1977 දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ආරම්භ වුණු එක්සත් ජාතික පක්ෂ රජයේ ඇමැතිවරු තරඟයට මෙන් එක් එක් සංකල්ප හා තේමාවන් ඔස්සේ වැඩ කළ අයුරු ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය පිරික්සීමේ දී පෙනෙන්නට තිබෙන කරුණකි.


ඒ අනුව ලලිත් ඇතුළත්මුදලි ඇමතිතුමා මහපොල සංකල්පය ඇති කොට ඒ අනුව වැඩ කටයුතු රැසක් සිදු කළ අතර ගාමිණී දිසානායක ඇමතිතුමා කඩිනම් මහවැලිය කරට ගෙන උරදී ක්‍රියා කළේය. ප්‍රේමදාස අග්‍රාමාත්‍යවරයා ගම්උදා උදාගම් සංකල්පය පෙරමුණට ගෙන ඒ අනුව රටපුරා නිවාස හදමින් කටයුතු කරගෙන ගියේය.


ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා ආරම්භ කළ මහපොල වැඩසටහන එකල ඉතා ජනප්‍රිය වූයේ ඒ තුළින් වෙළෙඳ ක්ෂේත්‍රයේ පිබිදීමක් ඇතිවීමත් වෙළඳ ආයතන පිළිබඳව ප්‍රදර්ශනයක් පැවැත්වීමත් ඉන් ලබන ආදායමින් මහපොල ශිෂ්‍යත්ව නමින් සරසවි සිසු සිසුවියන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාදීමේ ප්‍රතිඵලදායී වැඩසටහනක් දියත් වීමත්ය. වෙළෙඳ හා වානිජ ආර්ථිකය නැංවීමට වෙළෙඳ හා වානිජ ක්ෂේත්‍රයට සම්බන්ධ රජයේ හා පෞද්ගලික අංශයේ ව්‍යාපාර මහපොල භූමියේ ප්‍රදර්ශන කුටි පවත්වා ගෙන ගිය අතර දේශීය කර්මාන්ත හා කුඩා ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන ද ප්‍රදර්ශනය කර දිරිගැන්වීම් ද ලබා දුන්නේය. ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ වෙළෙඳාම හා එම වෙළෙඳ කටයුතු ශ්‍රී ලංකා ආර්ථිකය හා බැඳෙන ආකාරය මැනවින් පෙන්නුම් විය. බොහෝ විට එක් මැතිවරණ කොට්ඨාසයකට එක් මහපොල ප්‍රදර්ශනයක් පැවැත්වීම අනිවාර්ය වූ අතර සමහර මැතිවරණ කොට්ඨාසවල එවැනි ප්‍රදර්ශන තුන හතර පවත්වන ලද්දේ ප්‍රධාන නගර ආශ්‍රිතවය. එය පවත්වනු ලබන නගරයේ ප්‍රධාන පෙළේ පාසල් බොහෝ විට මේ සඳහා යොදාගත් අතර දවස් 7 ක් පමණ එම ප්‍රදර්ශනය පැවැත්වුණි. ප්‍රදර්ශනය පැවැත්වෙන එක් එක් දිනට විශේෂ ආරාධිත අමුත්තන් පැමිණෙන අතර ඔවුන්ගේ ප්‍රධානත්වයෙන් සවස්වරුවේ රැස්වීමක් පැවැත්වීමද සාමාන්‍ය ක්‍රමය විය. මුල් දිනය වෙළඳ හා වානිජ කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවන අතර අවසාන දිනය වෙළඳ හා වානිජ කැබිනට් ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ඒ අතරතුර දිනවල දී ප්‍රදර්ශනය විවෘත කිරීමට පැමිණෙන්නේ රජයේ ප්‍රධාන පෙළේ අමාත්‍යවරුන්ය. හවස් යාමයේ දී ඉතා අලංකාර පෙරහැරකින් අමුත්තන් පිරිවරාගෙන මහපොල භූමියට පැමිණ ප්‍රදර්ශනය විවෘත කිරීම සිදුවූ අතර සමහර දිනවලට පැමිණෙන ඇමතිවරුන් එදින රාත්‍රිය ද එම ප්‍රදේශයේම ගත කර ඊට පහුවැනිදා කොළඹ බලා පිටත්වීම සාමාන්‍ය සිරිත විය.


