරාජයට පත් කර මුළු ඡන්ද 9494 ද වැඩි ඡන්ද 4443 ද ලබාගෙන මහවලතැන්නේ බලය තහවුරු කරමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත්තේය. රත්වත්ත මහතාගේ ආසන්නම ප්‍රතිවාදියා වූ ඇම්. ඇල්. ඇම්. අබුසාලි (ස්වාධීන - වංගෙඩිය) මහතාට හිමි වූයේ ඡන්ද 5051 ක් පමණකි.


1960 ජූලි මැතිවරණයේදී ඔවුන් දෙදෙනා අතර පැවතියේ මුහුණට මුහුණලා සටනකි. වෙනසකට වූයේ ඒ වන විට අබුසාලි මහතා එජාපයට එකතු වී සිටීමය. මෙම මැතිවරණයේදී ද ඡන්ද 11,201 ක් ලබාගත් රත්වත්ත මහතා ඇම්. ඇල්. ඇම්. අබුසාලි පරදවා (7077) දෙවැනි වරටත් බළංගොඩ ආසනය දිනා ගත්තේය. මැතිවරණ පෙත්සමකින් මන්ත්‍රී ධූරය අහිමි වීමට පෙර සී. ඇස්. රත්වත්ත මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වූ 1965 මැතිවරණයේ බළංගොඩ ආසනයේ ප්‍රතිඵලය මෙසේය. සී. ඇස්. රත්වත්ත (ශ්‍රීලනිප) 14,498 ඇම්. ඇල්. ඇම්. අබුසාලි (එජාප) 11,274 එච්. ඇම්. බණ්ඩාරනායක (මඑපෙ) 114 ටී. එච්. ගුණදාස (ලංප්‍රප) 113 වැඩි ඡන්ද සංඛ්‍යාව 3224.


ශ්‍රේෂ්ඨාධිකරණයට ඡන්ද පෙත්සමක්


එහෙත් සී. ඇස්. රත්වත්ත මහතාට හයවැනි පාර්ලිමේන්තුවේ සම්පූර්ණ නිල කාලය අවසන් වනතුරු මන්ත්‍රී ධූරය දැරීමට හැකිවූයේ නැත. ඔහු බළංගොඩ ආසනයට තේරී පත්වීම බලරහිත කර මන්ත්‍රීධූරය අවලංගු කරන ලෙස ඉල්ලා ඡන්ද පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරිණ. (1) අනෙක් අපේක්ෂකයා වූ ඇම්. ඇල්. ඇම්. අබුසාලි මහතා පිළිබඳව අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීම (2) තර්ජනය කිරීම (3) අයුතු බලපෑම (4) අයථා ක්‍රියා සිදුකිරීම යන චෝදනා මෙම පෙත්සමට මූලික වී තිබුණි. පෙත්සම්කරු වූයේ එස්. දොන් පියසේන මහතාය. මැතිවරණ පෙත්සම විභාග කිරීමට පත්කළ පී. ස්කන්ධරාජා විනිසුරුතුමා ඉදිරියේ විභාගයට ගැනුණ අතර දීර්ඝ නඩු විභාගයකින් පසු රත්වත්ත මහතා බළංගොඩ ආසනයට තේරී පත්වීම අවලංගු කරමින් තීන්දුව ප්‍රකාශයට පත් කළේය. මෙම තීන්දුවට එරෙහිව ක්ලිපර්ඞ් සේනක රත්වත්ත මහතා ඇපැල් අධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළ නමුත් 1966-08-11 දින තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරු මඩුල්ල ඇපෑල ද නිෂ්ප්‍රභා කළේය. ඇපෑල විභාගයට ගත් රජතුන් කට්ටුව ඇම්. සී. සන්සෝනි (අග විනිසුරු) එච්. ඇන්. ජී. ප්‍රනාන්දු සහ එච්. ඩබ්ලිව්. තම්බයියා යන විනිසුරුතුමන්ලාගෙන් සමන්විත විය. වගඋත්තරකාර සී. ඇස්. රත්වත්ත මහතා රාජ නීතිඥ ජී. ඊ. චිට්ටි මහතා මගින් ඉදිරිපත් කළ කරුණු ගැන අදහස් දක්වමින් අග විනිසුරු ඇම්. සී. සන්සෝනි මහතා මෙසේ සඳහන් කර තිබුණි. “වගඋත්තරකාර පක්ෂය විසින් ඇපැල් උසාවියේදී ඉදිරිපත් කරන ලද ප්‍රධාන තර්කය නම් ඡන්ද පෙත්සම විභාග කළ විනිශ්චයකාර තුමා ලංකාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව පත්කර නැති බවත් ඒ අනුව එම පෙත්සම විභාග කිරීමට විනිසුරුවරයාට බලයක් නොමැති බවත් ඒ අනුව පෙත්සම විභාග කිරීමට බලයක් නොතිබුණ බවත්ය. ඡන්ද පෙත්සම් විභාග කිරීම සඳහා විනිශ්චයකාරවරුන් පත් කිරීම ලංකා (පාර්ලිමේන්තු මැතිවරණ) රාජාඥ පනතේ විධිවිධාන අනුව නීති ප්‍රකාරව සිදුව ඇති හෙයින් වගඋත්තරකරුගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ තර්කය පිළිගත නොහැක. මෙම ඇපෑල විභාගයට ගත්විට දී රාජ නීතිඥ ජී. ඊ. චිට්ටි මහතා වගඋත්තරකාර සී. ඇස්. රත්වත්ත මහතා වෙනුවෙන් ද රාජ නීතිඥ එච්. ඩබ්ලිව්. ජයවර්ධන මහතා පෙත්සම්කාර එස්. දොන් පියසේන මහතා වෙනුවෙන්ද සොලිසිටර් ජනරාල් රාජ නීතිඥ වික්ටර් තෙන්නකෝන් මහතා නීතිපතිවරයා වෙනුවෙන් ද අධිකරණයේ පෙනී සිටියහ. (තොරතුරු මූලාශ්‍රය දිනමිණ 1966-08-12)


