යාපා පටුනේ පළමු ප්‍රගතිශීලී සටන් පෙරමුණ-03

1927 නොවැම්බර් 13 වැනි දින සිංහල, දෙමළ, මුස්ලිම් හා ඉන්දියානු සම්භවයකින් යුත් පුද්ගලයන්ගේ උද්යෝගිමත් පිළිගැනීම් මධ්‍යයේ මහත්මා ගාන්ධි කොළඹට සම්ප්‍රාප්ත විය. කොළඹ, මහනුවර, ගාල්ල සහ තවත් ස්ථානයන්හිදී ඔහු වෙනුවෙන් ප්‍රදානය කරන ලද පිළිගැනීම්වලදීද ගාන්ධි කථා කීපයක්ම පැවැත්වීය. ඒ අතර ලංකා ජාතික කොංග්‍රසය, සමස්ත ලංකා බෞද්ධ සංගම් සම්මේලනය සහ තරුණ බෞද්ධ සංගමයේ නියෝජිතයෝද, කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගමයේ නියෝජිතයෝද කම්කරු සංගමයේ අනුග්‍රහය යටතේ පැවැත්වුණු මහජන රැස්වීම්ද, බදුල්ල, නුවරඑළිය ගාල්ල සහ කොළඹ සහිරා විද්‍යාලයේද රැස්වීම් අමතා කථා කළහ. එසේම ඩී. බී. ජයතිලක, ඩබ්ලිව්. ඒ. ද සිල්වා සහ ශ්‍රීමත් පී. රාමනාදන් වැනි එකල කැපීපෙනෙන පුද්ගලයන්ද හමුවිය. කොළඹ දෙමළ සංගමය විසින් සූදානම් කර තිබූ පිළිගැනීමේ උත්සවයේ සභාපතිත්වය දැරුවේ ශ්‍රීමත් පී. රාමනාදන්ය.


මහත්මා ගාන්ධි සිය කථා කිහිපයකදීම ලංකාවේ වැවිලි කර්මාන්තයේ යෙදී සිටි අතිවිශාල දෙමළ කම්කරුවන් කෙරෙහි අවධානය යොමු කළේය. එසේම මෙම කම්කරුවෝ ගාන්ධි පිළිගැනීම සඳහා බදුල්ල, නුවරඑළිය හා හැටන් යන නගර කරා දස දහස් ගණනින් පැමිණියහ.


ගාන්ධිගේ සංචාරය අත්‍යාසන්නව පවතිද්දී දොස්තර ඉසාක් තම්බයියා කොංග්‍රසයේ සභාපති තනතුරෙන් ඉල්ලා අස්වී තිබුණු අතර විධායක කමිටුව විසින් ඒ තනතුර සඳහා ස්වාමි විපුලානන්ද තෝරා පත්කරගන්නා ලදී. ඉසාක් තම්බයියාගේ ඉල්ලා අස්වීමට නිශ්චිත හේතු වාර්තාගත වී නොමැති නමුදු ගාන්ධි වෙනුවෙන් මහජන පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කිරීම සඳහා ඔහුගේ නිර්දේශයකින් තොරව පිළිගැනීමේ කමිටුවක් පිහිටුවීමට මූලිකත්වය ගනු ලැබීම ඉල්ලා අස්වීමට හේතු වී යැයි විශ්වාස කරන ලදී. ශිෂ්‍ය කොංග්‍රසයේ සභාපතිවරයා ලෙස සෑම අදියරකදීම තමන්ගෙන් උපදෙස් ලබාගත යුතුව තිබිණැයි බොහෝ විට ඔහු සිතන්නට ඇත. සිය ලංකා සංචාරයේ අවසාන අදියරට පැමිණ සිටි ගාන්ධි මේ සුළු මතභේද තිබියදී, නොවැම්බර් 26 වැනිදා යාපන තැපැල් දුම්රිය යාකෙරුණු ආණ්ඩුකාරයාගේ ගමන් මැදිරියක යාපනයට සම්ප්‍රාප්ත විය. ගාන්ධි හරසරින් පිළිගනු ලැබුණු අතර එදින සන්ධ්‍යාවේ එළිමහන් ක්‍රීඩාංගණයට රැස්වූ පිරිස යාපන ඉතිහාසය තුළ පෙර නොවූ විරූ අතිවිශාල මහජන සමුළුවක් බඳු විය. ගාන්ධි පිළිගැනීමේ කමිටුව විසින් දින කිහිපයකට පෙර ගාන්ධි මහජනයා අමතන රැස්වීම්වල දී කදාර් වස්ත්‍රයෙන් සැරසී එන ලෙසත් අත්පොළසන් දීමෙන් හා ‘ගාන්ධි කී ජායි” යනුවෙන් කෑගැසීමෙන් වැළකී සිටින ලෙසත් මහජනයාගෙන් ඉල්ලා සිටින ලදි. එමෙන්ම ගාන්ධි පැමිණෙන සෑම ස්ථානයකදීම ඔහු වෙත මුදල් ආධාර තෑගි කරන ලෙසද නිවේදනය කරන ලදී.
යාපනයේ පැවැත්වුණු ඔහුගේ ප්‍රථම රැස්වීමේදී ඔහු ප්‍රකාශ කර සිටියේ “යාපනයට පැමිණි පසු මා ලංකාවේ සිටින බවත් මට දැනෙන්නේ නැතත් මා ඉන්දියාවේම කුඩා කොටසක සිටින බවක් මට දැනේ. ඔබගේ මුහුණුවත් ඔබගේ භාෂාවත් මට ආගන්තුක නොවේ. ඔබ අතුරින් හැම කෙනෙකුම අංග ලක්ෂණ මගින් හඳුනාගැනීමට මට නොහැකි වුවද ඔබගෙන් බොහෝ දෙනෙකු ඉන්දියාව තුළදීම මට මුණගැසී ඇති බව මම දනිමි” යන්නය.