මෙම මහපොල ප්‍රදර්ශන ක්‍රියාදාමය සිදුවීම පිළිබඳව සාකච්ඡා කරන විට මාගේ මතකයට එන එක් මහපොල ප්‍රදර්ශන උත්සවයක් වන්නේ සූරියවැව මහා විද්‍යාලයේ පැවති උත්සවයයි.


1982 වර්ෂයේ පැවති එම ප්‍රදර්ශනයේ තුන්වැනි දින ආරාධිත අමුත්තා වූයේ එකල සිටි කීර්තිමත් දේශපාලනඥයකු වූ කම්කරු අමාත්‍ය පී. සී. ඉඹුලාන මැතිතුමාය. එතුමාට අප විසින් ඇරයුම් කිරීමෙන් පසු එතුමාගේ කාර්ය මණ්ඩලය අප වෙත දැන්වූයේ ඇමතිතුමා රාත්‍රියේ සූරියවැව නවාතැන් පහසුකම් ගැනීමටද අදහස් කරන බවයි. එකල මෙකල මෙන් අධිවේගී මාර්ග නොමැතිවූ නිසා සන්ධ්‍යා භාගයේ උත්සවය අවසන් වී ඇමතිතුමාට කොළඹට ඒමට පැය ගණනාවක් ගත වනු ඇත. එයත් සැලකිල්ලට ගත් ඉඹුලාන ඇමතිතුමා සූරියවැව වැනි නව මහවැලි ගොවි ජනපදවලින් යුත් පළාතක රෑ ගත කිරීමට කැමැත්තෙන් සිටින්නටද ඇත. එතුමා නවාතැන් ගන්නට කැමැත්තෙන් සිටින බව අපහට දැන්වුවද සූරියවැව පළාතේ එකල නවාතැන් ගැනීමටවත් සුදුසු ස්ථානයක් සොයා ගැනීමට නොතිබුණි. නැගී එන මහවැලි ගොවි ව්‍යාපාරයක් වශයෙන් සංචාරක හෝටල් හා නිවාඩු නිකේතන ආදිය එහි නොවීය. සූරියවැව පළාතටම තිබුණේ සූරියවැව මහවැලි කොට්ඨාස කළමනාකරුට අයත් සංචාරක නිවහන පමණි. පහසුකම් ඉතා අල්පවූ එම නිවහනේ ඇමතිතුමා වෙනුවෙන් නවාතැන් පහසුකම් සැලැස්වීමට අපි පියවර ගත්තෙමු. කෙසේ වෙතත් ඉඹුලාන මහතා සවස සූරියවැවට ළඟා වී සැතපුම් භාගයකට ආසන්න දුරක් පුරා විහිදී තිබූ පෙරහරින් මහා විද්‍යාලයට පැමිණ රැස්වීම පැවැත්විය. එතුමා ප්‍රධාන ආරාධිතයා හා කථිකයා වුවද එතුමා ප්‍රකාශ කළේ කථා කරන්න දෙයක් නෑ. කථා කර කර කාලය නාස්ති කරන්නත් ඕන නෑ. අපි ප්‍රදර්ශනය විවෘත කරමු, යනුවෙනි. ඒ අනුව ප්‍රධාන ආරාධිතයාගේ කථාවෙන් තොරව රැස්වීම නිමවා මහපොල ප්‍රදර්ශනය විවෘත කළේය. එසේ විවෘත කිරීමෙන් පසු රාත්‍රී 7.30ට පමණ මහවැලි සංචාරක නිවහනට ගිය එතුමා රෑ 1.00 පමණ වන තෙක් කථා කර කර සිටියේය. මටත් මාගේ ලේකම්වරයෙකු වූ ආනන්ද සිල්වා මහතාටත් ඇමතිවරයාගේ කථා අසාගෙන නිදිවැරීමට සිටීමට සිදුවූයේ එවකට දිසා ඇමති සිරිල් මහතා මට සියලු කටයුතු බලාගන්නැයි කියා එතුමා එතුමාගේ නිවහන පිහිටි අම්බලන්තොට ප්‍රදේශය බලා පිටත්ව ගිය බැවිනි. කෙසේ වුවද රැස්වීමේ වචනයක්වත් කථා නොකළ ඇමතිවරයා රෑ 1.00 පමණ වන තෙක් පැරණි දේශපාලන නායකයින් ගැන ජාත්‍යන්තර දේශපාලනය ගැන හා ඩී. ඇස්. ඩඞ්ලි කොතලාවල වැනි දේශපාලන ක්ෂේත්‍රයේ නම් තැබූ නායකයන් ගැන ගොඩාක් කරුණු ප්‍රකාශ කළේය. පිළිවෙළකට අඳින පලඳින හැටි කෙනෙක් හරි හැටි පුටුවක වාඩිවෙන හැටි දේශපාලනය කරන අය කටයුතු කළ යුතු හැටි ආදී විවිධ මාතෘකා ඔස්සේ කරුණු රාශියක් නිදිවරාගෙන එතුමා පැහැදිලි කරදුන්නේය.


මමත් ආනන්ද සිල්වාත් ඒ සියලු කරුණු අසමින් හූමිටි තබමින් සිටි අතර එම කථාබහ තුළින් වැදගත් කරුණු ගොඩක් ඉගෙන ගන්නත් ලැබුණි. පැරණි බොහෝ දේශපාලනඥයින් කොතරම් පිළිවෙළකට වැඩ කළාද? පිළිවෙළකට ඇඳුම් පැලඳුම් භාවිතා කළාද? ඡන්ද දායකයන් කෙරෙහි සැලකිල්ලෙන් ගෞරවයෙන් කටයුතු කළාද ? කියලා හැඟීමක් ඇතිවුණේ එතුමාගේ කථාබහ හේතුවෙනි. රාත්‍රී 1.00 ට පමණ නින්දට ගිය එතුමා නැවත පාන්දර 4.00ට පමණ අවදි වී මනාව හැඳ පැලඳ ගෙන නැවතත් මැද සාලයේ පුටු සැටියට පැමිණ කථා කරන්නට පටන් ගත්තේය. ඉඹුලාන ඇමතිතුමා අවදිවී සිටින බව හැඟුණ නිසා අපිද අවදි වී නැවතත් එතුමාගේ පරණ කථා හා උපදේශාත්මක කථාවලට උදේ 6.00ට පමණ වන තෙක් ඇහුන්කන් දී ගෙන සිටියෙමු. ඒ අතරතුර මා ඇමතිවරයාගෙන් ඇමතිතුමා රෑ නින්ද ගියේ නැද්ද? කියලා ඇසුවෙමි. “ඇමතිතුමා ගත් කටටම කීවේ නිදාගත්ත නම් මදුරුවෝ මාව උස්සන් යාවි. ඒ නිසා ඒ බයටම නිදාගත්තෙ නෑ” යනුවෙනි. ඇමතිවරයා කීවේ එපමණකි. මා පසුව සොයා බලන විට දැනගන්න ලැබුණේ සේවකයන්ට අමතක වීමකින් මදුරු දැලක් එල්ලා නොතිබුණු බව. හැබැයි ඇමතිතුමා ඒ ගැන නම් මොකවත් කීවෙ නැත්තෙ ඒ පළාතෙ දුෂ්කරතාවන් ගැන ඔහු හොඳ හැටි අවබෝධ කරගත් නිසා විය යුතුය.