රාජාධිකරණයට ඇපෑලක්


ඇපැල් අධිකරණයේ තීන්දුවෙන්ද නොසතුටට පත් සී. ඇස්. රත්වත්ත මහතා රාජාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළේය. මෙම කාරණය 1966-10-18 දින රාජාධිකරණ කමිටුව ඉදිරියේ විභාගයට ගත්තේය. නඩුවට පෙනී සිටීම සඳහා සොලිසිටර් ජනරාල් රාජ නීතිඥ වික්ටර් තෙන්නකෝන් මහතා (පසුව ශ්‍රී ලංකාවේ 36 වැනි අග්‍රවිනිශ්චයකාර 1974) එංගලන්තය බලා පිටත්ව ගියේය. ආර්. කේ. හැන්ඩු මහතා එහිදී සොලිසිටර් ජනරාල්වරයාට සහාය විය. රාජ නීතිඥ එච්. ඩබ්ලිව්. ජයවර්ධන මහතා ඇපැල්කරු වන සී. ඇස්. රත්වත්ත මහතා වෙනුවෙන් පෙනී සිටි අතර එම්. පී. සොලමන් මහතා ද සමඟ රාජ නීතිඥ ඊ. ඇෆ්. ඇන්. ග්‍රේෂන් මහතා පෙත්සම්කාර එස්. දොන් පියසේන මහතා වෙනුවෙන් ඉදිරිපත්ව සිටියේය. මෙම කාර්යය සඳහා විදේශ විනිමය නිකුත් කිරීමට මුදල් අමාත්‍යාංශය එකඟවී තිබුණි. රාජාධිකරණ කමිටුව ගොඞ්සන් පියර්ස් සහ පියර්සන් සාමිවරුන් දෙදෙනාගෙන් සමන්විත විය. පෙත්සම්කරුගේ ඉල්ලීම පිළිගැනීමට රාජාධිකරණ කමිටුවට බලතල නැතැයි දැක්වූ මූලික විරෝධතාව පිළිගත් ඔව්හු ඇපෑල නිෂ්ප්‍රභා කළහ. රාජාධිකරණයේදී අධිකරණ බලය පිළිබඳ තර්කය ඉදිරිපත් කළ රාජනීතිඥ ඊ. ඇෆ්. ඇන්. ග්‍රේෂන් මහතා ඡන්ද නඩු පිළිබඳ හරි හෝ වැරදි පිළිබඳ අවසාන තීන්දුව ගැනීමට බලය ඇති අවසාන අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය බව පැවසීය. නීතිපති වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් වික්ටර් තෙන්නකෝන් මහතා එම විරෝධතාව අනුමත කළේය. මෙම පසුබිම යටතේ එකී ඇපෑල තවදුරටත් විමසිය යුතු නැතැයි ගොඞ්සන් පියර්ස් සාමිවරයා පැවසීය. පෙත්සම්කාර එච්. දොන් පියසේන මහතාට නඩු ගාස්තු ද හිමි කෙරුණි. විභාගය සඳහා දෙපැයක පමණ කාලයක් ගත විය. (තොරතුරු ලංකාදීප 1966-10-19) රාජාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමගම රත්වත්ත මහතාට මන්ත්‍රී ධූරය අහිමි විය. ඒ අතර කොරේ පිටට මරේ කීවාක් මෙන් බළංගොඩ සුළුනගර සභාවේ සභාපති ධූරය ද ඔහුගෙන් ගිලිහී ගියේය. දීර්ඝ කාලයක සිට බළංගොඩ සු.න.ස බලය ශ්‍රීලනිපයට හිමිවී තිබුණි. මෙම සිදුවීමත් සමඟ සුවිශේෂී දේශපාලන සංසිද්ධියක් ඇති කරමින් රත්වත්ත මහතාගේ දේශපාලන ප්‍රතිවාදියා වූ අබුසාලි මහතා බළංගොඩ සු.න.ස සභාපති තනතුරට පත්විය.


අතුරු මැතිවරණයට නාම යෝජනා


රත්වත්ත මහතාගේ ඇපෑල සම්බන්ධයෙන් රාජාධිකරණය දුන් තීන්දුව අග්‍රාණ්ඩුකාර උතුමාණන් වෙත දැනුම්දීමෙන් අනතුරුව බළංගොඩ අතුරු මැතිවරණය පැවැත්වීම 1966.10-24 දිනට නියම කෙරිණි. නාම යෝජනා භාර ගැනීම 1966-09-22 දින රත්නපුර කච්චේරියේදී සිදු කිරීමට නියමිතව තිබුණි. අතුරු මැතිවරණය සඳහා ශ්‍රීලනිපයෙන් හිටපු මන්ත්‍රී සී. ඇස්. රත්වත්ත මහතාගේ බිරිඳ වූ මල්ලිකා රත්වත්ත මහත්මියගේ නම ඉදිරිපත්වී තිබුණේය. ඇයද දේශපාලනය පිළිබඳව පන්නරය ලැබූ ප්‍රභූ කාන්තාවක වූවාය. 1965 වර්ෂයේ පැවති බළංගොඩ සු.න.ස සභා ඡන්දයට ශ්‍රීලපය නියෝජනය කරමින් ඉදිරිපත් වූ නමුත් ඡන්ද 02 න් පරාජයට පත්වූවාය. මෙය නුසුදුසු කරුණක් හැටියට හුවා දක්වමින් නාම යෝජනා දීම ගැන පිරිසක් නොසතුට පළ කළ නමුත් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඇයට අපේක්ෂකත්වය පිරිනමා තිබුණි. නාම යෝජනා භාරදුන් අපේක්ෂකයන් මෙසේය. මල්ලිකා එල්ලාවල රත්වත්ත (ශ්‍රීලනිප) ඇම්. ඇල්. ඇම්. අබුසාලි (එජාප) එන්. පියදාස (ස්වාධීන - වංගෙඩිය) අබුසාලි මහතා සුළු නගරාධිපති ධූරයට පත්වීමත් ආණ්ඩු බලය එජාපයට හිමිවී තිබීමත් නිසා යහපත් දේශපාලන වාතාවරණයක් ඔහු වටා ගොඩනැගෙමින් තිබුණි. අනෙක් අතට 1960 - 1965 මැතිවරණ තුනක දීම තමන් සතුකරගත් බළංගොඩ උරුමය ආරක්ෂා කර ගැනීමට ශ්‍රීලනිපය ද දැඩි පරිශ්‍රමයක් දැරීය. අතුරු මැතිවරණයේ ශ්‍රීලනිප සංවිධාන කටයුතු විපක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ මූලිකත්වයෙන් සිදු කෙරිණි.


1968-10-24 දින පැවැත්වූ බළංගොඩ ආසනයේ දෙවැනි අතුරු මැතිවරණයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය මෙසේය. මල්ලිකා එල්ලාවල රත්වත්ත (ශ්‍රීලනිප - අත) 14,471, ඇම්. ඇල්. ඇම්. අබුසාලි (එජාප - අලියා) 12,731 එන්. පියදාස (ස්වාධීන - වංගෙඩිය) 338 වැඩි ඡන්ද සංඛ්‍යාව 1740 ප්‍රතික්ෂේපිත ඡන්ද පත්‍රිකා ගණන 141 ඡන්දය දුන් මුළු ගණන 27,681 ලියාපදිංචි ඡන්දදායකයන්ගේ මුළු ගණන 31,636 මෙම ප්‍රතිඵලයට අනුව 1965 මැතිවරණයට වඩා ශ්‍රීලනිපය ඡන්ද 3270 ද එජාපය ඡන්ද 5754 ද ලබාගෙන තිබූ අතර ශ්‍රීලනිපයේ වැඩි ඡන්ද ප්‍රමාණය 1484 න් පහත වැටී තිබුණි. මල්ලිකා රත්වත්ත මහත්මියගේ ජයග්‍රහණයත් සමගම හයවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංඛ්‍යාව වැඩි විය.

 

 

 

 

 

ජී. ආර්. ඩී. බණ්ඩාර