යාපනයේ ඉන්දියානු ප්‍රජාවද, යාපනයේ හින්දු ලබ්ධිකයයෝද, ධර්ම ප්‍රචාරක කණ්ඩායම්වල රැස්වීම් හා රාමනාදන් ආර්යාවගේ නායකත්වය යටතේ වැඩිම වශයෙන් රාමනාදන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවන්ගෙන් සැදුණු සයිවාමංගයාර් කලහම් සංවිධානයද අමතා දේශන පැවැත්වූහ. මේ රැස්වීම් අතරමැද ගාන්ධි ආසන්න වශයෙන් යාපනයේ ප්‍රධාන පෙළේ පාසල් කරා කැඳවාගෙන යනු ලැබීය. ගාන්ධි යාපනයේ ප්‍රධාන හින්දු හා ක්‍රිස්තියානි විද්‍යාලවලටද ගියේය. රෝමානු කතෝලික පාසල් පමණක්ම ගාන්ධි නිල වශයෙන් පිළිගැනීම ප්‍රතික්‍ෂේප කළේය. ගාන්ධි සංචාරය තුළ බොහෝ පාසල් අතර යාපන හින්දු විද්‍යාලය, පරමේෂ්වර විද්‍යාලය, මනිපායි හින්දු විද්‍යාලය, වික්ටෝරියා විද්‍යාලය, රාමනාදන් විද්‍යාලය, සාන්ත ජෝන් විද්‍යාලය, උඩුවිල් බාලිකා විද්‍යාලය සහ යාපන විද්‍යාලය ද විය. පුතූර්, අච්චුවේලි, වැල්වැටිතුරෙයි, පොයින්ට් පේදුරු, චාවකච්චේරි, චුන්නාකම්, තෙල්ලිපලෙයි, මුලායි, කරෙයිනගර් යන ස්ථානවල ගාන්ධිගේ නතරවීම් සිදුවිය. එසේම මේ සියලු ස්ථානවලදී කාඩි අරමුදලට මුදල් එකතු කරන ලදී. යාපන ජනයාට මහත්මා ගාන්ධි යාපනයේ ප්‍රදේශ ගණනාවකදී දැකගැනීමට හා ඔහුට උපහාර දැක්වීමට අවස්ථාව සැලසුණි.


යාපනයේ හින්දු ලබ්ධික ජනයා අමතමින් ගාන්ධි භික්‍ෂූන් හා ක්‍රිස්තියානුවන් අතර පැනනැගි තිබුණු මතභේද පිළිබඳව සාකච්ඡා කළේය. හින්දු ආගම අන් හැම ආගමක් කෙරෙහිම ත්‍යාගශීලි හා සහනශීලි ආකල්පයක් දරන බව ගාන්ධි අවධාරණය කළේය. හින්දු ලබ්ධිකයන් අතර ආගම් අදහන ජනතාවන්ට තමන්ගේම සහෝදරයන් ලෙස නොසලකන්නේ නම් ‘ඔබ අවශ්‍යව තිබෙන සැබෑ ජාතික ජීවගුණය කිසිදාක ඇතිකර නොගන්නා අතර ඒ නිසා ඔබ කිසිදාක අවශ්‍යව තිබෙන හින්දු හා මානව හිතවාදී ජීවගුණද ඇතිකර නොගන්නේ යැයි” ගාන්ධි වැඩිදුරටත් පැවසීය. හින්දු ක්‍රිස්තියානි මතභේද “තේ කෝප්පයක කුණාටුවක්” ලෙස සඳහන් කළ ගාන්ධි මේ දෙකොට්ඨාසය එකමුතු කරවීම සඳහා සිය කාරුණික සේවාවන් ලබාදුනි. ගාන්ධිගේ සංචාරයෙන් හටගෙන තිබෙන එක් යහපත් ප්‍රතිඵලයක් වන්නේ, ඊට පෙර භේදභින්න වී සිටි හින්දු හා ක්‍රිස්තියානි ලබ්ධිකයන් මහත්මා ගාන්ධිට ගෞරව දැක්වීමේදී එක්ව කටයුතු කර තිබීම යැයි ඵදරබසබට ිඒර පුවත්පත සඳහන් කළේය.


ගාන්ධි ලංකාවෙන් පිටත්වීමට ප්‍රථම යාපනයේ පිළිගැනීමේ කමිටු සම ලේකම්කරුවන් වෙත පහත දැක්වෙන පණිවුඩය එවීය “සමස්ත ලංකාව සඳහා මෙන්ම යාපනය සඳහා ද මට තබා යා හැකි පණිවුඩය නම්, එය දර්ශන පථයෙන්ද, සිතින්ද, බැහැර වන්නට ඉඩනොදෙන්න. සාගින්නෙන් පෙළෙන දශලක්ෂ සංඛ්‍යාත ජනයා පිළිබඳව මා ඔබට සපයා තිබෙන විස්තරය ඔබේ සිත් තුළ හොල්මන් කරන්ට හා ඔවුන් ගැන විමසිල්ලෙන් සිටින්නට. සිත්වලට ඉඩදෙන්න, එසේ කරන අතරම ඔබද චාම් දිවි පෙවෙතක් පවත්වා ගන්න. ඔබගේ යහපත සඳහා නොවේනම් අඩුතරමින් ඔවුන්ගේ යහපත වෙනුවෙන් මත්පැනින් හා අස්පර්ශනීයත්වයෙන් මුළුමනින්ම තොරවන්න”


අනතුරුව මහත්මා ගාන්ධි තලෙයිමන්නාරම හරහා ඉන්දියාව බලා පිටත්විය.


යාපන ශිෂ්‍ය කොංග්‍රසයේ සිව්වැනි වාර්ෂික සැසිවාරය 1928 අප්‍රේල් මාසයේදී කීරිමලෙයි හි වෛතිලිංගම් මාදම් නිවාඩු නිකේතනයේදී පවත්වන ලදි. ගාන්ධි ලංකාවට කැඳවාගෙන ඒමට තරම් ආකර්ෂණීය සාර්ථකත්වයක් අත්කරගත් සංවිධානයක් වූ එය සතුව ප්‍රායෝගිකවම යාපනයෙහි වැඩසටහන් මෙහෙය -වීමේ ගෞරවය හිමිකරගත් අතර කොංග්‍රසයේ නායකයන් හට තම ආස්ථානය තිරසාර ලෙස ප්‍රකාශ කරන්නටත් හැකියාව ලැබිණි.


සැසිවාරයේ මුලසුන ස්වාමී විපුලානන්ද හෙබවීය. කථිකයන් අතර මදුරාසියේ ස්වරාජ්‍යවාදී පක්‍ෂයේ  නියෝජ්‍ය නායක ශ්‍රී. එස්. සත්‍යමුර්ති හා නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිව සිටි ජී. කේ. ඩබ්. පෙරේරා සහ කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ බඳු වැදගත් සිංහල නායකයෝද ඇතුළත් වූහ. ඊට අමතරව ආර්. ශ්‍රී පත්මනාදන් හා ඒ. කනගරත්නම් දේශන පැවැත්වූහ. සමාජීය, ආර්ථික හා දේශපාලනික ප්‍රශ්න ආවරණය කෙරෙන පුළුල් පරාසයක මාතෘකාවන් ගැන දේශන තුළ සාකච්ඡා කෙරිණි.

 

 


මතු සම්බන්ධයි.

 

 

එම්. තාරික්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි